දිනපතා එකම රටාවකට අනුව ජීවත් වෙන්නට ගියාම ජීවිතය ඒකාකාරී වෙනවා. වෙනසක් නැතිව එකම විදියට ගෙවුණාම කවදාහරි මුණුබුරු මිණිබිරියන් ඔබෙන් එකල කරපු වීර කතාවක් අහද්දී කියන්නට දෙයක්වත් නැතිව යනවා. එලෙස ඒකාකාරී ජීවිතයක් ගෙවා මරණයට පත් වෙනවා වෙනුවට විවිධත්වයෙන් යුත්, සතුටුදායී ජීවිතයක් ගෙවන්නට පුළුවන් නම් එය ඔබට මෙන්ම සමාජයටත් ප්‍රයෝජනයක් බවට පත් වෙනවා.
සිතුවිලි සමග තනිවෙන්න
අපේ අවට පරිසරය කෙතරම් සාමකාමී වුණත් හිත ඇතුලෙන් නැගෙන හඬ ඊට වඩා වැඩියි. ලබා ගන්නට නොහැකි වුණු දේවල්, අනෙක් අය කරන දේවල් සෝෂල් මීඩියා වලින් දැකීම සහ මට ඒ දේ නැති බව සිතීම, ජීවිතයට අරමුණක් නැති බව වගේ දේවල් හිත ඇතුලේ අප නොදැනුවත්වම ඇවිත් අපව පීඩනයට ලක් කරනවා. මෙය වළක්වා ගන්නට හොඳම ක්‍රමය තමයි Mindfulness කියන්නේ. මෙහිදී කරන්නේ සිතට එන සිතුවිලි ගැන අවධානයෙන් ඉන්නා එකයි. චිත්තානුපස්සනාව කියන්නෙත් මේකම තමයි. නොදැනුවත්වම ගලා එන සිතුවිලි පසුපස දුවනවා වෙනුවට මෙහිදී ඒ හැම එකක්ම තාර්කිකව සිහිපත් කරනු ලබනවා. ඇත්තටම මේ ආපු සිතුවිල්ල නිවැරදි එකක් ද, එයින් කරන්නේ මාවම දුකට පත් කරගන්නා එක නොවේ ද ආදී ලෙස සිතුවිලි ගැන කල්පනාකාරී වීමට පුරුදු වීම මේ හරහා ලබාගන්නට පුළුවන්. මුදිතා ගුණය හෙවත් අනෙක් අයට තිබෙන දේවල් වලින් තමා සතුටු වීමට පුරුදු වුණාම ෆේස්බුක් එක දිගේ පහළට යාම ගැටළුවක් වන්නේ නැහැ.
දවසකට එක් විශේෂ දෙයක් කරන්න
එකම ජීවන රටාවකට පුරුදු වුණාම එහි විශේෂත්වයක් නොදැනෙන්නේ ඒ රටාවෙන් වෙනස් යමකට එහෙමත් නැත්නම්, අභියෝගයන්ට අප මුහුණ නොදෙන නිසා යි. බොහෝ වෙලාවට අපි එහෙම පුරුදු වෙන්නේ හිතට දුකක්, කරදරයක් නැතිව දවස ගෙවාගන්නට හැකි වන්නට යි. නමුත් සතියක් අවසානයේ හැරී බලනවිට කරපු දෙයක් නැති බව දැනෙනවා. මෙලෙස අභියෝගයක් නොවන පරාසය ‘සහනදායී ප්‍රදේශය’ (Comfort zone) ලෙස හඳුන්වනවා. ඉන් ස්වල්ප වශයෙන් හෝ ඔබ්බට ගොස්, මීට පෙර කතා කරපු නැති කෙනෙක් සමග කතා කිරීම, නොගිය පළාතක තනිව සංචාරය කිරීම වැනි ඔබ කරන්නට පෙළඹෙන්නේ නැති විශේෂ දෙයක් දිනපතා කරන්න. සාමාන්‍යයෙන් එහෙම කරන දෙයක් වැරදුණොත් ඉන් ලැජ්ජාවක් හෝ දුක හිතෙන නමුත්, දවසකට එකක් බැගින් කරන්නට පුරුදු වුණාම එහෙම ප්‍රතිඵලයන් ලැබීම සාමාන්‍ය දෙයක් බව තමන්ටම වැටහෙනවා.
