Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කටට රසට හදන්නට උතුරුකරයෙන් කෑම වර්ග 6ක්

රටක් ලෙස ශ්‍රී ලංකාව විවිධ සංස්කෘතියන්ට හා ආගම් වලට අයත් ජනකොට්ඨාශ වලින් පිරිපුන් අතර මෙම සංස්කෘතික පසුබිම් වල ආභාෂය එදිනෙදා මුළුතැන්ගෙයි ඉවුම් පිහුම් වලදී පවා අපට ගෙන එන්නේ ප්‍රබෝධමත් වෙනසකි. මට මෙහිදී සිහිවන්නේ විදේශයක සිට මා බැලීමට පැමිණි මිතුරෙකු වරක් විමසා සිටි කරුණකි. සිහින් වේවා තරබාරු වේවා පොදුවේ ලාංකිකයන්ගේ සිරුරු වල ඉඟටියට උඩින් මේද තට්ටුවක් (එනම් ‘ටයර්’ ) දක්නට ලැබෙන්නේ මන්දැයි ඔහුට ගැටළුවක් විය.

මෙයට ඉතින් වගකිව යුත්තේ පිෂ්ඨයෙන් අඩුවක් නැති ලංකාවේ නානාවිධ ආහාර වර්ග හැර වෙන මොනවා ද? මේවා සිහිකර දී ඔබව තවත් මහත් කිරීම හෝ තිබෙන අසනීප වැඩිකර දීම මගේ අරමුණ නොවුව ද, ලංකාවේ ක්‍රමයට පිළියෙළ කරන ආහාර වල පමණක්ම ඇති ඒ කටට කෙළ උනන රසය නිසා, ඒවායේ මේදය පිෂ්ඨය යන මේ කුමන අතුරු ආන්තරාවක් අඩංගු වුවත්  නොකා නොබී අහක බලා සිටීමට ලාංකිකයන් වන අපට ඉතා අපහසු බව ඔබ පිලිගන්නවා යයි අපි සිතමු..

උතුරුකරයේ, විශේෂයෙන්ම යාපනය ප්‍රදේශයේ ආහාර වර්ග කිහිපයකට විශේෂ අවධානයක් යොමු කිරීමට මා මෙහිදී බලාපොරොත්තු වෙමි. බොහෝදෙනෙක් අද දකුණු ඉන්දීය ආහාර ලෙස වරදවා සිතා සිටින බොහෝ ව්‍යංජන යාපනයේ පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන සාම්ප්‍රදායික දමිළ ආහාර වට්ටෝරු වලින් පිළියෙළ කරන ඒවාය. මේ ආහාර පිළියෙළ කරන අයුරු සමස්තයක් වශයෙන් සමාන වුවත් යාපනයේ ආහාර වල ඇත්තේ එයටම ආවේණික අනන්‍ය රසයකි. යාපනයේ බොහෝ ආහාර සඳහා පොල් භාවිතා වීමද තව විශේෂත්වයකි. එපමණක්ම නොවේ, ලංකාවේ වෙනත් ඕනෑම ප්‍රදේශයක දී මෙන්ම උතුරේ පිළියෙළ වන ව්‍යංජනයක ද අපට සුපුරුදු ඒ තුනපහ ගම්මිරිස් රසය නම් නොඅඩුවම ගැබ්ව තිබේ.

ඔබගේ රස නහරවැල් සන්තර්පණය කිරීමට සමත් උතුරේ පිළියෙළ වන ආහාර වර්ග කිහිපයක් මෙන්න.

