Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වකුගඩු රෝගයක පෙර ලකුණු

වකුගඩු රෝගය වර්තමානය වන විට රජරට ප්‍රදේශයේ ඉතා බලවත් ලෙස පවතින සෞඛ්‍ය ගැටලුවක්. දශක ගණනාවක් තිස්සේ බලධාරීන් විසින් ගන්නා ලද අදූර්දර්ශී තීරණ නිසා මේ අවාසනාවන්ත තත්ත්වය ඇති වී තිබෙනවා. ශරීරයට අහිතකර බැර ලෝහ සහිත කෘමිනාශක වැනි දේ කුඹුරු ඔස්සේ ජල ප්‍රභව වලට එකතු වීම නිසා මේ තත්ත්වය ඇති වී තිබෙන අතර වසරකට අනුරාධපුර හා පොළොන්නරු දිස්ත්‍රික්ක වලින් වාර්තා වෙන වකුගඩු රෝගීන් ගණන සුළුපටු නැහැ.

වකුගඩුවක කරස්කඩක්-courses.lumenlearning.com

වකුගඩු රෝග වැළඳුණු පසු තත්ත්වය බැරෑරුම් වන්නේ හෙමි හෙමිහිටයි. රෝගයේ මූලික අවස්ථාවේදීම එය හඳුනාගෙන ප්‍රතිකර්ම වලට යොමු වුවහොත් ඉතා සාර්ථක ලෙස රෝගය පාලනය කරගන්නට පිළිවන්. කෙසේ නමුත් වකුගඩු රෝගයක් වැළඳුණු පසු බොහෝ විට මූලික අවධියේදී ඍජු ලෙස රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ. මේ නිසා යමෙකුට එය නිශ්චය වන්නේ මදක් තත්ත්වය බැරෑරුම් වූ විටයි. කෙසේ නමුත් යමෙකුගේ වකුගඩු හොඳින් ක්‍රියා නොකිරීමට පටන්ගත් කාලයේදීම පෙන්වන රෝග ලක්ෂණ කිහිපයක්ම තිබෙනවා. ඒවා පිළිබඳ දැනුවත් වී අවධානයෙන් සිටීමෙන් විශාල අවදානමකින් මිදෙන්නට ඔබට හැකි වේවි.

අධික මහන්සියක් දැනීම, ශක්තිය මද බව හා අවධානය යොමු කිරීමේ අපහසුව

ccnmredmond.com

වකුගඩු යුගලයෙහි ක්‍රියාකාරී බවෙහි සැලකිය යුතු අඩු වීමක් සිදු වූ විට රුධිරයෙහි විෂ හා තවත් අපද්‍රව්‍ය ගොඩ ගැසීමක් සිදු වෙනවා. මේ නිසා අධික මහන්සි ගතිය, දුර්වල බව හා යම් දෙයකට අවධානය යොමු කර හිඳීමේ අපහසුතා ඇති විය හැකියි. වකුගඩු දුර්වල වූ විට රක්ත හීනතාවයද ඇති වන බැවින් එහි ප්‍රතිඵලයක් ලෙසද දුර්වල බව හා වෙහෙස දැනිය හැකියි.

සීතල බවක් දැනීම

වකුගඩු දුර්වල වූ විට ඇති වන රක්ත හීනතාවයේ ප්‍රතිඵලයක් ලෙස අවට පරිසරය ප්‍රශස්ත උණුසුමකින් යුතුව ඇති විටදී ද සීතලක් දැනිය හැකියි.

නිදාගැනීමේ අපහසුතා

avensonline.org

වකුගඩු වල පෙරීමේ ක්‍රියාවලිය නිසි ලෙස සිදු නොවන විට ශරීරයට එකතු වන හා ශරීරයේ නිපදවෙන විෂ ද්‍රව්‍ය නිසි ලෙස සිරුරෙන් බැහැර වන්නේ නැහැ. මේ නිසා නිසි ලෙස නින්ද යාමද සිදු වන්නේ නැහැ. වකුගඩු ආබාධ හා තරබාරු වීම මෙන්ම නින්දේදී ශ්වසන අපහසුතා ඇති වීමෙහිද යම් සම්බන්ධ කමක් තිබෙනවා.