විනෝදාංශයකට කාලය වෙන් කරන්න
කාර්යයබහුල බව නිසා තමන් ගැන හිතන්න වෙලාවක් නොලැබීමෙන් ජීවිතය ඒකාකාරී වෙනවා. හැම කෙනෙක්ටම තමන් නිදහසේ ඉන්න වෙලාවෙදි කරන්න කැමති දෙයක් තිබෙනවා. වීඩියෝ ගේම් එකක් කිරීම, ගෙවත්ත සැකසීම, සංගීත භාණ්ඩයක් වාදනය කිරීම, සංගීතය ඇසීම, අලුත් කෑමක් හැදීම, ඇවිදින්නට යාම වගේ විනෝදාංශයන් රැසක් තිබෙනවා. කාර්යාලයේ ගොඩගැහෙන ලිපිවල තිබෙන මුද්දර ටික ගලවලා වෙන් කරගෙන තමන්ගේ මුද්දර පොතට එකතු කරගන්නත් පුළුවන්. නැත්නම්, තමන් කැමතිම නළුවා/ නිළිය වගේ ඇඟ හදාගන්න Gym එකට යන්න. මේ විධියට විනෝදාංශයකට කාලය වෙන් කළාම මානසික ආතතිය අඩු කරගන්න, සාමකාමී මනසක් ඇති කරගන්න, තමන් ගැන අභිමානය වර්ධනය කරගන්න වගේ වාසි රැසක් ලැබෙනවා.
ඇමතුමක් ගන්න
හිතේ දේවල් පිරී ගියාම අපේ අදහස් ව්‍යාකූල වෙලා හිතට නිදහසක් නැති බව දැනෙනවා. එය නැති කරගන්න හොඳම ක්‍රමය තමයි කාත් එක්ක හරි කතා කරන එක. එහිදී ප්‍රශ්න ගැනම නෙවෙයි, මොනවා හෝ කතා කරමින්, සිනාසෙමින් කාලය ගත කරද්දී හිතේ පිරුණු තනිකම නැතිවෙලා නැවුම් බවක් ලැබෙනවා. ඒත් කාට කතා කරන්න ද? තමන් වැඩිපුරම ආදරේ කරන කෙනෙක්ට, දෙමව්පියන්ට හෝ දැන් දුරස් වුණත් කාලයක් ළඟින් ආශ්‍රය කළ හොඳ යාළුවෙක්ට කෝල් කළාම නැවතත් මිතුරුදම වර්ධනය කරගන්නට පුළුවන්. අන්තර්ජාලයේ කෙතරම් චැට් සර්විස් බිහිව තිබුණත්; මැසේජ් එකක් යවනවාට වඩා කතා කරන එක හාත්පසින්ම වෙනස්. වීඩියෝ කෝල් එකක් නම් එය හමුවී කතා කළාක් වැනියි. Harvard Business Review වෙබ් අඩවිය පවසන ආකාරයට එලෙස මුහුණට-මුහුණ කරන සංවාදයක ප්‍රතිඵල 34 ගුණයකින් ඉහළයි.
