Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ටින් ටින්ගේ පසුබිම් කතා

වර්තමානයේ බොහෝ දරුවන් කාටූන් චිත්‍රපට වැනි දෑ නැරඹීම වෙනුවට වීඩියෝ ගේම් සහ රසවින්දන වැඩසටහන් පමණක් නැරැඹීමට හුරුවී සිටියි. නමුත් මීට වසර පහළොවකට විස්සකට පෙර කාටුන් නැරැඹීම කුඩා ළමුන්ගේ පමණක් නොව, තරුණ තරුණියන්ගේ ද දිනචර්‍යාවේ කොටසක්ව තිබූ බව අපි දනිමු.

වර්තමානයේ රූපවාහිනිය හරහා ප්‍රදර්ශනය වන කාටූන් චිත්‍රපටවල ගුණාත්මකබව ද එතරම් ඉහළ මට්ටමක නොතිබුණත්, මීට දශක දෙකකට වැනි කාලයකට පෙර රූපවාහිනියෙන් විකාශය වූ කාටූන් ඉතාමත් රසවින්දනාත්මක විය. ඒ කාටුන් අතරේ වූ, ශ්‍රී ලාංකික අප පමණක් නොව ලෝකයේ රටවල් ගණනාවක දරුවන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්වූ කාටූනයක් ලෙස ‘ටින් ටින්ගේ වීර ක්‍රියා’ හැඳින්විය හැකිය. ටින් ටින්යැ යි ඇසූ පමණින් ඒ කුමක්දැ යි බොහෝදෙනෙකු දන්නා නමුත් එය කවදා, කොතැනක, කවුරුන් විසින් නිර්මාණය කරන ලද්දක්දැ යි බොහෝදෙනෙකුට අවබෝධයක් නැත. එම නිසා මෙම ලිපිය හරහා ඔබ අප කවුරුත් රසවිඳි “ටින් ටින්ගේ වීර ක්‍රියා” කතා මාලාව ආරම්භ වූ අයුරු සහ එය ලොව පුරා ප්‍රචාරය වූ අයුරු පිළිබඳව තතු ඔබ හමුවේ තබන්නට බලාපොරොත්තු වෙමු.

The Adventures of Tin TIn (1991 – 1992) ටීවී කතා  මාලාවේ කවරය/IMDb

 

ආරම්භය සහ කතුවරයා

‘ඇඩ්වෙන්චර්ස් ඔෆ් ටින් ටින්’ එනම් ‘ටින් ටින්ගේ වීර ක්‍රියා’ යනු බෙල්ජියම් ජාතික කාටූන් ශිල්පී ජෝර්ජස් රෙමී (එයාජේ) විසින් නිර්මාණය කෙරුණු චිත්‍රකතා මාලාවකි. විසිවන සියවසේ යුරෝපය පුරාම ජනප්‍රිය වූ ටින් ටින් ගේ වීර ක්‍රියා චිත්‍රකතා මාලාව 2007 වසර වන විට භාෂා හැත්තෑවකට ආසන්න ප්‍රමාණයකට පරිවර්තනය වී තිබෙන අතර, ඒවායේ පිටපත් මිලියන දෙසියයකට ආසන්න ප්‍රමාණයක් ලොව පුරා අලෙවි වී තිබිණි. ඊට අමතරව එය ගුවන් විදුලි සහ රූපවාහිනී නාට්‍ය සහ චිත්‍රපට ගණනාවකට ද යොදාගෙන තිබේ. මෙය 1929 වසරේ දී, බෙල්ජියම් පුවත්පතක් වන “ල වැන්ග්ටියෑම් සියැක්ල”හි තරුණ තරුණියන් සඳහා වන අතිරේකයක ප්‍රංශ භාෂාවෙන් පළවූ අතර, එහි සාර්ථකත්වය නිසා බෙල්ජියමේ ප්‍රධාන පෙළේ පුවත්පතක් වන “ලෙ සෝයර්” හි පළවීම හරහා එය ජනප්‍රියත්වයට පත් විය.

