අද මෙන් රූපවාහිනිය, ගුවන්විදුලිය, වේදිකා නාට්‍ය නොතිබූ එදා ගැමියාගේ රස වින්දනයට තිබුණේ පහතරට කෝලම් නැටුම් හා උඩරට සොකරි යන කලා මාධ්‍ය තමයි. අද සමාජයෙන් මේ සම්ප්‍රදායික සංස්කෘතික අංග දුරස්ව යනවා. කලාතුරකින් පමණ යි කෝලම් මඩුවක් අද දැකගත හැක්කේ. මේ ඒ ගැන කළ සොයාබැලීමක්.
කෝලම් කියන්නේ මොනවද?
කෝලම් හෙවත් වෙස් මුහුණු පැළඳගෙන කෙරෙන නැටුම තමයි කෝලම් නැටුම් කියන්නේ. වෙස් මුහුණු පැළඳගත් නර්තන ශිල්පීන් බෙර වාදනයට අනුව නැටුමෙන්, අංග චලනයෙන්, සහ දෙබස් සහ කවි ගායනයෙන් නාට්‍යමය සිද්ධි මාලාවක් ඉදිරිපත් කරනවා. මෙය පහතරට ප්‍රදේශවලට සීමා වූ නාට්‍ය ක්‍රමයක් ලෙස හැඳින්විය හැකියි. සමාජයේ දුර්වල තැන් සියුම් උපහාසයට ලක්කරමින් හාස්‍යය උපදවමින් විනෝදයක් ලබාදීම මින් සිදුකෙරෙනවා. ඒ සමගම ගැමියන් සමාජ අසාධාරණකම් ගැන දැනුවත් කිරීමක් ද සිදු වෙනවා.
කෝලම් උපත
කෝලම් නාට්‍ය කලාවේ උපත ගැන පොදු දේව කතාවක් පැතිර තිබෙනවා.
අතීතයේ මහා සම්මත නම් රජෙක් විය. රජුගේ බිසව ගැබ් ගෙන දොළ දුකක් හැදුණි. ඇයට අවශ්‍ය වුණේ වෙස්මුහුණු ලාගත් නැට්ටුවන්ගේ රංගනයක් නැරඹීමට යි. රටේ කිසිම නැට්ටුවෙකුට එය ඉටුකළ නොහැකි විය. ඒ අවස්ථාවේ දේවතාවියක් රජු කෙරෙහි අනුකම්පාකොට ඉන්ද්‍ර දෙවියන් වෙත ගොස් ඒ බව පැවසුවාය. ඉන්ද්‍ර දෙවිඳු විස්වකර්ම දෙවියන්ට ඒ කාර්යය ඉටු කිරීමට නියෝග කළේය. විස්වකර්ම දෙවි සඳුන් ලීයෙන් වෙස් මුහුණු කට්ටලයක් මවා නටන ආකාරය විස්තර කෙරෙන පොතකුත් සමග රජ උයනේ තැබීය. එයට අනුව ඇදුරන් ලවා කෝලම් නැටුම නැටවීය. බිසවගේ දොළදුක සංසිඳිණි.
(සිංහල විශ්ව කෝෂ උද්ධෘති- කෝලම්)
කෝලම් නැටුම් කලාව අප රටේ කෙදින ආරම්භ වූවාදැ යි ස්ථිරවම පැවසීම අපහසු යි. නමුත් දකුණේ අම්බලන්ගොඩ, මිරිස්ස, බෙන්තර, අලුත්ගම, සහ බස්නාහිර රයිගම් කෝරලයේ හොරණ පොකුණුවිට, ගම්පහ විගඩ, යන ප්‍රදේශවල කෝලම් නැටුම් කලාව මුල්බැසගත් ප්‍රදේශ ලෙස මේ ගැන පර්යේෂණ කළ මහාචාර්ය එම්. එච්. ගුණතිලකගේ ගවේශනවල සඳහන් වෙනවා. ආචාර්ය නන්දදේව විජේසේකර සඳහන් කරන්නේ අපේ කෝලම් වෙස්මුහුණු රාශියක් විදෙස් රටවල කෞතුකාගාරවලට රැගෙන ගොස් තිබෙන බව යි.