1. බැටළු මස් කරිය

ලුණු තුනපහ හරිහරියට මුසුවූ යාපනයේ බැටළු මස් කරිය (madaboutrecipes.com)

ලුණු තුනපහ හරිහරියට මුසුවූ යාපනයේ බැටළු මස් කරිය (madaboutrecipes.com)

යාපනයේ ආහාර ගැන කී සැණින් අප කොයි කාගේත් සිහියට නැගෙන්නේ යාපනයටම සුප්‍රසිද්ධ කකුළු මස් කරිය වුවත් අද අපි කතා කරන්නේ තවත් එවැනිම සුවිශේෂී රසයක් ගෙනඑන යාපනයේ බැටළු මස් කරිය පිළිබඳවයි. ලාංකීය ආහාර වේලකට සියලු ආකාරයෙන්ම නෑකම් කියන මෙම ව්‍යංජනයෙන් එන්නේ අප කාටත් සුපුරුදු ඒ කුළුබඩු රස හා සුවඳ වන අතර මෙම බැටළු මස් ව්‍යංජනය සාදන්නේ උළුහාල්, කරඳමුංගු, සූදුරු, මාදුරු, කරාබුනැටි, කොත්තමල්ලි, සුදුලූනු, ඉඟුරු, කහ, කරපිංචා කොළ සහ කුරුඳු යන මේවා පදමට මුසු වී ගිය හොද්දක් ලෙස බැටළු මස් කැබලි පිස ගැනීමෙනි. මෙම ව්‍යංජනයෙන් එක කටක් වත් අනුභව කිරීමට මත්තෙන් එහි සුවඳින්ම ඔබේ රසනහර පිනා යන බවනම් අපට  නිසැකය.

2. ආප්ප

යාපනයේ ‘ආප්පම්' වල විශේෂත්වය එහි ඇති ලා ගිතෙල් රසයයි.

යාපනයේ ‘ආප්පම්’ වල විශේෂත්වය එහි ඇති ලා ගිතෙල් රසයයි.

අප සැවොම හොඳින් දන්නා හඳුනන ආප්ප වල තවත් ප්‍රභේදයක් යාපනයෙන් අපට හමුවේ. ‘ආප්පම්’ ලෙස හඳුන්වන මේවා සුපුරුදු ආප්ප වලට වඩා මදක් වෙනස් වන්නේ පොදු හින්දු සාම්ප්‍රදායක් ලෙස ගිතෙල් ස්වල්පයක් මෙයට එකතු කරන බැවිණි. ඉන් හොඳ සුවදක් ද ආහාරයට එක්වන අතර හාල් පිටි, පොල්කිරි හා කුළුබඩු අඩංගු මිශ්‍රණයක් පිපෙන්නට තබා පෑන්කේක් වලට ආදර්ශකයක් ලෙස යාපනයේ තැනෙන මේ ආප්පම්, උදෑසන රාත්‍රී ආහාර සඳහා ඒක සේ භාවිතා කෙරේ. රවුම් පිඟානක හැඩය ගන්නා මේවායේ වාටි කර කර ගා සැපෙන අතර මැද ඊට මදක් ඝනය. මෙම ආප්ප සාමාන්‍යයෙන් ආහාරයට ගන්නේ පොල් සම්බල්, සීනි සම්බල්, කට්ට සම්බල් හෝ මස්මාලු කාරියක් සමඟය. සාම්ප්‍රදායික ආප්ප දැන් බිත්තර සමඟ පිළියෙළ කර බිත්තර ආප්ප ලෙසත්, කිරි ආප්ප ලෙසත් මැදට පැණි යොදා අතුරුපසක් ලෙසත් විවිධ විවිධ අයුරින් සදා ගනු තිබේ.

3. බටු සහ මුරුංගා ව්‍යංජනය (කදිරික්කායි සහ මුරුන්ගක්කායි කරිය)

වම්බටු මුරුංගා කරිය (vegrecipes4u.com)

වම්බටු මුරුංගා කරිය (vegrecipes4u.com)

