කඳුකරයේ වගේම පහතරට තෙත් කලාපයේත් සිටින අයට නම් කූඩැල්ලා අමුත්තෙක් නෙවෙයි. කිතුල්ගල, සිංහරාජය මෙන්ම කන්නෙලිය වනාන්තරවල චාරිකා කළා නම් ඔබටත් කූඩැල්ලන් කකුල්වල එල්ලී කරන කරදරය විඳගන්න ලැබෙන්න ඇති. කූඩැල්ලන් කකුල්වල එල්ලීමෙන් බේරීමට ලුණු හෝ සබන් දෙපාවල ආලේප කරගැනීමට වනගත ගැමියන් පුරුදු වී සිටිනවා. කූඩැල්ලා ලේ උරාබොන කරදරකාරී සතෙක් කියල අපි හිතුවත් පුරාණයේ ඉඳන් දේශීය වෛද්‍ය ක්‍රමයට කූඩලු ප්‍රතිකාර යොදාගෙන තිබෙනවා. ලංකාව පමණක් නොවේ, තවත් රටවල් රාශියක අනාදිමත් කාලයක පටන් මේ වෙදකම භාවිත කර තිබෙනවා.
කූඩැල්ලාගේ පැතිරීම
පූඩාවා හෙවත් කූඩැල්ලාගෙන් මිනිස් ජීවිතයට මාරක තර්ජනයක් නැතත් දෂ්ට කර ලේ උරාබිව් විට තුවාල ඇති වීම හෝ පැසවීම සිදුවෙනවා. කූඩැල්ලන් ශරීරයේ එල්ලී ලේ උරාබීමෙන් පසු ව එම ස්ථානයේ කැසීමක් හටගන්නවා. එමෙන්ම ඉදිමීමක් ඇති වෙන්නත් පුළුවන්. ඒ නිසා බොහෝ දෙනාගේ බියටත්, පිළිකුලටත් ලක් වූ සතෙකු ලෙස ද කූඩැල්ලා හැඳින්විය හැකියි. ලෝකය පුරා කූඩැල්ලන් විශේෂ 1000ක් පැතිර සිටිනවා. සෙ. මී. 50ක් දිග යෝධ කූඩැල්ලන් ද ඒ අතර සිටිනවා.
අප රටේ කූඩැල්ලා දියේ වර්ග දෙකක් ද, ගොඩබිම දෙවර්ගයක් ද ලෙස පැතිර සිටිනවා. ගොඩ කූඩැල්ලාගෙන් එක් වර්ගයක් අඟල් දෙකක් පමණ දිගින් යුක්ත වන අතර පිට දිගට ඉරි දෙකක් තිබෙනවා. අනෙක් වර්ගය ඊට වඩා තරමක් කුඩා වන අතර ශරීරයේ ඉරි පිහිටා නැහැ. මෙයින් පිටෙහි ඉරි ඇති ලොකු වර්ගය විස සහිත යි. කුඩා පූඩාවාගේ ශරීරයේ එතරම් විසක් නැහැ. ගොඩ කූඩැල්ලා මෙන්ම දිය කූඩැල්ලාගේ ද ලොකු වර්ගය විස සහිත වන අතර කුඩා වර්ගය විස රහිත යි.
වෙද කූඩැල්ලා
චිකිත්සාවෙහි යොදාගනු ලබන කූඩැල්ලන් විෂ සහිත කූඩැල්ලන් සහ විෂ නැති කූඩැල්ලන් ලෙස කොටස් දෙකකට බෙදිය හැකියි. විෂ නැති කූඩැල්ලන් වැඩිපුර ජීවත් වන්නේ පිරිසුදු ජලය ආශ්‍රිතව යි. මෙම කූඩැල්ලන්ගේ උදරය කහ පැහැති යි. නිල් ඉරි පිහිටා තිබෙනවා. විෂ ඇති කූඩැල්ලන් ජීවත් වන්නේ අපිරිසුදු ජලයේ යි. විශේෂයෙන් මාළුන්, මැඩියන් බහුල ජලයේ ජීවත් වන එම විෂ සහිත කූඩැල්ලන් එම සත්ත්වයන්ගේ මළ ආදී අපවිත්‍ර දෑ ආහාරයට ගන්නවා. රතු, සුදු, සහ කළු පැහැති යි. විෂ සහිත කූඩැල්ලන් ලේ ඉරීම සඳහා යොදාගන්නේ නැහැ.
