බලාපල්ලා අර පිස්සු මිනිහා කරන දේ, තමුන්ගේ දුවල දෙන්න දූල විදියට ගෑනු විදියට හදන්නේ නැතුව පාන්දරම දුවවනවා, ව්‍යායාම කරවනවා,ගෑනු ලමයින්ට ගැලපෙන දේවල්ද ඒව? ඒ මදිවට, කෙල්ලො දෙන්නව පිට්ටෙනි වල ගමේ කොල්ලො එක්කම පොරේට දමනවා, මේ යකා නම් ඒ දෝනියැන්දලාගෙ කරුමෙට හැදුනු වසවර්ති මාරයෙක්.
දුවෙක් හදන්න ඕනි ගෙදරට පහනක් වගේ, හුලගින් වැස්සෙන් පින්නෙන් ආරක්ෂා කරලා නිසි කල ආවම සුදුසු කටයුත්තක් කරන්න බලාගෙන. ඒකට මේ මහවීර් පිස්සා, මිනිහගේ හිතේ මිනිහා පොර ඇල්ලීමේ දක්සය වුන පලියට දුවලටත් ඒකම පුලුවන් කියලා. ගෙදර ඉන්න ගෑනුත් මහවීර්ට ගතු කියලා තියෙලු, දෝනියැන්දලැ ජීවිත එක්ක සෙල්ලම් එපා කියලා, ඒත් ඉතිං වැඩක් වෙලායැ, හැබැයි ඉතිං ඒ කෙල්ලොත් දැන් පුරුදු වෙලා ඇගපතිනුත් පිරිමි වගේ. තාත්තගේ මල්ලව පොර ගති ආරෙට එන්න ඇති නේ?
සිය දුවනියන් දැඩි රාමුවක් යටතේ මල්ලවපොර ක්‍රීඩාව සදහා පුරුදු පුහුණු කරනු ලබන මහවීර් සිං පොගත් ගේ ක්‍රියාකලාපය දුටු ඉන්දියාවේ හර්යානාහි නොදියුනු ගම් වැසියන් මහවිර් සිංට ඉහත පරිදි දොස් පවරන්නට ඇත. මහාවීර් සිං පොගත් යනු 80 දශකයේ ඉන්දියාවේ සිටි දක්ෂ මල්ලවපොර ශූරයෙකි. ඔහු පසුකාලීනව ඔහුගේම දුවනියන් වූ ගීතා සහ බබීතා කුමාරි මල්ලව පොර ඉසව්වෙන් ජාත්‍යන්තර තලයට ගෙනයෑමට සමත් විය.
පොගත් ගේ ප්‍රථිපල
ගීතා පොගත් නම් වූ මහාවීර්ගේ දියණිය 2010 වර්ශයේ දී පොදුරාජ්‍යමණ්ඩලීය ක්‍රඩා උලෙලේ මල්ලවපොර ඉසව්වෙන් කිලෝග්‍රෑම් 55 බර පන්තිය සදහා වූ රන් පදක්කම දිනාගත්තාය. මල්ලවපොර ඉසව්ව වෙනුවෙන් ඉන්දියාවෙන් ඔලිම්පික් සදහා තේරුනු මුල්ම කාන්තාවද ගීතා පොගත් ම විය. ඇගේ සහෝදරිය වූ බබිතා කුමාරි 2014 වර්ශයේ පොදුරාජ්‍යමණ්ඩලීය කිලෝග්‍රැම් 51 බරපන්තියේ මල්ලවපොර ඉසව්වේ රන් පදක්කම දිනාගත් අතර ඇය 2016 රියෝ ඔලිම්පික් උලෙලටද ඉන්දියාව නියෝජනය කලාය.
හර්යානාවේ ස්වභාවය
හර්යානාවේ ළමුන් අතර පිරිමි 1000කට ගැහැණු සිටින්නේ 834ක් පමණි. .2012 වර්ශයේ වාර්ථා අනුව හර්යානා ප්‍රාන්ථයේ ග්‍රාමීයව ගැහැනු අතර 57%ක් පමණක් කියවිම ලිවීම් කියවිම් (සාක්ෂරතාවය) දන්නේය. හර්යානාවේ පිරිමි 1000 කින් 483 (48.3%)ක් රැකියාවන්හි යෙදෙන අතර, ගෑනු අය 1000කින් රැකියා ඇත්තේ 54 (5.4%) දෙනෙකුට පමණි. එනම් මෙම ප්‍රාන්තයේ දත්ත අනුව ගැහැනු බොහෝ දෙනෙක් තවමත් නිසි ආකාර අධ්‍යාපන මට්ටමක් නොමැතිව රැකියාවක් නොමැතිව නිවෙස්වලට වී සිටිති.