ප්‍රහසන නරඹන්න
ප්‍රහසන (Sitcom) එහෙමත් නැත්නම්, කොමඩි ආකාරයේ සිනහ උපදවන සුළු චිත්‍රපට සහ TV Series නැරඹීමෙන් හැකිලුණු මුහුණට සිනහව ගෙන එන්නට පුළුවන්. දවස පුරා ආතතිය/ තරහ/ අපහසුතාවන් වඩවන දසුන්, පුද්ගලයන් සමග කටයුතු කිරීමෙන් පසු දවස අවසානයේ හිත සැහැල්ලු වන්නට සිනහවීම දායක වෙනවා. පේශි ඉහිල් වීම, ආතති හෝර්මෝන ඉවත් වීම සහ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ද යාමනය කරගන්නට සිනහවීම වැදගත් බව ආචාර්ය පෝල් මැක්ගී Holistic වෙබ් අඩවියේ සඳහන් කරනවා. හෘද ස්පන්දනය හොඳින් සිදුවීමෙන් එය අභ්‍යන්තර ව්‍යායාමක් බවට පත් වෙනවා. මනසට මෙලෙස සැහැල්ලු අරමුණු ලබාදීමෙන් තර්කයන් තරගයන්ගෙන් පිරුණු ලෝකයෙන් මඳකට නිදහස් වන්නට හැකිවෙනවා. ඒ, සිනහවීමෙන් මොළයෙන් නිදහස් වන එන්ඩොර්ෆීන් නිසා යි.
අලුතෙන් දෙයක් ඉගෙන ගන්න
තමන් ඉගෙනගත්තු දේවල් වලින් ඉදිරියට යාමක් හෝ තමන්ගේ ක්ෂේත්‍රයට සම්පූර්ණයෙන්ම වෙනස් පැතිකඩක දෙයක්, භාෂාවක් වැනි යමක් ඉගෙන ගන්න යොමුවන එක හරිම විනෝදජනක දෙයක්. එය හුදෙක් අන්තර්ජාලයෙන් සොයාගත් ලිපියක් කියවීමේ සිට උපකාරක පන්තියකට සහභාගී වීම දක්වා වූ ක්‍රමවේදයක් තෝරාගැනීම ඔබේ කැමැත්ත අනුව කරන්නට පුළුවන්. වැදගත් වන්නේ; අනෙක් දේවල් වලින් මනස වෙනස් කරමින් අලුත් දේකට සිත යොමු කිරීම යි. ඉගෙනීම සඳහා මොළය ක්‍රියාකාරීව තබා ගැනීම, කතාබහ කිරීමේ දී ඔබට විවිධ විෂයයන්ගෙන් අදහස් දක්වන්නට හැකිවීම, නිර්මාණශීලීත්වය වර්ධනය වීම ආදී වාසි රැසක් මෙන්ම වයසට යාමේ දී ඇතිවිය හැකි ඩිමෙන්ෂියා රෝග තත්ත්වයෙන් වැළකෙන්නට ද මෙය උපකාරී වන නිසා ඔබ පිළිබඳව ආත්මාභිනය ද ගොඩ නගාගන්නා අතරතුරේ අනාගතයට ද සෞඛ්‍යමය ආයෝජනයක් කරන්නට ද මේ හරහා හැකිවෙනවා.
ඔබ කැමතිම දේ සොයාගන්න
ඉහත සඳහන් කරපු දේවල් කරගෙන යද්දී ඔබ වැඩිපුරම කැමති දේ සොයා ගන්නට හැකිවේවි. නැත්නම්, ඔබ දිනය ගත කරද්දී සිදුවන සතුට ඇතිකරන දේවල් ගැන සටහන් කරගන්න. කැලැන්ඩරයක් හෝ දිනපොතක් අරගෙන සතුටින් ගත කරපු දින වලට සටහනක් දමමින් ඔබ වැඩිපුරම ප්‍රිය කරන දේවල් පිළිබඳව අධ්‍යයනය කරන්න. මේ සඳහා දුරකතන App එකක් යොදා ගැනීමත් පහසු යි. තමන් ගැනම අවබෝධයක් ලබාගැනීමෙන් වැඩි වශයෙන් ඔබේ ප්‍රියතම දේවල් වලට යොමු වෙන්නට පුළුවන්. එය වඩාත් පහසු කරගන්නට අන්තර්ජාල ප්‍රශ්නාවලීන්ගේ සහාය ලබා ගැනීමට ද අවස්ථාව තිබෙනවා. එවිට තමන්ට වඩාත් ගැලපෙන, කම්මැලි නැති නව ජීවන රටාවකට යොමු වෙන්නට ඔබට හැකියාව ලැබේවි.