Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

චොකලට් අනුභවය හදවතට යහපත් ද? මධ්‍යස්ථ විපරමක්

මනුෂ්‍ය වර්ගයා “කැකාවෝ” ආශ්‍රිත ආහාර භාවිතයට ගන්නේ වසර සිය ගණනක සිට යි. එබඳු ආහාර බොහෝවිට පිළියෙළ කළේ පානයක් ආකාරයෙන්. “කැකාවෝ” ප්‍රධාන අමුද්‍රව්‍යයක් කර ගත් ආහාර සැලකීමේ දී චොකලට්වලට හිමි තැන මඟ හැරිය නොහැකි යි. විශේෂ ක්‍රියාවලියක් ඔස්සේ කැකාවෝ බීජ “කොකෝවා” බවට පරිවර්තනය කිරීමෙන් අනතුරු ව චොකලට් සැකසීම සඳහා යොදා ගන්නවා.

සාමාන්‍ය ව්‍යවහාරයේ දී “කැකාවෝ” සහ “කොකෝවා” යන යෙදුම් දෙක අතර ඇති වෙනස එතරම් තැකීමකට ලක් වෙන්නේ නැහැ. බොහෝදුරට අපට හුරු පුරුදු වන්නේ “කොකෝවා” යන වචනය යි. කෙසේ නමුත්, “කැකාවෝ” සහ “කොකෝවා” අතර සුළු වෙනස්කමක් තිබෙනවා. සත්‍ය වශයෙන්ම කොකෝවා නිෂ්පාදනය සඳහා බීජ ලබා ගන්නා ශාකය හඳුන්වන්නේ “කැකාවෝ (විද්‍යාත්මක නාමය: Theobroma cacao)” යන නමින්. එහි බීජ ඉහළ උෂ්ණත්වයක් යටතේ සැකසීමකට (Roasted cacao beans) ලක් කළ පසු “කොකෝවා” ලෙස හඳුන්වනවා.

කොකෝවා/කැකාවෝ ශාකය – /www.foto-grafo.de

ලෝකයේ තවමත් කැකාවෝ බීජ කිසිදු සැකසීමකට ලක් නොකොට භාවිතයට ගන්නා ආහාර සංස්කෘතීන් තිබෙනවා. ඒවායේ තිබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ සම්බන්ධයෙනුත් විවිධ පර්යේෂණ පැවැත්වෙනවා. මෙම සෞඛ්‍ය ප්‍රතිලාභවල විද්‍යාත්මක පදනම පැහැදිලි කිරීමේ දී කැකාවෝ සහ කොකෝවා අතර වෙනස දැන සිටීම වැදගත්.

දීර්ඝායුෂ ලබන කුනා ඉන්දියානුවෝ

පැනමා රාජ්‍යයට අයත් සැන් බ්ලාස් දූපත් හි ජීවත් වන කුනා ඉන්දියානුවන් යනු අවම හදවත් රෝග අවදානමක් ඇති ජන සමූහයක්. ඔවුන් වයස්ගත වුව ද රුධිර පීඩනයේ ඉහළ යෑමක් සිදු වන්නේ නැහැ. දියවැඩියාව සහ පිළිකා තත්ත්ව පවා කුනා ඉන්දියානුවන් අතර දකින්නට ලැබෙන්නේ කලාතුරකින්. කෙසේ නමුත්, ඔවුන් ගේ ආහාර වේල තුළ ලුණු යහමින් අඩංගු වෙනවා.

එක්සත් ජනපදයේ ජීවත් වන පුද්ගලයෙක් ආහාර වේලක් සඳහා භාවිත කරන ලුණු ප්‍රමාණය තරමට ම එය සමාන වන බවයි පැවසෙන්නේ. අධික ලුණු භාවිතය රුධිර පීඩනය ඉහළ දැමීමට හේතුවන බව අප සාමාන්‍යයෙන් දන්නා කරුණක්. එසේ නම් කුනා ඉන්දියානුවන් යහපත් මට්ටමකින් රුධිර පීඩනය පවත්වා ගෙන යන්නේ කෙසේ ද?

