ප්‍රතිමා තරමට ම සිත්ගන්නා පැරැණි ග්‍රීක අවමඟුල් සිරිත්

ග්‍රීක ප්‍රතිමා ගැන ඔබ දැන සිටියා වුව, ආදි ග්‍රීක අවමඟුල් සහ භූමදාන චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ එතරම් නොදන්නවා විය හැකියි. දර්ශනය, නාට්‍ය, ප්‍රතිමා තරමට ම සිත්ගන්නාසුලු පැරැණි ග්‍රීක අවමඟුල් සිරිත් ගැන මෙසේ විමසා බලමු.

පුරාණ ග්‍රීක සමාජය බහු දේවවාදී වූවා. හිරු , මුහුද , වර්ෂාව වැනි ස්වාභාවික වස්තු සහ සංසිද්ධිවලට පවා ඔවුන්ට දෙවිවරුන් සිටියා. එපමණක් නොව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, ආදරය වැනි මානුෂික හැඟීම්වලටත් දෙවිවරුන් සිටිතැයි පුරාණ ග්‍රීකයන් විශ්වාස කළා.
පුරාණ ග්‍රීක අවමඟුල් සහ භූමදාන චාරිත්‍ර සඳහාත් දෙවිවරුන්, දේවතාවියන් සහ මළවුන් ගේ ලෝකය කේන්ද්‍ර කරගත් ඔවුන්ගේ පෙයිග්න් (pagan – ප්‍රධාන ආගම් නොවන වෙනත් ලබ්ධි) විශ්වාස බලපා තිබෙනවා.

ක්‍රිස්තියානියේ පැතිරීමත් සමඟ එම චාරිත්‍ර කලක් තිස්සේ වෙනස්කම්වලට භාජනය වී ඇති නමුත් පුරාණ අවමඟුල් චාරිත්‍රවල නෂ්ටාවශේෂ ග්‍රීක සමාජයේ තාමත් පවතිනවා. ඔවුන්ගේ අවමංගල කටයුතුත්, අලංකෘත උයන් වතු , නගර, කලා කෘති හා සාහිත්‍ය කෘති තරමට ම අතිශය විසිතුරු යි. හෝමර් ගේ සමයේ ආදාහන චාරිත්‍ර පිළිබඳ සම්පූර්ණ විස්තරයක් ඉලියඩ් කෘතියේ දැක්වෙනවා. ඒ ඇචිලස්, පැට්‍රොක්ලොස් ගේ ආදාහනය සිදු කළ ආකාරය ගැන යි.

ආදි ග්‍රීක අවමඟුල් සහ භූමදාන චාරිත්‍ර – images.app.goo.gl

 

මරණයේ විෂ වායුවෙන් ගැලවීමට දිය බඳුනක්  

දෙපා දොර දෙසට යොමු වන ආකාරයට මළ සිරුර උස් සයනයක හොවා තැබීම පුරාණ ග්‍රීකයන් ගේ සිරිත වුණා. මළ සිරුරේ හිසට පත්‍ර වළල්ලක් තැබුවා. එය ඇතැම් විට; විශිෂ්ටත්වය සැමරීම සඳහා එකල යොදා ගත් ලෝලර් කොළ මෝස්තර අනුකරණයට තැනූ රන් පත් වළල්ලක්. මළ සිරුර ඇති නිවෙසට ඇතුළු වන්නන්ට මරණයේ විෂ වායුවෙන් ගැලවීම සඳහා දිය ඉස ගැනීමට දිය බඳුනක් දොර අසල එළියේ තැබීමත් සිරිතක්.

කුඹල් කලා ඇතුළු සියලු කලාවල වැදගත් ස්ථානයක් උසුලන ග්‍රීක කතුන් පුරාණ ග්‍රීක අවමඟුල් චාරිත්‍රවල දීත් වැදගත් කාර්ය භාරයක් ඉටු කළා. මෘත දේහය සැකසීමේ දී මූලිකත්වය ගත්තේ කාන්තාවන්. මළ සිරුර සෝදා තෙල් ගල්වා මලින් සැරසීම කෙරුණේ කාන්තාවන් අතින්.

