මිනිසුන් හා තවත් බොහෝ සත්ව විශේෂයන් හට නින්ද අවශ්‍යය වන්නේ ඇයිදැයි යන්න විද්‍යාඥයන් විසින් තවමත් නිශ්චිත වශයෙන්ම සොයාගෙන නැතත්, කාර්යක්ෂම හා එලදායී ජීවතයක් ගත කිරීම සඳහා දවසට පැය කිහිපයක්වත් අනිවාර්යයෙන් නිදා ගත යුතු බව අප අත්දැකීමෙන් දන්නා කාරණයක්. මිනිසුන් හැටියට අපි නින්ද සඳහා කොච්චර කාලයක් වෙන් කරනාවද කිවුවොත්, අපේ මුළු ජීවත කාලයෙන් අවුරුදු විසිහතරක්ම ගත වෙන්නේ කොහේ හරි මුල්ලක තියෙන ඇඳක් නැත්නම් පැදුරක් (නැත්නම් බස් සීට් එකක්) මත.
නිරෝගී දිවි පෙවතක් සඳහා ඇත්තටම දවසට පැය කීයක් නින්ද සඳහා වෙන් කලයුතුද?
එක්තරා විද්‍යාඥයන් පිරිසක් විසින් මේ සඳහා ළඟදී අපූරු පරීක්ෂණයක් පැවැත්වුවා. ඒ සති දෙකක කාලයක් ඇතුළත දිනකට පැය හතරක්, හයක් හා අටක් බැගින් නිදා ගන්නා කණ්ඩායම් තුනකගේ චර්යා රටා නිරීක්ෂණ කිරීමෙන්.දින දහහතරකින් පසුව, දිනකට පැය අට බැගින් නිදාගත් පුද්ගලයින් ගේ ඥානාත්මක හැකියාවන් (cognitive abilities) හා කිසියම් දෙයකට සිය අවධානය යොමු කිරීමේ හැකියාවේ සැලකිය යුතු අඩුවක් (attention lapse) දක්නට ලැබුණේ නැහැ. නමුත් පැය 6 හා 4 බැගින් නිදා ගත් පුද්ගලයින්ට එම හැකියාවන් ක්‍රම-ක්‍රමයෙන් අඩුවෙන බවක් දක්නට ලැබුණා.
එක දිගට සති දෙකක් දිනකට පැය 6ක් පමණ නිදා ගත පිරිසේ යම් කිසි දෙයකට ප්‍රතිචාර දැක්වීමේ කාලය (reaction time) 0.1% ක ලේ-මධ්‍යසාර සාන්ද්‍රණයක් සතු පුද්ගලයෙකුගේ මට්ටමට – එසේත් නැත්නම් නිතිය ඉදිරියේ බීමත් පුද්ගලයෙකු ලෙස සැළකිය හැකි අයෙකුගේ මට්ටමට – බැහැල තිබුණු බව මෙම විද්‍යාඥ කණ්ඩායම මගින් නිරීක්ෂණය කලා. පැය හතරක් නිදා ගත් අයගෙන් සමහර අයට සිය ඥානාත්මක විභාගය (cognitive test) එක අතර මැද නින්ද යන්නත් පටන් ගත්තා.
මේ කණ්ඩායම් දෙකේම මොළයේ ක්‍රියාකාරකම් (brain function) දවසින් දවස පහත වැටෙන බව මෙම පරීක්ෂණයෙන් අනාවරණය වුනා. ක්‍රමක්‍රමයෙන් උග්‍ර වන මෙම ගැටළු සහගත තත්වය විද්‍යාඥයින් විසින් නිදි-ණය (sleep debt) ලෙස නම් කර තිබෙනවා.
මේ ණය ඉතින් ගෙවල ඉවර කරගන්න පුළුවන් එකක්ද?
දවසක් දෙකක් හරියට නින්දක් නැති වුනත්, අවුලක් නෑ කිහිප දවසක් හොඳට ඇති වෙන්න නිදා ගත්තොත් ඔබේ ශරීරයටත් මොළයටත් නැවතත් පහසුවෙන් යථා තත්වයට එන්න පුළුවන්. හැබැයි සති ගණන්, මාස ගණන් හරියට නින්දක් නැතුව ඉන්න අයට නම් ආපහු සාමාන්‍ය තත්ත්වෙට එන්න – ඒ කියන්නේ ඥානාත්මක (cognitive) හැකියාවන් තිබ්බ තත්වෙට පත්වෙන්න රෑ ගණනාවක් තිස්සේ ලී ඉරන්න වෙනවා.
