Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පෝෂණ ගුණයෙන් සපිරි දිවුල් ගැන දැන ගනිමු.

පලතුරු යනු අප කවුරුත් ප්‍රිය කරන දෙයක් මෙන්ම අපගේ ශරීර සෞඛ්‍යයටද ඉතාමත් යහපත් දෙයක් ලෙස හැඳින්වීමට පුළුවන් වෙනවා. පලතුරු ගැන මතක් කළ විට අපගේ මතකයට එක්වරම නොනැගෙන පලතුරක් වුවද පෝෂණ ගුණයෙන් අනූන පලතුරක් ලෙස “දිවුල්” හදුනා ගැනීමට පුළුවන් වෙනවා. දිවුල් ශාකය හා පලතුරක් ලෙස එහි ඇති ඖෂධීය ගුණය පිලිබදව මෙම ලිපියෙන් විස්තර ගෙන එනවා.

plantsship.com (දිවුල් ගෙඩි දැක්වෙන පින්තුරයක්)

විද්‍යාත්මක නාමය ස්වභාවය හා ව්‍යාප්තිය

දිවුල් යනු උණුසුම් දේශගුණයක් සහිත ප්‍රදේශ වල හොඳින් වැවෙන ශාකයක් ලෙස හැඳින්විය හැකි අතර එහි සැකැස්ම ද උණුසුම් දේශගුණයකට අනුවර්තනය වී ඇති ආකාරයක් දකින්නට ලැබෙනවා. එනම් එම ශාකයේ කඳ තද ගතියකින් යුතු වෙනවා මෙන්ම කටු සහිත වෙනවා. තවද එහි කොලද ඉතා කුඩා වෙනවා. ඒවා වියලි දේශගුණයකට ආවේණික ලක්ෂණ ලෙස හඳුන්වන්නට පුළුවන් වෙනවා. මෙලෙස හඳුනා ගත හැකි දිවුල් ශාකයේ උද්භිත විද්‍යාත්මක නාමය වන්නේ Limonia acidissima යන්නයි. මෙම දිවුල් සාමාන්‍යයෙන් ඉංග්‍රීසි භාෂාවේ wood-apple යන නාමයෙන් හැඳින්වුවද එය තවත් නම් කිහිපයකින් හඳුන්වනු දකින්නට හැකි වෙනවා. එනම් එය අලින්ගේ ප්‍රියතම පලතුරක් වන නිසා elephant-apple යන නමින් ද monkey-fruit ආදී වශයෙන් හැඳින්වේ. මෙය ඉන්දියාවට ආවේණික ශාකයක් ලෙස හඳුනා ගත හැකි වන අතර එය ශ්‍රී ලංකාව, තායිලන්තය, හා දකුණු ආසියාව ආශ්‍රිත ප්‍රදේශයේ දී දැක ගැනීමට හැකියාව ලැබෙනවා.

ඉන්දියාව තුළ දිවුල් සඳහා වසර 4000 ක පමණ අතීතයක් ඇතැයි සැලකෙනවා. දිවුල් ගසක් සාමාන්‍යයෙන් අඩි 30ක පමණ උසට වැඩෙන අතර දිවුල් ගෙඩියක් සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 5-9 පමණ විශ්කම්භයකින් යුක්ත වෙනවා. එම දිවුල් ගෙඩියේ වටේට පිහිටා ඇති ආවරණය ඉතාමත් ඝන වන අතර එයින් ඇතුලත මදය දුඹුරු පැහැති වෙනවා මෙන්ම සුදු පැහැති දිවුල් බීජ එම මදය තුළ දැකගැනීමට හැකි වෙනවා. දිවුල් ගසෙහි ආහාරයට ගන්නා කොටස වන්නේ එම මදය වන අතර එය මදය පමණක් ද, රසවත් පානයක් ලෙස ද, ජෑම් ලෙස සකසා ද අහාරය සඳහා භාවිතා කරනු දකින්නට පිළිවන් වෙනවා.

senthuherbals.blogspot.com (දිවුල් ශාකයේ මල් දැක්වෙන පින්තුරයක්)

ඖෂධීය හා පෝෂණ ගුණ

මෙලෙස දිවුල් ශාකය පිලිබඳව හඳුනා ගැනීමට හැකි වන අතර එහි ඇති පෝෂණ ගුණය පිලිබඳව සලකා බලන විට එය විටමින්, කැල්සියම්, පොස්පරස්, තන්තු, ප්‍රෝටීන හා යකඩ වනි පෝෂ්‍ය පදාර්ථවලින් අනූන වෙනවා.

මෙම දිවුල් සතු ඖෂධීය ගුණය හා පෝෂණ ගුණය පිලිබඳව සලකා බලන විට ඒවා මේ ආකාරයෙන් හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා. මෙම දිවුල් ආහාරයට ගැනීමෙන් ආහාර ජීරණ පද්ධතිය හා සම්බන්ධ ගැටළු සමනය කිරීමට හැකි වෙනවා. එනම් එහි ඇති සංඝටකයන් මලබද්දය දුරු කිරීමට සමත් වෙනවා මෙන්ම බඩෙහි ඇති වන රිදීම්, අපහසුතාවයන්ද දුරු කරවනවා. එසේම එයට පාචනය, මලබද්ධය ආදී රෝග තත්ත්ව සුව කිරීමේ හැකියාවක්ද පවතිනවා. එය ප්‍රති දිලීරකයක් ලෙස ක්‍රියා කරමින් ආහාර ජීරණ පද්ධතියට ආරක්ෂාවක්ද ලබා දෙනවා.

