Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝකයේ තිබෙන මිල අධික ම බිම්මල් වර්ග හතක්

ලෝකයේ මිල අධික ම බිම්මල් වර්ග ලෙස නම් දරා තිබෙන බොහෝමයක් බිම්මල් විශේෂ ඉතා දුර්ලභ වන අතර, මහා පරිමාණයෙන් වගා කිරීමත් ඉතා අපහසු යි. එම බිම්මල් විශේෂ පාරිසරික සාධක හමුවේ වැඩි සංවේදීතාවක් දැරීම මේ සඳහා හේතු වී තිබෙනවා. බිම්මල් විශේෂයක් මිල අධික වන්නේ ඒවායේ දුර්ලභත්වය නිසා විතරක්ම නොවේ. මානව අවශ්‍යතා සඳහා බිම්මල් මඟින් ඉටුවන මෙහෙයත් එහි වටිනාකම සඳහා සෘජු ව බලපානවා.

 ඇතැම් බිම්මල් සතු ව බොහොම දුර්ලභ ගණයේ ඖෂධීය වටිනාකම් තිබෙනවා. එමෙන් ම සූප ශාස්ත්‍රයේදීත් බිම්මල් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනවා. ආහාරයට සුදුසු ඇතැම් බිම්මල්වල පවතින ආවේණික රසායනික ගුණ නිසා ආහාර රසකාරකයක් ලෙසත් භාවිත වෙනවා.

 බිම්මල්, එහෙමත් නැත්නම් හතු කියන්නේ නිශ්චිත පරිසර සාධක යටතේ වැඩෙන දිලීර වර්ගවල ප්‍රජනක ව්‍යුහ ලෙස හඳුන්වන්න පුළුවන්. සෑම දිලීරයක් ම බිම්මල් සාදන්නේ නැහැ. ලෝකයේ බිම්මල් විශේෂ රාශියක් තිබුණත්, බොහෝ විශේෂ මිනිස් අවශ්‍යතා සඳහා භාවිත කළ නොහැකි යි. ඉතා ඉක්මනින් විෂ විය හැකි බිම්මල් අප අතර ම තිබෙන්නත් පුළුවන්. ඒ නිසා ස්වභාවික පරිසරයෙන් මිනිස් අවශ්‍යතා සඳහා බිම්මල් ලබා ගැනීමේදී ප්‍රවේශම් සහගත වීම අනිවාර්ය යි. වාණිජ මට්ටමින් ආහාර සඳහා බිම්මල් වගා කිරීමේ ප්‍රවණතාවක් පවතින නිසා හැකිතාක් එවැනි විශ්වාසනීය වාණිජ වගාවකින් බිම්මල් මිලදී ගැනීම වඩාත් උචිත යි.

 මානව අවශ්‍යතා සඳහා බිම්මල් පරිභෝජනය ප්‍රවේශමෙන් කළ යුතු වුණත්, ඒවායින් ලැබෙන සෞඛ්‍ය සහ පෝෂණ ප්‍රතිලාභ ඉතා ඉහළ යි. ඒ අනුව ලෝකයේ ඉහළ ම වටිනාකමක් හිමි වී ඇති බිම්මල් විශේෂ හතක තොරතුරු ඔබ වෙත ගෙන එන්නයි මේ සුදානම. 

ටිබෙටයේ ප්‍රචලිත යාට්සා ගන්බූ දිලීරය – www.theatlantic.com 

1. යාට්සා ගන්බූ

 ටිබෙට් ජාතිකයන් අතර ප්‍රචලිත ව පවතින මෙම දිලීරය සත්‍ය බිම්මල් සාදන දිලීරයක් නොවේ. එහෙත්, බීජාණු සහිත වෘන්තයක් පිටත පරිසරයට පැමිණෙන නිසා මෙහි ප්‍රජනක ව්‍යුහය පියවි ඇසින් දැකබලා ගත හැකි යි. යාට්සා ගන්බූ මූලික වශයෙන් ටිබෙට් ජාතිකයන් අතර ප්‍රචලිතව පවතින්නේ හොඳ වාජීකරණ ඖෂධයක් විදිහට යි. ඒවා මිලට ගත හැකිවීම සහ සුළු ප්‍රමාණයකින් වුවත් ආහාරයට ගත හැකිවීමෙන් තමාගේ තත්ත්වය සමාජයට පෙන්විය හැකි බව ඔවුන් විශ්වාස කළා.