ටින් ටින් කතා මාලාවේ වීරයා වන්නේ, බෙල්ජියම් ජාතික ධෛර්‍ය සම්පන්න තරුණ පුවත්පත් වාර්තාකරුවෙකු වූ ටින් ටින් ය. ඔහුට ‘ස්නෝවි’ නමින් ඉතාමත් විශ්වාසවන්ත සුනඛයෙකු ද විය. කපිතාන් හැඩොක්, බුද්ධිමත් නමුත් ශ්‍රවණාබාධිත පුද්ගලයෙකු වූ මහාචාර්‍ය කැල්ක්‍යුලස්, තොම්සන් සහ තොම්ප්සන් සෙසු චරිත අතර ප්‍රධාන තැනක් ගත් අය විය.

එයාජේ තමන් උපන් බ්‍රස්ල්ස්හි පළවන රෝමානු කතෝලික පුවත්පතක් වන ‘ල වැන්ග්ටියෑම් සියැක්ල’හි චිත්‍ර ශිල්පියෙකු ලෙස සේවය කළ අතර, එය කතෝලික පුවත්පතක් විය. නෝබර් වොලස් නම් අයෙකුට අයත්වූ එම පුවත්පත සෑම බ්‍රහස්පතින්දාවකම තරුණ තරුණියන් සඳහා වෙන් වූ අතිරේකයක් පළකළ අතර, වොලස් එයාජේ එම අතිරේකයේ කතුවරයා ලෙස නම් කරන ලදී. එම පුවත්පතේම ක්‍රීඩා අංශයේ සේවය කළ අයෙකු විසින් නිර්මාණය කරන ලද කාටූනයක් මෙම තරුණ අතිරේකයේ පළ වූ අතර එය එතරම් සාර්ථක නිර්මාණයක් නොවූ බැවින් තමන්ගේම නිර්මාණයක් සිදුකිරීම වඩාත් සුදුසු බව එයාජේ විසින් තීරණය කෙරිණි.

එයාජේ/Wikimedia

ඒ වන විටත් කාටූන් චිත්‍ර ඇඳීම පිළිබඳව සෑහෙන ප්‍රමාණයක අත්දැකීම් ලබා සිටි එයාජේ, ඊට පෙර බාලදක්ෂ ව්‍යාපාරයට සම්බන්ධ තරුණයෙකු වටා ගෙතුණු ත්‍රාසජනක සිදුවීම් ඇතුළත් කාටූනයක් නිර්මාණය කර තිබුණි. එම කාටූනයේ ප්‍රධාන චරිතය වූ “ටොටෝර්” නමැති චරිතය ටින් ටින් චරිතයට බෙහෙවින්ම සමාන බව ඔහුගේ නිගමනය විය. එපමණක් නොව “ටොටෝර්” ටින් ටින්ගෙන් වෙනස් වන්නේ ඔහු බාලදක්ෂයින් සඳහා වන නිල ඇඳුම හැඳ සිටි නිසාවෙන් පමණක් බවත් ඔහුගේ අදහස විය.

කතා මාලාව ජනප්‍රියත්වයට පත්වෙයි

ටින් ටින්ගේ වීර ක්‍රියා අමෙරිකා එක්සත් ජනපදය මූලික කරගෙන නිර්මාණය කිරීමට එයාජේට අවශ්‍ය වුව ද වොලස්ගේ උපදෙස් මත එය සෝවියට් දේශය පාදක කරගෙන නිර්මාණය කරන්නට ඔහු කටයුතු කළේ ය. 1929 ජනවාරි මස සිට 1930 මැයි මාසය දක්වා ‘ල වැන්ග්ටියෑම් සියැක්ල’ හි පළවූ කාටූනය බෙල්ජියම පුරා ජනප්‍රිය වන්නට පටන්ගත් අතර එහි ප්‍රතිපලයක් ලෙස වොලස් එක්තරා දුම්රිය ස්ථානයක් අසල මෙම කාටූනය සඳහා ප්‍රචාරක වැඩසටහනක් ද පැවැත්වූයේ ය. පසුව ටින් ටින්ගේ වීර ක්‍රියා පොත් වශයෙන් මුද්‍රණය කර අලෙවි කිරීම ආරම්භ වූ අතර කතා මාලාවේ ජනප්‍රියබව ඉහළයාමත් සමග එහි අලෙවිය ද ඉහළගිය බැවින් වොලස් විසින් එයාජේට සහායකයින් දෙදෙනෙකු ද ලබා දෙන ලදී.