මහාවීර්ගේ අදහස වූයේ දීගතල වනතෙක් ලොකු මහත්කරගෙන නිවසට වී වැඩපල කරන දුවනියන් බිහිකිරීම නොවේ. ඔහුගේ අරමුණ වූයේ සිය දියණියෝද ඥාති දියණියෝද ලෝක පතල ක්‍රිඩාවන් ඔස්සේ වඩාත් ඉදිරියට ගමන් කරවීමයි. මහාවිර්ගේ අදහස ඉහලින්ම මුදුන් පැමිණි අතර ඒ වෙනුවෙන් මහාවිර් පොගත් සිං වෙනුවෙන් ඉන්දීය ජනතාවගේ ගෞරවය යොමු වන්නට විය.
ක්‍රීඩා පුහුණුකරුවන් උදෙසා ඉන්දීය රජය පුදකරනු ලබන ද්‍රෝනාචාර්ය සම්මානය 2016 වර්ෂයේදී දිනාගනු ලබූයේ මහාවිර් පොගත් සිං විසිනි.
කාන්තා විමුක්තිය සහ කාන්තා භූමිකාව
ලංකාවේ ආර්ථිකයට සක්‍රිය දායකත්වයක් සපයන්නේ නැති, සරල බසින් නිකංම ගෙදරට වී කකා බිබී සිටින අය අතර ගැහැනු මිලියන 5.3ක්ද පිරිමි මිලියන 1.7ක්ද වේ. ඒ අනුව රැකියාවක් නොකරන පිරිසෙන් සියයට 75%ක්ම ගැහැණු වේ. අධ්‍යාපන සුදුසුකම් බොහෝ තිබුනත් ලංකාව තුල රැකියාවන් සොයාගන්නට කාන්තාවන්ට අපහසුය.
2015 වර්ෂයේදී ලාංකික කාන්තාවන් 73,728 විදෙස් හි නිවාස වල බැලමෙහෙවර පිණිස නික්ම විදෙස් රටවල් බලා ගොස් ඇත. ලංකාව නීතිවිරෝදී ලිංගික ශ්‍රමිකයින් ලෙස අඩුම වශයෙන් කාන්තාවන් 12,329ක් නොයෙක් පීඩා මධ්‍යයේ දිවි ගෙවති.
මේසන් වැඩ, වඩුවැඩ, රියදුරු වෘත්තිය, කාර්මික මෝටර් යාන්ත්‍රික වැඩ, කම්කරු වෘත්තීන් ආදී බොහෝ වෘත්තීන් වලට ලංකාවේදී කාන්තා නියෝජනය අඩුය. කාන්තාවන්ට කල හැකි රැකියා ප්‍රමාණය සීමිත වන විට අවසානයේ කාන්තාවන් බොහොමයකට අධ්‍යාපන සුදුසුකම් රැසක්ම තිබියදී නිවාස වලට වී කල්ගෙවීමට සිදු වේ. ආගමික සහ සංස්කෘතික හැඩතල අනුව ජීවත්වන්නට බල කෙරෙන දකුණු ආසියාතික යුවතියට පවතින සුළු ඉඩකඩ තුලින් ස්වකීය ජීවන වෘත්තියක් සොයාගැනීම සැබෑ අභියෝගයකි.
අනෙක් අතින් කාන්තාව වනාහී ගෙදර බත සරිකරන දරුවන් කවා පොවා ඇතිදැඩි කරන ගෘහණියක්ම විය යුතුයැයි ඉපැරණි වික්ටෝරියා මත දරන පිරිසක්ද සමාජයේ ඉහල තල වල පවා එමට සිටිති.
එවන් වූ ආසියානු වටපිටාවකදී මහාවීර් පොගත් වැනි පියවරුන් සිය දුවනියන් සමාජයේ රැස් දහරින් ඇවිලෙන්නට නොදී ඉහලට ඔසවා තබා, පිරිමි ක්‍රීඩාවක් හුරුකර ඔවුන්ට ජීවිතය රිසිසේ සොයා යන්නට ඉඩකඩ ලබා දෙන්නේ සමස්ථ ඉන්දීය සමාජයටම ආදර්ශයක් සපයමිනි.