 මේ දිලීරය පරපෝෂිත යි. ඔවුන් සලබයන්ගේ දළඹුවන් තුළට ආසාදනය වී පෝෂණය ලබමින් දළඹුවාගේ සිරුර ආක්‍රමණය කරනවා. කාලයත් සමඟ දිලීරය හේතුවෙන් දළඹුවා මිය යන අතර, දිලීරයේ ප්‍රජනක ව්‍යුහය දළඹුවාගේ සිරුර පාසාරු කරගෙන විවෘත පරිසරයට පැමිණෙනවා.

 දළඹුවාගේ මළ සිරුර සමඟ ම සකසා ගත් දිලීරය ඖෂධ ලෙස භාවිතයට ගන්නවා. හිමාල කඳුකරයේ මුහුදු මට්ටමේ සිට උස මීටර් 3000-5000 අතර පරාසය තුළ අදාළ දිලීර වර්ගය පහසුවෙන් වගා කළ හැකි යි. යට්සා ගන්බූ දිලීරය කුඩා භූගෝලීය පරාසයක පැතිර පවත්නා නිසා මිලත් ඉතා අධික යි.  අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 2000 ක් පමණ වෙනවා!

භූගතව වැවෙන යුරෝපියන් වයිට් ට්‍රෆල්ස් – italianallegria.com 

2. යුරෝපියන් වයිට් ට්‍රෆල්ස්

  යුරෝපියන් වයිට් ට්‍රෆල්ස් වැවෙන්නේ භූගත ව යි. සාමාන්‍යයෙන් ඕක් ගස් පාමුල භූගත ව මේවා සුලබ ව වැවෙන බව කියවෙනවා. උතුරු ඉතාලිය ආශ්‍රිත ව යුරෝපියන් වයිට් ට්‍රෆල්ස් ප්‍රමුඛ ව්‍යාප්තියක් පෙන්වන නමුත්, අස්වැන්න නෙළා ගැනීම තවමත් අභියෝගාත්මක ක්‍රියාවලියක් ලෙස පවතිනවා. භූගත ව වැවෙන විශේෂයක් වීමත් ඒ සඳහා හේතු වෙන්න පුළුවන්. මේ නිසා ට්‍රෆල්ස් දිලීර ඉව කිරීමෙන් සොයාගත හැකිවන පරිදි බල්ලන්, ඌරන් පුහුණු කිරීමට ඇතැම් මිනිසුන් උනන්දු වෙනවා.

 යුරෝපියන් වයිට් ට්‍රෆල්ස් සඳහා ඉතා ඉහළ ඉල්ලුමක් පවතින අතර, සැපයුම ඉතා දුර්වල මට්ටමක පවතින හෙයින් මිලෙනුත් ඉතා අධික යි. දිලීර වර්ගයේ අස්වනු කාලය ඔක්තෝබර් සිට නොවැම්බර් තරම් කෙටි කාල පරාසයක් තුළ පැවතීමත් දුර්වල සැපයුමට බලපාන එක හේතුවක්. සාමාන්‍ය ව්‍යවහාරයේදී යුරෝපීයන් වයිට් ට්‍රෆල්ස් “සරාගී බිම්මල්” ලෙස හඳුන්වන්න මිනිසුන් පුරුදු ව සිටිනවා. දිලීරය සතු කාමෝද්දීපන ගුණය මේ සඳහා හේතු වී තිබෙනවා. අස්වැන්න සහ වෙළඳපොළ තත්ත්වය අනුව යුරෝපියන් වයිට් ට්‍රෆල්ස් රාත්තලක මිල අමෙරිකානු ඩොලර් 1500-4000 අතර වෙනස් වෙනවා.