වොලස්ගේ උපදෙස් මත 1930 වසරේ ජූනි මස එයාජේ “කොංගෝහි ටින් ටින්” කතා මාලාව නිර්මාණය කිරීම ආරම්භ කළ අතර, කොංගෝ වැසියන් කුඩා ළමුන් වැනි තරමක අනුවණ පිරිසක් ය යන හැඟවීමක් එම කතා මාලාවේ අන්තර්ගතවීම නිසා එය ජාතිවාදී එකක් ලෙස විවිධ චෝදනාවලට ද ලක්විය. කෙසේ නමුත් එය එම පසුබිම තුළ තව තවත් ජනප්‍රියත්වයට පත්වූ අතර අලෙවිය වැඩි කිරීම උදෙසා නව තවත් ප්‍රචාරක උපක්‍රම යොදන ලදී. පසුකාලීනව එයාජේට ස්විට්සර්ලන්ත සහ පෘතුගීසි පුවත්පත්වලින් ද ආරාධනා ලැබුණු අතර ඔහු ටින් ටින් නම් චරිතය අමෙරිකා එක්සත් ජනපදය, ඊජිප්තුව, ඉන්දියාව, ටිබෙටය සහ චීනය වැනි රටවලට ද පිටත් කර හැර, ඒ රටවල් ආශ්‍රිත ත්‍රාසජනක කතා ද නිර්මාණය කරන ලදී.

ජාතිවාදීයැ යි චෝදනාවට ලක්වුණු චිත්‍රකතාව/The France 24 Observers

කෙසේ වෙතත් දෙවැනි ලෝක යුද්ධය ලොව පුරා ව්‍යාප්තවීමත් සමග 1940 මැයි මාසයේ දී නාසින් විසින් ජර්මනිය සහ බෙල්ජියම ආක්‍රමණය කෙරුණෙන් එයාජේ ප්‍රංශයට පළා ගියේ ය. ඉන් ටික කලකට පසුව නැවැතත් තම මව්බිම වූ බෙල්ජියමට ගිය එයාජේට, දේශපාලන හේතූන් මත ‘ල වැන්ග්ටියෑම් සියැක්ල’ පුවත්පත වසාදැමීම නිසා රැකියාව අහිමිවිය. නව රැකියාවක් සොයමින් ටික කලක් ගත කළ ඔහුට බෙල්ජියමේ ප්‍රධාන පෙළේ පුවත්පතක් වන ‘ලෙ සෝයර්’ හි රැකියාවක් ලැබිණි. ඔහුට ටින් ටින් කතා මාලාව නැවැතත් ප්‍රකාශනයට පත්කිරීම සඳහා අවසරය ලැබුණි. 

1940 වසරේ ඔක්තෝබර් මස ඔහු එම පුවත්පතේ ළමා අතිරේකයේ කතෘවරයා ලෙස පත්විය. නමුත් වාර්තාකරුවෙකු ලෙස එතෙක් කලක් පැවැති ටින් ටින්ගේ චරිතය තවදුරටත් ඉදිරියට ගෙන යාමට දේශපාලන හේතූන් මත නොහැකි වූ බැවින් එයාජේ ටින් ටින්ට ගවේශකයෙකුගේ නව මුහුණුවර ලබාදෙන ලදී.

