පුරාණ ලෝකයේ මිනිසුන්ට ස්ත්‍රී පුරුෂ කාම සම්භෝගයෙන් දරුවන් ඉපදීම පුදුමාකාර දෙයක් වුණා. මේ නිසා ඒ සදහා දායකවන ස්ත්‍රී යෝනිය සහ පුරුෂ ලිංගය යන අවයව වන්දනා කිරීමට ඔවුන් පටන් ගත් බව යි පෙනෙන්නේ. සමහරු පවසන්නේ මුලින්ම ස්ත්‍රී යෝනියට වන්දනා කළ මාතෘ මූලික සමාජයක් පැවති බව යි. පසුව පිතෘ මූලික සමාජයක් ඇරඹුණු විට පුරුෂ ලිංග වන්දනාව ආරම්භ වූ බවටත් අදහසක් පවතිනවා. අද ලංකාවෙ නම් මේ වන්දනාව අහෝසි වෙලා විතරක් නොවෙයි, ඒ ගැන කතාකිරීමත් සමාජ විරෝධයක් එල්ල වන කාරණයක් විය හැකියි. හැබැයි ඉතින් පුරාණ ලංකාවෙ එවැනි වතාවතක් පැවති බවට පුරාවිද්‍යාත්මක සාධක රාශියක් ලැබී තිබෙනවා.
ලෝකයේ ලිංග වන්දනාව
ලෝකයේ පුරාණ ශිෂ්ටාචාර රාශියකම මේ වන්දනාව පැවති බවට සාධක හමුවෙනවා. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය පැවති මොහෙන්දජාරෝ හරප්පාවලින් මැටි පුරුෂ ලිංග මූර්ති බහුලව හමුවී තිබෙනවා. හරප්පාවලින් පමණක් හමුවූ ලිංග රූප ප්‍රමාණය 600කට අධික යි. ඉන්දු නිම්නයේ මව් දෙවගනගේ සංකේතයක් ලෙස යෝනි රූපය පිදීම කර තිබෙනවා. 18 වැනි ඊජිප්තු රාජවංශ යුගයේ දී මිසර වාසීන් හතෝර් නම් සශ්‍රීකත්වයේ (සහ ප්‍රජනනයේ) දේවතාවියට ලීයෙන්, ගලින්, සහ මැටියෙන් කළ ලිංගරූප පූජා කර තිබෙනවා.
අප්‍රිකා ගෝත්‍ර දෙකක් වන ෂරාමෝ සහ වෂරාමෝ දැරියන්ගේ වැඩිවිය පැමිණීමේ මඟුල් සදහා ලිංගරූපී දැව බෝනික්කන් භාවිත කරනවා. භූතානය, තායිලන්තය, ජපානය ග්‍රීසිය, ඉරානය, ඉන්දියාව වගේ රටවල විවිධ ජනකොටස් අතර අදත් ලිංග වන්දනාව පවතිනවා. ලංකාවෙ නම් තවමත් ශිව දෙවියන් අදහන විට ශිව ලිංග වන්දනාව පමණ යි කරන්නේ.
ශිව ලිංගය
පුරාණයේ සිට අදටත් පවතින ශිව ලිංග වන්දනාව අරමුණු කිහිපයක් මත පවත්වන පූජාවක්. විවාහය ප්‍රමාද වීම, දරු සම්පත් හිමිකර ගැනීම, ස්ත්‍රී පුරුෂයන් අතර ලිංගික ගැටලු විසදා ගැනීම, ලිංගික ක්‍රියාවලියේ බාධා මඟහරවා ගෙන පවුල් ජීවිතයේ මිහිර වැඩිකර ගැනීම ඒ පරමාර්ථ කිහිපයක්. ශිව ලිංගය කිරෙන් නහවා තමයි මේ පූජා පවත්වන්නේ. ලෝකය කොතරම් ඩිජිටල් යුගයක සිටියත් කොපමණ පිරිසක් ශිව ලිංගයට කිරි වත්කරනවා දැවි ශිව කෝවිලකට ගිය විට ඔබට පෙනේවි.