චැරොන් ගේ ගාස්තුවට කටේ කාසියක් 

ඇතැම් විට මළ සිරුරේ මුඛය, ඇස්, කාසියකින් හෝ රෙදි කඩකින් හෝ වැසුවා. කාසිය හැඳින්වුණේ චැරොන් ගේ ඔබොල් යන නමින්. ඔබොල් යනු පුරාණ ග්‍රීක කාසියක්. ග්‍රීක මිථ්‍යා විශ්වාස අනුව චැරොන්, ඉරෙබස් ගේ සහ නෙයික්ස් ගේ පුත්‍රයා. ඔහුට පැවරී ඇති කාරිය වන්නේ, භූමදාන චාරිත්‍ර ඉටු කළ මළ තැනැත්තන් ගේ ආත්මය ස්ටෙයික්ස් සහ ඇචිරොන් ගංගාවලින් මළවුන් ගේ ලෝකයට එතෙර කිරීම යි.

පුරාණ කෙරමෙයිකෝස් සොහොන් බිම අද පුරාවිද්‍යා උද්‍යානයක් – images.app.goo.gl

මළ තැනැත්තා ගේ මුඛයේ ඔබන කාසිය චැරොන් ගේ යාත්‍රා ගාස්තුව යි. ඇතැම් කාලවල චැරොන් ගේ කාසිය වෙනුවට මළ සිරුරේ තොල් මත හෝ සිරුර සමඟ මළ තැනැත්තා ඊළඟ දිවියට එතෙර කරන්නට අවශ්‍ය උපදෙස් සපයමින් මළවුන් ගේ ලෝකයේ ප්‍රධානීන් සහ මළවුන් ගේ ලෝකයේ රැජන පර්සෙපෝන්ට රන් කැබැල්ලක් තැන්පත් කරන සිරිතකුත් තිබුණා. දත් අතර කාසි රැඳ වූ ඇටසැකිලි හමුවීම මෙකී සිරිත තහවුරු කරන සාක්ෂියක්.

මළ සිරුර පසු ව ඔහුගේ ගිමන් පොළ වන හුදෙකලා සොහොන වෙත හෝ පවුලේ සොහොන් ගැබ වෙත පෙරහරකින් රැගෙන ගොස් මිහිදන් කෙරුණා. එවැනි පෙරහරවල සහ චාරිත්‍රානුකූල වැලපීම් පිළිබඳ සටහන් ටැන්ගරා නගරයෙන් හමුවුණු ලානකේ නමින් හැඳින්වෙන මිනී පෙට්ටිවලින් හඳුනා ගෙන තියෙනවා.

 

මරණයේ දෙවියා හේඩස් සහ මුර බල්ලා සර්බෙරොස් – images.app.goo.gl

 

මරණයේ දේවතාවා ගේ මුර බල්ලාට පැණි කේක් 

එම සොහොන් ගැබ්වල මළ සිරුර අසල බිම; මැණික් සහ වෙනත් අබරණ, අවි ආයුධ, බඳුන් වැනි වටිනා භාණ්ඩ තැන්පත් කර තිබෙනවා. සුවඳ විලවුන් පිර වූ බඳුන් ද සොහොන්වලින් හමුවීමෙන් පෙනෙන්නේ මිනිය අසල තැබූ චාරිත්‍රානුකූල විලවුන් භාජනත් සිරුර සමඟ මිහිදන් කළ බව යි.

මරණයේ දේවතාවා මෙන් ම, ළමයින් ගේ රජු වශයෙන් ද සැලකුණු හේඩස් ගේ මුර බල්ලා වන සර්බෙරොස්ට සංග්‍රහයක් වශයෙන් මළ සිරුර පසෙකින් මී පැණි කේක් එකක් ද තැන්පත් කළා.

