Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Lanka Comic Con 2016: ලාංකීය සුපිරි වීරයන්ගේ කල එළි දැක්ම

පසුගිය අවුරුදු කිහිපයෙන් ඇරඹි දැන් අප මේ ගත කරන කාලය සුපිරි වීරයන්ගේ පුනරුද යුගය ලෙස හැඳින්වුවොත් එය අතිශයෝක්තියක් නොවන වග මේ දිනවල අන්තර්ජාලයේ සැරිසරන ඔබට වැටහේවි. වසර ගණනකට පෙර චිත්‍රකතා චරිත ලෙස මෙලොව එළිය දුටු ඔවුන්ට, මේ දිනවල නැවතත් වඩාත් විශාල ප්‍රේක්ෂක පිරිසකගේ අවධානය දිනාගෙන තම දස්කම් දැක්වීමට අවස්ථාව උදාවී තිබෙනවා. මෑතකාලීන සිනමා හා රූපවාහිනී නිර්මාණවල ප්‍රධාන වස්තු බීජයන් ලෙස ඔවුන් යොදා ගැනීම හා ඉන් පෙර බිහිවූ එවන් නිර්මාණවලට සාපේක්ෂව වර්තමාන අර්ථ නිරූපණයන් ගුණාත්මක භාවයෙන් ඉහළ වීම මීට විශාල පිටිවහලක් වූ බව හොඳින් පෙනෙන්නට තිබෙන කරුණක්. ලෝකයේ බහුතරයක් රටවල මෙන්ම, දැන් අප රටේ රසිකයන් අතරත් මෙම සුපිරි වීරයන් පිළිබඳ සංකල්පයන් ඉතාමත් ජනප්‍රියයි. එම ජනප්‍රියතාවයත් සමඟම ලාංකීය රසිකයන් වෙත ලැබුණු සුවිශේෂී අවස්ථාවක් පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙන එන්න අප තීරණය කළා.

මොකක්ද මේ Comic Con?

ආරම්භය මෙතැනින් (screenrant.com)

ආරම්භය මෙතැනින් (screenrant.com)

‘Comic con’ ලෙස කෙටියෙන් දක්වන, ‘Comic Convention’ එකක් කියන්නේ සුපිරි වීරයන්, චිත්‍රකතා, විද්‍යා ප්‍රබන්ධ, පරිගණක ක්‍රීඩා, මනඃකල්පිත හා අබිරහස් සංසිද්ධි ආදිය අඩංගු නිර්මාණ පිළිබඳ උනන්දු රසිකයන් එකට එක්වන සමුළුවක්, නොඑසේ නම්, උත්සවයක්. මේවායේ ඇතුලත් වන සියලු අංගයන් සලකා බැලූ කළ, මෙහි ප්‍රධානතම, දැවැන්තම, හා වඩාත් වාණිජමය මුහුණුවරක් ගත් උත්සවය ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ සැන් ඩියේගෝ හි වසරක් පාසා පැවැත්වෙන San Diego Comic Con (SDCC) හැඳින්විය හැකියි. කලින් සඳහන් කළ ආකාරයට මේ සඳහා එක්වන රසිකයන්ට අමතරව තවත් ප්‍රධාන තැනක් ගන්නේ මෙහි ඉදිරිපත් කෙරෙන නිර්මාණ අයිති සමාගම්. ඔවුන් තම නවතම නිර්මාණ හා වෙළඳ භාණ්ඩ හඳුන්වා දීමට මෙය අවස්ථාවක් කරගන්නවා. මෙම ගණයට අයත් චිත්‍රපට ආදියෙහි පූර්ව ප්‍රචාරක පටවල “Comic-Con trailer, Comic-Con Exclusive” වැනි ශිර්ෂනාම ඔබ දැක ඇති. එවැනි දෑ ඔවුන් මුල්වරට ඉදිරිපත් කරන්නේ මෙහිදියි.

