අපේ සමාජයේ කලාව සාහිත්‍යය ගැන උනන්දුවක් දක්වන්නන් තුළ පැබ්ලෝ නෙරූදා පිළිබඳ විශාල අවධානයක් මේ වන විට ඇති වී තිබෙනවා. ඒ අශෝක හඳගමගේ ‘ඇල්බොරාදා’ සිනමා පටයත් සමඟ යි. අල්බොරාදා යනු ස්පාඤ්ඤ වැකියක්. එහි සිංහල අරුත ‘අරුණෝදයයි’. සිනමා පටයට තේමා වී ඇත්තේ නෙරූදා ලංකාවේ තානාපතිවරයකු ලෙස ගත කළ කාලයේ අත්දැකීම්.
මේ නිසා නෙරූදාගේ කවි ගැන මෙන් ම ඔහු ලංකාවේ ගත කළ කාලය ගැන සොයන්නත් වැඩි දෙනකුට උනන්දුවක් ඇවිත්. නොබෙල් ත්‍යාගලාභී මේ කවියාගේ පෞද්ගලික ජීවිතය නම් නිතර හැලහැප්පීම්වලට ලක්වුණු එකක්.
ඇල්බොරාදා
පැබ්ලෝ නෙරූදා මෙරට චිලී කොන්සල්වරයා ලෙස කටයුතු කළ කාලයේ ඔහු වයස අවුරුදු 25ක තරුණයෙක්. රාජ්‍ය තාන්ත්‍රිකයකු වූවත්, නෙරූදා කොළඹ දී ගත කළේ නිදහස් ජීවිතයක්. ඔහු උසස් කලා රසිකයකු, ඡායාරූප ශිල්පියකු හා පියානෝ වාදකයකු ද වූ ලයනල් වෙන්ඩ්ට් හා ඇසුරට පත් වෙනවා. ලයනල් වෙන්ඩ්ට් සතු විශාල පුද්ගලික පුස්තකාලයක් තිබුණා.
ඒ කාලේ ඉහළ සමාජයේ ප්‍රකට වුණු ලයනල් වෙන්ඩ්ට් පැබ්ලෝ නෙරූදාට වඩා අවුරුදු 04 කින් වැඩිමල් ව 29 වන වියේ පසු වී තිබෙනවා. පැබ්ලෝ නෙරූදා පසු කලෙක ලියූ ‘මෙමොයාස්’ නම් ඔහුගේ මතක සටහන් පොතේ ලයනල් වෙන්ඩ්ට් ගැනත් නෙරූදා සඳහන් කරනවා. ඔහු තමන් පිටරටින් ගෙන්වන අලුත් පොත් පත් ගෝනියක දමා බයිසිකල්කරුවකු අත නෙරුදා වෙත යැවීම පුරුද්දක් කරගෙන සිටියා.
‘ඇල්බොරාදා’ යන වචනය ලයනල් වෙන්ඩ්ට්ගේ නිවසේ නම වශයෙන් ද යොදා ගෙන තිබුණා.
පැබ්ලෝ නෙරූදා දකුණූ අමෙරිකාවේ චිලී රටේ උපත ලැබූ කවියෙක් මෙන්ම රාජ්‍ය තාන්ත්‍රිකයෙක්. ඔහු සමාජවාදී චිලියේ දේශපාලනඥයෙක් ලෙසත් කටයුතු කර තිබෙනවා. ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වන ලෙස ද ඔහුට ඉල්ලීම් ලැබුණත් ඔහු දේශපාලන හේතු මත එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. 1904 ජූලි 12 වැනිදා උපත ලැබූ ඔහුට මවුපියන් ලබා දුන් නාමය වූයේ රිකාඩෝ එල්ලීසර් නෙෆ්ටාලි රෙයෙස් බසෝල්ටෝ යි.
වයස අවුරුදු 10ක් තරම් බාල වියේදී කවි ලිවීම ඇරඹු මේ දරුවාගේ සාහිත්‍යය කෙරෙහි වූ ඇල්මට ඔහුගේ පියා කැමැත්තක් දැක්වූයේ නම් නැහැ. ඒනිසා ඔහු ව්‍යාජ නම්වලින් තම නිර්මාණ බිහි කළා. පැබ්ලෝ නෙරූදා කියන්නේ ඒ අතරින් එක් නමක්. පසුව ඔහු පැබ්ලෝ නෙරූදා යන නම ස්ථිර වශයෙන් භාවිත කිරීමට පුරුදු වුණා. තුරුණු වියේදීම නෙරුදා කවියා දකුණු අමෙරිකාවේ පමණක් නොව ඉන් එහා රටවල ද ප්‍රකට වන්නට වුණා. ඒ අතර ඔහු චිලියේ තානාපති සේවයට ද එක්වෙනවා.
