බුදු රජුන්ගේ පාත්‍රා ධාතූව දැන් ඇත්තේ කවුරුන් සතුව ද?

ඈත අතීතයේ ලංකාවේ රාජ්‍යත්වය ලබාගන්නා තැනැත්තා රාජ්‍යත්වය ලැබීමට සුදුසුකම් සපුරා ඇති බවට සැලකුණේ ඔහු හෝ ඇය සතු ව බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ සහ පාත්‍රා ධාතූන් වහන්සේ තිබිණි නම්  පමණක් බව අපි අසා ඇත්තෙමු. වර්තමානය වන විට පාත්‍රා ධාතූන් වහන්සේ තැන්පත් කර තිබෙන ස්ථානයක් පිළිබඳ ව නිශ්චිත සඳහනක් නොවේ. මෙම ලිපියෙන් පාත්‍රා ධාතූන් වහන්සේගේ ඉතිහාසය සහ පාත්‍රා ධාතුව තැන්පත් කර තිබෙන බවට සැලකෙන ස්ථාන පිළිබඳ ව ඇති මත කිහිපයක් පිළිබඳ ව සොයා බලමු.

පාත්‍රය යනු කුමක්ද සහ එහි ඇති වැදගත්කම

බෞද්ධ භික්ෂු භික්ෂුණීන් වහන්සේලා දන් වැළඳීමට, එනම් ආහාර ගැනීම සඳහා භාවිතා කරන බඳුන පාත්‍රය ලෙස හැඳින්වෙයි. එය දාන මානාදියෙහි දී සංඝරත්නයට පූජා කරන ලබන අට පිරිකරට ද ඇතුළත් පූජා භාණ්ඩයකි. අතීතයේ දී මැටියෙන් කළ පාත්‍ර වර්තමානය වන විට බොහෝ විට ලෝහයෙන් සාදන බව පෙනී යයි.

පාත්‍රයක් අතැතිව සිටින භික්ෂූන් වහන්සේ නමක් – freepik.com

බුද්ධ ශාසනෙයහි පැවිදි බව ලබන තැනැත්තකු සතු විය යුතු අල්ප වස්තූන් අතරට පාත්‍රය එක්කොට තිබීම පාත්‍රය භික්ෂු ජීවිතයට අත්‍යවශ්‍ය භාණ්ඩවලින් එකක් බව මනාව පිළිබිඹු කරන්නකි. පාත්‍රයක් නොදරන අයකු පැවිදි නොකරන ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබීම, පාත්‍රය භික්ෂූ ජීවිතයට අත්‍යවශ්‍ය අංගයක් බව තවදුරටත් තහවුරු කරයි.

බුදුරජාණන් වහන්සේ භාවිත කළ පාත්‍ර

බුදුරජාණන්වහන්සේ ස්වකීය ජීවිත කාලය තුළ පාත්‍ර කිහිපයක් භාවිත කර ඇති බව පෙනී යයි. උන්වහන්සේ බුදු බව ලබා ගැනීමට පෙර භාවිත කළ මැටියෙන් තැනූ පාත්‍රයක් පිළිබඳත්, රනින් කළ (රන්මුවා) තලියක් පිළිබඳත් ධර්ම සාහිත්‍යයේ සඳහන් වේ.

සිදුහත් කුමරා ගිහිගෙයින් නික්ම පැවිදි බව ලබා ගත් දිනයෙහි ඝටීකාර නම් බ්‍රහ්ම රාජයා උන්වහන්සේට අටපිරිකරක් පූජා කළ අතර ඒ තුළ වූයේ මැටියෙන් තැනූ පාත්‍රයකි. ඒ අනුව සිදුහත් බෝසතුන් පැවිදි දිවිය තුළ දී පරිහරණය කළ මුල් ම පාත්‍රය එය වූ අතර සුජාතා සිටුදියණිය කිරිපිඬු පූජා කරන අවස්ථාව දක්වා උන්වහන්සේ පරිභෝග කළේ ඝටීකාර බ්‍රහ්ම රාජයා පූජා කළ මේ මැටි පාත්‍රය යි. නමුත් සුජාතා සිටු දියණිය කිරිපිඬු පූජා කරන අවස්ථාවේ දී මේ මැටි පාත්‍රය අතුරුදහන් වූ බව ජාතක අටුවා නිදාන කථාවේ දැක්වේ.