හුස්ම මද බවක් දැනීම

හුස්ම මද බවක් දැනීම සමහර විටෙක වකුගඩු රෝගයක් ඇති වෙමින් තිබීමෙහි රෝග ලක්ෂණයක් විය හැකියි. යමෙකුගේ වකුගඩු නිසියාකාරව ක්‍රියාත්මක නොවෙන විට සිරුරෙහි රැඳෙන අතිරික්ත තරල  පෙනහළු තුළ පිරීමට ඉඩ තිබෙනවා. දෙවැන්න පෙර සඳහන් කළ රක්ත හීනතාවයයි. මේ කාරණා දෙකෙහිදීම සිරුර පුරා කාර්යක්ෂම ඔක්සිජන් පරිවහනයට බාධා ඇති වෙනවා. ප්‍රතිඵලය වන්නේ හුස්ම මද බවක් දැනීමයි. (2)

සම වියලීම හා ඉරි තැලීම

Phasinphoto/iStock/Getty Images

සෞඛ්‍යමත් වකුගඩු දෙකක් ශරීරයට ඉතා වැදගත් කාර්යයන් කිහිපයක්ම කරනවා. ඉන් පළමු වැන්න ශරීරයේ අතිරික්ත තරළ හා ශරීරයට අනවශ්‍ය අපද්‍රව්‍ය ශරීරයෙන් ඉවත් කිරීමයි. මීට අමතරව රතු රුධිර සෛල නිපදවීමට දායක වීම හා නිසියාකාර අයන ප්‍රමාණයක් ශරීරය තුළ රඳවා ගනිමින් අස්ථි වැනි දේ සෞඛ්‍යමත්ව තැබීමද ඒවා විසින් සිදු කරනවා. වියළි හා ඉරිතැළුණු සම ශරීරයේ අයන තුලිතතාවයේ හෝ අස්ථි සම්බන්ධ රෝගයක මූලික ලක්ෂණ විය හැකි අතර එම රෝග සමහර විටෙක නිසියාකාරව ක්‍රියාත්මක නොවන වෘක්ක නිසා ඇති වී තිබිය හැකියි.

සමෙහි කැසීම හා පලු දැමීම ඇති වීම

Kampe/iStock/Getty Images

වකුගඩු නිසියාකාරව ක්‍රියා නොකරන විට ශරීරයෙහි විෂ එක් රැස් වීමක් සිදු වන නිසා එහි ප්‍රතිඵලයක් ලෙස සමෙහි තදබල කැසීම් ඇති විය හැකියි.

නිතර මුත්‍රා කිරීමට සිදු වීම

විශේෂයෙන් රාත්‍රී කාලයේ දී නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වීම වකුගඩු රෝගයක පෙරනිමිති විය හැකියි. විශේෂයෙන් වකුගඩුවේ මුත්‍රා පෙරීම සිදු වන කොටස් හානි වූ විට මුත්‍රාශය වෙත මුදා හැරෙන මුත්‍රා ප්‍රමාණය ඉහළ යා හැකියි. සමහර විටෙක මේ තත්ත්වය මුත්‍රවාහිනී පද්ධතිය සම්බන්ධ ආසාදනයක හෝ පුරුෂයෙකුගේ පුරස්ථි ග්‍රන්ථිය විශාල වීමේ තත්ත්වයක ප්‍රතිඵලද විය හැකියි. (1)

අත් පා ඉදිමීම

nagchaumpa.com

වකුගඩු වල ආබාධයක් ඇති විට ශරීරයේ තරල බැහැර කිරීම නිසි පරිදි සිදු නොවන බැවින් ඒවා අත් පා වල තැන්පත් වීම සිදු විය හැකියි. මේ නිසා ඒවා ඉදිමීම සිදු වෙනවා.

මුත්‍රා සමඟ රුධිරය පිටවීම

සාමාන්‍යයෙන් සෞඛ්‍යමත් වකුගඩුවක් සිය පෙරීමේ ක්‍රියාවලිය සිදු කරන විට රුධිරය සම්පූර්ණයෙන්ම ශරීරය තුළ රඳවා තබා ගන්නවා. කෙසේ වෙතත් හානි වූ වකුගඩුවකින් මුත්‍රාශය වෙතට රුධිර අංශු පෙරී යා හැකියි. මෙලෙස මුත්‍රා වල රුධිරය තිබීම මුත්‍රාශයේ ගැටිති, වකුගඩුවල ගල් හෝ විවිධ ආසාදන නිසාද ඇති විය හැකියි.