එසේම මෙම දිවුල් සතුව අපගේ රුධිරය පිරිසිදු කිරීමේ විශේෂ හැකියාවක්ද පවතිනවා. එහිදී දිවුල් හා සීනි උණු වතුරින් දිය කර පානය කිරීම ඒ සඳහා යෝග්‍ය බව සැලකෙනවා. තවද එමගින් රුධිරය පිරිසිදු වනවා මෙන්ම රුධිරය අපිරිසිදු වීමෙන් ශරීරයට සිදු විය හැකි හානියද වළක්වනවා. එසේම මෙම දිවුල් ශාකයේ මුල්, කණ ආශ්‍රිත වේදනාවන් හා රෝග සඳහා ඖෂධයක් ලෙස භාවිතා කළ හැකි වෙනවා. එමෙන්ම දිවුල් ශාකයේ කඳෙන් හා අතු වලින් ගම් වැනි ද්‍රව්‍යයක් වෑස්සෙනු දකින්නට හැකි වෙනවා. එය දියවැඩියාව පාලනය සඳහා යහපත් වෙනවා. තවද දිවුල් ශාකයේ කොළ ශ්වසන පද්ධතිය ආශ්‍රිත ගැටළු සඳහා යෝග්‍ය වෙනවා. එනම් දිර්ගකාලිනව පවතින සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ද, ඒ ආශ්‍රිත වෙනත් රෝග සඳහාද, උගුරේ වේදනාව සදහා මෙන්ම කැස්ස සඳහා මෙම දිවුල් කොළ යෝග්‍ය වෙනවා. එසේම මෙම දිවුල් පළතුරක් ලෙස අහාරයට ගැනීම ශරීරයේ ජවය වැඩි කිරීමට සමත් වෙනවා. එනම් දිවුල් මදය ග්‍රෑම් 100 තුල කැලරි 140 ක් පමණ ඇති අතර එය ශරීරයේ ශක්තිය සඳහා යෝග්‍ය වෙනවා. එසේම එයට ශරීරයේ පරිවෘර්ත්තිය ක්‍රියාවන් ඉක්මන් කරවීමේ හැකියාවක් පවතිනවා. එසේම දිවුල් යනු ප්‍රෝටීන වලින් සමන්විත පලතුරක් වනවා මෙන්ම එය මාංශපේශි වල ශක්තිමත් බවද වැඩි කරනවා. එසේම දිවුල් වකුගඩු වල සෞඛ්‍යමත් බව සදහා මෙන්ම අක්මාවේ සෞඛ්‍යය සඳහා යෝග්‍ය පළතුරක් වෙනවා. එනම් එහි බීටා කරෝටින අඩංගු වන අතර එය අක්මාවේ සෞඛ්‍ය සඳහා යෝග්‍ය වෙනවා. එසේම එහි තයමින් මෙන්ම රයිබෝප්ලේවින් ද අඩංගු වෙනවා. එසේම දිවුල් සර්ප දෂ්ඨනය සදහා ප්‍රතිකාරයක් වනවා මෙන්ම මැලේරියාව වැනි රෝග වලින් ආරක්ෂා වීමට ද උදව් වෙනවා. එසේම මෙම දිවුල් ආහාරයට ගැනීමෙන් පිළිකා ඇති වීමේ අවදානම අවම වන බවද සැලකෙනවා.

abhi-https://pbs.twimg.com (නොඉඳුණු අමු දිවුල් ගෙඩියක පින්තුරයක්)

මේ ආකාරයට මෙහි ඖෂධීය ගුණ හඳුනා ගත හැකි වන අතර දිවුල් වැඩි වශයෙන් ආහාරයට ගැනීම සමහර විටෙක අහාර ජීර්ණය සඳහා අහිතකර ලෙස බලපෑ හැකියි. එසේම තයිරොයිඩ් හා ගැටළු ඇති පුද්ගලයන් සදහා දිවුල් ආහාරයට ගැනීම සුදුසු වන්නේ ද නැහැ.

itslife.in (දිවුල් පානයක් ලෙස සකස් කර ඇති අයුරු දැක්වෙන පින්තුරයක්)

ආර්ථිකමය වාසි

මෙම දිවුල් පිලිබඳව සලකා බලන විට එය ආර්ථික වශයෙන් ද වැදගත් වෙනවා. එනම් පලතුරක් ලෙසද, දිවුල් ගෙඩියෙහි කටුවෙන් විසිතුරු බඩු නිපදවීම සඳහාද, සුවඳ විලවුන් වර්ග සඳහාද ආදී ප්‍රයෝජන රැසක් හඳුනා ගත හැකි වෙනවා. එසේම අරාබි රටවල දිවුල් කඳෙන් වැස්සෙන ගම් වැනි ද්‍රව්‍ය ගම් සඳහා ආදේශකයක් ලෙසද, දියසායම් සඳහාද, තීන්ත සදහා ආදී වශයෙන් යොදා ගන්නවා.

මේ ආකාරයට ඖෂධීය ගුණයෙන් සපිරි පළතුරක් ලෙස මෙන්ම අපේ රටේ හොඳින් වැවෙන පලතුරක් ලෙස දිවුල් හඳුනා ගැනීමට පුළුවන් වෙනවා.

කවරයේ පින්තුරය: amardesheshop.com

මූලාශ්‍ර:

https://www.organicfacts.net/health-benefits/fruit/health-benefits-of-wood-apple-or-bel-fruit.html

https://drhealthbenefits.com/food-bevarages/fruits/health-benefits-of-wood-apple

http://www.home-remedies-for-you.com/herbs/wood-apple.html

https://migrationology.com/wood-apple-fruit/

Related Articles