Avengersලා Comic Con ඇවිල්ලා (screenrant.com)

Avengersලා Comic Con ඇවිල්ලා (screenrant.com)

ඉහත දැක්වෙන ආකාරයට, තම නිර්මාණ ඉදිරිපත් කරන සමාගම් මෙන්ම ඒ ඇසුරෙන් නිර්මිත චිත්‍රපට ආදියෙහි එක් එක් චරිතවලට පණ පොවන නළු නිළියන් ද මේ සඳහා එක්වනවා. රසිකයන් ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ, මොකද ඔවුන් නිසා තමයි මෙවැනි උළෙලක් වර්ණවත් වෙන්නේ. (ඔබ The Big Bang Theory රූපවාහිනී කතා මාලාව නරඹා තිබේනම් එහි Sheldon සහ ඔහුගේ මිතුරන් මාස ගණනක සිට Comic Con යන්න සුදානම් වෙන අයුරු මතක ඇති)

Marvel රසිකයන් Comic-Con හිදී (marvel.com)

Marvel රසිකයන් Comic-Con හිදී (marvel.com)

DC Comics චරිත ඇසුරෙන් නිර්මිත  The Flash රූපවාහිනී කතාමාලාවේ නළු නිළි කැළ  (justjared.com)

DC Comics චරිත ඇසුරෙන් නිර්මිත  The Flash රූපවාහිනී කතාමාලාවේ නළු නිළි කැළ  (justjared.com)

DC රසිකයන් Comic Con හිදී (goldenlasso.net)

DC රසිකයන් Comic Con හිදී (goldenlasso.net)

කෙසේ වුවත් Comic Con කියන්නේ දැන් San Diego වලටම සීමාවූ දෙයක් නොවේ. එතරම් දැවන්තවම  නොවුණත්, ලෝකයේ තවත් රටවල් රාශියක මෙවැනි සමුළු පැවැත්වෙනවා. ලංකාවේ රසිකයන් පිරිසත් ඔවුන්ට දෙවැනි වෙන්න කැමති වුණේ නැහැ. අපිටත් දැන් Comic Con එකක් තියෙනවා.

Lanka Comic Con

Lanka Comic Con මුළුමනින්ම චිත්‍රකතා, සුපිරි වීරයන්, පරිගණක ක්‍රීඩා හා විද්‍යා ප්‍රබන්ධ ආදියට ආදරය කරන ශ්‍රී ලාංකීය රසිකයන්ගේ සංකල්පයක් හා මහන්සියේ ප්‍රතිඵලයක්. මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ Geek Club of Sri Lanka Facebook සමූහයයි. ඔබත් comic පාඨකයෙක් නම් බොහෝවිට මේ වන විටත් එම සමුහයෙහි සාමාජිකයෙකු වන්නට ඇති. පසුගිය වසරේ ප්‍රථම වතාවට සංවිධානය කෙරුණු මෙහි ප්‍රධාන  අරමුණු ලෙස; චිත්‍රකතා, සුපිරි වීරයන්, පරිගණක ක්‍රීඩා හා විද්‍යා ප්‍රබන්ධ පිළිබඳ උනන්දු හා ඒ පිළිබඳ දැඩි ඇල්මක් ඇති ශ්‍රී ලාංකීය රසික පිරිසට මෙතෙක් අහිමිව තිබූ අවස්ථාවක් වන, තමන් මෙන්ම එම අංගයන් පිළිබඳ ඇල්මක් ඇති දිවයින පුරා විසිරි සිටින අනෙකුත් රසිකයන් හා එක්වීම හා ඔවුන්ව හඳුනාගැනීමේ අවස්ථාවක් සලසා දීම, තමන් ආදරය කරන චරිත හා නිර්මාණ ඇසුරෙන් තම හැකියාවන් ඉදිරිපත් කිරීම, චිත්‍රකතා, විද්‍යා ප්‍රබන්ධ හා පරිගණක ක්‍රීඩා ආදිය නිර්මාණය කරන දේශීය නිර්මාණකරුවන්ට තම හැකියාවන් ලෝකයට ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දීම වැනි දෑ දැක්විය හැකියි. මේ මොනවා නැතත්, දවසකට දෙකකට හරි තමන්ගේ ඒකාකාරී ජිවිතයෙන් මිදිලා ටිකක් විනෝද වෙන්න ඔබත් කැමති නම්, ඒ හොඳටම ඇති. දවසකට හරි සුපිරි වීරයෙක් වෙන්න, එවැනි ලෝකයක ජීවත් වෙන්න කවුද අකමැති? දැන් කියන්න යන්නෙ ඒ සඳහා ඔබට හොඳම ලැබෙන හොඳම අවස්ථාවක් ගැන. ලොව පුරා පැවැත්වෙන ඕනෑම Comic Con එකක ප්‍රධානතම හා සුවිශේෂීම අංගයක් තමයි මේ.