මෙය බත් සමඟ ව්‍යාංජනයක් ලෙස ආහාරයට ගතහැකි, වම්බටු සමඟ මුරුංගා එකට පිස ගැනීමෙන් ප්‍රණීත ලෙස සකස් කර ගන්නා තවත් එවන් සුවිශේෂී ආහාරයකි. මුරුංගා වම්බටු සුසංයෝගයෙන් එන ඒ සුවිශේෂී රසය නිසා හොද්දට අමුතුවෙන් තුනපහ කුළුබඩු යොදා රසගැන්වීමට උවමනා නැත. මෙම හොද්ද ඝනට සාදා ගත විට එළවළු ව්‍යාංජනයක් ලෙස ද මදක් තුනී ලෙස පිස ගෙන සුපුරුදු පරිප්පු කරියට ආදේශකයක් ලෙසද ආහාරයට ගැනීමට හැකියාව තිබේ. කෙසේ නමුත්, මෙම ව්‍යාංජනය ආහාරයට ගන්නට සැරසෙන ඔබ මුරුංගා කරල් වල මෘදු මැද කොටස යහමින් රසවිඳීමට යාමට නම් අතපුරා ඉඳුල් තවරා ගන්නට ලෑස්ති වී සිටිය යුතුය.

4. රසම්

මෙම සුප්‍රසිද්ධ ව්‍යංජනයේ ඖෂධීය ගුණයක් ඇති බව ද සැලකේ (abcdsofcooking.com)

මෙම සුප්‍රසිද්ධ ව්‍යංජනයේ ඖෂධීය ගුණයක් ඇති බව ද සැලකේ (abcdsofcooking.com)

මෙය තනිවම සුප් එකක් ලෙස හෝ බත් සමඟ හොද්දක් ලෙසද අනුභව කළ හැකි ආහාරයකි. එහි ප්‍රධාන වශයෙන් අඩංගු වන සංඝටක දෙක ගම්මිරිස් සහ සියඹලා වුව ද සාම්ප්‍රදායික රසම් ව්‍යාංජනයේම වෙනත් වෙනත් නවීකරණයන්ද අද වනවිට දැකගත හැකියි. මෙලෙසින් පිළියෙළ කරගන්නා කුකුළු මස් තැම්බුම් හොද්ද යාපනයටම සුවිශේෂ ව්‍යංජනයකි වන අතර තක්කාලි හා පරිප්පු සමඟද මෙය පිළියෙළ කරගත හැක. සාදන ක්‍රමය ඉතා සරලය- එක එකක් කුළුබඩු සහ අමුතුවෙන් යොදන සංඝටකය එක්ව යහමින් පදමට පිස ගනු ලැබේ. අඩංගු ද්‍රව්‍ය පෙරා ඉවත් කර හෝ කුළුබඩු රසකාරක සමඟම හෝ ආහාරයට ගැනීමටත්, අවශ්‍ය නම් රසම් එක පානය කිරීමටත් බත් සමඟ එකට අනා ආහාරයට ගැනීමටත් ඔබට හැකියාව ඇත. ඖෂධීය ගුණයකින් ද යුතු රසම් වලට ආහාර ජීරණය  ඉහළ නැංවිය හැකි නිසා ප්‍රධාන ආහාර වේලට පසුව ද එය ආහාරයට ගනු ලැබේ.

5.පිට්ටු

මාළු කරියක් සමඟ පිට්ටු හොඳින් පෑහේ (montrealgazette.com)

මාළු කරියක් සමඟ පිට්ටු හොඳින් පෑහේ (montrealgazette.com)

විශේෂයෙන්ම රාත්‍රී ආහාර වේලට ගන්නා පිට්ටු සාදනු ලබන්නේ තිරිඟු පිටි හෝ කැකුළු හාල් පිටි සමග පොල් මිශ්‍ර කිරීමෙනි. පිටි කරන ලද සහල් ගාගත් පොල් සමඟ හෝ කූනිස්සන් හෝ මාළු සමඟ මිශ්‍ර කර ජලයෙන් තම්බා ගත යුතුය. මාළු කරියක් සමඟ පිට්ටු මනාව සැසඳෙන අතර බැටළු මස් කරිය සමඟ වුවද ඉතා රසය. මෙම ආහාර අනුභවයට තවත් ප්‍රියතම ආකාරයක් වන්නේ මස් මාළු සමඟ පිට්ටු මිශ්‍ර කර සාදන පිට්ටු කොත්තුවයි. ඉතිරි වී ගිය ආහාර භාවිතා කර අතිශය ප්‍රණීත ආහාර වේලක් යාපනයේ දී තනා ගන්නේ මේ අයුරිනි. මස් මාළු යහමින් දමන තරමට පිට්ටු කොත්තුව වඩ වඩාත් රසවත්ව සාදා ගත හැක.