සැන් බ්ලාස් දූපත් – www.bbc.com

විද්‍යාඥයන් පිරිසක් මෙම ගැටලුවට පිළිතුරු සෙවීමේ දී කුනා ඉන්දියානුවන් ගේ ආහාර රටාවේ ඇති එක් සුවිශේෂිතාවක් හඳුනා ගත්තා. ඔවුන් සෑම දිනක ම කැකාවෝ සහ කුඩා සීනි ප්‍රමාණයක් මිශ්‍ර කළ එක්තරා පානයක් රස විඳින අතර, දිනකට සිව්වතාවක් පමණ ඔවුන් එය භාවිතයට ගන්නවා. කුනා ඉන්දියානුවන් ගේ යහපත් සෞඛ්‍යය තත්ත්වයට බලපාන එක ම සාධකය කැකාවෝ පානය බව ඉන් අදහස් වන්නේ නැහැ. ඔවුන් එක්සත් ජනපදයේ වෙසෙන පුද්ගලයකුට සාපේක්ෂව දෙගුණයක් පලතුරු සහ සිව්ගුණයක් මාළු අනුභව කරන අතර, ඉතා ක්‍රියාශීලි ජීවිතයක් ගත කරනවා.

ෆ්ලේවනොයිඩ් සංයෝග

කැකාවෝ සහ කොකෝවා අතර ඇති වෙනස කරළියට පැමිණෙන්නේ මෙවිට යි. ඉහළ උෂ්ණත්ව යටතේ සකස් නොකළ කැකාවෝ බීජවල පෝෂණ අගය ඉහළ මට්ටමක පවතින අතර, තරමක් තිත්ත රසයකින් යුක්ත යි. කැකාවෝ බීජ ඉහළ උෂ්ණත්ව යටතේ සකස් කළ විට (කොකෝවා බවට පත් කළ විට) පෝෂණ ගුණයෙන් යම් කොටසක් ඉවත් විය හැකි නමුත්, තිත්ත ස්වභාවය අවම මට්ටමකට පැමිණෙනවා. මේ හේතුවෙන් චොකලට් නිපදවීම සඳහා අධික උෂ්ණත්වය යටතේ සකස් කළ කැකාවෝ බීජ හෝ කොකෝවා සුලබ ව භාවිත කරනවා.

විවිධ ෆ්ලේවනොයිඩ් සංයෝග – https://www.researchgate.net

කැකාවෝ බීජවල පෝෂණ ගුණය තීරණ කරන වැදගත් ම සාධකය වන්නේ ෆ්ලේවනොයිඩ් නමැති රසායනික සංයෝග කාණ්ඩය යි. එම කාණ්ඩයේ සංයෝග ඇතැම් බෙරි වර්ගවල සහ තේ ශාකයේ පවා අඩංගු වන අතර, හෘද රෝගවලින් මිය යෑමේ අවදානම ෆ්ලේවනොයිඩ් මඟින් අවම කරන බව යි පැවසෙන්නේ. කැකාවෝ බීජවල අඩංගු ෆ්ලෙවනොයිඩ් සංයෝග මිලිග්‍රෑම් 400-500 අතර ප්‍රමාණයක් ශරීරගත වීමෙන් රුධිර පීඩනය සහ ශරීර ප්‍රදාහය අවම කරන බව අනාවරණය වී තිබෙනවා. හෘද රෝගවලින් මිය යෑමේ අවදානම ෆ්ලේවනොයිඩ් හරහා අවම කරන බව ප්‍රකාශ වන්නේත් ඒ නිසා යි. 

මේ කරුණු සියල්ල කුනා ඉන්දියානුවන් සමඟ සම්බන්ධ කළ හැකි බව පෙනී යනවා. ඔවුන් ගේ ආහාර රටාව තුළ කැකාවෝ බීජ භාවිත වන අන්දම නිසා ෆ්ලේවනොයිඩ් වල සෞඛ්‍ය ප්‍රතිලාභය උපරිමයෙන් අත්කර ගැනීමට හැකි වී තිබෙනවා. 