Cosplay – ඔබේ ඒකාකාරී ජීවිතය තුළ සැඟවුණු පුදුමාකාර චරිතයන් ලෝකයට පෙන්වන්න

Ghosts: Special Ops Unit ලංකාවට ඇවිත්ද?  (lankacomiccon.lk)

Ghosts: Special Ops Unit ලංකාවට ඇවිත්ද?  (lankacomiccon.lk)

ඔබ Call of Duty: Ghosts පරිගණක ක්‍රීඩාව පිළබඳ දැනුවත් කෙනෙක් නම් මේ ඡායාරූපයේ ඉන්න කෙනාව නොදැන ඉන්න විදිහක් නැහැ. නමුත් මේ තියෙන්නෙ ක්‍රීඩාවෙන් ලබාගත් screenshot එකක් හෝ එහි වෙළඳ ප්‍රචාරණ පෝස්ටරයකින් ලබාගත් රූපයක්ද නොවෙයි. ඔබ මේ දකින්නේ ශ්‍රී ලාංකීය CoD: Ghosts රසිකයෙකු තමන් විසින්ම නිර්මාණය කරගත් ඇඳුම් ආයිත්තම් ඇසුරෙන් එම ක්‍රීඩාවේ ප්‍රධාන චරිතයක් වන Lieutenant David “Hesh” Walkerව නිරූපණය කරන අවස්ථාවක්. අදහාගන්න අමාරුයි වගේ ද? Cosplay කලාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා!

‘Costume Play’ නැතහොත් වඩාත් ජනප්‍රිය ආකාරයට cosplay ලෙස කෙටියෙන් හඳුන්වන මෙය ඔබට ආගන්තුක සංකල්පයක් නම්, තේරුම් ගැනීමේ පහසුව සඳහා සරලව, ‘වේශ නිරූපණයක්’ ලෙස දැක්විය හැකියි. නමුත් අවධාරණය කළ යුතු කරුණක් වන්නේ සමහරෙක් සිතා සිටින ආකාරයට මෙය එහෙන් මෙහෙන් අහුලාගත් ඇඳුම් හා makeup ටිකක් යොදාගෙන කරන්න පුළුවන් වැඩක් නොවන වග. Cosplay සඳහා වයස් සීමාවක් හෝ ගැහැණු පිරිමි භේදයක් නැහැ. නමුත් වැදගත් වන්නේ තමන්ට ගැළපෙන, තමන්ට හොඳින් නිරූපණය කළ හැකි, තමාට වඩාත් හුරුපුරුදු චරිතයක් තෝරාගැනීමයි. මේ සඳහා ඕනෑතරම් චරිත ඔබ ආදරය කරන සුපිරි වීරයන්, චිත්‍රකතා, කාටූන්, විද්‍යා ප්‍රබන්ධ, සිනමා නිර්මාණ හා පරිගණක ක්‍රීඩා ඇසුරෙන් සොයාගැනීමේ අවස්ථාව තිබෙනවා. ඔබේ නිරූපණය එය අඩංගු මුල් නිර්මාණයට හා චරිතයට කෙතරම් සාධාරණයක් ඉටු කරන්නේද යන්න මත එහි සාර්ථකත්වය රඳා පවතිනවා.

පසුගිය වසරේ ප්‍රථම වරට පැවැත්වුණු Lanka Comic Con සඳහා සහභාගී වූ cosplayers පිරිසක් (moviepilot.com Credit: Ruwen Gy Sil)

පසුගිය වසරේ ප්‍රථම වරට පැවැත්වුණු Lanka Comic Con සඳහා සහභාගී වූ cosplayers පිරිසක් (moviepilot.com Credit: Ruwen Gy Sil)

මෙවැනි නිරූපණයක් සාර්ථක වීම සඳහා බොහෝ කරුණු ඉවහල් වුවත් බාහිර පෙනුම ඉන් ප්‍රධාන තැනක් ගන්නවා. මේ සඳහා මිලදී ගැනීමට හැකි ඇඳුම් (costumes) අන්තර්ජාලයේ ඕනෑතරම් සොයාගත හැකියි. නමුත් බොහෝ විට ඒවායේ මිල ගණන් ඉතා ඉහළයි. නමුත් ඔබේ නිර්මාණශීලි හැකියාවන් භාවිතයෙන් ඔබටම තනාගැනීමට හැකි ඇඳුම් හා ආම්පන්න භාවිතයෙන් අඩු මුදලකට ඉතා ආකර්ශණිය නිරුපණයක් කිරීමේ හැකියාව තිබෙනවා. මීට හොඳම උදාහරණයක් පහතින් දැක්වෙනවා.