කාලනාග නම් රාජ භවනේ තැන්පත් කර ඇති පාත්‍ර

ඉන් අනතුරුව බෝසතුන් බුදු බව ලබා ගැනීමට පෙර අජපාල නුගරුක මුල වැඩ සිටින අවස්ථාවේ දී එහි පැමිණි සුජාතා සිටු දියණිය උන්වහන්සේට රන්මුවා තලියක තබා කිරිපිඬු පූජා කළ අතර දන් වැළඳූ බෝසතුන් නේරංජනා නදිය වෙත ගොස් “ඉදින් අද මා බුදු වන්නේ නම් මේ තලිය උඩු ගං බලා යේවා ! බුදු නොවේ නම් යටි ගං බලා යේවා !” යි කියා අධිෂ්ඨාන කොට රන් තලිය ගඟට දැමූහ. තලිය ක්‍රමයෙන් ගඟ මැදට ගිය අතර ගඟ මැදට ගොස් මහා වේගයෙන් උඩු ගං බලා ගොස් නදියේ ගිලී ගියේ ය.

නදියේ ගිලුණු ඒ රන් තලිය කාලනාග නම් රාජ භවනට ගිය බවත් මෙසේ ගෞතම බෝසතුන් කිරිපිඬු වැළඳූ රන් තලිය පමණක් නොව කකුසඳ, කෝණාගම සහ කාශ්‍යප යන බුදුරජාණන් වහන්සේලා බෝසත් සමයෙහි කිරිපිඬු වළඳා නදියේ පා කර යැවූ තලි තුන ද එම නාග ලෝකයේ මේ දක්වා තැන්පත් ව ඇති බව ‌බෞද්ධ සාහිත්‍ය මූලාශ්‍රයන් සදහන් කරයි.

පාත්‍රා ධාතුව නිර්මාණය වූ අයුරු

ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වී පළමුවෙන් ම දන් වැළඳූ පාත්‍රය පිළිබද සඳහන් වන්නේ සත් වැනි සතියේ “රාජායතන” නම් වූ කිරිපලු රුකමුල වැඩ සිටීමෙන් පසු, ඒ සතිය අවසානයේ එතැනට පැමිණි තපස්සු සහ භල්ලුක නම් වෙළඳ දෙබෑයන් බුදුරදුන්ට බදින ලද සහල් පිටි හා මී පැණි යොදා සකස් කළ අග්ගලා පූජා කිරීමට සූදානම් වූ අවස්ථාවේදී ය.

බුදුරජාණන් වහන්සේට ඒ ආහාරය පිළිගැනීමට කිසිවක් නොවූ අතර ඒ බව දුටු සතරවරම් දෙවිවරුන් ඉන්ද්‍රනීල මාණික්‍ය‍යෙන් කරවූ පාත්‍ර හතරක් උන්වහන්සේට පූජා කළ හ. බුදුන් වහන්සේ එය ප්‍රතික්‍ෂේප කළ අතර ඉන් පසු සතරවරම් දෙව්රජ දරුවන් ගලින් කළ පාත්‍ර හතරක් බුදුරදුන්ට පූජා කරඇත. දෙවිවරුන් කෙරෙහි වූ අනුකම්පාවෙන් ඒ ගල් පාත්‍ර සතර පිළි ගත් බුදුන් වහන්සේ ඒ පාත්‍ර හතර එක මත එක තබා පාත්‍ර හතර එකක් වීමට අදිටන් කළ සේක.