සොහොන් පොළෙහි ඉටු කෙරුණු චාරිත්‍රවල දී මියගිය තැනැත්තා වෙනුවෙන් බීම පූජා ද පවත්වා ඇති බව පැහැදිලි වන්නේ, සොහොන් ගැබ්වලින් ආහාර සහ බිඳුණු බඳුන් බහුල ව පුරාවිද්‍යාඥයන්ට හමු වූ නිසා යි. මැරතන් හි එක් සොහොන් ගැබක අශ්වයකුගේ සිරුරු කොටස් ද හමු වී තිබුණා. අවමංගල රථය ඇද ඇත්තේ ඒ අසු බවත් පසුව සොහොන් ගැබේ දී අසු මරා පූජා කරන්නට ඇති බවත් විශ්වාස කරනවා.

 

දෙවන භූමදානයක් කරන සිරිතක්

ක්‍රිස්තු පූර්ව 1100 පමණ වන තෙක් ලෝකඩ යුගයේ ග්‍රීක ජනතාව අතර එක් සොහොන් ගැබක් පොදුවේ භාවිත කරන සිරිතක් පැවතුණු බව පැහැදිලි යි. ඇතැම් මළ සිරුරු සහ ඒ සමඟ මිහිදන් කළ භාණ්ඩ දෙවන සිරුරකට ඉඩ සැලසීම සඳහා නැවත සකස් කර ඇති නිසා ලෝකඩ යුගයේ ග්‍රීකයන් අතර දෙවන භූමදානයක් කරන සිරිතකුත් පැවතුණු බව පෙනෙනවා.

සොහොන් බිම් පිහිටා තිබුණේ ආගමික ස්ථාන ආසන්නයේ. මධ්‍යම ධනවතුන් වෙනුවෙන් තනි සොහොන් පැවති අතර ඉහළ පැලැන්තියේ පවුල්වල අයට මීවදයක හැඩයට ඉදි කළ ‘තොලො’ නමින් හැඳින්වුණු ශෛලමය සොහොන් ගැබ් තිබුණා.තොලො බොහෝ විට තනා තිබුණේ පර්වත උපයෝගී කොට ගෙන යි.1874 වසරේ සොයා ගත් රාජකීය සොහොන් ගැබ් ඒ අතරින් විශේෂ යි. ක්‍රිස්තු පූර්ව 1550-1500 කාලයට අයත් සොහොන් භාණ්ඩ ඒවා හි මිහිදන් කර තිබෙනවා.

මළ සිරුරු බහාලූ ගල් පැසක් – theseus-aegean.blogspot.com 

ශත වර්ෂ දෙකහමාරකට පමණ පසුව ඒ සොහොන් ගැබ් බිත්ති බැඳ වට කර තිබීමෙන් පැහැදිලි ලෙස තහවුරු වන්නේ, මයිසිනියානු යුගය හෙවත් ග්‍රීක ලෝකඩ යුගයේ මළවුන් නිරන්තර අනුස්මරණය කරන සිරිතක් පැවතී ඇති බව යි. එසේ ම අදාළ කාලපරිච්ඡේදයේ ජනතාවගේ සිතුම් පැතුම් සහ ආකල්ප පිළිබඳ අදහසකුත් සොහොන් බිම් වලින් ලබා ගත හැකි යි. අස්රියක් පදවන මිනිසකු නිරූපණය කරන සොහොන් පලකය ඊට නිදසුනක්. ඉන් පැහැදිලි වන්නේ එකල සංස්කෘතියේ කායික බලය උතුම් කොට සැලකූ බව සහ පෞරුෂත්වයට එකල ලැබුණු වටිනාකම යි.

ක්‍රිස්තු පූර්ව 1100න් පසුව අවමඟුල් චාරිත්‍රවල වෙනසක් 

ක්‍රිස්තු පූර්ව 1100න් පසුව ග්‍රීක වැසියන් පොදු සොහොන් ගැබ් වෙනුවට පෞද්ගලික සොහොන් ගැබ් භාවිතයට නැඹුරු වූ බව පෙනෙනවා. ඇතන්ස් වැසියන් ගේ අවමඟුල් චාරිත්‍ර ඒ අතරින් විශේෂ යි. ඔවුන් මළගියවුන් ආදාහනය කර, භෂ්මාවශේෂ බඳුනක තැන්පත් කළා. මේ කාලයේ දී ග්‍රීක සොහොන් බිම් විශාලත්වයෙන් වැඩුණා. එසේම සොහොන් භාණ්ඩ තැන්පත් කිරීමේ චාරිත්‍රය ක්ෂය වන්නට පටන් ගත්තා. භූමදාන විධිවල මේ මහා සරලකමට හේතු වශයෙන් සැලකෙන්නේ, ක්‍රිස්තු පූර්ව 5වන සියවසේ ප්‍රජාතන්ත්‍රවාදයේ සහ සම හිමිකම්වාදි මහජන හමුදාවන් ගේ නැඟීම යි.

