Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ආසියානුවන් ලෙඩවලින් බේරෙන්නට ගන්නා ස්වභාවික ඔසුව

කොවිඩ් වසංගතය පැමිණි මුල් කාලයේ එයට ප්‍රතිශක්තියක් තිබෙන බවට වූ ප්‍රචාරය නිසා සිංහල බෙහෙත් බඩු කඩ ඉදිරිපිට පෝලිම් ගැසී පෙරුම්කායම් කැබලි මිල දී ගැනීමට විශාල පිරිසක් පොරකෑවා. මේ නිසා රු. 20ට පමණ අලෙවි කළ පෙරුම්කායම් කැබලි රු. 500කටවත් වඩා වැඩි මිලකට අලෙවි වූ බව මාධ්‍යවලින් වාර්තා කළා. හිටි ගමන් මිනිසුන් හොයන්න ගත්ත පෙරුම්කායම් ගැන විස්තර සොයායාමට අපි අදහස් කළා.

කොවිඩ්වලට ගුණ ද?

ලංකාවේ අලෙවියට ඇති පෙරුම්කායම් මුල් -daraz.lk

මේ ඔසුව පුරාණයේ පටන් දරුවන්ගේ සෙම්රෝග ආදියට අත්බෙහෙතක් විදිහට දෙන එක සමාජයේ දක්නට ලැබුණා. ඒ, වයිරස්වලින් වන හානියට ඉන් ප්‍රතිශක්තියක් ලද හැකි බවට වූ විශ්වාසය හින්දා යි. නමුත් ‘පෙරුම්කායම් මත පදනම් වූ දේශීය ඖෂධයකින් කොරෝනා රෝගයට එරෙහි ප්‍රතිශක්තියක්’ ලද හැකි බවට පවතින කටකතාවල නම් පූර්ණ සත්‍යතාවක් නැති බව යි ආයුර්වේද වෛද්‍ය විශේෂඥයන් බවසන්නේ. පැළෑටි නිස්සාරණ ගණනාවක් මානව දේහයේ ස්වාභාවික ප්‍රතිශක්තිය තියුණු කරන බව සත්‍යයක් වුවත්, නිශ්චිත රෝග කාරකයකට එරෙහිව පූර්ණ රැකවරණය ලබාදිය හැකි ප්‍රතිශක්තියක් නිශ්චිත ශාක ප්‍රභවයකින් ලැබෙනවා යයි කීමට පර්යේෂණාත්මක සාක්ෂ්‍ය නැති බව යි පැවසෙන්නේ. 

එවැනි තත්ත්වයක් පවතිද්දී පෙරුම්කායම් පාවිච්චියෙන් කොරෝනා රෝගයෙන් ආරක්ෂා විය හැකියැ යි කීම වගකීම් රහිතව මහජනයා මුලා කිරීමක්.

ගඳම කුළුබඩුව

මල් සහ පෙරුම්කායම් මැලියම් කුඩු- greekmedicine.net 

ලෝකයේ ගඳම කුළුබඩුව ලෙස සැලකෙන පෙරුම්කායම් ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ ඇස්ෆටීඩා කියල යි. මේ වචනය සෑදී ඇත්තේ පර්සි භාෂාවෙන් Asafoe tide (මැලියම්) යන්නත්, ලතින් භාෂාවෙන් ASA පිටීඩා (ගඳ) යන්නත් එකතු වීමෙන්. මෙයින් සැර ගඳක් නිකුත් වන්නේ එහි අඩංගු සල්ෆර් හින්දා යි.මෙය කැටයක් වශයෙන් තියෙන කොට සැර සුවඳකුත්, ආහාරවලට දැමූ පසු ප්‍රණීත සුවඳක් සහ රසයකුත් පවතිනවා.

දෙවියන්ගේ ආහාරය – britannica.com

ජර්මනිය, ස්විට්සර්ලන්තය, ප්‍රංශය, රෝමය, පර්සියාව, තුර්කිය ආදී රටවල් පෙරුම්කායම් හඳුන්වන්නේ “ඩෙවිල්ස් ඩන්ග්” යනුවෙන්. එහි තේරුම වන්නේ ‘යක්ෂයාගේ අසූචි’ යන්න යි.

“දෙවියන්ගේ ආහාරය” ලෙසින් ද ලොව ප්‍රසිද්ධ පෙරුම්කායම් ගස විද්‍යාත්මකව හඳුන්වන්නේ Ferula asafoetida කියල යි. මෙයට කන්නඩ භාෂාවෙන් “ඉන්ගු” කියලත්, දමිළ භාෂාවෙන් “පෙරුම්කායම්” කියලත් ව්‍යවහාර වෙනවා. අපිත් කියන්නේ දෙමළ නම තමයි.