“හිරුඩෝ” යන සත්ව කාණ්ඩයට අයත් වන කුඩැල්ලාගෙන් වෙදකමට යොදාගන්නේ Hirudo Medicinalis යන සත්ව විද්‍යා නාමයෙන් හඳුන්වන කූඩැල්ලා සහ Hirudo Orientalis, Hirudo Troctina සහ Hirudo Verbana යන විශේෂ යි.
සම්පුර්ණයෙන් වැඩුණු මෙම කුඩැල්ලෙකු දිගින් සෙ. මී. 20ක් පමණ වෙනවා. කොළ, දුඹුරු, හෝ කොළපැහැයට හුරු දුඹුරු පැහැයක් ගන්නවා. ඉදිරිපස මුඛයේ හනු සහ දත් දැකිය හැකියි. හනු 3ක් දැකිය හැකි අතර එම හනු කුඩා කියත් මෙන් දිස් වෙනවා. එහි තියුණු දත් 100ක් පමණ පිහිටා තිබෙනවා.
ලේ උරන්නට පෙර
අපේ ආයුර්වේදයට අනුව ලේ ඉරීමට යොදාගනු ලබන කූඩැල්ලා රෝගියාට ප්‍රතිකාර සඳහා යොදාගැනීමට පෙර කහ දියෙහි දමා විනාඩි 7ක් පමණ තැබිය යුතු යි. එවිට කූඩැල්ලා පිරිසුදු වෙනවා. ලේ ඉරීම හැඳින්වෙන්නේ රක්ත මෝක්ෂණය යනුවෙන්. සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යවරයා විසින් රෝගියාට ප්‍රතිකාර ලබාදිය යුතු සුදුසු තැන්හි කූඩැල්ලා තබනවා. ඊට පළමු ව සිරුරේ ලේ ඉරවීමට පිළියෙළ කළ තැන් හොඳින් පිරිසුදු කළ යුතු යි. නමුත් සබන් සුවඳ හෝ තෙල් සුවඳ රැඳී තිබෙන විට කූඩැල්ලන් ලේ උරා බොන්නේ නැහැ.
කූඩැල්ලා දත ගසා ලේ ඉරීමට පටන් ගත් කල වෛද්‍යවරයා විසින් තෙත පුළුන් කැබැල්ලකින් හෝ තෙත රෙදි කැබැල්ලකින් කූඩැල්ලා වසා තබනවා. වරින් වර මෙම පුළුන් කැබැල්ල හෝ රෙදි කැබැල්ල තෙත් කළ යුතු යි. දූෂණය වුණු ලෙයින් කුස පිරුණු පසු කූඩැල්ලා මත් වී වැටෙනවා.
කූඩැල්ලා ලවා කොතරම් ලේ ප්‍රමාණයක් මුදවනවා යන්න ද වැදගත්. එය රක්ත මෝක්ෂණ මාත්‍රාව යනුවෙන් හැඳින්වෙනවා. රෝගියාගේ වයස, ශක්තිය, සහ දෝෂ තත්ත්වය ද අනුව මෙම රක්ත මෝක්ෂණ මාත්‍රාව වෙනස් වෙනවා.
