එකල රජ දවස බුදු රැස් විහිදවූ බව කියන ‘රැස් වෙහෙර’ විහාරය

අවුකන ප්‍රතිමාව පිළිබඳව අපි ඉදිරිපත් කළ ලිපියට ඉතා ඉහළ ප්‍රතිචාරයක් ලැබුණා. ඒ ප්‍රතිචාර අතර බොහෝ දෙනෙක් රැස් වෙහෙර ගැනත්, රැස් වෙහෙර විහාරය ගැනත් විමසා තිබුණු  නිසාම රැස් වෙහෙර විහාරය ගැන ඔබ නොදන්නා තොරතුරු බිඳක් මේ ලිපියෙන් ඔබවෙත ගෙන එන්න අපි  කල්පනා කළා.

ඉතිහාස තොරතුරු

ක්‍රි. පූ. 250 – 210 අතර කාලය දක්වා රැස් වෙහෙර විහාරයේ ඉතිහාසය දිව යනවා. ඒ, විහාරස්‌ථානයේ ඇති බෝධි වෘක්ෂය දෙවන පෑතිස් රජතුමා විසින් රෝපණය කළ පුවතට අනුවයි. මිට අමතරව රහතන් වහන්සේලා 364 නමක් මෙහි වැඩ සිටි බව ඓතිහාසික මූලාශ්‍ර වල සඳහන් වෙනවා. බොහෝ කාලයක් භික්ෂුන් වහන්සේලාගේ භාවනා අසපුවක් ලෙස පැවති මෙම පෙදෙස විහාර සංකීර්ණයක් බවට පත් කර තිබෙන්නේ වළගම්බා රජු විසින්. එමෙන්ම ධාතුසේන රජ දවස මෙහි ඉදිකර ඇති සැස්සේරුව ශෛලමය ප්‍රතිමාව ද ඉතිහාසගත තොරතුරු අතර වැදගත් තැනක් ගන්නවා.

රැස්-වෙහෙර-බෝධිය

රැස්-වෙහෙර-බෝධිය

විහාරස්ථානයේ වැදගත් ලක්ෂණ

මෙහි රෝපණය කර ඇති බෝධිය, ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දෙතිස් ඵල රුහ බෝධියක් බව පුරාවෘත්ත වල සඳහන් වෙනවා. මෙම බෝධිය රෝපණය කල අවස්ථාවේ දී, අවට පරිසරය පුරා සවනක් රැස් විහිදී ගිය බව ජනශ්‍රැතියේ සඳහන් වෙනවා. “ රැස් වෙහෙර ” නම මෙයට ලැබි ඇත්තේත් ඒ නිසා බවයි වංශ කතාවල දැක්වෙන්නේ. මීටර් 3.5 පමණ උස ගල් බැම්මකින් මෙම බෝධිය වට කර ඇති අතර, වරින් වර පත්වූ රජවරුන් විසින් එය  ප්‍රතිසංස්කරණය කර බෝධියට ආරක්ෂාව සලසා තිබෙනවා.

රැස් වෙහෙර විහාරයේ ඇති තවත් සුවිශේෂි ලක්ෂණයක් වන්නේ, ගුහා විහාරය තුළ දක්නට ලැබෙන සැතපෙන පිළිම වහන්සේ යි. මෙය දිගින් මීටර් 11.7 (අඩි 39) වන අතර උසින් මීටර් 3 (අඩි 10) වෙනවා. මෙහි ඇති විශේෂත්වය වන්නේ, පිළිම වහන්සේ වන්දනා කරන බැතිමතුන්ට එය වටා පැදකුණු කළ හැකි වීමයි. ලොව ඇති එකම පැදකුණු කළ හැකි පිළිම වහන්සේ මෙය මෙය යැයි පැවසෙනවා. මෙම සැතපෙන බුදු පිළිමයට, කපු රෙද්දෙන් වියන ලද සිවුරක් පළඳවා තිබෙන අයුරු දැක ගන්න පුළුවන්. එම සිවුර ආරක්ෂා වීම සඳහා තුනී බදාම ස්ථරයක් එය මතුපිට අතුරා ඇති අතර, එම සිවුර ශතවර්ෂ ගණනාවක් පැරණි බවයි ඉතිහාසඥයින් හා පුරාවිද්‍යාඥයින් පවසන්නේ.