හතර වන සියවසේ දී ප්‍රජාතන්ත්‍රවාදය යටපත් ව රදළ පාලනය ඉස්මතු වීමත් සමඟ නැවතත් හිමිකාරයා ගේ මහන්තත්ත්වය කියා පාන දැවැන්ත සොහොන් ගැබ් කරළියට ආවා. බිතු සිතුවම් සහ වටිනා සොහොන් භාණ්ඩවලින් සමන්විත දෙවන පිලිප්ට අයත් යැයි සැලකෙන වර්ජිනා හි මැසිඩෝනියානු සොහොන් ගැබ ඊට හොඳ ම නිදසුනක්.

සොහොන් ගැබ්වලින් හමු වූ ආහාර සහ බිඳුණු බඳුන් – images.app.goo.gl

ජ්‍යාමිතික හැඩවලින් යුතු කුඹල් භාණ්ඩ

ඓතිහාසික සොහොනක් සොයා ගැනීම යනු ඉතිහාසයේ වැදගත් පුරාවිද්‍යාත්මක සිදුවීමක් බව අමුතුවෙන් කිය යුතු නැහැ. ඇතන්ස් බළකොටුව ආසන්නයේ දිවි ගෙවූ ආදි ජනතාව සිය සුසාන භූමිය වශයෙන් භාවිත කළේ වත්මන් පුරාවිද්‍යාත්මක උද්‍යානයක් වන කෙරමෙයිකෝස් බිම් පෙත යි. එම භූමිය පිහිටි එරිඩනුස් ගංගා තැන්න ආසන්න වශයෙන් වසර 1,500 ක් නගරයේ සුසාන භූමිය වශයෙන් පවතින්නට ඇතැයි විශ්වාස කරනවා.

පුරාවිද්‍යාඥයන් කෙරමෙයිකෝස් භූමියෙන් සොයා ගත් විවිධ ජ්‍යාමිතික හැඩවලින් යුතු කුඹල් භාණ්ඩවලින් ග්‍රීක ඉතිහාසයේ තොරතුරු රැසක් අනාවරණය වෙනවා. මේ කුඹල් පුරාවස්තු අතරින් පළමු වන්න ලෙස ගැනෙන්නේ 1871 දී සොයා ගැනුණු පාත්‍ර ගොන්න යි. චාරිත්‍රානුකූල පූජා සඳහා භාවිත කරන්නට ඇතැයි සැලකෙන මේ පාත්‍ර ජ්‍යාමිතික රටා රැසකින් අලංකරණය කර තිබෙනවා. ක්‍රිස්තු පූර්ව අට වන සියවසේ පටන් මෙකී රටා අතරට සත්ත්ව සහ මිනිස් රූප ද ඇතුළත් ව ඇති බව පෙනෙනවා. පාත්‍රයක විෂ්කම්භය මීටර් එකහමාරක් පමණ යි.

පුරාණ ග්‍රීකයන් මියගිය තැනැත්තන් සඳහා අවමඟුල් චාරිත්‍ර විධිමත් ව පැවැත්වීම අනිවාර්ය කොට සැලකුවා-greekasia.blogspot.com 

පූජකවරුනට පූජකවරියනට අවමඟුල් තහනම්  

පුදුමයට කරුණ වන්නේ පූජකවරුනට සහ පූජකවරියනට ග්‍රීක අවමඟුල්වලට, මළ ගෙවල්වලට ඇතුළු වීම තහනම් කර තිබීම යි. එසේ ම ඔවුනට අවමඟුල් චාරිත්‍රවලට සම්බන්ධ වීමටත් අවසර ලැබුණේ නැහැ. හේතුව මරණය ආගමික වශයෙන් අපවිත්‍ර දෙයක් කිලිටි දෙයක් ලෙස සැලකීම යි.