මහාවීර්ගේ ව්‍යායාමය
මහාවීර්ට දියණියෝම සතර දෙනෙකි, ඔහුට පුතෙකු ලැබෙන්නේ පවුලේ අවසාන සාමාජිකයා වශයෙනි. මහාවීර් සිය දියණියන් පුරුදු පුහුණු කරන්නට පටන් ගන්නා අවස්ථාව වන විට අඩුම තරමේ වෛද්‍ය මධ්‍යස්ථානයක් වත් ඒ ගමට නොවීය. හර්යානා හි විදුලිබල සේවකයෙක් වූ මහාවීර් තමුන්ගේ දියනියන් ඇතැම්විට සුළු දඩුවම් වලට ලක් කරමින් පවා තදබල පුහුණුවක් ඔවුන්ට ලබා දෙන්නට ක්‍රියා කලේය. දුවණියන්ට හා තරග කිරීමට ක්‍රීඩිකාවන් සොයාගැනීමට නොහැකි වූ කල මහාවීර් පලාතේ ප්‍රකට සමවයස් පිරිමි දරුවන් හා තරග කිරීමට සිය ගීතා සහ බබීතා දියණියන්ට අවස්ථාවක් සලසා දුන්නේය.
මෙය ආරම්භක අවස්ථාවේ මුළු ගමම මහාවිර් පොගත් සිංට විරුද්ධ විය. එහෙත් කාලයාගේ ඇවෑමෙන් මහාවිර් පොගත් ගේ දුවණියන් දිගින් දිගටම සම්මාන ගෞරවාදරයට ලක් වන්නට වූ කල ගම්මුද සිය ආකල්ප වෙනස් කරගත්හ. මහාවීර් ට වැඩ අධික වන්නට විය. ඔහු පසුව ගමේ මල්ලවපොර පුහුණුවන්නට කැමති ගැහැනු දරුවන්ට පුහුණුවට අත්වැලක් වන්නට විය. ඔහුගේම වියදමින්ම මහාවීර් කායවර්ධන මධ්‍යස්ථානයක්ද ආරම්භ කලේය.
දංගල් සිනමා පටය
මහාවීර් පොගත් සිං ගේ කතාව අළලා නිතිෂ් තිවාරි විසින් අධ්‍යක්ෂණය කරනු ලබන දංගල් සිනමාපටය 2016 දෙසැම්බර් මස 23 වැනිදා සිට තිරගත වීමට නියමිතය. 2011 වර්ෂයේදී තිරගත වූ ළමුන් පිරිසකගේ වික්‍රමය දැක්වෙන චිල්ලර් පාර්ටි චිත්‍රපටයද නිතිෂ් තිවාරිගේ අධ්‍යක්ෂණයකි. බොලිවුඩයේ සිටින අග්‍රගන්‍ය සම්මානනීය සංගීතවේදියකු වන පිතම් චක්‍රෙබෝති ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් ඔප් නැංවෙන දංගල් හි චමත්කාරජනක ගීත චිත්‍රපටය ප්‍රචාරය වන්නටත් ප්‍රථම ජනප්‍රිය විය.
සුප්‍රකට පෙරළිකාර නලු ආමීර් ඛාන් මෙහි මහාවිර් පොගත් සිංගේ චරිතයට පණ පොවනු ලබයි. පොගත් සිංගේ තරුණ කාලය සහ මැදි වයස යන අවස්ථා දෙකම චිත්‍රපටයේ දැක්වෙන බැවින් ආමිර් ඛාන් කෙටිකලකින් කිලෝ 30කින් සිය බර වැඩිකරගන්නට සිදු විය. චිත්‍රපටයට ප්‍රථම වෘත්තිය මට්ටමේ මල්ලවපොර පුහුනුවකටද ආමිර් ඛාන් සහ පිරිසට සහභාගී වෙන්නට ලැබුනි. ආමීර් ඛාන් චිත්‍රපටයේ රූගත කිරිම් අතරතුරම සුලු මස්පිඩු ආබාධයකටද ලක්විය.
සමාජයේ පැරණි මතිමතාන්තර කතාන්දර ඉවත දමා තාක්ෂණිකව සිය දුවනියන් පුහුණුවේ යොදවමින් කැපවිමෙන් ක්‍රියාකල මහාවීර්ට එහි ප්‍රථිපල සිය ගමට, ප්‍රාන්තයට පමනක් නොව රටටද ලබාදෙන්නට හැකි විය. දංගල් බලන්න ලැබුනොත් ඒ මහාවිර්ට දැනුන හැගීම ඔබටත් යම් ප්‍රමාණයකින් ලබාගන්නට පුළුවන්වේවි.