පෙරුම්කායම් කියන්නේ මොනවා ද?

ෆෙරුලා පැළෑටියේ කොටස් -herbco.com

පෙරුම්කායම් යනු ෆෙරුලා කියන පැළෑටියෙන් ලබාගන්නා මැලියම් වර්ගයක්. මේ ගස් වැඩි වශයෙන් ශුෂ්ක දේශගුණයේ තමයි වැවෙන්නේ. මීටර් 1-4ක් දක්වා උසට වැඩෙන පැළෑටි වර්ගයේ බහු වාර්ෂික ශාකයක්. 

ෆෙරුලා පැළෑටි ප්‍රධාන වශයෙන් ඉරානය, ඇෆ්ගනිස්ථානය, සහ පකිස්ථානයේ වගා කරනවා. ඉන්දියාවේ එය වගා කරනු ලබන්නේ කාශ්මීර ප්‍රාන්තයේ. ඒවායින් නිෂ්පාදිත පෙරුම්කායම් ලෝකයේ සෙසු රටවලට අපනයනය කරනු ලබනවා. මේ ශාකයේ කොළ සිහින්. කහ පාට මල් හටගන්නවා. මුල් ඝන සහ පල්ප ස්වභාවයක් ගන්නවා. එයත් කඳට සමානව මැලියම් රෙසීනය ලබා දෙනවා. ශාකයේ සියලුම කොටස්වල එයට සුවිශේෂී වූ ගඳ සුවඳ සහිත යි.

ෆෙරුලා වගාවක මල් පිපී – krishijagran.com

මාර්තු සහ අප්‍රේල් මාසවල දී, මල් හට ගැනීමට පෙර, අතු, දළු මුලෙහි කට්ට කපා  ගසින් කිරි වැනි ද්‍රාවණය පිටවීමට සලස්වනවා. එය වියළී දුම්මල සෑදෙනවා. මේවා එකතු කරගෙන යලිත් කඳට නැවුම් කැපුමක් දමනවා. මෙම ක්‍රියාවලිය පළමු කැපීමෙන් මාස තුනක් පමණ සිදුකෙරෙන අතර එම කාලය වන විට දුම්මල රාත්තල් දෙකක් දක්වා ලබාදීමට ගස සමත් වෙනවා.

ඉතිහාස කතා

පෙරුම්කායම් මල්- healthline.com

පෙරුම්කායම්වල ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 600 දක්වා ඈතට දිව යනවා. ලිබියාවේ නැගෙනහිර ප්‍රදේශයේ සයිනේරියල් ප්‍රදේශයේ සිල්පියම් නමැති ගස් වර්ගයකින් ලබාගන්නා මැලියම් භාවිතය පෙරුම්කායම් නම් වූ ඖෂධයේ උත්පත්තිය යි. ක්‍රි. පූ. යුගයේ දී බැබිලෝනියාවේ රජ වූ ‘මාර්ලුක් ඩොක්අජ්ලා ඉඩ්ඩා II’ රජුගේ මල්වත්තේ සිල්පියම් නම් වූ පෙරුම්කායම් ගස් විශාල වශයෙන් සිටුවා තිබූ බව ද සඳහන් වෙනවා.  

එකතු කරගත් මැලියම් – wikipedia.org

පෙරුම්කායම්වල ඉල්ලුම වටහාගත් පර්සියන් වෙළෙඳුන් මේවා එකතුකර ගෙන රෝමය, බැග්ඩෑඩ්, ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය, ඉරානය ආදී නගර සහ රටවලටත්, යුරෝපයටත් බෙද‌ාහරින්නට පටන් ගත්තා. විශේෂ කුළුබඩු වර්ගයක් ලෙස මෙය භාවිතයට ගත්තේ එයින් ලබාදුන් අපූරු රසය නිසාම යි. පෙරුම්කායම් විෂබීජ නාශකයක් ලෙසට හඳුනා ගත්තේ මධ්‍යතන කාලයෙන් පසුව යි.