දෙවියන් පවා මරණයෙන් දූෂ්‍ය විය හැකියැයි පුරාණ ග්‍රීකයන් සිතුවා. ඒ නිසා පූජනීය සියල්ල මරණයෙන් සහ මළ සිරුරින් දුරස් කර තබන්නට වග බලා ගත්තා. පුරාණ ග්‍රීක ආගමික ස්ථානවල පලකවල, ළඟ දිනෙක මළ සිරුරු පිළිබඳ කටයුතුවලට සම්බන්ධ වු අයට එම ස්ථාන තහනම් බව දන්වා ඇති හේතුව එය යි.

මියගිය තැනැත්තාට දුන් භෝජන සංග්‍රහය

මියගිය තැනැත්තාට ගැන වැලපෙන්නන් පළමුව චොආයි නමැති පූජා පානය සමඟ කෙස් රොදක් පූජා කරනවා. එම පූජා පානය තනන්නේ පැණි, කිරි, ජලය, වයින්, විලවුන් සහ තෙල් යම් අනුපාතයකට මිශ්‍ර කිරීමෙන්. බොහෝ විට කෙරුණේ, චොආයි, මිනී වළ මත නැතිනම් සොහොනේ පිය ගැට පෙළෙහි ආධාරකය මත හෝ සොහොන් බිමෙහි හැළීම යි. ඉන් පසුව යාච්ඥා කරන්නන් බීම පූජාවට සම්බන්ධ වෙනවා. ඉන් පසුව කෙරෙන්නේ එනජිස්මාට හෙවත් මියගිය තැනැත්තා වෙනුවෙන් පූජා පැවැත්වීම යි. ඒ පූජාවට කිරි, පැණි, ජලය, වයින්, සැල්දිරි, පිලානන් -ආහාර , පැණි සහ තෙල් මිශ්‍රණයක් – සහ කොලිරා – අස්වැන්නේ පළමු කොටස සහ වියළා ගත් නැවුම් පලතුරු – ඇතුළත් වෙනවා.

මියගිය තැනැත්තා වෙනුවෙන් පූජා පැවැත්වීම – – greekasia.blogspot.com 

භූමදානය අවසන් වූ විගස නිවෙස සහ බඩු බාහිරාදිය මුහුදු ජලය සහ හයිස්සොප් (පූජනීය ශාක) යොදා පිරිසුදු කළා. පිරිසුදු ජලයෙන් කෙරුණු චාරිත්‍රානුකූල සේදීම සඳහා මූලිකත්වය ගත්තේ මියගිය තැනැත්තා ගේ සමීපත ම ඥාති කාන්තාවන්. ඉන් අනතුරු ව පෙරිඩිනින් නමින් හැඳින්වුණු අවමංගල භෝජන සංග්‍රහයක් පැවැත්වුණා. ඒ භෝජන සංග්‍රහයේ අමුත්තා වශයෙන් සැලකුණේ මියගිය තැනැත්තා යි. භූමදානයට සහභාගී වූ අයට කෘතඥතාව පළ කිරීමත් මේ භෝජන සංග්‍රහයේ අරමුණක්.

පුරාණ ග්‍රීකයන් මියගිය තැනැත්තන් සඳහා අවමඟුල් චාරිත්‍ර විධිමත් ව පැවැත්වීම අනිවාර්ය කොට සැලකුවේ එමගින් මියගිය තැනැත්තා මරණින් මතු ජීවිතයට සාර්ථක ව එතෙර වීම තහවුරු කෙරෙන බව විශ්වාස කළ නිස යි. නියම ආකාරයෙන් මළ සිරුර භූමදාන නොකළොත් දෙවියන් ගේ ආශිර්වාද ලත් මිය ගිය තැනැත්තන් සඳහා වෙන් වූ ඉලිසින් කෙතට ඇතුළු වීමට ඔහුට අවසර නොලැබෙන බව විශ්වාස කළා. කමකට නැති මවුපියන් වෙනුවෙන් යුතුකම් ඉටුකිරීමේ වගකීමෙන් දරුවන් නිදහස් කළ ඇතීනියානුවන් පවා මවුපියන් භූමදාන කිරීමට දරුවන්ට තහංචි පැනවූයේ නැහැ. ඥාතියකු විධිමත් ව භූමදානය නොකිරීම සදාචාරාත්මක වරදක් වශයෙන් සැලකුණා. එසේම, මියගිය තැනැත්තකු ගේ අවසන් කටයුතු කිරීම ග්‍රීක විශ්ව නීතිය අනුව පැවරෙන ආගමික වගකීමක්.