මුහුණ ඉදිමීම

lupuslyfe.blogspot.com

වකුගඩු නිසියාකාරව ක්‍රියා නොකරන විට අතිරික්ත තරළ ප්‍රමාණයක් ශරීරයේ රැඳීමට හැකි අතර ඒවා සමහර විටෙක මුහුණේ ද තැන්පත් වෙනවා. මෙහි ප්‍රතිඵලය වන්නේ මුහුණ ඉදිමීමට ලක් වීමයි.

මුත්‍රා වල පෙණ ස්වභාවයක් තිබීම

යමෙකුගේ මුත්‍රා වල දිගින් දිගටම සැලකිය යුතු තරමේ පෙණ ස්වභාවයක් තිබේනම් එයද වකුගඩු රෝගයක ලක්ෂණ විය හැකියි. මේවා බිත්තර සාරු මෙන්ද දිස් විය හැකියි. මෙලෙස සිදුවන්නේ වකුගඩු වල පෙරීමේ ක්‍රියාවලිය නිසියාකාරව සිදු නොවීම නිසා මුත්‍රා සමඟ සැලකිය යුතු ප්‍රමාණයක ප්‍රෝටීන පිට වීම නිසායි.

ආහාර වල ලෝහමය රසයක් දැනීම

Getty Images

වකුගඩු නිසි ලෙස ක්‍රියා නොකරන විට හුස්ම ගැනීමේදී ඇමෝනියා සුවඳක් වහනය විය හැකි අතර එසේ සිදු න්නේ ශරීරය තුළ ඇමෝනියා වැනි විෂ ද්‍රව්‍ය ගොඩ ගැසීම නිසායි. මෙහි ප්‍රතිඵලයක් ලෙස විවිධ ආහාර වල, විශේෂයෙන් මාංශමය ආහර වල ලෝහමය රසක් දැනෙන්නට පටන් ගන්නා අතර කෑම රුචියද පහළ බසිනවා. දීර්ඝ කාලීනව මෙසේ සිදු වන විට ගන්නා ආහාර ප්‍රමාණය අවම වීමෙන් ශරීරය වැහැරෙනවා.

මස්පිඬු පෙරළීම

රෝගී වකුගඩු වලින් දැඩිලෙස අයන ඉවතට පෙරී යාම නිසා ශරීරයේ විවිධ අයන වර්ගවල අසමතුලිතතාවයක් ඇති වෙනවා. මේ නිසා ආස්‍රැති විධානය වැනි ජීවී ක්‍රියාවලීන් වලට බාධා ඇති විය හැකි අතර සමහර අයන ඌණතාද ඇති වෙනවා. විශේෂයෙන් අඩු කැල්සියම් තත්ත්ව හා නිසි ලෙස පාලනය නොවූ පොස්ෆරස් අයන සාන්ද්‍රණ නිසා ශරීරයේ විවිධ ස්ථාන වල මස්පිඬු පෙරැළීම් ඇති විය හැකියි.

උදර වේදනාව, ඔක්කාරය හා වමනය ඇති වීම

I Stock/Paul-Bradbury

ඉතා දැඩි ලෙස රුධිරයෙහි විෂ ද්‍රව්‍ය හා අනෙකුත් අපද්‍රව්‍ය එක් රැස් වූ විට උදරයෙහි අපහසුතාද, ඔක්කාරය මෙන්ම වමනයද ඇති විය හැකියි.

ඉහත සඳහන් කළ රෝග ලක්ෂණ වකුගඩු ආබාධ වලදී පමණක් නොව වෙනත් ආබාධ සඳහාද වෙන් වෙන් වශයෙන් ඇති විය හැකියි. මේවා එකකට වඩා වැඩි ප්‍රමාණයක් ඇති කල්හි වකුගඩු රෝගයක් ඇති වී තිබීමේ සම්භාවිතාව වැඩි වෙනවා. එම නිසා මෙවැනි රෝග ලක්ෂණ ඇති බවට හඳුනාගත් විට හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකු හමුවීමට යාම නුවණට හුරු වෙනවා.

කවරයේ පින්තූරය-shutterstock.com

මූලාශ්‍ර

kidney.org

lifeoptions.org

Related Articles