චොකලට් හදවතට යහපත් ද?

ඉහත සාකච්ඡා කළ සෞඛ්‍ය ප්‍රතිලාභය චොකලට් හරහා අපට අත් විඳිය නොහැකි ද?

මෙම ගැටලුවට සෘජු පිළිතුරක් ලබා දිය නොහැකි යි. චොකලට් සඳහා භාවිත කරන කොකෝවාවල යම් ෆ්ලෙවනොයිඩ් ප්‍රමාණයක් අඩංගු වුව ද චොකලට් නිපදවීම සඳහා භාවිතා කරන වෙනත් අමුද්‍රව්‍ය සහ නිෂ්පාදන ක්‍රියාවලියේ ඇති වෙනස්කම් මත එහි ෆ්ලේවනොයිඩ් සාන්ද්‍රණය වෙනස් විය හැකි යි. 

චොකලට් වර්ගය සහ ඒවායේ අන්තර්ගතය වෙනස් වන අයුරු – www.thekitchn.com

එක්තරා අධ්‍යයනයක දී පර්යේෂකයන්, මිනිසුන් විසි දහසකගේ පමණ ආහාර රටාව සහ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කළ අතර, දිනකට චොකලට් ග්‍රෑම් සියයක් පමණ ආහාරයට ගැනීමෙන් හෘද රෝග සහ ආඝාත අවදානම අඩු වන බව ඔවුන් නිගමනය කළා. එම අවදානම් අඩු කිරීමට හේතු වන වෙනත් සාධක පාලනය කිරීමටත් පර්යේෂකයන් අමතක කළේ නැහැ. එලෙස පාලනය කළ සාධක අතර දුම්පානය සහ ව්‍යායාම මට්ටම් ද තිබුණා.

කෙසේ නමුත්, පර්යේෂණ පසුබිම තුළ හෘද රෝග සහ අඝාත තත්ත්ව ඇති වීමේ අවදානම අවම වීම කෙරෙහි “චොකලට් භාවිතය” යන සාධකය පමණක් බලපාන බව ඉන් අදහස් වන්නේ නැහැ. ශරීරයේ ස්වභාවය සහ ජීවන රටාවේ ස්වභාවය ඊට බලපෑ හැකි අතර, චොකලට් භාවිතයෙන් එම රෝගී අවදානම් අවම කිරීම සඳහා අමතර සහයක් ලැබෙනවා වන්නටත් පුළුවන්.

ඩා(ර්)ක් චොකලට් වඩා යහපත්

චොකලට්වල සෞඛ්‍ය ප්‍රතිලාභ අත්කර ගැනීමට නම් පරිභෝජනය කරන ප්‍රමාණය පිළිබඳ ව සැළකිලිමත් විය යුතු යි. චොකලට් වැඩිපුර අනුභව කරන පුද්ගලයන් ඔවුන් ගේ ශරීර බර සම්බන්ධයෙන් අඩු සැලකිල්ලක් දැක්විය හැකි බැවින්, ෆ්ලේවනොයිඩ් කොතරම් ශරීරගත වුණත් ඉන් පලක් වන්නේ නැහැ. ඊළඟ වැදගත් කාරණය වන්නේ චොකලට් වර්ගය අනුව ෆ්ලේවනොයිඩ් සාන්ද්‍රණය කොතෙක් දුරට නිෂ්පාදනයේ රැඳෙනවා ද යන්න යි. උදාහරණයක් ලෙස මේදය සහ සීනි අන්තර්ගතය අධික චොකලට් අනුභවයෙන් අපේක්ෂිත සෞඛ්‍ය ප්‍රතිලාභය බොහෝ දුරට අත් වන්නේ නැහැ. එමෙන් ම, කැකාවෝ අස්වැන්න නෙළන ආකාරය, ඒවා සකසා ගන්නා ආකාරය සහ නිෂ්පාදන ක්‍රියාවලිය, ෆ්ලේවනොයිඩ් අන්තර්ගතයට සෘජු ව බලපානවා.

