යම් යම් දෑ ඉල්ලමින්, හඬමින්, මොරදෙමින්, කරදර කරන දරුවන් නළවන්නට අද වන විට මවුවරුන් භාවිත කරන පහසුම ක්‍රම වේදයක් වශයෙන් ජංගම දුරකථනයක් දරුවා අතට දිගු කිරීම දැක ගත හැකි යි. ඇනිමේෂන් තාක්ෂණයේ දියුණු වීමත් සමගම දෑසට අතිශයින්ම රසවත් දර්ශනයන් මවන කාටූන් කතන්දර, රසවත් ළමා ගීත අන්තර්ජාලය පුරා බහුලව දක්නට ලැබෙනවා. සැබැවින්ම මෙකී වර්ණවත් දුරකථන තිරවලින් දරුවාට ලැබෙන්නේ වින්දනයක් බව සැබෑවකි. දරුවා මෙකී තිර මත දර්ශනය වන සියලු රූප සහ ඒවායෙන් නිකුත් වන ශබ්ද මහත් අභිරුචියකින් රසවිඳී. දරුවා මෙකී මෙවලම්වල ඇලී ගැලී සිටින තුරු දෙමාපියන්ට කිසිදු කරදරයක් නැත. එහෙයින් දෙමාපියන් ද දරුවන් වෙතින් මෙකී මෙවලම් උදුරා ගැනීමට කිසිදු උත්සාහයක් නොදරයි. දරුවන් දැඟලීමෙන් සිදු විය හැකි අනතුරු වළක්වා ගැනීමට ද දෙමාපියන්ට බැලූ බැල්මට මෙය මහෝපකාරී වේ.
පැය ගණනක් යන තුරු දරුවා එක තැනෙකට කර, නිහඬ කර තබාගැනීමට තමන් විසින් දරුවා අතට ලබාදෙන ජංගම දුරකථන, ටැබ්ලට් යනාදිය දරුවන්ව ක්‍රමයෙන් ගොදුරු කරගන්නා අයුරු ආරම්භයේ දී දෙමාපියන් දකින්නේ නැත. එහෙත් කාලයක් ගත වීමත් සමග දරුවාව මේ කරා යොමු කළ දෙමාපියන්ම දරුවන් වෙත දොස් නගමින් දරුවන්ගේ ඇඟට කඩා පැනීම ආරම්භ කරයි. නවතම පර්යේෂණයන්ට අනුව වාර්තා වන්නේ මෙසේ තාක්ෂණික තිර වෙතට දෑස් යොමු කරගෙන සිටීමට ඇබ්බැහි වීම කායික මෙන්ම මානසික රෝගාබාධ ගණනාවකට හේතු වන බව යි. නින්ද නොයෑම, කොන්ද කැක්කුම, බෙල්ලේ කැක්කුම, ශරීරයෙහි බර වැඩිවීම, ශරීරයෙහි බර අඩුවීම, ඇස් පෙනීම දුර්වල වීම, හිසරදය ඇතිවීම යනා දී රෝගාබාධ ගණනාවක් මෙම ඇබ්බැහිය හේතුවෙන් ළමයින්ට වැළඳෙන බව පර්යේෂකයන් දක්වයි. ඊට අමතරව සමාජ ඇසුර නොහඳුනන තත්ත්වයට පත්වීම, හීනමානය ඇති වීම, මානසිකව හුදෙකලාභාවයට පත්වීම, මානසික ආතතිය තීව්‍ර වීම වැනි මානසික වියවුල් සහගත තත්ත්වයන් ද Screen Dependency Disorder හේතුවෙන් ඇති වේ.
Screen Dependency Disorder හෙවත් තිරයක් මතට සීමා වී ඒ මතම යැපීමේ තත්ත්වයට පත්වීම කෙතරම් භයානක තත්ත්වයක් දැයි දුරකථනයක් දරුවා අතට දීමට පෙර සියලුම දෙමාපියන් දැනගත යුතුව ඇත. ආචාර්ය ඇරික් සිග්මන් ඔහුගේ පර්යේෂණ ලිපියක දක්වා ඇත්තේ Screen Dependency Disorders (SDD) සහ Internet Addiction Disorder අතර සහසම්බන්ධයක් පවත්නා බව යි. බොහෝ විට අද වන විට ස්මාර්ට් වර්ගයේ ඕනෑම ජංගම දුරකථනයකින් අන්තර්ජාලය හා සම්බන්ධ විය හැකි අතර, අන්තර්ජාල භාවිතයේ දී සිදුවන්නේ ද තිරයක් දෙස ඇසිපිය නොහෙලා බලා සිටීම වන බැවින් මෙකී ඇබ්බැහිවීම් ද්විත්වය අතර සහසම්බන්ධයක් පවත්නා බව පැහැදිලිය. Screen Dependency Disorders (SDD) හේතුවෙන් ස්නායුවල ක්‍රියාකාරීත්වය දුර්වල වීම, ස්නායුවල විකෘතිතා ඇති වීම, අසාමාන්‍ය ස්නායු පටක වර්ධනය වීම යනා දී තත්ත්වයන් ඇති වේ. විශේෂයෙන්ම කුඩා දරුවන් සිටින්නේ ඔවුන්ගේ මොළයේ සහ ස්නායුවල වර්ධනීය අවධියෙහි වන බැවින්, එවන් අවධියක දී මෙවන් විනාශකාරී අවියක් ඔවුන් අතට පත්වීම ඔවුන්ගේ සමස්ත ස්නායු පද්ධතියටම හානිකර වන බව ආචාර්ය ඇරික් සිග්මන් තවදුරටත් අවධාරණය කරයි.