6. මෝදහම්

 

යාපනයේ සුප්‍රසිද්ධ මෝදහම් නම් පැණි රසැති ආහාරය (foodandclicks.com)

යාපනයේ සුප්‍රසිද්ධ මෝදහම් නම් පැණි රසැති ආහාරය (foodandclicks.com)

දවස පුරා ගන්නා ප්‍රධාන ආහාර වේල් තුනම ඉහතින් ආවරණය කර ඇති නිසා අතුරුපසකින්ම මෙය අවසන් කිරීම සුදුසු යයි සිතුනි. බොහෝදෙනෙක් දන්නා හඳුනන රසවල්ලි කිලංගු කැඳ ගැන කතා නොකර අපි අද එතරම් දෙනෙක් අසා නැති මෝදහම් ගැන මදක් ඔබට පැවසීමට කැමැත්තෙමු. ඩම්ප්ලින් වල ශ්‍රී ලාංකීය අනුවාදයක් ලෙස සැලකිය හැකි මේවා මැදට හකුරු, පොල් සහ මුන් ඇට වල ප්‍රණීත මිශ්‍රණයක් යොදා සකස් කරනු ලැබේ. හකුරු මිශ්‍රණයක් මැදට දමා සාදන ශ්‍රී ලාංකීය පෑන්කේක් වලට සමාන රසකින් මෙය සමන්විත වේ. මේවායේ වටේට ඇති පිටි ආවරණය සාමන්‍ය පෑන්කේක් එකකට වඩා ඝන වන අතර පැටිස් එකක් හා කට්ලට් එකක් අතරමැද හැඩයක් ගනී. මේවා තම්බා ගනු ලබන්නේ ජල වාෂ්ප භාවිතයෙනි. උදෑසන ආහාර වේලක් ලෙස වුවත් මෝදහම් කෑමට ගත හැකි අතර පැණි රස කෑමට උපන් හපනුන් වන ශ්‍රී ලාංකික අපි දවසේ ඕනෑම වෙලාවක කෑමට දුන්නද මෙවැන්නකට නම් එපා නොකියමු.

යාපනයේ සුප්‍රසිද්ධ කකුළු මස් හෝ ඉස්සෝ කරිය ඇතුළත් කර නොමැති මෙම සටහන අසම්පුර්ණ යැයි යමෙකුට හැඟුණ ද ඒවා පොදුවේ කවුරුත් අසා ඇති, බොහෝවිට දැනටමත් වරක් හෝ ආහාරයට ගෙන ඇති ව්‍යංජනයි. අපේ අරමුණ වූයේ වැඩි දෙනෙක් අසා නැති එහෙත් එතරම්ම ප්‍රණීත වෙනස්ම ආකාරයේ ව්‍යංජන කිහිපයක් ඔබ හමුවට ගෙන ඒමයි. නියම යාපනයේ ආහාර වේලක් රස බැලීමට කැමති නම් අනිවාර්යන්ම මෙම ව්‍යංජන වලින් එකක්වත් රස බැලීමට අමතක නොකරන්න. ඒවායේ ඇති අනන්‍ය වූ රසයෙන්, තුනපහ කුළුබඩු රසයෙන් ඔබේ රස නහර පිනා යාමට සලස්වන්න. යාපනයෙන්ම පමණක් ඔබට අත්විඳිය හැකි මෙම ප්‍රණීත රසය ඔබට කිසිදා අමතක නොවන අත්දැකීමක් වනු ඇත.

Related Articles