ලේ උරන්නේ මෙහෙම යි
කූඩැල්ලා ඔහු සතු හනු තුනෙන් ම ලේ උරාබොන ස්ථානය තදින් අල්ලා ගන්නවා. මේ සමග රසායනික වර්ග තුනක් කැපුම් ස්ථානයට මුදාහරිනවා. එම එක් රසායනික ද්‍රව්‍යයක් නිර්වින්දකයක් වෙනවා . එවිට සපාකෑම හා ලේ උරාබීම නිසා ඇතිවන වේදනාව දැනෙන්නෙ නැහැ. ඒකයි අපි දන්නෙ ම නැතුව කූඩැල්ලන් කකුලේ එල්ලී ලේ උරා බොන්නේ. කූඩැල්ලා නිකුත් කරන දෙවන රසායනය රුධිර නාල විශාල කරන්නක්. එවිට කූඩැල්ලාගේ මුඛය තුළ ට වේගයෙන් රුධිරය ගලා එනවා. තෙවන රසායනය වන්නේ ලේ කැටිගැසිම වළක්වන හිරුඩින් නම් රසායනික ද්‍රව්‍යය යි.
කූඩැල්ලා ලේ උරාබීම ආරමිභ කළ පසු මිනිත්තු 20-45ක් අතර කාලයක් එය සිදුකරනවා. එක් ආහාර වේලක දි විශාල කුඩැල්ලෙකුට තම ශරිරයේ බර මෙන් දස ගුණයක් ආහාර ගත හැකි බව හෙළි වී තිබෙනවා. එය ආසන්න වශයෙන් මි. ලී. 5-15ක රුධිර ප්‍රාමාණයක්. එම ආහාරය ඔවුනට මාස 18කට පමණ සෑහෙනවා. .
ඊජිප්තුව
ඊජිප්තුවේ 18 වැනි පාරාවෝ රජ වංශයේ (ක්‍රි. පූ. 1500) කූඩැල්ලන් යොදා ප්‍රතිකාර කර තිබෙන බව පිරමීඩවල සිතුවම්වලින් හෙළි වී තිබෙනවා. පුරාණ ග්‍රීසිය, ඊශ්‍රායලය වැනි රටවලත් කූඩලු වෙදකම පැවත තිබෙනවා. ස්නායු ආබාධ, දන්ත ආබාධ, සමේ රෝග සහ ආසාදන සඳහා උන් යොදාගත්තා. ඇස, කන යනාදී ස්ථානවල පමණක් නොව ශරීරයේ මතුපිට හිර වී ඇති ලේ කැටි ඉවත් කිරීමට ද හෘදය, පෙනහඵ, මොළය යනාදී ශරීරයේ විවිධ වූ ස්ථානයන්හි රෝගාබාධයන් සඳහා ද කුඩැල්ලන් යොදාගෙන තිබෙනවා. දියවැඩියාව නිසා ඇසෙහි ඇතිවන ග්ලුකෝමා තත්ත්වය සුවකිරීම, චර්ම රෝග, රූපලාවන්‍යය කටයුතු සඳහා ද කූඩැල්ලන් යොදාගත හැකි බව නවතම පර්යේෂණ මඟින් සොයාගෙන තිබෙනවා.
වර්තමානයේ යුරෝපය, උතුරු ඇමෙරිකාව, දකුණු ඇමෙරිකාව, රුසියාව, දකුණු සහ ගිනිකොන ආසියාව වැනි රටවල මේ වෙදකම පවතිනවා. රුසියාවේ ජාත්‍යන්තර කූඩලු පර්යේෂණ ආයතනයක් ද පවතිනවා. කූඩැල්ලන් බෝ කිරීම මෙන්ම කූඩලු වෙදකම ගැන පර්යේෂණ කිරීම ද එහි කාර්යයක්.