සරල නමුත් විශිෂ්ට නිරූපණයක් (Credit: Geek Club of Sri Lanka)

සරල නමුත් විශිෂ්ට නිරූපණයක් (Credit: Geek Club of Sri Lanka)

Gotham රූපවාහිනී කතාමාලාවේ එන ආකාරයට ලාංකීය රසිකයෙකු විසින් DC Comics හි චිත්‍රකතා චරිතයක් වන Oswald Cobblepot, නැතහොත් ,Penguin’ නිරූපණය කළ අයුරුයි ඔබ මේ දකින්නේ. මේ cosplay එක සඳහා ඔහුට විශේෂයෙන් ඇඳුම් නිර්මාණය කිරීමට අවශ්‍ය වී නැහැ. නමුත් ඉදිරිපත් කිරීම ඉතා සාර්ථකයි. සාර්ථක cosplay එකක් සඳහා ඇඳුමට අමතරව අංගරචනය, තමන් නිරුපණය කරන චරිතයේ ගමන් විලාසය, හැසිරෙන ආකාරය, කථා විලාසය ආදී දෑ  අනුකරණය කිරීමට cosplayerට ඇති හැකියාව ද බලපානවා.

ලංකාවට තරමක අලුත් සංකල්පයක් වුණත් මෙය ලෝකය පුරාම දැන් ඉතාම ජනප්‍රියයි. සංකල්පය අලුත් වුණත් අපේ cosplayersලා  ගේ වැඩ නම් ආධුනික ලෙස සලකන්න බැහැ. ඔබ දැනට දුටු ඡායාරූපවලට අමතරම පසුගිය Lanka Comic Con හි දක්නට ලැබුණු තවත් ආකර්ශණිය cosplay කිහිපයක් පහතින් දැක්වෙනවා.

මේ Supermanව අඳුරනවද බලන්න (Credit: Geek Club of Sri Lanka)

මේ Supermanව අඳුරනවද බලන්න (Credit: Geek Club of Sri Lanka)

බුබුළු නගින බෙලිකටු සහ කැරකෙන දඟර සුළං (Credit: Geek Club of Sri Lanka)

බුබුළු නගින බෙලිකටු සහ කැරකෙන දඟර සුළං (Credit: Geek Club of Sri Lanka)

විෂඝෝර cosplay  (Credit: Geek Club of Sri Lanka)

විෂඝෝර cosplay  (Credit: Geek Club of Sri Lanka)

Lanka Comic Con 2015 හි ඉදිරිපත් වූ තවත් cosplay නිර්මාණ බලන්න මෙතැනින්.

ලිපිය කියවන ඔබට හිතෙනවා නම් මෙවැනි ඉදිරිපත් කිරීමක් සඳහා ඔබටත් හැකියාව ඇති බවට, ඒ සඳහා හොඳම අවස්ථාව Lanka Comic Con බව දැන් අප අමුතුවෙන් කිවයුතු නැහැ. මෙම වසරේ පැවැත්වෙන එහි දෙවන අදියර සඳහා ඔබත් සහභාගී වෙන්න අමතක කරන්න එපා. හොඳම cosplays තෝරන තරඟවලට ඇතුළත් වී ජයග්‍රහණය කරන්න ඔබටත් පුළුවන්. කවදා ද? කොහේ ද? කොහොමද? ඒ ගැනත් අපි කියන්නම්. හැබැයි සමහර අයට දැන් මෙහෙම ප්‍රශ්නයක් ඇති.

Cosplay කරන්නෙ නැති අයට comic con එන්න බැරිද?