සතරවරම් දෙවිවරුන් විසින් බුදුන්වහන්සේට පාත්‍ර හතරක් පිළිගන්වන අයුරු දැක්වෙන සිතුවමක් – Facebook- බෞද්ධයා

ඒ අනුව එම පාත්‍ර හතර එකක් බවට පත් වූ අතර බුදුරජාණන් වහන්සේ ඒ ගල් පාත්‍රයෙන් දන් පිළිගෙන වැළඳූහ. බුද්ධත්වයට පත් වීමෙන් පසුව උන් වහන්සේ මුලින් ම දන් වැළඳුවේ මේ පාත්‍රයෙනි. එබැවින් මේ පාත්‍රය පාරි‌‌‌‌‌‌භෝගික ධාතුවක් වශයෙන් මුළු මහත් බෞද්ධ ලෝකයාටම ඉතා වැදගත් වන බැවින් එය “පාත්‍ර ධාතුව” නම් වේ.

පාත්‍රා ධාතුව පිළිබඳව සඳහන් මූලාශ්‍ර

බුදුරජාණන් වහන්සේගේ මේ පාත්‍ර ධාතුන් වහන්සේට දඹදිව දේවපුත්‍ර නුවර දී “පාත්‍රමහ” නම් වූ විශේෂ පූජාවක් පවත්වා ඇති බව සද්ධර්මාලංකාරයේ නන්දිරාජ වර්ගයේ එන කඤ්චනදේවී කතා වස්තුවෙන් හෙළි වේ.

විශාලා මහ නුවරට, දුර්භික්ෂ, රෝග සහ අමනුෂ්‍ය යන තුන් බිය පැමිණි අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ, උන්වහන්සේගේ අග්‍ර උපස්ථායක වූ ආනන්ද හිමියන්ට රතන සූත්‍රය උගන්වා පාත්‍ර ධාතුව ලබා දී, එහි පිර වූ පිරිත් පැන් රතන සූත්‍රය දේශනා කරමින් ඉසින ලෙස වදාළ බව පූජාවලියෙහි සඳහන් වේ.

බුද්ධ පරිනිර්වාණය සහ පාත්‍රා ධාතුවේ ස්වභාවය

බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් අනතුරුව ක්‍රිස්තු වර්ෂ පස්වැනි සියවස වන විට මෙම පාත්‍ර ධාතූන් වහන්සේ පුරාණ ගාන්ධාරයේ, පුරුෂ පුරය හෙවත් පාකිස්තානයේ, පෙෂාවෝරයේ පිහිටි අලංකාර ධාතු මන්දිරයක තැන්පත් කර තිබූ බව චීන ජාතික භික්ෂුවක් වූ ෆාහියන් හිමියන් විසින් සිය වාර්තාවේ සඳහන් කර ඇත.

 එම වාර්තාවේ පාත්‍ර ධාතූන් වහන්සේගේ ස්වරූපය කෙබඳු ද යන්නත් සඳහන් කර ඇත. උන්වහන්සේගේ වාර්තාවට අනුව මෙම පාත්‍රයට බුසල් 1/4 ක ප්‍රමාණයේ ද්‍රව්‍ය දැරිය හැකි අතර එය විවිධ වර්ණයෙන් යුක්ත ය. කෙසේ නමුත් එහි කළු පැහැය අනිකුත් වර්ණයන්ට වඩා කැපී පෙනන බවත්, පාත්‍රයේ ස්ථර හතරක් පමණ දැකිය හැකි බවත් එහි සඳහන් වේ. අදාළ වාර්තාවෙහි වැඩිදුරටත් සඳහන් වන්නේ එය දළ වශයෙන් අඟලෙන් 1/5 ක් පමණ ඝනකමකින් යුතු බවත් ඉන් තියුණු කාන්තියක් විහිදෙන බවත් ය.