කූඩලුචිකිත්සාව
කුඩැල්ලන් යොදාගන්නා චිකිත්සක ක්‍රම අතරින් වඩාත් ම සහනය ලැබ ඇත්තේ පශ්චාත් ශල්‍යකර්මවල දී එම ස්ථානයේ එකතු වූ ලේ ඉවත් කිරීමට භාජනය වූ රෝගින් සඳහා යි. මෙම ශල්‍යකර්මයන් අතර අතැඟිලි, පාඇඟිලි, කන්, නාසය, ඇහි පියන්, සම යනාදිය නැවත සවිකිරීමේ ශල්‍යකර්ම කටයුතු සදහා පමණක් නොව, අද වනවිට විශාල වශයෙන් සිදුකරන පියයුරු සැත්කම් වැනි (පිළිකා මෙන්ම ප්ලාස්ටික් සැත්කම්) ආදිය සඳහා ද කුඩැල්ලන් ලවා ලේ උරාදැමිම කරනවා. වර්තමානයේ ප්ලාස්ටික් ශල්‍යකර්ම සඳහා සහ වෙනත් ක්ෂුද්‍ර ශල්‍යකර්ම සඳහාත් කූඩැල්ලන් යොදාගන්නවා.
ලේ හරින ආයුර්වේද වෙදකම
අප රටේ ආයුර්වේදයේ නහර ගැටගැසීම හෙවත් වෙරිකෝස් රෝගය සඳහාත්, ඇතැම් අක්ෂි රෝග සඳහාත් කූඩැල්ලන් යොදා කරන පූඩා වෙදකම ඉතා සාර්ථක පිළියමක් වී තිබෙනවා. නමුත් වර්තමානයේ දී ලේ හැරීමේ වෙදකම සම්බන්ධ ව බොහෝ දෙනෙකු තුළ නිසි අවබෝධයක් නොමැතිකම නිසා ම එය අභාවයට යමින් පවතින වෙදකමක් බවට පත්වෙලා.
ලේ විදහැරීමේ පිළිවෙළ පැරැන්නෝ ක්‍රම තුනකට සිදුකළා. එනම් අං යෙදීමෙන්, ලබුකැට යෙදීමෙන් සහ කූඩැල්ලන් හෙවත් පූඩාවන් යෙදීමෙන්.
සර්පයන් විසින් දෂ්ට කළ විට කටින් කට ලේ ඉරීමේ සිරිතක් අපේ පාරම්පරික වෛද්‍යවරු භාවිත කරනවා. නමුත් ලේ හැරීමේ වෛද්‍ය ක්‍රමය ද අන් සෑම වෛද්‍ය ක්‍රමයක් මෙන්ම ඉතාමත් සැලකිල්ලෙන් සිදුකළ යුතු වෛද්‍ය ක්‍රමයක්. ඒ සඳහා සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යවරයෙකු ලවා ප්‍රතිකාර ලබාගත යුතු වෙනවා.
උපදංශ රෝගීන් ලේ හැරීමට සුදුස්සන් ලෙස නිර්දේශ කෙරෙනවා. එමෙන්ම බරවා රෝගීන්ට ද, රක්තගත වූ වාත රෝගීන්ට ද, යම්කිසි විෂක් හේතුවෙන් ලේ දූෂණ රෝගීන්ට ද ලේ විදහැරීම කළ හැකියි.
ලේ අතීසාර රෝගීන්, ශ්වාස රෝගීන් මෙන්ම වයස අවුරුදු හැත්තෑවට වැඩි වැඩිහිටියන් ද, වයස අවුරුදු දහසයට අඩු අය ද, ඉතා කෙට්ටු සිරුරක් ඇති රෝගීන් ද, ගැබිණි කාන්තාවන් මෙන්ම කිරිදෙන මව්වරුන් ද ලේ හැරීමට නුසුදුසු රෝගීන් ලෙස සලකනවා.
කවරය – මුහුණේ ප්‍රතිකාරවලට යෙදූ කූඩැල්ලන්-jooinn.com
මූලාශ්‍රයයන්:
දේශය 2014 ජුලි 15
leechestherapy.com/benifits-and-effects.php
ncbi.nlm.nih.gov