නෙරූදා තෙවරක් විවාහ වූවෙක්. එක් වරෙක ඔහු බිරියන් දෙදෙනකුට පෙම් කළා. ඒ හැර ඔහුගේ ජිවිතයට කාන්තාවන් රාශියක් සම්බන්ධව සිට තිබෙනවා. පෙම් කවි, පොත් වශයෙන් පවා පළ කළ නෙරූදා 1971 දී, සාහිත්‍යය සඳහා වන නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූවා. එදා ඔහු කළ දෙසුම ඇසීමට, චිලි ජනතාව, රූපවාහිනී හා ගුවන්විදුලි යන්ත්‍ර ඉදිරියට රොක් ව සිටි බව සඳහන් වෙනවා.
ඔගස්ටෝ පිනොචේ සිදු කළ හමුදා කුමන්ත්‍රණයකින් චිලී රටේ බලය අල්ලා ගන්නා අතර ඉන් සති කිහිපයකට පසුව පැබ්ලෝ නෙරූදා මිය ගියා. පැබ්ලෝ නෙරූදා මිය යන්නේ වයස අවුරුදු 69 දී යි. ඒ 1973 සැප්තැම්බර් 23 වැනිදා යි. 1973 දී නෙරූදාගේ අවමඟුලට පවා පිනොචේගේ ඒකාධිපති ආණ්ඩුව බාධා එල්ල කර තිබෙනවා.
නෙරූදා පිළිකාවකින් පීඩා වින්දත් ඔහු මිය යාමට හේතුව ඔහුගේ සතුරන් සිදු කළ වසදීමක් හේතු වන්නට ඇතැයි සැක කරනවා. ඒ පසුපස ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන් සිටි බව පසුව සොයා ගැනුණා.
ලංකාව හෙවත් සෙයිලාන්
චිලී රටේ කොන්සල්වරයා ලෙස 1927 දී බුරුමයට යන විට නෙරූදාගේ වයස අවුරුදු 23ක්. ඔහු බුරුමයේ දී හමුවූ ජොසී බ්ලිස් නම් තරුණියක් සමඟ පෙමින් බැඳෙනවා. ආරවුල් මතු වී ඒ පෙම අතරමග නවතිනවා. ඔහු ලංකාවට පැමිණීමට 1828 ජනවාරියේ දී නැව් නගිනවා. ඒ කොළඹ කොන්සල්වරයා ලෙස මාරුවක් ලැබුණු නිසා යි.
ඔහු ලංකාවට පැමිණෙන්නේ 1828 ජනවාරි 16 දායි. වැඩ භාර ගත් නොරූදා නවාතැන් ගන්නේ වැල්ලවත්තේ 42 පටුමගේ අංක 56 දරන නිවසේ යි. එය එතරම් පහසුකම් සහිත තැනක් නොවේ. ඔහු සිය මිතුරු හෙක්ටර්ට ලියූ ලිපියක ලංකාව ගැන මෙසේ සඳහන් කරනවා:
‘‘පවුල් වශයෙන් සාමූහිකව ජීවත් වන සෙයිලාන් වැසියන්ගේ මානුෂීය ගතිපැවතුම්වලට මා කැමතියි. දේශීය සංගීතයත් ,නර්තන කලාවත් මා ප්‍රබෝධමත් කරනවා. බෙර පද මා නටවනවා. දිගු කලක් මේ රට පාලනය කළත් බ්‍රිතාන්‍යයන් රටේ සාරවත් සංස්කෘතිය හඳුනාගෙන නැහැ -සෙයිලාන් දූපතේ දීප්තිමත් හුදකලාව- පැබ්ලෝ නෙරූඩා පරි. ඉන්ද්‍රානි රත්නසේකර.