ෆාහියන් හිමියන් එහි ගොස් වසර දෙසීයකට පමණ පසු එහි ගිය තවත් චීන ජාතික භික්ෂුවක් වූ හියුං සියං හිමියන් ද පාත්‍ර ධාතුව ගැන සඳහන් කරයි. උන්වහන්සේ එහි වැඩම කළ කාලය වන විට පාත්‍ර ධාතු මන්දිරයේ නටබුන් දක්නට තිබී ඇති අතර පාත්‍ර ධාතුන් වහන්සේ වැඩ සිටියේ පර්සියා දේශයේ රජතුමා ගේ මාලිගාවේ බව උන්වහන්සේ සිය වාර්තාවල සඳහන් කරයි.

පාත්‍රා ධාතුව ලංකාව වැඩම කරවීම

මූලාශ්‍රයන්හි සඳහන් කරුණුවලට අනුව ඉන්දියාවේ ධර්මාශෝක රජතුමා සතුව බුදුරදුන් පරිහරණය කළ එක් පාත්‍ර ධාතුන් වහන්සේ නමක් තිබී ඇති අතර මිහිඳු මහරහතන් වහන්සේගේ ඉල්ලීමකට අනුව ධර්මාශෝක රජු තමා සතුව තිබූ පාත්‍ර ධාතුන් වහන්සේත්, එම පාත්‍ර ධාතුව පුරවා සර්වඥ ධාතූන් වහන්සේලාත් සුමන සාමණේරයන් වහන්සේට පූජා කළ බව කියැ වේ. ඒ අනුව සුමන සාමණේරයන් වහන්සේ සර්වඥ ධාතූන් වහන්සේලා සහිත පාත්‍ර ධාතුන් වහන්සේ ලංකාවට වැඩම කරවා ඇත.

ඉන් අනතුරු ව එවකට මෙරට රජකම් කළ දේවානම්පියතිස්ස හෙවත් දෙවන පෑතිස් රජු සර්වඥ ධාතූන් වහන්සේලා නිදන් කර ලංකාවේ යොදුනෙන් යොදුන විහාර කරවූ බව කියැවෙන අතර පාත්‍ර ධාතුව තම මැදුරේ තබා ගෙන පුද සත්කාර පැවැත්වූ බවත් සඳහන් වේ.

පුලහත්ථ ඇතුළු කණ්ඩායමේ අයකු පාත්‍රා ධාතුව පැහැර ගැනීම

දෙවැනි පෑතිස් රජ දවස පටන් පාත්‍ර ධාතූන් වහන්සේ සිංහල රජ දරුවන්ගේ පුද සත්කාර සහ ගෞරව ලබමින් ආරක්‍ෂා වුවත් වළගම්බා රජ සමයේ දී නොසිතූ දෙයක් සිදු විය. එනම් වළගම්බා රජු සමයේ දී පුළහත්ථ ඇතුළු සත් ද්‍රවිඩයන් මෙරට ආක්‍රමණය කිරීමේ දී රජු පලා ගිය අතර එහිදී එම සත් දෙනාගෙන් එක් අයකු ද පාත්‍ර ධාතුව පැහැර ගෙන ඉන්දියාවට පලා ගොස් තිබේ.

පාත්‍රා ධාතුව නැවැත මෙරටට වැඩමවීම සහ රාජ්‍යත්වයේ සංකේත බවට පත් වීම

ඉන් වසර ගණනාවකට පසු ගජබා රජු චෝළ දේශය ආක්‍රමණය කළ අවස්ථාවේ දී  පාත්‍ර ධාතුන් වහන්සේ නැවත ලංකාවට වැඩම කරවූ බව රාජාවලියේ සඳහන් වේ. ඉන් අනතුරු මෙරට රාජ්‍යත්වයට පත් වූවෝ පාත්‍ර ධාතූන් වහන්සේ දළදා වහන්සේ වැඩ සිටි මන්දිරයෙහි ම ආරක්ෂිත ලෙස වඩා හිඳුවා පුද සත්කාර කළ අතර එම පූජනීය වස්තූන් ද්විත්වය ම මෙරට රාජ්‍යත්වයේ සංකේත ලෙස සැලකිණි.