මට්සුටාකේ බිම්මල් ජපාන සූප ශාස්ත්‍රය තුළ ඉතා වටිනා ද්‍රව්‍යයක් ලෙස සැළකෙනවා – ventured.com 

3. මට්සුටාකේ බිම්මල්

 ජපානයට සීමා වූ මට්සුටාකේ පහසුවෙන් හඳුනා ගත හැකි බිම්මල් විශේෂයක් ලෙස සැලකෙනවා. මට්සුටාකේ බිම්මල් විශේෂයට ම ආවේණික වූ සැරක් සහ ලාක්ෂණික පලතුරු රස‍යක් එහි පවතින අතර,  හොඳ සුවඳකුත් වහනය වන බව කියවෙනවා. ජපානයේ කියෝතෝ ආශ්‍රිතව පිහිටා ඇති “ටම්බා” නම් ප්‍රදේශයේ රතු පයින් ශාක ආසන්නයේ මේවා වැඩි වශයෙන් වර්ධනය වන ප්‍රවණතාවක් තිබෙනවා.

 ජපානයේ ආහාර සංස්කෘතිය තුළ මෙම අනගි බිම්මල් විශේෂය ඉතා ප්‍රණීත ආහාරයක් ලෙස සැකසෙනවා. කෙසේ වෙතත්, රතු පයින් වනාන්තරවල ව්‍යාප්තිය කෙමෙන් කෙමෙන් අඩු වෙමින් පවතින නිසා මට්සුටාකේ බිම්මල්වල වාසස්ථානත් හැකිළෙමින් පවතිනවා. බිම්මල් විශේෂය සාර්ථකව වගා කළ හැකි නිසි ක්‍රමවේදයක් මේ වනතුරුත් හඳුන්වා දී නැහැ. වර්තමානයේදී මට්සුටාකේ බිම්මල් වඳවීමේ තර්ජනයට ලක් වූ ජීවින් විශේෂයක් බවට පත් ව තිබෙනවා. දුර්ලභත්වය බිම්මල් විශේෂයේ මිල තීරණය කරන ප්‍රධානත ම සාධකය වන අතර, රාත්තලක වටිනාකම අමෙරිකානු ඩොලර් 1000-2000 අතර විචලනය වෙනවා.

බ්ලැක් ට්‍රෆල්ස් – www.newsweek.com 

‍4. බ්ලැක් ට්‍රෆල්ස්

 බ්ලැක් ට්‍රෆල්ස් කියන්නේ අක්‍රමවත් හැඩැති අර්තාපල් සිහිගන්වන අන්දමේ පෙනුමක් තිබෙන බිම්මල් විශේෂයක්. ප්‍රංශය සහ ඉතාලියේ ගම්බද පෙදෙස්වල මේවා හොඳින් වර්ධනය වෙනවා. සාපේක්ෂව වටිනා ම සහ ගුණාත්මකභාවයෙන් ඉහළ බ්ලැක් ට්‍රෆල්ස් ප්‍රංශය සතු බව සාමාන්‍ය පිළිගැනීම යි. බ්ලැක් ට්‍රෆල්ස් පොළොව යට වැවෙන බිම්මල් විශේෂයක් නිසා ආවේණික රසයක් ඒවාට ලැබී තිබෙනවා. සීමාසහිත පාරිසරික සාධක මත මේවායේ වර්ධනය තීරණය වන හෙයින්, බ්ලැක් ට්‍රෆල්ස් දුර්ලභ බිම්මල් විශේෂයක් බවට පත් ව තිබෙනවා. මිල අධික වීම කෙරෙහි එහි දුර්ලභත්වය සෘජුව ම බලපා තිබෙනවා. සාමාන්‍යයෙන් බ්ලැක් ට්‍රෆල්ස් රාත්තලක් සඳහා අමෙරිකානු ඩොලර් 800-900 අතර මුදලක්  නියම වෙනවා.