නෙරූදා නිතර ම හුදෙකලාවකින් පීඩා විඳි බව සටහන් කර තිබෙනවා. කොළඹ හුදෙකලා ජීවිතය කරදරයක් මෙන් ම අලස බවක් ද ගෙන දෙන බව නෙරූදා සඳහන් කර ඇති කරුණක්. ඒ අතර ඔහු කාන්සිය පලවා හැරීමට හීලෑ මුගටි පැටවෙක් ද ඇතිකරනවා. ලංකාවෙන් පිටත් ව යන විටත් නෙරූදා එම මුගටියාත් රැගෙන ගොස් තිබෙනවා.
නෙරූදා ලංකාවේ සිටි කාලයේ පෙම්වතියන් ලෙස තරුණියන් කිහිප දෙනකු ම ඇසුරු කළ බව මතක සටහන්වල ලියනවා. තම හුදෙකලාව මෙන් ම ලිංගික අවශ්‍යතා ද ඔවුන්ගෙන් සපුරා ගන්නට ඇති. ඒ අතර ඔහුට හමුවූ විශේෂිත ම චරිතය ලෙස සඳහන් කරන්නේ අසූචි අදින ජන කොටසකට අයත් ද්‍රවිඩ කාන්තාවක්. අශෝක හඳගම තම සිනමා පටයට තේමා කර ගන්නේ එම සිද්ධිය යි.
වැල්ලවත්තේ සක්කිලි පෙම්වතිය
නෙරූදා වැල්ලවත්තේ දී හමුවූ ද්‍රවිඩ කාන්තාව ගැන මතක සටහන්වල [memoirs] ලියන්නේ මෙලෙසයි:
වැල්ලවත්ත බංගලාවේ නාන කාමරය අසල වැසිකිළියේ මැද ලොකු සිදුරකින් යුත් ලී පෙට්ටියක් තබා තිබුණා. මා කුතුහලයෙන් යුතුව එය පරීක්ෂා කළා. මෙහි මල බඳුන ලෝහමය බාල්දියක්. ඒ බඳුන හැමදා ම පිරිසිදුයි. කොයි වෙලේ එය ගෙන යනවා දැයි මා දන්නේ නැහැ -සෙයිලාන් දූපතේ දීප්තිමත් හුදකලාව- පැබ්ලෝ නෙරූඩා පරි. ඉන්ද්‍රානි රත්නසේකර.
සෑම උදෑසනක ම එහි එන තරුණ ද්‍රවිඩ ස්ත්‍රියක්, වැසිකිළිය පවිත්‍ර කර මළ බාල්දිය ද රැගෙන අලුත් බාල්දියක් තබා පිටව යනවා. එක් හිමිදිරියක වේලාසන අවදි වුණු නෙරූදා රතු පැහැති සාරියක් ගත දවටා ගෙන පාවහන් වත් නැති ව පැමිණෙන අසූචි අදින කාන්තාව දකිනවා. කොන්සාල්වරයකු මෙන් ම කවියකු ද වූ නෙරූදාගේ සිත ඇයට වසඟ වෙනවා. ඔහු පවසන්නේ ඇය කළු ඉන්දියානු දේව පිළිමයක් වගේ කියා යි. ලංකාවේ දී ඔහු දුටු සුන්දරත ම කාන්තාව ඇයයි.
ඇයගේ සිත ගනු පිණිස, පලතුරු හා සේද රෙදි පිළි ආදිය විටින්විට තෑගි කරනවා. ඇය වචනයක් වත් නොපවසා තෑගි රැගෙන යනවා. එක් දිනක්, එම කතගේ අතේ මැණික් කටුව ළඟින් අල්ලා ගන්නා නෙරූදා, ඇය තම නිදන කාමරයට කැඳවා ගෙන යනවා. ඒ හමුව මිනිසකුට පිළිමයක් හමුවූවක් ලෙස සිතෙන බව යි නෙරූදා ලියා ඇත්තේ. ඇය කිසිදු වදනක් නොදොඩා කිසිදු ප්‍රතික්‍රියාවක් නොදක්වා යහන මත නිරුවතින් වැතිරී සිටි බව ඔහු සඳහන් කරනවා.
‘දෙවඟන’ හා එක්වීම
ලංකාවේ සිටි කාලයේ දී, ඉංග්‍රීසි, සිංහල, බෝයර් සහ දෙමළ වැනි ජාතීන්ට අයත් කාන්තාවන් නෙරූදාගේ යහනට පැමිණ තිබූ නමුත්, මෙම දිළිඳු කම්කරු ස්ත්‍රියගේ වැනි පරිපූර්ණ නාරි දේහයක් ඔහු දැක තිබුණේ නැති බව යි සඳහන් කරන්නේ. ඇගේ නිරුවත් දේහය, දකුණු ඉන්දියානු දෙවොලක දී දක්නට ලැබෙන දෙවඟන පිළිරුවක් ලෙස දුටු බව චිලී මහා කවියා තම මතක සටහන්වල පවසනවා.