ක්‍රිස්තු වර්ෂ 365-406 කාලයේ දී මෙරට රජ කළ බුද්ධදාස රජුගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා වූ උපතිස්ස රජ සමයේ දී මෙරට දුර්භික්‍ෂයක් හා රෝග බියක් හට ගත් අතර  එම අවස්ථාවේදී රජු සංඝයා වහන්සේ ගේ උපදෙස් පරිදි සර්වඥ ධාතු තැන්පත් කර ඝන රන් බුද්ධ ප්‍ර‍තිමාවක් තැනවී ය.  පාත්‍ර ධාතුවට පැන් පුරවා එය ඉහත කී ප්‍රතිමාවේ දෝතෙහි තබා, එක බුද්ධ ප්‍රතිමාව මැනවින් සරසන ලද රථයක තැන්පත් කරවූ අතර, පසුව එය නුවර පුරා වීදි සංචාරය කරවීය. 

දුර්භික්ෂයක් දුරු කළ පාත්‍රා ධාතුව

මහා සංඝයා රතන සූත්‍රය දේශනා කරමින් පිරිත් පැන් ඉසිමින් නුවර වටා වැඩම කර ඇති අතර පසුදා හිරු නැඟෙන විට මහ වැසි වැටුණු බව කියැවේ. එයින් සියලු දුර්භික්‍ෂ හා රෝග බිය දුරු වී ගියේ ය. මේ සඳහා මහා සංඝරත්නය බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර තුන් බිය ඇති වූ අවස්ථාවේ දී අනුගමනය කළ ක්‍රමවේදය ආදර්ශයට ගත් බව පෙනෙන අතර ඉන් මහත් සතුටට පත් වූ උපතිස්ස රජු අනාගතයේ එවැනි දුර්භික්‍ෂයක් හෝ රෝග බියක් ඇති වුව හොත් එසේ ක්‍රි‍යා කරන ලෙස නියෝගයක් ද කළේ ය.

 පොළොන්නරු යුගයේ රජ කළ විජයබාහු රජුගෙන් පසු මෙම පාත්‍රා ධාතූන් වහන්සේගේ අයිතිය රෝහණයේ කුමාරවරුන්ට හිමි වූ බව සඳහන් වෙන අතර ඔවුන් උඳුන්දොර නම් ස්ථානයේ එය වඩා හිඳුවා උපස්ථාන කොට ඇත. පසුව මහා පරාක්‍රමබාහු රජුට රාජ්‍යත්වය තහවුරු කිරීමට අවශ්‍ය වූ බැවින් සෙන්පතියන් යොදවා කැරළිකරුවන් හා සටන් කොට මේ අනර්ඝ පූජා වස්තුව පොළොන්නරු රාජධානියට නැවතත් වැඩම කරවූ බව මූලාශ්‍ර සඳහන් කරයි.

බෙලිගල චෛත්‍යය -Google map- Maleesha de Silva

පාත්‍රා ධාතූන් වහන්සේ තැන්පත් කර ඇතැයි විශ්වාස කෙරෙන ස්ථාන

මෙසේ  සියවස් ගණනාවක් පුරා පුද සත්කාර ලැබූ පාත්‍රා ධාතූන් වහන්සේ  තැන්පත් කර ඇති ස්ථානය වර්තමානය වන විට නිශ්චිතව හඳුනාගෙන නැතත් ඒ පිළිබඳ ව මතවාද ගණනාවක් පවතී.