කෝලම් කුමට ද?
එය කුමක් අරභයා රංගගත වූයේ ද යන්න සලකා බැලීමේ දී මත දෙකක් ප්‍රකටව තිබෙනවා. ඉන් එක් මතයක් නම් හුදු විනෝදාස්වාදය පිණිස කෝලම් නාටක රඟ දක්‌වන ලද බව යි. දෙවැන්න ගර්භණී මව්වරුන් උදෙසා පවත්වා ඇති යාතුකර්මයක් බව යි. ස්‌ත්‍රීන්ගේ වඳභාවය දුරු කිරීමටත්, දරු ප්‍රසූතිය පහසු කිරීමටත් මෙය පවත්වා ඇති බව මේ පිළිබඳව පර්යේෂණයක යෙදී ඇති ඕ. පර්ටෝල්ඩ් සඳහන් කර තිබෙනවා. මහාචාර්ය ඇම්. එච්. ගුණතිලක ද කෝලම් නාටකය හුදු ප්‍රහසනයකට වඩා පුද පූජා විශේෂයකට නෑකම් කියන බව සඳහන් කරනවා.
කෝලම් සබය
කෝලම් නටන කරළිය හඳුන්වන්නේ සබය කියල යි. ගමේ තැනිතලා භූමියක් ඒ සඳහා තෝරාගන්නවා. කෝලම් භුමිය එළිපෙහෙලි කර පසෙකින් පොල් අතු මඩුවක් තනනවා. වෙස් මුහුණු තැබීමටත්, නළුවන්ගේ ඇඳුම් ඇඳීමටටත් එය භාවිත කරනවා. නළුවන් වෙස්ගන්වන්නේත් මේ මඩුව තුළ දීයි. ඇතැම් අවස්ථාවල දී මෙම රංග භූමිය වටා කණු සිටුවා ලණුවක් අදිනු ලබනවා. පසුව එම සීමාව ගොක්කොළවලින් හැඩවැඩ කිරීම ද දක්නට ලැබෙනවා. නරඹන්නන් මෙම සීමාවෙන් පිටත සිටිය යුතු වුණා.
සබයට පිවිසෙන ස්ථානයේ වෙස් අත්ත නම් අංගයක් ඇති අතර ඉතා ශක්තිමත්ව කණු දෙකක් දෙපස සිටුවා එය ගොරක අතු වලින් හෝ වෙනත් අතුවලින් වසා ගැනීමෙන් සකස්කර ගන්නවා. වෙස් පානා නළුවෝ රංග භූමියට එන්නේ මේ වෙස්අත්ත දෙපසින්. ඇතැම් විට එය උඩට නැග ගොරක අතු සොලවමින් නටා රංග භූමියට ඒම සිදු වෙනවා. එසේම සබයට දකුණු පසින් සතර වරම් දෙවිවරු උදෙසා මල්පැලක් සැකසීම ද සිරිතක්ව පැවතුණා. කෝලම් නාටක රඟ දැක්වීමට ප්‍රථමයෙන් එයට සහභාගී වන සියලු දෙනාම මෙම මල්පැල ඉදිරියට පැමිණ ආශිර්වාද ලබා ගැනීමත්, අවසර ලබා ගැනීමත් සිරිතක්.
කෝලම් මඩුවක් ආරම්භ කරනුයේ ද ආගම සිහිකර දෙවියන්ට මල්පහන් පිදීමෙන් අනතුරුව යි. ශිව දෙවියන්ට හා මහා බ්‍රහ්මයාට නමස්කාර කිරීම අගස්ති සෘෂිවරයාට, කතරගම දෙවියන්ට නමස්කාර කර එම දෙවි දේවතාවන්ගේ ආශිර්වාදය පතා සංස්කෘත ශ්ලෝකයක් කියා තෙරුවන් නමදින කෙටි කවි කීපයක් ගායනා කර කෝලම් උපත දක්වනවා. ඉන් පසුවයි චරිත සභාවට එන්නේ.