වර්ධිත පුද්ගලයෙකුව මෙන් නොව කුඩා දරුවෙකුව ඕනෑම දෙයකට පහසුවෙන් පුහුණු කළ හැකි අතර ඇබ්බැහි කරවිය හැක. තමාට හානිකර වන්නේ මොනවාද නැත්තේ මොනවාදැ යි හඳුනාගැනීමට තරම් විචාර බුද්ධියක් කුඩා දරුවෙකුට නැත. වර්ධනය වන දරුවෙකු අතට මෙවන් මෙවලම් පත් කිරීමෙන් දරුවා දීර්ඝ කාලීනව අහිතකර ප්‍රතිඵලයන්ට මුහුණ දෙයි. දරුවාගේ මොළය පවා මින් හානියට ලක් විය හැක. දරුවන්ගේ ශාරීරික මෙන්ම මානසික වර්ධනයට බලපෑම් ඇති කරන දුරකථන තිර සහ පරිගණක තිරවල කටයුතු කිරීමට ඔවුන් දෛනිකව යොමු කරන කාලය පිළිබඳව වැඩිහිටියන් නිරන්තර අවධානයෙන් පසු විය යුත ය. වර්තමාන අධ්‍යාපන රටාවට අනුව මෙකී මෙවලම් සහමුලින්ම දරුවන්ගේ ජීවිතවලින් ඉවත් කර තැබීම අපහසු කටයුත්තකි. නමුත් ඒ පිළිබඳව කිසියම් පාලනයක් ඇති කිරීමට නිරන්තරයෙන් ඇප කැප වීම දෙමාපියන් සතු කාර්යභාරයකි.
දරුවන්ව මෙවන් රෝගාබාධයන්ගෙන් මුදා ගැනීමට නම් දෙමාපියන්ට ගත හැකි උපාය මාර්ග කිහිපයක් පවතී. කුඩා අවධියේ දී ස්වභාවයෙන්ම ක්‍රියාශීලී ජීවීන් කොට්ඨාසයක් වන දරුවන්ව, ක්‍රීඩා භාණ්ඩ භාවිත කිරීමට සහ විනෝද ක්‍රීඩාවල නිරතවීමට යොමු කරවීම ඔවුන්ව පැතලි තිර වෙතින් දුරස් කර තැබීමට ඉතාමත් හොඳ ක්‍රමවේදයකි. මාස 18ට අඩු කුඩා දරුවන්ව කිසිදු ජංගම තාක්ෂණික මෙවලමකට නිරාවරණය නොකිරීම ද තවත් ක්‍රමෝපායකි. එසේ කිරීම මගින් කුඩා දරුවන්ගේ මොළයට හානි සිදුවීම වළක්වාගත හැකි ය. දරුවන්ට අන්තර්ජාලය හරහා විවිධ දෑ නැරඹීමට ඉඩ ලබාදීමේ දී ගුණාත්මකභාවයෙන් ඉහළ වැඩසටහන් නැරඹිමට සැලැස්විය යුතු අතර, දරුවා අන්තර්ජාලයෙහි සැරිසරන අවස්ථාවන්හි දී යම් වැඩිහිටියෙකු නිරන්තරයෙන් දරුවා අසල රැඳී ඔහු හෝ ඇය නරඹන්නේ කුමන ආකාරයේ දෙයක්දැ යි විමර්ශනය කිරීම අතිශයින් වැදගත් ය.
අන්තර්ජාලය තුළ ඉබේ ක්‍රියාත්මක වන නොමනා ආකාරයේ විවිධ වෙබ් අඩවි සහ ඒවාට සම්බන්ධිත දැන්වීම්, දුරකථන හෝ පරිගණක තිරය මත හිටිහැටියේ දර්ශනය විය හැකි බැවින්, දරුවා දුරකථනයක් හෝ පරිගණකයක් භාවිතා කිරීමේ දී වැඩිහිටියෙකු ඒ අසලින් රැඳී සිටිමින් අධීක්ෂණයෙහි නිරතවීම බෙහෙවින්ම වැදගත්ය. දරුවා දිනකට මෙවන් තාක්ෂණික මෙවලමක් භාවිත කරන කාල සීමාව දෙමව්පියන් විසින් තීරණය කිරීමත්, එය පැය කිහිපයකට පමණක් සීමා කිරීමත් දරුවාගේ ආරක්ෂාව උදෙසා හේතු වේ. එසේ විවිධ ක්‍රමෝපායන් අනුගමනය කිරීම මඟින් දරුවාව Screen Dependency Disorders (SDD) වෙතින් මුදවා ගැනීම බුද්ධිමත් දෙමාපියන් සතු වගකීමකි.
කවරයේ පින්තූරය: (Huffington Post)