ලිංග ඇදහීම ඉන්දියාවේ දී ඉහළම තත්ත්වයට වර්ධනය වුණා. එහි කාජුරාහෝ වැනි දේවාලවල විවිධ ලිංගික අවස්ථා දැක්වෙන ඉරියව් කළුගලින් කැටයම් කර තිබෙනවා. ලංකාවෙන් ලැබුණු ලිංග දැක්වෙන මැටි රූප ප්‍රාථමික ලක්ෂණ සහිත ප්‍රතිමා ලෙසයි සැලකෙන්නේ. එම රූප ඉන්දියාවේ නිල්ගිරි, හරප්පා, මෙහෙන්දජාරෝ, සුමේරියා, සහ අප්‍රිකාව ආදී රටවලින් ලැබුණු ප්‍රතිමාවලට ස්වරූපයෙන් සමාන යි.
පොළොන්නරුවේ පුරාණ ශිව දේවාලවල ශිව ලිංග මූර්ති බහුල යි. අදටත් බැතිමතුන් නටබුන් දේවාලවලට පැමිණ ඒවාට පූජා පවත්වා විවිධ ප්‍රාර්ථනා කරන දැකගත හැකියි.
ලංකාවේ ලිංග පිදීම
ප්‍රාග් බෞද්ධ සමාජයේ ද ලිංග පූජාව පැවති බවට සාධක තිබෙනවා. පණ්ඩුකාභය රජු අනුරාධපුරයේ ඉදිකළ සිවිකා ශාලාව ශිව ලිංග පූජාවට යොදාගත් තැනක් විය හැකි බවට මත ඉදිරිපත් වී තිබෙනවා. බාධක රහිත කාමාස්වාදයට අවසර සහ ප්‍රජනන උත්සව පණ්ඩුකාභය රජ සමයේ පවති බවත්, ඒවා ජගන්මාතා පූජා ලෙස හැඳින්වූ බවත් පෙනේයැ යි ආචාර්ය පී. ඊ. පී. දැරණියගල පවසනවා. කාර්තික උත්සවය යනුවෙන් දක්වා ඇත්තේ ද එවැන්නක්යැ යි පරණවිතාන සඳහන් කර තිබෙනවා. මෙම ඇදහිලි ක්‍රමය මධ්‍ය ශිලා හෝ ප්‍රාග් ඓතිහාසික යුගයේ පැන නැගී ක්‍රි. ව. 12 වැනි සියවසේ දී පමණ අභාවයට පත් වන්නට ඇති බව පෙනෙන බව දැරණියගල සදහන් කරනවා.
වෙස්සගිරි ශිලා ලේඛනයක සමපාද ත්‍රිකෝණයක මුදුන හරහා ඇඳි හරස් රේඛාවක් මත නැගී සිටින යෂ්ටියක් සහිත ලාංඡනයක් තිබෙනවා. සමහර විද්වතුන් සවසන්නේ මෙය ලිංග පිදීමේ සංකේතයක් බව යි.
මේ අති පුරාණ ඇදහීමෙන් ඉතිරිව ඇතැයි සැලකිය හැකි පිළිවෙතක් නම් ගැමි සිංහල විවාහ මඟුල්වල දී පැවැත්වෙන මඟුල් තහංචිය යි. මනාලියගේ නිවසට පැමිණෙන මනාලයා ඇතුළු ඥාති පිරිසට කවියෙන් සහ ක්‍රියාවෙන් එහි පිවිසීම වළක්වනු ලැබේ. මනාලයා සහ ඥාති පිරිස ඒවාට පිලිතුරු කවි කියා තහංචි වළක්වාගෙන පැමිණිය යුතු යි. එහිදී ජගන් මාතාවත් ඇගේ ආරක්ෂාවත් මනාලයා ඉල්ලා සිටී.