 ලාක්ෂණික රසය නිසා සූපවේදීන් සහ අවන්හල් අතර බ්ලැක් ට්‍රෆල්ස් සඳහා අධික ඉල්ලුමක් පවතිනවා. එහෙත්, ඉල්ලුමට සරිලන සැපයුම ලබා දීම යනු විශාල අභියෝගයක්. වර්තමානයේ දී එක්සත් ජනපදය සහ ඕස්ට්‍රේලියාව තුළ බ්ලැක් ට්‍රෆල්ස් වාණිජ මට්ටමෙන් වගා කිරීමේ ප්‍රවණතාවක් ඇතිවී තිබෙනවා. එක්සත් ජනපදයේ ටෙනසි, කෙන්ටකි, කැලිෆෝනියාව වැනි ප්‍රාන්තවල නිෂ්පාදකයන් බ්ලැක් ට්‍රෆල්ස් වගා කිරීම තුළින් යම් සාර්ථකත්වයක් ලබාගත්තත්, තවමත් මේ වගාව පවතින්නේ වියදම් අධික ව්‍යාපාරයක් ලෙසට යි.

මොරෙල්ස් බිම්මල්වලින් සැකසූ කෑම දීසියක් සුපිරි අවන්හල්වල අධික මිල ගණන් යටතේ අලෙවි වෙනවා – chicago.suntimes.com

5. මොරෙල්ස් බිම්මල්

 මොරෙල්ස් කියන්නේ තවත් මිල අධික හතු වර්ගයක්. ශක්තිමත් හතු දණ්ඩ සමඟ කැරලි ගැසුණු කේතු ආකාර හැඩයෙන් යුත් හිසක් පවතින නිසා මොරෙල්ස් බිම්මල් හඳුනා ගැනීම පහසු යි. වියළපු ආකාරයෙන් භාවිතයට ගන්නා හතු වර්ගයක් ලෙස මොරෙල්ස් හැඳින්විය හැකි යි. එලෙස සකස් කරගත් මොරෙල්ස් හතු රාත්තලකට අමෙරිකානු ඩොලර් 254ක පමණ මුදලක් නියම වෙනවා. මොරෙල්ස් හතුවලට එයට ම අද්විතීය වූ රසයක් තිබෙනවා. එම රසයට යම් තරමකින් හෝ සමාන රසයක් ඇත්තේ තවත් බිම්මල් වර්ගයක් වූ “ෂිටාකේ” වලට පමණ යි. ප්‍රමාණයෙන් කුඩා නිසා ම මොරෙල්ස් බිම්මල් ආහාරයක සැරසිල්ලක් ලෙස හෝ සෝස් වර්ගයක් සමඟ පිළිගන්වනවා.

 මොරෙල්ස් හතු ආහාරයට ගැනීම කෙනකුගේ සුඛෝපභෝගී ජීවන රටාව පෙන්නුම් කරන අවස්ථාවක් ලෙස දැකීමට ඇතැම් අය පුරුදු ව සිටිනවා. මොරෙල්ස් හතුවලින් සැකසූ කෑම දීසියක් සුපිරි අවන්හල්වල අධික මිල ගණන් යටතේ අලෙවි වීම ඊට හේතුව යි. කේතු ආකාර කොටසේ පවතින ස්පොන්ජිමය ස්වභාවය නිසා ඇතැමුන් මේවා “ස්පොන්ජ් හතු” ලෙස හඳුන්වන්න පුරුදු ව සිටිනවා. කුඩා මාළුවෙකුගේ හැඩය ගන්නා නිසා තවත් විටෙක “වියළි මාළු බිම්මල්” ලෙසත් මේවා හඳුන්වනවා.

විසිතුරු පෙනුමැති ඉනොකි බිම්මල් – calories-info.com 

6. ඉනොකි බිම්මල්

 ඉනොකි බිම්මල්වල තිබෙන විසිතුරු බව නිසාම මෙම ලැයිස්තුවට ඇතුළත් වුණා. විසිතුරු බව වගේම ඉනොකි බිම්මල් මිලෙනුත් ඉතා ඉහළ යි. රාත්තලක බරින් යුතු ඉනොකි බිම්මල් පොකුරකට අමෙරිකානු ඩොලර් 108ක පමණ වටිනාකමක් නියම වී තිබෙනවා.