Cosplay කියන්නේ comic con එකක ප්‍රධානම අංගයක් වුණත් comic con = cosplay කියල දෙයක් නැහැ. අප කලින් සඳහන් කළ පරිදි මෙවැනි සමුළුවක්/උත්සවයක් මගින් ආවරණය වන ඕනෑම විෂය ක්ෂේත්‍රයක් පිළිබඳ ඔබ උනන්දු නම්, මෙහි පැමිණීමට අවශ්‍ය එකම සුදුසුකම එපමණයි. මේ වසරේ Lanka Comic Con වෙත එන ඔබ සඳහා වෙන්වුණු විවිධාකාර ක්‍රියාකාරකම් රැසක් තිබෙනවා. Cosplay අංගයන්ට අමතරව, චිත්‍රකතා, පරිගණක ක්‍රීඩා, විද්‍යා ප්‍රබන්ධ ආදී ක්ෂේත්‍රයන්ට සම්බන්ධ චිත්‍ර හා වෙනත් වෙළඳ භාණ්ඩ මිළදී ගැනීමේ පහසුකම්, එවැනි ක්ෂේත්‍රයන්හි නිර්මාණකරුවන් හා ඔබ වැනි තවත් ඒ පිළිබඳ උනන්දු රසිකයන් හමුවීමේ හැකියාව, ඔබ උනන්දුවක් දක්වන ක්ෂේත්‍රයන් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමේ හැකියාව හා තවත් විනෝදජනක අංග රාශියක් මේ වනවිටත් සංවිධානය කෙරෙමින් පවතිනවා. විශේෂයෙන්ම, ඔබ පරිගණක ක්‍රීඩා ප්‍රියකරන්නෙක් නම්, gaming PC එකක් හෝ laptop එකක් මිලදී ගැනීමට අදහසක් තිබේ නම්, Lanka Comic Con 2016හි ඇති Acer Predator වෙළඳ කුටියට පැමිණ එහි ඇති නවීනතම පරිගණක ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන පරිදි තෝරාගත හැකියි. මීට අමතරව කුඩා දරුවන් සඳහා Dungeons and Dragons වැනි ක්‍රීඩා ඇතුළු විවිධ ක්‍රියාකාරකම් රැසක් ද මෙහි ඇතුලත්.

Lionborn – සිංහබාහු Comic පුනරාගමනය

අද අපි දකින බොහෝ සුපිරි වීර චරිතවල උපත සිදුවන්නේ බටහිර චිත්‍රකතාවල, ඔවුන්ගේ සංස්කෘතිය හා පුරාවෘත්ත ඇසුරෙන්. මේ සටහන අපේ ඉතිහාස කතාවල ප්‍රමුඛස්ථානයක් ගන්නා සිංහබාහු පුරාවෘත්තය ඇසුරෙන් නිර්මාණය වුණු චිත්‍රකතාවක් පිළිබඳව. ජාත්‍යන්තර චිත්‍රපට උළෙල බොහෝමයක තිරගත වූ කෙටි චිත්‍රපට රැසකට හිමිකම් කියන, ඉතා නිර්මාණශීලි ශ්‍රී ලාංකීය කෙටි චිත්‍රපට නිපැයුම්කරුවෙකු වන සචී එදිරිවීර විසින් රචිත Lionborn, සිංහබාහු පුරාවෘත්තය ඇසුරෙන් නිර්මාණය වුණු වෙනස් ආරක චිත්‍ර කතාවක්. මෙහි සියලු චිත්‍ර සටහන් ද ඔහු විසින්ම නිර්මාණය කර ඇති අතර, වර්ණ සංයෝජනය Chris Lissman විසින් සිදුකර තිබෙනවා.

සිංහබාහු comic කරළියට  (Credits: Sachi Ediriweera)

සිංහබාහු comic කරළියට  (Credits: Sachi Ediriweera)

කොටස් හතකින් සමන්විත චිත්‍රකතා මාලාවක් වන Lionbornහි ප්‍රථම වෙළුම ඔබට Lanka Comic Con 2016 හිදී මිළදී ගත හැකියි. මෙහි කවරයේ චිත්‍ර ජාත්‍යන්තර කීර්තියට පත් චිත්‍ර ශිල්පී Brett Weldele විසින් නිර්මාණය කෙරෙන බව සඳහන්. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා Lionborn Facebook පිටුවට පිවිසෙන්න. කර්තෘ සචී එදිරිවීර ගේ කෙටි චිත්‍රපට කිහිපයක් ඔබට මෙතැනින් නැරඹිය හැකියි.