(ස්පොලියා සෙලනිකා 1994 , පී. ඊ. පී. දැරණියගල ලිපිය)
ලිංග රූප හමුවෙයි
මුලින්ම මැටියෙන් කළ ලිංග රූප 1901 දී ඉන්දියාවෙන් හමුවුණා. අද්භූත රූප ලෙස මුලින්ම සැලකුණු ඒවාට සමාන රූප ලංකාවෙන් 1928 සිට හමුවී තිබෙනවා. ඒ. එම්. හෝකාට් සහ දැරණියගල මේ ගැන පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කර තිබෙනවා. තලගස්වැව, තබ්බෝව, මරදන්මඩුව, සීගිරියේ ඉලුක්වැව, කිලිනොච්චියේ උතුරුපුරම්, වවුනියාවේ පන්සල්වෙල මුල්ම කාලයේ ලිංග ටෙරාකොටා රූප හමුවූ ස්ථාන යි. කොළඹ ජාතික කෞතුකාගයේ දී මේ රූප සමහරක් ඔබට නැරඹීමටත් පුළුවන්. මේ වන විට ස්ථාන 21කින් මේ රූප එකතු හමුවී තිබෙනවා. ඒවා බහුතරයක් රජරටින් ද කොටසක් උතුරින් ද තමයි ලැබී තිබෙන්නේ. මේ රූප ඇතුළත සිදුරු සහිත ආකාරයට හෝ සම්පූර්ණ ඝන ආකාරය නිමා කර තිබෙනවා. සමහර ලිංග රූප සැරසිලි සහිත යි. සමහර ඒවා සැරසිලි නොකර ලිංගය පමණක් මූර්තිමත් කර තිබෙනවා. ආචාර්ය චන්ද්‍ර වික්‍රමගමගේ සදහන් කරන්නේ මේවා ජන වෙදකමකට යොදාගත් රූප බව යි.
පුරුණ ලිංග ආකාරයටම තනා මුත්‍ර වාහිනී සිදුරත් මුදුනේ පෙන්වා තිබෙන මේවා මැටියෙන් තනා පුළුස්සා ගත් ඒවා යි. මේ නිසා පුළුටු මැටි රූප කියලත් හඳුන්වනවා. දැරණියගල නම් මේ රූප හදුන්වන්නේ තබ්බෝව- මරදන්මඩුව සංස්කෘතික රූප කියල යි.
මෙම රූප පදම් කරන ලද මැටියන් තනා පෝරණුවල පුළුස්සාගෙන තිබෙනවා. ලිංග රූප මෙන්ම කෝලම් මුහුණු ආකාරයේ රූප ද ලැබී තිබෙන මැටිකෘති අතර දැකගත හැකියි. සමහර ප්‍රතිමාවල ඇස්, නාසය වැනි ඉන්ද්‍රියයන් සදහා වෙනම මැටි කොටස් මුහුණේ අලවා තිබෙනවා.
සීගිරියෙත් ලිංග පූජා
සීගිරිය අසල ඉලුක්වැවෙන් හමුවුණු ලිංග රූප එහි බිතුසිතුවම් හා සම්බන්ධයක් පෙන්වන බව දැරණියගල පවසනවා. සීගිරි සිත්තම්වල රූමත් යෞවනියන් රැසක් මැද මැදිවියේ ළදක් සිටීමෙන් පෙනී යන්නේ ඔවුන් රැකබලා ගැනීම සදහා කිරි මවක් සිටි බවයැ යි ඔහු සදහන් කරනවා. සීගිරියේ ඉලුක්වැවෙන් හමුවුණු රූප අතර ඇතුළත කුහර සහිත ලිංග රූපී ස්ත්‍රී රූපයක් ද තිබෙනවා. එය පුරුෂ ලිංගයක් ස්ත්‍රී රුවක් බවට පත්කිරීමක්. එහි ලිංගයෙහි ඉහළ කොටස යි ස්ත්‍රියගේ මුහුණ බවට පත් කර ඇත්තේ. එහි දෙඇසත්, දෙතනත් මැටි පිඬුවලින් නියෝජනය වෙනවා. හිස ලිංග මුණ්ඩාකාරව හැඩ ගන්වා තිබෙනවා. මුත්‍ර වාහිනියෙහි සිදුර තිබෙන තැන හිස මුදුනේ සිදුරක් දක්වා තිබෙනවා. මෙහි ඇති තවත් රූපයක් පුරුෂ රූපයක කනක් ඉහළින් සිදුරක් බැගින් තනා තිබෙනවා. ඇස් කපා මතුකොට ඇති අතර ඇසේ කළුඉංගිරියාව දැක්වීමට කුඩා මැටි පිඬක් තබා තිබෙනවා.