ඩා(ර්)ක් චොකලට් – health.clevelandclinic.org

ඉහත සාධක සියල්ල යහපත් මට්ටමකින් ඇති චොකලට් නිෂ්පාදනයක් භාවිත කළ හැකි නම් වඩාත් යහපත් වේවි. ඩා(ර්)ක් චොකලට් දෙස වැඩි අවධානයක් යොමු කළ යුත්තේ ඒ නිසා යි. අපි දැන් අනෙක් චොකලට් වර්ගවලින් ඩා(ර්)ක් චොකලට් වෙනස් වන අන්දම මඳක් සළකා බලමු.

කොකෝවා අන්තර්ගතය

ඩා(ර්)ක් චොකලට් යනු අමුද්‍රව්‍යයක් ලෙස කිරි අඩංගු නොවන හෝ ඉතාම අඩුවෙන් අන්තර්ගත වන චොකලට් නිෂ්පාදන යි. ඒවායේ කොකෝවා අන්තර්ගතය 50%-90% වැනි පරාසයක පවතින අතර, සීනි ස්වල්පයක්, සෝයා ලෙසිතීන් සහ ඇතැම් විට වැනිලා වැනි රසකාරකයක් වැනි සීමා සහිත අමුද්‍රව්‍ය කිහිපයක් යටතේ නිපදවනවා.

සාමාන්‍යයෙන් දක්නට ලැබෙන “මිල්ක් චොකලට්”වල කොකෝවා අන්තර්ගතය පවතින්නේ 10%-50% වැනි පරාසයක පමණ යි. ඩා(ර්)ක් චොකලට්වල ඇති මේ අධික කොකෝවා අන්තර්ගතය නිසා ඒවා තරමක් තිත්ත රසයකින් යුක්ත යි. එහෙත්, කොකෝවා අන්තර්ගතය ඉහළ යන තරමට නිෂ්පාදනයේ ඇති ෆ්ලේවනොයිඩ් සාන්ද්‍රණය ද ඉහළ යනවා. එබැවින්, මිල්ක් චොකලට් අනුභවයට වඩා ඩා(ර්)ක් චොකලට් අනුභවය සෞඛ්‍යමය අතින් වාසිදායක විය හැකි යි.

කොකෝවා අන්තර්ගතය වැඩි කිරීමේ දී චොකලට්වල අලෙවිකරණ ගැටලු මතු වෙනවා – www.bbc.com

ඩා(ර්)ක් චොකලට් හමුවේ පවා නිෂ්පාදන ක්‍රියාවලියේ ඇති ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ගැටලු මතු වෙනවා. කොකෝවා අන්තර්ගතය වැඩි කළ හැකි නමුදු රසයේ සිදු වන වෙනස්කම් නිසා චොකලට් නිෂ්පාදන කෙරෙහි ඇති පාරිභෝගික ආකර්ෂණය වෙනස් විය හැකි යි. එබැවින්, ඩා(ර්)ක් චොකලට්වලට පවා යම් සීනි ප්‍රමාණයක්, රසකාරක සහ වෙනත් අගය එකතු කිරීම් නිෂ්පාදන ක්‍රියාවලියට ඇතුළත් කිරීමට සිදු වෙනවා. එවිට ෆ්ලේවනොයිඩ් අන්තර්ගතයේ ඇති බලපෑම යම්තාක් දුරකට ආවරණය විය හැකි යි.

කොපමණ අනුභව කළ යුතු ද?