 චාරිත්‍රානුකූල සේදීම සඳහා මූලිකත්වය ගත්තේ මියගිය තැනැත්තා ගේ සමීපත ම ඥාති කාන්තාවන්  – greekasia.blogspot.com 

 

අවසන් ගමන් චාරිත්‍ර, සොහොන් ගැබ් බීම පූජාව හෝ අනෙකුත් පිදීම් හෝ නිසි පරිදි නොකෙරුණ හොත් රිවෙනන්ට් හෙවත් මුළුමනින් මිය නොගිය එමෙන්ම මුළුමනින් ජීවත්ව ද නොසිටින ආත්මකාරයා කෝප විය හැකි බව ඔවුන් විශ්වාස කළා. මියගිය තැනැත්තා ගේ සමීපතම ඥාතියාගේ කෙස් කොටසක් පවා, පිදීමට එකතු කෙරුණේ ඒ නිසයි.

අවමංගල කතාව වැදගත් අංගයක් 

පුරාණ ග්‍රීසියේ, විශේෂයෙන් ම පුරාණ ඇතන්ස් හි අවමඟුල්වල දී අවමංගල කතාව අතිශය වැදගත් චාරිත්‍රයක් ලෙස පිළිගැනුණා.
අවමඟුල් කතාවක කොටස් තුන යි. පළමුව පූර්විකාව. පූර්විකාවේ දී කථිකයා , යුද්ධයෙන් මියගිය වීරයා ගේ කීර්තිමත් ජයග්‍රහණය වර්ණනා කරන්නට තමාට වචන සොයා ගන්නට අපහසු බව සඳහන් කිරීම සිරිත යි.

ඉන් පසුව , මියගිය වීරයා ගේ පවුල් පදනම, මුතුන්මිත්තන් ගැන විස්තර කරන අතර ඇතිනියානු රාජ්‍යය වෙනුවෙන් ඔහු කළ පරිත්‍යාගය සහ කැපවීම අවධාරණය කරනවා.

ඉන් පසුව එන්නේ සමාප්ති වදන. සමාප්ති වදන සාමාන්‍යයෙන් වෙන් කෙරුණේ, මියගිය තැනැත්තා ගේ පවුලේ සාමාජිකයන් අස්වැසීමට සහ ඔවුන් ධෛර්යමත් කරන්නට යි. එහි දී මියගිය තැනැත්තා ගේ දරුවන්ට අධ්‍යාපනය ලබා දීම නගර පාලනය බාර ගැනීම සහ නගරයේ ජීවිතය යථාවත් කිරීම වැනි දේ සඳහන් කෙරෙන නිසා වැලපෙන්නන් ගේ සමූහ අඳෝනා පෞද්ගලික ඉකිබිඳුම් දක්වා තුනී වූ බව කියනවා.