මාස ගණන්, අවුරුදු ගණන් හරියට නින්දක් නිදා ගන්නැති අයගේ මොළයේ ක්‍රියාකාරීත්වය නැවතත් යථා තත්වෙට ගේන්න පුලුවන්ද කියන ප්‍රශ්ණය මතු වෙනවා. එමගින් මොළයට වන හානිය සදා කාලික එකක්ද කියෙන ගැටලුවත් නැතිවම නෙමෙයි.
මෙහෙම දේකුත් තියෙනවා. නිද්‍රා විහිනතාවෙන් (sleep deprivation) පීඩා විඳින්නන් හට කාලයක් ගත වුනු පසු නිදි මත දැනීමේ අඩුවක් දක්නට ලැබෙන අතර මෙහි ප්‍රථිපලයක් වශයෙන් ඔබට අවශ්‍ය නින්ද ප්‍රමාණය අවතක්සේරුවට ලක් වීමකුත් නිරායාසෙන්ම සිදුවෙනවා.
ඇත්තෙන්ම කොච්චර වෙලාවක් අපි නිදා ගන්න ඕනෙද?
බොහෝ පරීක්ෂණ වලට අනුව නම් දිනකට පැය හතක් අටක් අතර කාලයක් නිදා ගැනීම තමයි වඩාත් යෝග්‍ය වන්නේ. ඥානාත්මක ගැටළුවලට අමතරව, පුරුද්දක් වශයෙන් පැය හතකට හෝ අටකට අඩුවෙන් නිදා ගන්න පුද්ගලයින් හට හර්ද රෝග, ස්ථූල භාවය හා දියවැඩියාව වැළඳීමේ වැඩි අවදානමක් තිබෙන බවයි විද්‍යාඥයන් පවසන්නේ. එපමණක් නොව මේ අය අන් අයට සාපේක්ෂව 12%ක මරණයට පත් වීමේ අවදානමකින්ද පසු වන බවයි පැවසෙන්නේ.
හැබැයි ඒ වගේම පැය අටකට වඩා නිදා ගන්නා පුද්ගලයින්ගේ මොළයේ ක්‍රියාකාරකම් වල අඩුවක් දක්නට නොලැබුනත් ඔවුන්ගේද හර්ද රෝග, ස්ථූල භාවය හා දියවැඩියාව වැළඳීමේ වැඩි අවදානමක් ඇති බව දක්නට ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි මේ අයගේ මරණයට පත් වීමේ සම්භාවිතාවද සියයට තිහකින් ඉහල ගොස් ඇතිබවයි පෙනෙන්නේ. නින්ද අපට අත්‍යාවශ්‍ය වගේම, ඕනාවට වඩා නිදා ගැනීමත් සෞක්‍යයට එතරම් හිතකර නොමැති බවයි මින් පැහැදිළි වන්නේ.
කෙසේ වෙතත් නිද්‍රා රටාවන්හි ප්‍රභේදන ඇතිතරම් දක්නට ලැබෙනවා. මේ සඳහා අපේ ජාන සෑහෙන ප්‍රමාණයකින් දායක වන අතර පැය හයක් පමණක් නිදාගෙනත් කිසිම සෞඛ්‍යමය ගැටළුවක් රහිතව ඉන්න අයගේ එක්තරා ජානයක විකෘතියක් තියෙන බව තමයි (mutation) විද්‍යාඥයින් විසින් සොයාගෙන තියෙන්නේ. මීයන් විශේෂයකට මෙම ජානය හඳුන්වා දන් පසු උන් සාමාන්‍ය මීයන්ට වඩා පැය 1.2ක කාලයක් අවදියෙන් සිටීමේ හැකියාවක් පෙන්නුම් කළා. විද්‍යාඥයින්ගේ අදහස වන්නේ මෙලෙස අඩු නිද්දෙන් ශේප් වෙන්නන්ගේ කෙටි නින්ද සාමාන්‍ය පුද්ගලයකුගේ නින්දට වඩා ජීව විද්‍යාත්මක ලෙස තරමක් තීව්‍ර එකක් බවයි.
දළ වශයෙන් මිනිසෙකුට කෙතරම් දිගු නින්දක් අවශ්‍ය යැයි දැන ගැනීම වැදගත් උනත් හැමෝටම එක සපත්තු සයිස් එක හරියන්නෑ වගේම ඔබගේ ශරීරයට සහ මොළයට අවශ්‍ය වන නින්ද ප්‍රමාණය අවබෝධ කර ගැනීමේ වගකීම සතුවන්නේ ඔබටම පමණයි.
[total-poll id=661]
Source: ASAPScience.com/ මුලාශ්‍රය: ASAPScience.com
Cover image: neurosciencenews.com/ කවරයේ පින්තුරය: neurosciencenews.com