විහාරගුහව-ඇතුළත

විහාරගුහව-ඇතුළත

ගල් ගුහා විස්තර

ක්‍රි. පූ. දෙවන සියවස තෙක් දිව යන ඉතිහාසයක් ඇති රැස් වෙහෙර සංකීර්ණය තුළ ගල් ගුහා 99 ක් දක්නට ලැබෙනවා. විවිධ ප්‍රමාණ වලින් සහ හැඩයන්ගෙන් යුත් මෙම ගල් ගුහා, විහාර ගෙවල් මෙන්ම භාවනා කුටි සඳහා යොදාගෙන තිබෙන අතර, මේ ඇතැම් ගල් ගුහා වලින් ශිලා ලේඛන හමුවී තිබෙනවා.

සොළීන්ගේ ආක්‍රමණ හමුවේ වළගම්බා රජතුමා සැඟවී සිටි ස්ථාන වශයෙන් ද මේ ගල් ගුහා හඳුනාගෙන තිබෙනවා. ඓතිහාසික මූලාශ්‍ර  වල සඳහන් වන පරිදි, පසු කාලයේ දී රැස්වෙහෙර සංවර්ධන කටයුතු සඳහා වළගම්බා රජුගේ අනුග්‍රහය නොමදව ලැබී ඇත්තේ ඒ නිසා යැයි සදහන් වනවා.  

රැස්වෙහෙර-ගුහාවක-තිබූ-සෙල්-ලිපියක් (yahoo.com)

රැස්වෙහෙර-ගුහාවක-තිබූ-සෙල්-ලිපියක් (yahoo.com)

අවුකන පිළිමයට සමානකම් කියන “ සැස්සෙරුව”  බුදු පිළිමය වෙත වැටී ඇති මංපෙත දෙපස මෙම ගුහා වලින් වැඩි ප්‍රමාණයක් දක්නට ලැබෙනවා. ඒවා අතරින් ප්‍රධාන ගුහාව තුළ විහාරගෙය දක්නට පුළුවන්. විහාරගෙයට පිවිසෙන දොරටුව ඉහළ අලංකාර මකර තොරණක් නිර්මාණය කර ඇති අතර, විහාරගෙය තුළ හිඳි බුදු පිළිමයක් දක්නට ලැබෙනවා. මෙම බුදු පිළිමය අලංකාර සැරසිළි, විවිධ වර්ණ රටා හා සිතුවම් වලින් නිර්මාණය කර තිබෙනවා.

පිහිටීම හා ගමන් මඟ

රැස්-වෙහෙර-ගමන්-මඟ (yahoo.com)

රැස්-වෙහෙර-ගමන්-මඟ (yahoo.com)

රැස් වෙහෙර ගල් ගුහා විහාර සංකීර්ණය සහ පිළිම වහන්සේ පිහිටි මෙම ඓතිහාසික  ස්ථානය අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් වන අතර, ගල්ගමුව හා  නිගම් පහ යන ගම් දෙක අතර අවුකන විහාරයට කි.මි. 11 බටහිරින් පිහිටා තිබෙනවා.

මෙම සිද්ධස්ථානය වැඳ පුදා ගැනීමට යන බැතිමතුන්ටත්, නැරඹීමට යන සංචාරකයින්ටත් ගමන් මාර්ග දෙකක් ඔස්සේ මෙතැනට ළඟා වෙන්න පුළුවන්. එම ගමන් මාර්ග දෙක වන්නේ, කොළඹ – අනුරාධපුර ප්‍රධාන මාර්ගයෙන් පැමිණ, ගලේවලින් කැකිරාව – ගල්නෑව ගමන් මාර්ගය  සහ කැකිරාව හංදියෙන් හැරී අවුකන මාර්ගය ඔස්සේ ඇති ගමන් මඟයි.

එළඹෙන නිවාඩු කාලයේ අනුරාධපුර සිද්ධස්ථාන වන්දනා කිරීමටත්, නැරඹීමට යාමටත්  ඔබ අදහස් කරනවා නම්, මෙම පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානය දැක බලා ගන්නත් අමතක කරන්න එපා. ඔබ මෙවැනි ස්ථාන නැරඹීමට යාමේදී මේ කරුණු කාරණා වගේම, එම ස්ථාන වල දක්නට ලැබෙන පෞරාණික බව ආරක්ෂා වන අයුරින් කටයුතු කිරීමටත් අමතක කරන්න එපා. අප අනාගත පරපුරටත් දැක බලාගැනීමට හැකි අයුරින් මේවා සුරක්ෂිත කිරීම අප කාගේත් යුතුකමක් බව නිතරම සිහි තබා ගන්න.

ඡායාරූප : (www.yahoo.com, Kanchana Dissanayaka)

කවරයේ පින්තුරය: traveljournals.net

Related Articles

Exit mobile version