කිලිනොච්චියෙන් ස්ත්‍රී පුරුෂ ලිංග මූර්ති
මෙම සංස්කෘතියට අයත් මැටි රූප එකතුවක් 1960 දී කිලිනොච්චි උතුරුපුරම්වල කුඹුරක් සකස් කිරීමේ දී අහම්බෙන් හමුවුණා. සිව් පැත්තක් සහිත භාජන ගණනාවක් ද මෙම ස්ථානයෙන් ලැබුණා. වෙනම ආධාරක මත පිහිටි ලිංගාකාර මුහුණු සමූහයක් ද ඒ අතර තිබුණා. ඒවා එක් පැත්තක මිනිස් මුහුණක් නිරූපණය කර තිබෙන රූපයි. පුරුෂ ලිංගවල මතුකළ ස්ත්‍රී රූප ද මේ අතර තිබුණා. ජනනේන්ද්‍රිය දෙවර්ගයකම නිරූපණය කිරීම වර්ගයාගේ ප්‍රතිජනන ශක්තිය නිරූපණය කරන්නක් බවට සමහර විද්වතුන් අදහස් දක්වා තිබෙනවා.
වවුනියාව පන්සල් ගොඩැල්ල
වවුනියාවේ සිට කි. මී. 10ක් දුරින් පිහිටි මාමඩුවේ වෙල්යායකින් තමයි මේ මැටි රූප එකතුව ලැබුණේ. පොළෝ මතුපිට සිට අඩි එකහමාරයක ගැඹුරකින් තමයි ගොවියකුට මේවා හමුවී ඇත්තේ. ඔහු ඒවා රැගෙනවිත් තම නිවස අසල ගොඩගසා තිබූණා. ඒ රූපවලින් හොද තත්ත්වයේ ඒවා අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයට රැගෙන ගොස් තිබෙනවා. ශෛලිගත කෝලම් ආකාරයේ මිනිස් මුහුණු සහ ලිංග රූප විශාල ප්‍රමාණයක් ඒ ස්ථානයෙන් හමුවී තිබුණා. ඒවා හැරුණු විට ගිරා, මොණර, දිවි, මී, ඉත්තෑ, සහ දළ ඇතුන්ගේ රූප ද එහි තිබුණා. ලිංග රූප ද්විලිංගික සහ ඒක ලිංගික ආකාරයෙන් තනා තිබෙනවා. එක් තාත්වික ලිංග රූපයක් පමණි එහි දක්නට ලැබුණේ.
කාමය පූජාවක් කළ කාමරති
වෙහෙරගලින් සොයාගෙන තිබෙන මෙම ප්‍රතිමාව 9 වැනි සියවසට අයත් ලෝකඩ මූර්තියක්. දැනට කොළඹ කෞතුකාගාරයේ තිබෙන එය උසින් සෙ. මි. 23.7ක්. කාමයට අධිපති කාම දේව සහ ඔහුගේ බිරිය වූ රතී එහි නිරූපිත යි. කාම විසින් වම් අතින් ද රතී විසින් දකුණු අතින් ද පහන් කණුවක් අල්ලාගෙන සිටින ආකාරයක් දැක්වෙනවා. කාම කෙලිලොල් බවක් පළ කරන අතර රතී රූමක් ආකාරයක් පෙන්වනවා. කාමය දිව්‍යමය පූජාවක් බවයි මින් පැවසෙන්නේ.