 යුද විරුවන් වෙනුවෙන් පැවැත්වූ මහජන අවමංගල උත්සව 

යුද්ධයෙන් මියගිය වීරයන් වෙනුවෙන් ඇතැන්ස් වැසියන් මහජන අවමඟුල් උත්සව පැවැත්වුවා. එකී උත්සව වල සොබාව පිළිබඳ තියුසීඩියස් ගේ විස්තර වල සඳහන් වෙනවා. යුද්ධයෙන් මළ අය ගේ ඇට කටු අවමඟුලට පෙර ප්‍රදර්ශනය කිරීම සඳහා වේදිකා, කුටි හෝ කූඩාරම් හෝ ප්‍රසිද්ධ ස්ථානවල ඉදිකර තිබුණා. අවමඟුල් දිනයේ අවමඟුල් පෙරහරේ, එක් එක් වංශය වෙනුවෙන් ඕක් දැවයෙන් තැනූ මිනී පෙට්ටිය බැගින් අස් රියවලින් රැගෙන ගියා. ඒ මිනී පෙට්ටිවල ඒ ඒ වංශයෙන් මියගිය යුද විරුවන් ගේ ඇට කටු තැන්පත් කර තිබුණා. එපමණක් නොවේ මළ සිරුරු සොයා ගත නොහැකි වූ අය නියෝජනය කරන්නට හිස් කවිච්චියකුත් එයට එක් කර ගත්තා.

වැලපෙන්නන් ගේ සමූහ අඳෝනා – theconversation.com 

මරණය අනුව වෙනස් වූ අවමඟුල් චාරිත්‍ර 

මියගිය තැනැත්තාගේ සමාජ මට්ටම මරණය සිදු වුණු ආකාරය වැනි කරුණු අනුවත් අවමඟුල් චාරිත්‍ර වෙනස් වුණා. නිදසුනක් වශයෙන් දෙන රැගෙන යාම සාමාන්‍යයෙන් කෙරුණේ කුලීකරුවන් වුවත්, මියගිය තැනැත්තාට ගෞරව කරන්නට අවශ්‍ය වූ විට විශේෂයෙන් තෝරා ගැනුණු පුරවැසියන් දෙන රැගෙන ගියා. දෙන රැගෙන යන විට පිරිමින් දෙනට ඉදිරියෙනුත් කතුන් දෙනට පසුපසිනුත් යාම සිරිත යි.

ගැටුමකින් මියගිය තැනැත්තකු ගේ සිරුරක් නම් , මිනීමරුවා ගෙන් පළිගැනීම සංකේතවත් කිරීමට ඉදිරියෙන් ම හෙල්ලයක් රැගෙන ගියා.
සිය දිවි නසා ගැනීමක් නම්, මරණය සිදු කර ගත් අත කපා වෙන ම භූමදාන කළා.

රජය මගින් මරණ දඬුවමට ලක් කළ ඇතැම් අපරාධකරුවන් භූමදාන කිරීම තහනම් කර තිබුණේ, අමතර දඬුවමක් ලබා දීමේ අරමුණින්.
අකුණු සැර වැදීමෙන් මියගිය අයගේ සිරුරු පූජනීය ලෙස සැලකුණු නිසා අනෙක් අය සමඟ භූමදාන නො කර අකුණු සැරට ලක් වූ ස්ථානයේ ම භූමදාන කළා.

යුද්ධයෙන් හැර වෙනත් මරණයක සිරුරක් සොයා ගත නොහැකි වුව හොත් ඒ තැනැත්තා වෙනුවෙන් අවමංගල චාරිත්‍ර සිදු කළා. එසේ අවමඟුල් චාරිත්‍ර ඉටු කළ පුද්ගලයකු ජීවත්ව සිටින බව පසුව දැනගන්නට ලැබුණොත්, නියමිත වතාවත් ඉටු කරන තුරු ඒ තැනැත්තාට පුද බිම්වලට ඇතුළු වීමට අවසර නැහැ.

පුරාණ ග්‍රීක අවමඟුල් චාරිත්‍රවල නෂ්ටාවශේෂ වත්මන් ග්‍රීක ප්‍රජාව අතරත් දක්නට ලැබෙනවා. සහල් ඇතුළු අනෙකුත් ධාන්‍ය සහ වියළි මුද්දරප්පලම් සහිත කොලිවා පිදීම ඊට නිදසුනක්.

කවරයේ ඡායාරූපය- පුරාණ කෙරමෙයිකෝස් සොහොන් බිම - images.app.goo.gl

මූලාශ්‍ර :
www.metmuseum.org 
www.greeka.com 
thirstyjourneys.com 
greekasia.blogspot.com 

Related Articles

Exit mobile version