මහනුවර පිහිටි දළඳා මැදුර ඉදිරිපිට, නාථ දේවාල භූමියේ පිහිටා ඇති ස්තූපය තුළ පාත්‍රා ධාතූන් වහන්සේ තැම්පත්ව ඇතැයි යන මතය ඇතැමකු ඉදිරිපත් කළ ද ඒ සඳහා නිශ්චිත සාධක නොමැති බව පෙනෙයි. මෙම චෛත්‍යය වර්ෂ 1889 දී විවෘත කොට ඇති අතර එහි සර්වඥ හා අරහත් ධාතූන් වහන්සේලා පමණක් තැන්පත් කර තිබූ බව සමකාලීන ලිපිවලින් හෙළි වේ.

දළදා මැදුර තුළ පිහිටා ඇති කුඩා ස්තූපයේ හෝ, මල්වතු මහා විහාරයේ පිහිටි ස්තූපය තුළ පාත්‍රා ධාතූන් වහන්සේ තැන්පත් ව ඇතැයි සමහරකු සලකයි.

ඇතැම් ජනප්‍රවාදවලට  අනුව පාත්‍රා ධාතූන් වහන්සේ  වර්තමානය වන විට තැන්පත් කර ඇත්තේ  කෑගල්ල දිස්ත්‍රික්කයේ, ඓතිහාසික බෙලිගල රජ මහා විහාරයේ පිහිටි ස්තූපය තුළ යි. ඒ පිළිබඳ ව කෝට්ටේ යුගයේ දී සයවැනි පරාක්‍රබාහු රජු නිකුත් කළ ‌බෙලිගල තඹ සන්නසේ මෙන්ම කඩඉම් පොතෙහි ද සඳහන් වේ. මේ අනුව  ප්‍රමාණයෙන් ඒ තරම් විශාල නොවන ‌බෙලිගල ස්තූපය තුළ පාත්‍රා ධාතූන් වහන්සේ තැන්පත්ව තිබීම විය හැකි බව බොහෝ අයගේ මතය යි.

විද්‍යොදය පිරිවෙනට ලැබුනු ධාතූන් වහන්සේලා තැන්පත් කර ඇති දැවමය මංජුසාව- ධාතු විස්තරය

ඉන්දියාවෙන් හමුවූ පාත්‍රා ධාතුන් වහන්සේ සහ කාබුල් නුවර තබා ඇති තවත් පාත්‍රයක්

බටහිර ඉන්දියාවේ මුම්බායි නගරයට උතුරින් පිහිටි සොපාරා හි තිබී පැරණි ස්තූපයක් හමු වී ඇති අතර මේ ස්තූපය ගෝතමීපුත්‍ර නමැති රජකු කරවා තිබේ. මෙහි කළ කැණීම්වලින් පාත්‍ර ධාතුවක කැබලි යැයි සැලකෙන කැබලි කිහිපයක් ද තවත් බොහෝ පුරාවස්තු ද හමු වී ඇත.

ඒ අනුව හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් කළ ඉල්ලීමකට අනුව එම පාත්‍ර ධාතු කැබලිවලින් කොටසක් ලංකාවට ලැබුණු අතර එසේ ලැබුණු ධාතු කොටස 1882 ඔක්තෝබර් මස 26 වැනි දින කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙණේ දී මහජනයාට ප්‍රදර්ශනය කර ඇත. එකල මේ පිළිබදව වාද විවාද ද සිදු වී ඇත. වර්තමානය වන විට එම පාත්‍ර ධාතූන් වහන්සේ විද්‍යෝදය පිරිවෙණේ දැවමය ආරක්‍ෂිත කරඬුවක් තුළ වැඩ සිටී.

 එම කැණීමෙන් හමු වූ තවත් පාත්‍ර ධාතූන් වහන්සේ කොටසක් වස්කඩුවේ ශ්‍රී සුභූති නාහිමියන්ට ලැබී ඇත. උන්වහන්සේ එය කොටහේන දීපදුත්තාරාම තායි රජමහා විහාරයේ රතන් නමින් හැඳින්වෙන දාගබ තුළ තැන්පත් කළ බව පැවසේ.