කෝලම් වෙස්මුහුණු
අපට ලංකාවේ වෙස්මුහුණු වර්ග දෙකක් හමුවෙනවා. එක් වර්ගයක් කෝලම් නැටුම් සඳහා යොදාගන්නා වෙස්මුහුණු යි. අනෙක ශාන්තිකර්ම සඳහා යොදාගන්නා වෙස්මුහුණ යි. විවිධ චරිත සඳහා යොදාගන්නා කෝලම් වෙස්මුහුණු සියයක් පමණ තිබෙනවා. කෝලම් වෙස්මුහුණුත් කොටස් තුනකට වර්ග කළ හැකියි. ඒ චරිත වෙස්මුහුණු, සත්ව වෙස්මුහුණු හා අතිමානුෂික වෙස්මුහුණු ලෙස යි.
අණබෙර කෝලම, හේවා කෝලම, ලියනාරච්චි කෝලම, කාපිරි කෝලම, ආඬි කෝලම, ජසයා ලෙන්චිනා හා මුදලි කෝලම චරිත වෙස්මුහුණු අතර ජනප්‍රිය කෝලම් මුහුණු කීපයක්. සිංහයා, වලහා, කොටියා සත්ත්ව වෙස්මුහුණුවලින් නිරූපනය කෙරෙනවා. එසේම අතිමානුෂික වෙස්මුහුණු වර්ග අතර නාග රාක්ෂ, මරු රාක්ෂ, ගුරුළු රාක්ෂ වැනි වෙස්මුහුණු සඳහන් කළ හැකියි.
කෝලම් නැටුම්
කෝලම් නැටුමක් කොටස් දෙකකට බෙදෙනවා. උපන් කථාවේ නැටුම් සහිත මුල්කොටස හා අනතුරුව තෝරාගත් නාට්‍යමය කතා පුවත වශයෙන්. පළමුවෙන්ම සභාපති සභාවට නමස්කාර කර සභාව පිළිගෙන කෝලම් නැටුම් ගුරුවරුන් ගැන විස්තර කරනවා. සභාපති වෙස් මුහුණු පළඳින්නේ නැහැ. ඔහු නික්ම ගිය පසු පිළිවෙළින් පොලිස් භටයන්, විදානආරච්චි සහ ලියනප්පු, හේවායන් පැමිණීම, නොංචි අක්කා හා ජසයා ආදී චරිත සබයට පැමිණෙනවා. ලෙන්චිනාගේ පැමිණීම, මුදලි සමග රජකට්ටුව පැමිණීම හා අනතුරුව නාග රාක්ෂ, ගුරුළු, මරුකඩ යන නැටුම් රඟ දැක්වෙනවා. අනතුරුව රඟදැක්වෙන්නේ මනමේ, සඳකිඳුරු, ගෝඨයිම්බර හා ගොන්තොටි කතාවලින් තෝරාගත් කතා පුවතක්. මෙම කොටස් රංගගත කරන විට පසුදා හිමිදිරි පාන්දර උදාවී අවසන්.
කෝලම් කතා
කෝලම් නාටකයේ ප්‍රධාන කථා ප්‍රවෘත්ති තුනක් දැක්වෙනවා. එනම් සඳකිදුරු කථාව, මනමේ කථාව හා ගෝඨයිම්බර කතාව ඒවා යි. මේවා අතරින් සඳකිදුරු කථාව හා මනමේ කථාවලට පදනම් වන්නේ චන්දකින්දර ජාතක කථාව හා චුල්ල ධනුග්ගහ ජාතකය යි. ගෝඨයිම්බර කථාව ජනප්‍රවාදයක් මුල්කර ගෙන නිර්මාණය කළ එකක්.
ගෝඨයිම්බරගේ බිරිඳ කෙරෙහි කැමැත්තක් ඇතිවන ජයසේන නැමති යක්ෂයෙක් ඈ ලබා ගැනීම සඳහා උත්සාහ කරනවා.මේ නිසා කෝපයට පත්වන ගෝඨයිම්බර ඔහුගේ හිස කඳෙන් වෙන් කරනු ලබන අතර දළරජ ජයසේන යක්ෂයාට වලස් හිසක් සවි කරනු ලබනවා.