කෙසේ වෙතත් එම ‘දෙවඟන’ හා එක්වීම අපේක්ෂා කළ තරම් ආශ්වාදජනක නොවුණු බවත් ඔහු ලියා තිබෙනවා.
‘එම එක්වීම මිනිසකු හා ප්‍රතිමාවක් අතර සිදු වූවක් බඳු විය. එම මුළු කාලය තුළ ම ඇය ඇස් ඇරගෙන, ඔහේ බලා සිටියා මිස මට කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නැත.’
2018 දීත් කරළියට පැමිණි නෙරූදාගේ ද්‍රවිඩ පෙම්වතිය
1928 දී නෙරූදාට හමු වූ මේ දිළිඳු කාන්තාව ගැන 2018 අවුරුද්දේදීත් චිලියේ විශාල කතාබහකට ලක්වුණා. ඒ චිලීයේ සන්තියාගෝ ගුවන්තොටුපළට ‘පැබ්ලෝ නෙරුදා’ ගේ නම යෙදීමට ආණ්ඩුව තීරණය කිරීමත් සමඟ යි. ඒ තීරණයට එරෙහි ව එරට ස්ත්‍රීවාදී සංවිධාන හා මානව හිමිකම් ක්‍රියාකාරීන් වෙතින් දැඩි විරෝධයක් එල්ල වුණා.
එහි දී ඔවුන් දක්වන ප්‍රධාන හේතුව වූයේ, නෙරුදා චිලියේ කොන්සල්වරයා ලෙස ලංකාවේ සිටි කාලයේදී (1928 – 30) ඔහු, කසළ අදින කම්කරු ස්ත්‍රියක දූෂණයට ලක් කර තිබීම යි. නෙරූදා හා එම ස්ත්‍රියට පමණක් රහසක් වන්නට තිබූ එම සිද්ධිය, ලොවට හෙළිදරව් වූයේ නෙරූදා ම ලියා පළ කළ ‘මතක සටහන්’ [memoirs] කෘතියෙන්. මේ නිසා ඔහුගේ නම ගුවන් තොටුපොළට යෙදීමේ අදහස චිලියේ බලධාරින් ක්‍රියාත්මක කළේ නැහැ.
නෙරූදා ලංකාව ගැන ලියූ කවි
ලංකාව ගැන මේ මහා කවියා පද්‍ය කිහිපයක් ම රචනා කර තිබෙනවා. ලංකාවේ දී පානය කළ තේවල නැවුම් රසය ගැනත්, බෙරපද හා නැටුම් ගැනත් ඒ කවිවල සඳහන්. මේ ඒ අතරින් එකක කොටසක්:
යළිත් එන්නෙමි ඔබ සොයාගෙන
සයුරු රැල්ලේ රන් පලස මත
සිහින් වැස්සට වැටෙන වැහි පොද
නොපෙනෙනා හිමිදිරි උදෑසන
ඔහෝ ඈතින් අර දිලෙන්නේ
නැවුම් නිල්වන් සුවඳ රැල්ලක්
අහෝ සෙයිලාන් සොඳුරු දූපත
එදා මට දුන් සහන් එළියක්
– සෙයිලාන් දූපතේ දීප්තිමත් හුදකලාව- පැබ්ලෝ නෙරූඩා පරි. ඉන්ද්‍රානි රත්නසේකර.
ඔහු ඒ ආලෝකය නමින් ලියන පද්‍ය යේ ලංකාව ගැන මතකය අවදි කරන්නේ මේ අන්දමටයි:
ආලෝක ධාරාව
සෙයිලාන් දූපතේ
ජීවිතට දුනි මාහට
හුදෙකලා විසුම එහි
මරණයද දුන් සේය
විදුරුමිණ තුළ විසුම
පොළොව යට හුදෙකලා
සිප් හලක විසීමයි
-සෙයිලාන් දූපතේ දීප්තිමත් හුදකලාව- පැබ්ලෝ නෙරූඩා පරි. ඉන්ද්‍රානි රත්නසේකර.