කොටහේන දීපදුත්තමාරාමයේ රතන චෛත්‍ය/ Facebook- දීපදුත්තමාරාම චායි රජ මහා විහාරය

ඊට අමතරව විශාලා මහනුවරට තරමක් ඈතින් කේසාරියාහි පිහිටි මහා ස්තූපයක නටබුන් දක්නට ඇති අතර ඒ තුළ ද බුදුරදුන් ගේ පාත්‍ර ධාතුවක් තැන්පත් ව ඇතැයි සැලකේ. මේ  ස්තූපයේ කැණීම් හා සංරක්‍ෂණ කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතී. පාත්‍රා ධාතූන් වහන්සේ මධුරා පුරයේ වැඩ සිටින බව බුද්ධවංස පාළියේ සදහන් කර ඇතත් එහි වැඩි විස්තරයක් දක්වා නැත.

පාත්‍ර ධාතුවක් කාබුල් නුවර

 බුදුන් වහනසේගේ පාත්‍රා ධාතුව බවට සැලකෙන පාත්‍ර ධාතුවක් කාබුල් නුවර කෞතුකාගාරයේ ඇති බවත්, එය ඉන්දියාවට අයත් හෙයින් යලිත් එය වෛශාලි නුවරට රැගෙන ඒමට කටයුතු කල යුතු බවත් ඉන්දීය මන්ත්‍රීවරයෙක් මීට වසර කිහිපයකට පෙර එරට පාර්ලිමේන්තුව අමතමින් සඳහන් කළේ ය.

කෙසේ නමුත් ප්‍රංශයේ සොබෝන් සරසවියේ මධ්‍යම ආසියාවේ කලාව හා පුරා විද්‍යාව පිලිබඳ මහාචාර්ය ඔස්මන්ඩ් බෝපෙආරච්චි මහතා සඳහන් කර ඇත්තේ කාබුල් නුවර තබා ඇති පාත්‍රය කණිෂ්ක රජ සමයේ නිර්මාණය කරන ලද කෞතුක වස්තුවක් බව යි. පාත්‍රය ඉල්ලා ඉන්දියාව ගෙන යන ව්‍යාපාරය තුළ මෙය බුදුන් පරිහරණය කළ ධාතුවක් ලෙස සැලකුවත්, බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් කිහිපයකට පසුව මෙම කළුගල් පාත්‍රය නිම වෙන්නට ඇති බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව බුදුරජාණන් වහන්සේ පරිහරණය කළ බවට සැලකෙන පාත්‍රා ධාතූව වහන්සේලා යැයි විශ්වාස කෙරෙන පාත්‍ර කිහිපයක් විවිධ ස්ථානවලින් හමු වී ඇතත් අතීත මූලාශ්‍රයන්ට අනුව මෙරට රාජ්‍යත්වයේ සංකේතය වූ පාත්‍රා ධාතූන් වහන්සේ තැන්පත් කර තිබෙන ස්ථානයක් පිළිබඳව නිශ්චිත සඳහනක් නොමැත.

කවරයේ පින්තූරය- ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර කෞතුකාගාරයක තබා ඇති බුදුන්වහන්සේ පරිහරණය කළ බවට සැලකෙන පාත්‍රා ධාතූන් වහන්සේ නමක්- www.bbc.com

මූලාශ්‍ර-

ධාතු විස්තරය - ගයාන් චානුක විදානපතිරණ

ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය 1 කාණ්ඩය 2 භාගය

දෙව් විමනක් වන් දළදා මාලිගාව බැදි කෙම්බිම බෙලිගල - ජනක වෙත්තසිංහ

පූජාවලිය - පණ්ඩිත කිරිඇල්ලේ ඤානවිමල නාහිමි (සංස්කරණය)

www.bbc.com

Related Articles

Exit mobile version