සියවස් ගණනාවක් අතීතයේ සිට ඉන්දියානුවන් දේශීය වෛද්‍ය ක්‍රමයට සහ සහ ආහාර පිසීමේ දී පෙරුම්කායම් භාවිත කරනවා. ‍පෙරුම්කායම් භාරතයේ වැඩිපුරම භාවිතා කරන්නේ නිර්මාංශ ආහාර පිසීමේ දී යි. ළූණු සහ සුදු ළූණු පරිභෝජනය තහනම් බ්‍රාහ්මණ සහ ජෛන කුලවල අය මෙය වැඩි වශයෙන් භාවිත කරන බව පැවසෙනවා. බොහෝවිට ධාන්‍ය බෝග ආහාර සඳහාත් (බඩ පුරවා දැමීම වැලකීමට මෙය භාවිතා කරයි), නිර්මාංශ සුප් සහ අච්චාරුවලටත් භාවිතා කෙරෙනවා. ඔවුන් බොහෝ මත්ස්‍ය ආහාර වට්ටෝරු සඳහා ද පෙරුම්කායම් භාවිත කරන අතර පපඩම් වර්ගද මෙමඟින් පදම්කර සාදා තිබෙනවා.

ගුණ රැසක්

පෙරුම්කායම් -m.indiamart.com

පෙරුම්කායම් බඩපුරවා දැමීම වළක්වන සහ විසහරණ  ඔසුවත්. එය ඇදුම, ශ්වාසනාලිකා ප්‍රදාහය, කක්කල් කැස්ස සඳහා ද ආයුර්වේදයේ නිර්දේශ කර තිබෙනවා. යුරෝපීය රටවල් කිහිපයක ද  රෝගයන්ගෙන් ආරක්ෂා වීම සඳහා කුඩා පෙරුම්කායම් කොටසක් නූලක ගැට ගසා කුඩා දරුවන්ගේ ගෙලෙහි ගැටගැසීම කරනු ලබන බව වාර්තා වෙනවා. එය අප රටේත් වසංගත සමයක තවමත් භාවිත කරන ක්‍රමයක්.

පෙරුම්කායම් ස්නායු රෝගවලට, සෙමට, ඇඳුමට, හුස්ම ගැනීමේ අපහසුතාවලට, උගුරේ අමාරුවලට, වාත දෝෂවලට, කෑම දිරවීමට, බඩේ වේදනාවලට, කොලෙස්ටරෝල් වගේම මානසික රෝග සඳහාත් ගුණදායක වෙනවා. ආයුර්වේදයට අනුව නියමිත මාත්‍රාව වෛද්‍ය උපදෙස් මත ගැනීමෙන් උදරාබාධ මෙන්ම අම්ලපිත්ත රෝගය, වකුගඩුවේ ගල්, ගලනාල රෝග සුව වෙනවා.  

මෙහි ඇති රුධිරය කැටි ගැසීම අඩු කරන ගතිය නිසා ගැබිනි මව්වරුන්ටත්, කුඩා ළමයින්ටත් සුදුසු නොවේ. මේ ගුණය නිසා සමහර රට වල ගබ්සාකාරකයක් විදිහටත් පෙරුම්කායම් පාවිච්චි කරනවා. පුරුෂයින්ගේ ලිංගික උදාසීනත්වයට හා අසාර්ථකත්වය මඟහරවා ගැනීමට පෙරුම්කායම් ප්‍රබල වාජීකරණයක් බව ඉන්දියානුවන්ගේ පාරම්පරික විශ්වාසයක්. නේපාලයේ සහ ටිබැටයේ කඳු තරණය කරන්නෝ පෙරුම්කායම් නිතර නිතර භාවිත කරන බව පැවසෙනවා.

බැක්ටීරියාවලට බැට දෙයි

පෙරුම්කායම් ගස අලංකාර මලින් බරවී – theweek.in

මෙම ඔසුව ඇතැම් බැක්ටීරියා, දිලීර, සහ ක්ෂුද්‍ර ජීවි ආසාදනවලට එරෙහිව ක්‍රියාකරන බව වෛද්‍ය පර්යේෂණවලින් හෙළිවී තිබෙනවා. අධි රුධීර පීඩනය අඩු කිරීමටත්, පිළිකාවලට එඓහිව සටන් වැදීමටත් එය සමත් බව කියැවෙනවා. මොළයේ සුරැකුමටත් එය බලපානවා. 

මෙම ශාකයේ මුල් sesquiterpenc coumarins නම් ප්‍රති වෛරසකාරක සංයෝගය නිපදවන බවත්, එය ඇතැම් ඉන්ෆ්ලුවෙන්සා වෛරස ආසාදනයන්ට ප්‍රතිකාරයක් විය හැකි බවත් 2009 වසරේ දී පර්යේෂණ මඟින් සොයාගෙන තිබෙන කරුණක්.