Lionborn ද ඇතුළුව තවත් ශ්‍රී ලාංකීය නිර්මාණකරුවන්ගේ නිර්මාණ හා Lanka Comic Con 2016 හිදී ඔබට මිළදී ගත හැකි දෑ සියල්ල පිළිබඳ වැඩිදුර තොරතුරු මේ සබැඳියෙන් දැනගන්න පුළුවන්.

Lanka Comic Con 2016 සඳහා පෙර සූදානම

Comic Con ප්‍රවර්ධන කටයුතු සඳහා ශ්‍රී ලාංකීය cosplayersලා පිරිසක් පසුගිය දවස්වල කොළඹ අවට පොඩි චාරිකාවක යෙදුණා. Lanka Comic Con 2016 හි ඔබට දැකගැනීමට හැකිවන ආකර්ශණිය cosplay වලින් කිහිපයක පෙර දැක්මක් වගේම මෙය කොතරම් සුන්දර හා විනෝදජනක අත්දැකීමක් ද යන්න ඔබට මේ ඡායාරුප පවසාවි.

සුපිරි වීරයෝ වුණත් ලංකාවෙ නම් බස් එකේ තමයි ගමන (lankacomiccon.lk)

සුපිරි වීරයෝ වුණත් ලංකාවෙ නම් බස් එකේ තමයි ගමන (lankacomiccon.lk)

NightWing, Scarlet Witch සහ Hitman සුහද පිළිසඳරක (lankacomiccon.lk)

NightWing, Scarlet Witch සහ Hitman සුහද පිළිසඳරක (lankacomiccon.lk)

කොහොමද මේ cosplay එක? (lankacomiccon.lk)

කොහොමද මේ cosplay එක? (lankacomiccon.lk)

Maleficent නිදහස් චතුරශ්‍රය ආක්‍රමණය කරලද? (lankacomiccon.lk)

Maleficent නිදහස් චතුරශ්‍රය ආක්‍රමණය කරලද? (lankacomiccon.lk)

අපිත් එක්ක ඔබත් එන්න (lankacomiccon.lk)

අපිත් එක්ක ඔබත් එන්න (lankacomiccon.lk)

මේ වනවිට නම් ඔබ Lanka Comic Con 2016 සඳහා සහභාගී වීමට තීරණය කර ඇති බවට නොඅනුමානයි. ඔබේ කලබලකාරී කාර්යබහුල ජිවිතයෙන් මදකට ඈත්වෙලා අමුතුම ආකර්ශණිය ලෝකයකට යන්න ඔබට කරන ඇරයුමක් මේ. මෙය කියවන ඔබත් මේ සඳහා උනන්දුවක් දක්වනවා නම්, අගෝස්තු 20 උදෑසන 10 සිට, 21 වනදා සවස 6 වනතෙක් කොළඹ හෝර්ටන් පෙදෙසේ  JDA Perera Gallery වෙත පැමිණ මෙයට සහභාගී වීමට පුළුවන්. ඔබේ ආකර්ශණිය හා නිර්මාණශීලි cosplays ඇතුළු විවිධාකාර නිර්මාණ රැගෙන එන්නත් අමතක කරන්න එපා.

Lanka Comic Con පිළිබඳ සියලු තොරතුරු සවිස්තරාත්මකව ලබාගැනීමට එහි නිල වෙබ් අඩවියට මෙතැනින් පිවිසෙන්න.

මේ සඳහා වන Facebook event එක සහ ඒ ආශ්‍රිත තොරතුරු සඳහා මේ සබැඳිය වෙත යන්න.

නොවරදවාම එන්න  (lankacomiccon.lk)

නොවරදවාම එන්න  (lankacomiccon.lk)

සුපිරි වීරයන් හා මෙකී නොකී සියලු චරිත සමග ඔබේ සිතැඟි බෙදාගන්න, තරඟ කරන්න, ආකර්ශණිය කලා නිර්මාණ ඔබේම කරගන්න, වසරේ දැවැන්තම ලාංකීය comic කලා සමුළුවට ඔබත් එන්න!

කවරයේ පින්තුරය: Roar.lk/ගසාලා අන්වර් 

Related Articles