උසින් පස් වියත් මහා සම්මත මුහුණේ
දෙවුර තුන් වියත් තුනගුල මැන ගන්නේ
තිගිරිතලේ කැටයම් කෙරු ලිස එන්නේ
සිරසේ පිපුණු නෙළුමකි කැටයම් වන්නේ
අම්බලන්ගොඩ කෝලම්
අම්බලන්ගොඩ කෝලම් නැටුම් කලාවට වසර දෙසීය පනහක අතීතයක් ඇති බව කීමට සාක්ෂ්‍ය තිබෙනවා. එදා සිංහල අවුරුද්දට කෝලම් මඩුවක් නොවරදවාම පැවැත්වුණා. කෝලම් නාටකවල කාන්තා චරිත රඟපෑවේ ද පිරිමින් විසින්.
අම්බලන්ගොඩ කෝලම් නැටුම් ගුරුකුල දෙකක් පවතිනවා. ගුරුකුලය සහ හිරේවත්ත (නම්බිමුල්ල) ගුරුකුලය එම ගුරුකුල දෙක යි. මහ අම්බලන්ගොඩ තුඩුවමුල්ල ගුරුකුලය ටුක්කාවඩු පරම්පරාව විසින් හා නම්බිමුල්ල ගුරුකුලය ජුවන්වඩු පරම්පරාව විසින් පවත්වා ගෙන එනු ලබනවා. පසුගිය කාලයේ විදේශිකයන් අම්බලන්ගොඩ කෝලම් බැලීමට උනන්දු වුණත් කොවිඩ් වසංගතය හමුවේ කාලයක් තිස්සේ කෝලම් නැටීමක් ගැන වාර්තා වන්නේ නැහැ.
රෑට නටන කෝලම්
පිටිසර ගම්මානවල රඟදැක්වෙන කෝලම් ගොවි සමාජයේ විවේකය ගතකරන විනෝදාස්වාද ක්‍රමයක්. වෙසක්, අලුත් අවුරුදු කාලය, ගම්වල ගොයම් කපා පාගා ගන්නා කාලය වගේ ගැමියන් තරමක් විවේකීය ඉන්නා සමයට තමයි කෝලම් නැටුම් පවත්වන්නේ.
ගමේ පොදු ස්ථානයක පවත්වන කෝලම් බැලීමට සෙනඟ එන්නේ රෑට ආහාර ගැනීමෙන් පසුවයි. මෑතක දී කලාතුරකින් පවත්වන කෝලම් නැටුම් එක් රැයකට සීමා වුණත් අතීතයේ දී රෑ කිහිපයක් කෝලම් නැටීම සිරිතක් වුණා. නැටුම් අංග හා විවිධ කතා රංගගත කර අවසන්වීමට එසේ දින දෙක තුනක් ගතවී තිබෙනවා.
කෝලම් නැටුම් කවි
කෝලම් නාට්‍යයේ චරිත නරඹන්නන්ට හඳුන්වා දෙන්නේ කවිවලින්. ඒවා ශබ්ද රසයෙන් පිරිපුන් කවි බව පේනවා. කෙටි චරිතයට නැඹුරුවීම, සරල බස් වහර යොදා ගැනීම, හෙළ වදන් හා උපමා බහුල ලෙස භාවිතය ආදී ලක්‍ෂණ ඒවායේ කැපී පෙනෙනවා.
මහලු කාන්තාවක් වන නොංචි කෝලම ගැන සඳහන් කවියක් මේ:
දුල්ල හැත කැරැල්ල මුහුලි යේ
තල්ල යුග කොපුල්ල හැකිලී යේ
මල්ල කොළ මැහැල්ල ඉහිලි යේ
තල්ල මත හෑල්ල නොහැරි යේ
පූර්ණක යක්‍ෂයා පිළිබඳ කරන ලද මෙම වර්ණනාවෙන් යක්ෂයාගේ ස්වභාවය පිළිබඳ කදිම චිත්‍රයක් මැවෙනවා.
සොළවා තළු දෙකකුත් එම විග සේ
ලෙලවා තම හිස විදුලිය විල සේ
බරවා කන්පොතු දෙකකුත් මෙලෙ සේ
නටනා රඟ බැස සබයේ මෙලෙ සේ