වෙළෙඳපොළ

විවිධ නිපැයුම්වලින් වෙළෙඳපොළට පැමිණ -quora.com

ලෝකයේම පෙරුම්කායම් වෙළෙඳපොළ ජයගෙන ඇත්තේ ඇෆ්ගනිස්ථානය යි. ඊසාන දේශසීමාව අසල හේරට් නගරයේ බහුලව පෙරුම්කායම් තොග අලෙවිය සිදුවෙනවා.  2017 වසරේ දී ඉන්දියාවට ආනයනය කෙරුණු පෙරුම්කායම්වලින් 92%ක්ම ආනයනය කර ඇත්තේ ඇෆ්ගනිස්ථානයෙන්.  ඇෆ්ගනිස්ථනයේ මෙය ඖෂධයක් ලෙසට ද භාවිතා කෙරෙනවා. ඉරානය හා ඇෆ්ගනිස්ථානය වාර්ෂිකව පෙරුම්කායම් ටොන් 500ක් 600ක් අතර නිපදවනවා.  

ලෝකයෙන්ම වැඩිපුරම පෙරුම්කායම් භාවිතය ඇත්තේ ඉන්දියාවේ යි. සංස්කෘත භාෂාවෙන් හන් යනුවෙන් හැඳින්වෙන මෙයට ඉන්දියාවේ කියන්නේ හින්ජ් කියලයි. ඉන්දියාවේ අල හා පරිප්පුවල ව්‍යාංජනට පෙරුම්කායම් යොදනවා. චට්නි ආදියේ ද පෙරුම්කායම් අඩංගු යි.  

ඉන්දියාවේ නවදිල්ලියේ මේවායින් තවත් නිෂ්පාදන සකසන්නේ ගම් ඇරබික් නම්‍ රෙසින කුඩු සමග පිටි කලවම් කිරීමෙන්. මේවායේ පෙරුම්කායම්වල එන සැර සුවඳ ඉතා අඩු යි. යුරෝපයේ හා උතුරු ඇමෙරිකානු රටවල ඒවා බන්ධරිහනි නමින් වෙළෙඳපොළේ දැකගත හැකියි.  ඉන්දියාවේ මෙන්ම යුරෝපයෙත් පෙරුම්කායම් කරල්, පෙරුම්කායම් තෙල් වෙළෙඳපළේ අලෙවියට තිබෙනවා. අප රටේ නම් ඒවා අලෙවි කරන්නේ ඝන කැට හෝ කුඩු ලෙස යි.

පෙරුම්කායම් නව නිපැයුම්

පෙරුම්කායම් කැට – m.indiamart.com

පිටි වර්ග, කහ, ගම් ඇරබික් සමග පෙරුම්කායම් මිශ්‍ර කොට එංගලන්තයේ නිෂ්පාදනය කරනු ලබන පෙරුම්කායම් කුඩු වර්ගවල ඉන් නිකුත් වන අප්‍රසන්න ගන්ධය මුළුමනින්ම ඉවත්කොට තිබෙනවා.  එංගලන්තයේ ලෝක ප්‍රසිද්ධ සෝස් වර්ගයක් වන වුස්ටර්ෂයර් සෝස් නිෂ්පාදනය කරනු ලබන්නේ පෙරුම්කායම් හා සියඹලා උපයෝගී කර ගනිමින්. මේවා පෙති, කරල්, කුඩු වශයෙන් ලෝක වෙළෙඳපොළේ දක්නට දැබෙනවා. අරාබි ජාතිකයන් කිරි හෝ උණු වතුරට මිශ්‍ර කොට පෙරුම්කායම් පාවිච්චි කරනවා. ආහාරවලට ද කලවම් කරනවා.   

පෙරුම්කායම් භාවිතයේ දී විශේෂයෙන්ම පරෙස්සම් විය යුත්තේ එය නියමිත මාත්‍රාවට භාවිතයට ගැනීමට යි. වඩාත්ම සුදුසු වන්නේ බෙහෙතක් වශයෙන් පාවිච්චි කරන්නන් වෛද්‍ය උපදෙස් මත පමණක් භාවිතයට යොමුවීම යි.  

වැඩිවුණොත් ලෙඩ

පෙරුම්කායම් භාවිතා කරන ප්‍රමාණය වැඩි වුවහොත් අතුරු ආබාධ රැසක් ද ඇති වීමට ඉඩ තිබෙනවා. තොල් ඉදිමීම, නිතර නිතර ආම වාතය පිටවීම, පාචන ස්වභාවය, මීමැස්මොරය, හිසරදය ඒවා යි.  

ආශ්‍රිත මූලාශ්‍රයයන්:               

Healthline.com

Lankadeepa.lk

Dinamina.lk

Captions

Cover –වර්ණ ගැන්වූ පෙරුම්කායම් කුඩු - bbcgoodfoods.com

Related Articles