තාවකාලික නැවතුමක්

1944 වසරේ සිදුවූ දේශපාලන පෙරළියක ප්‍රතිපලයක් ලෙස ‘ලෙ සෝයර්’ පුවත්පත වසා දැමුණි. ඉන් අනතුරුව ටින් ටින්ගේ වීර ක්‍රියා කතා මාලාව පළවීම ටික කලකට නැවැතිණි. කෙසේ වෙතත් 1946 වසරේ දී බෙල්ජියමේ විකට කතන්දර සහ කාටූන් පළ කිරීම සඳහා ප්‍රසිද්ධියක් ලබා සිටි ප්‍රකාශකයෙකුගේ ආරාධනාවක් පිළිගත් එයාජේ විසින් ‘ලෙ ලොම්බාර්ඩ්’ නම් සමාගමට අයත් සඟරාවක ටින් ටින් කතා මාලාව පළ කරන ලදී.

කතා මාලාවේ ප්‍රධාන චරිත/Paul’s Pensees

පසුකලෙක තමන් විසින්ම අරඹන ලද ආයතනයක් හරහා ටින් ටින් කතා මාලාව රූපවාහිනී ඇල්බමයන් කිහිපයක් ලෙස නිශ්පාදනය කිරීමට එයාජේ සමත්වූයේ ය. 1983 වසරේ දී ඔහු මියයන තුරුම එම එහි නිශ්පාදන කටයුතු සිදුවිය. නමුත් ඔහුගේ අභාවයෙන් පසුව එම ආයතනය විසුරුවා හැරි අතර සියළුම වත්කම් එයාජේ නමින් අරඹන ලද පදනමකට භාර දෙන ලදී.

ටින් ටින් කතා මාලාව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වේ.

ටින් ටින් කතාවක් 1951 වසරේ මහා බ්‍රිතාන්‍යයේ “ඊගල්” නම් ළමා සඟරාවේ ඉංග්‍රීසි බසින් පලවූ අතර, සම්පූර්ණ කතා මාලාව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමේ කටයුතු ආරම්භ වූයේ 1958 වසරේ දී ය. 1950 දශකයේ දී එය අමෙරිකාවේ එක්තරා සමාගමක් විසින් පළ කිරීම ඇරඹුණු අතර 1966 වසරේ සිට 1979 දක්වා ‘චිල්ඩ්‍රන්ස් ඩයිජස්ට්’ සඟරාවේ මාසිකව පළ විය.

රුපවාහිනී සහ ඩිජිටල් ආගමනය

2015 වසරේ දී ඇපල් සමාගම ‘ටින් ටින්’ නමින් ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දුන්නේ ය. එය නවීන ඩිජිටල් ලෝකයට ටින් ටින් කතා මාලාව හඳුන්වාදීමේ ආරම්භය විය. එයාජේගේ අභාවයට පෙර ටින් ටින් කතා මාලාව පදනම් කරගත් විශේෂාංග චිත්‍රපට පහක් නිර්මාණය වූ අතර 2011 වසරේ දී තවත් එකක් නිර්මාණය විය. 1990 දශකයේ දී එයාජේ පදනම වෙනුවෙන් ප්‍රංශයේ සහ කැනඩාවේ සමාගම් දෙකක් විසින් නිශ්පාදනය කෙරුණු ටින් ටින්ගේ වීර ක්‍රියා රූපවාහිනී කතා මාලාව ඉමහත් ජනප්‍රියත්වයට පත්විය.

ටින් ටින් චිත්‍රපටය/YouTube

ශ්‍රී ලංකාව තුළ ද ටින් ටින් කතා මාලාව සිංහලට හඬකවා රූපවාහිනිය හරහා විකාශය වූ අතර එය 1990 සහ 2000 දක්වා වූ කාලය තුළ ඉමහත් ජනප්‍රියත්වයට පත්විය. ටින් ටින් කතා මාලාව මේ වන විට අවස්ථා ගණනාවක දී සම්මානයට පාත්‍රවී ඇති අතර ටිබෙටය පදනම් කරගෙන නිර්මාණය කළ ටින් ටින් කතාව අගයනු වස් ටිබෙටයේ අධ්‍යාත්මික නායක දලයි ලාමා විසින් 2006 වසරේ දී එයාජේ පදනමට විශේෂ සම්මානයක් ද පිරිනමන ලදී.

Related Articles