යුරෝපීය ආහාර ප්‍රමිති අධිකාරියට අනුව කොකෝවා හි අන්තර්ගත ෆ්ලේවනොයිඩ් සංයෝග මිලිග්‍රෑම් 200 ක් ශරීරගත වීම වඩා යහපත් වන අතර, ඒ සඳහා ඩා(ර්)ක් චොකලට් ග්‍රෑම් 10 ක් පමණ අනුභව කිරීම ප්‍රමාණවත්. මෑත කාලීන දත්තවලට අනුව කොකෝවා-ෆ්ලේවනොයිඩ් දිනකට මිලිග්‍රෑම් 500 ක් පමණ ලබාගත හැකි නම්, අපගේ සෞඛ්‍යය තත්ත්වයේ පැහැදිලි වෙනසක් අත් විඳිය හැකි බව පැවසෙනවා. ඒ සඳහා ෆ්ලේවනොයිඩ් අධික චොකලට් ග්‍රෑම් 30 ට අඩු ප්‍රමාණයක් ආහාරයට ගැනීම ප්‍රයෝජනවත්. ගැටලුව වන්නේ ලොව පුරා ඇති චොකලට් නිෂ්පාදනවල ඇති ෆ්ලේවනොයිඩ් ප්‍රමාණය සම්බන්ධයෙන් පැහැදිලි සම්මුතියක් දක්නට නොලැබීම යි.

කොකෝවා බටර් – www.medicalnewstoday.com

ෆ්ලේවනොයිඩ් අන්තර්ගතය රැක ගත් චොකලට් නිෂ්පාදනයක් හඳුන්වා දිය හැකි නම්, එය සෞඛ්‍යමත් ආහාරයක් ලෙස ප්‍රචලිත කිරීමටත් හැකි වේවි. මෙම තර්කය සමඟ එකඟ නොවන විද්‍යාඥයන් පිරිසක් ද සිටිනවා. ඔවුන් ඩා(ර්)ක් චොකලට් පූර්ණ සෞඛ්‍යමය ආහාරයක් ලෙස නොසලකන්නේ චොකලට්වල ස්වභාවයෙන්ම පවත්නා මේද සංඝටක නිසා යි.

චොකලට්වල අඳුරු පැතිකඩ

ඔවුන් තර්ක කරන පරිදි ඩා(ර්)ක් චොකලට්වල ෆ්ලේවනොයිඩ් සංඝටක පමණක් සැලකීමෙන් එහි ඇති සෞඛ්‍යමය වාසි තක්සේරු කළ නොහැකි යි. චොකලට්වල බොහෝ විට කොකෝවා බටර් අඩංගු වන අතර, ඒවායේ අඩංගු මේදයෙන් කොටසක් සංතෘප්ත මේදය සඳහා වෙන් වෙනවා. සංතෘප්ත මේදය යනු හෘද රෝග අවදානම ඉහළ දමන සාධකයක්.

විවිධ මේද සංඝටක ශරීරයට බලපාන අන්දම – www.cfs.gov.hk

ඒ අනුව චොකලට් අනුභවය හදවතට යහපත් යන කාරණය අර්ධ සත්‍යයක් බව පෙනී යනවා. එහි ඇති ෆ්ලේවනොයිඩ් සාන්ද්‍රණය උපරිම නම් සෞඛ්‍ය ප්‍රතිලාභයත් ඉහළ යි. නමුත්, ෆ්ලේවනොයිඩ් සාන්ද්‍රණය ඉහළ යන තරමට චොකලට්වල ඇති ප්‍රණීත බව පහළ යනවා. එවිට මතුවන අලෙවිකරණ ගැටලු නිසා චොකලට් නිෂ්පාදකයන් ෆ්ලේවනොයිඩ් සාන්ද්‍රණය වැදගත් හෝ ප්‍රධාන සාධකයක් ලෙස නොසැලකීමට පුළුවන්. ඩා(ර්)ක් චොකලට් කුඩා ප්‍රමාණයක් අනුභව කිරීමෙන් ෆ්ලේවනොයිඩ්වලින් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභය සාපේක්ෂව ඉහළ මට්ටමකින් අත් විඳිය හැකි යි.  

කවරයේ ඡායාරූපය: ප්‍රණීත බවටත් එහා ගිය චොකලට් වල සෞඛ්‍ය පසුබිම ගැන ඔබ සිතුවා ද? - www.history.com
මූලාශ්‍ර:
www.bbc.com
www.thespruceeats.com
www.thespruceeats.com
www.allrecipes.com
www.hsph.harvard.edu

Related Articles