 විසිතුරු බව නිසා ඇතැමුන් මෙය වෙනත් නම්වලින් හඳුන්වන්න පුරුදු ව සිටිනවා. වෙල්වට් ෆූට්, ගෝල්ඩන් නීඩ්ල්, ලිලී බිම්මල්, ඒ අතරින් උදාහරණ නාමයන් කිහිපයක්. ඉනොකි බිම්මල් වාණිජ මට්ටමින් වගා කරන නමුත්, වනගත ව වැවෙන තද දුඹුරු පැහැ ඉනොකි බිම්මල් විශේෂයකුත් පවතිනවා. එහෙත්, වගා කරන ඒවාට වඩා වනගත විශේෂය පරිභෝජනය කරන්නේ අඩුවෙන්. ඉනොකි බිම්මල්වලට දිගු දණ්ඩක් ඇති අතර, මුදුනේ කුඩා බොත්තමක් වැනි තොප්පියක් පිහිටා තිබෙනවා.

 පිසින ලද ඉනොකි බිම්මල් ඉතා සුවඳවත් මෙන් ම, රසයෙනුත් පරිපූර්ණ ආහාරයක් බව පැවසෙනවා. ඕනෑම කෙනෙක් ඉනොකි බිම්මල්වල රසයට ලොල් වීමේ හැකියාව ඉතාම වැඩි යි. මේ අනගි බිම්මල් විශේෂය අවුරුද්දේ ඕනෑම කාල වකවානුවක දකින්නට ලැබෙන අතර, ජපන් සූපවේදීන් සුප් ආහාර සඳහා ඉතා උනන්දුවෙන් යුතුව ඉනොකි බිම්මල් යොදා ගන්නවා. ප්‍රතිශක්තීකරණය වර්ධනය කිරීමෙහි ලා ඉනොකි බිම්මල් මනා කාර්යභාරයක් ඉටු කරන බව පැවසෙනවා.

ලයන්ස් මේන් යනු වටිනා ඖෂධීය ගුණාංග ඇති බිම්මල් විශේෂයක් – chocolatree.com 

7. ලයන්ස් මේන් බිම්මල්

 මෙම බිම්මල් විශේෂය බැලූ බැල්මටම සිංහයකුගේ කේසර මෙන් පෙනෙන නිසා “ලයන්ස් මේන්” කියන නම ලැබී තිබෙනවා. මංකි හෙඩ්, බෙයර්ඩඩ් ටූත්, සැටර්ගේ රැවුළ සහ පොම්පොම් හතු වැනි විවිධ නම්වලින් මේ බිම්මල් විශේෂය හඳුන්වන්න ඇතැමුන් පුරුදු ව සිටිනවා. උතුරු අමෙරිකාව, යුරෝපය සහ ආසියාව තුළ දක්නට ලැබෙන ලයන්ස් මේන්, චීනය සහ ජපානය වැනි ආසියාතික රටවල සූප ශාස්ත්‍රයේ විශේෂ කාර්යභාරයක් ඉටු කරනවා. ලයන්ස් මේන් බිම්මල්වල මුහුදු ආහාර ලට සමාන රසයක් තිබෙන බව පැවසෙනවා.

 ගිම්හානයේ අග භාගයේ දී මේවා බහුල ව සොයාගත හැකි යි. මොළය වැඩි දියුණු කිරීමේ ශක්තියක් ලයන්ස් මේන් බිම්මල් සතුව පවතින බව සමහරුන් විශ්වාස කරනවා. ජපන් සහ චීන ජාතිකයන් ‍රක්තවාතය, හෘද රෝග සහ පිළිකාවට ප්‍රතිකාරයක් වශයෙන් ලයන්ස් මේන් බිම්මල් යොදා ගෙන තිබෙනවා. පුද්ගලයකුගේ ආහාර වේලකට එකතු කරගත හැකි හොඳ ම ප්‍රතිඔක්සිකාරක ගුණයක් ඇති ආහාරයක් ලෙස ලයන්ස් මේන් බිම්මල් වැදගත් වන අතර, ප්‍රෝටීන් බහුල ආහාරයක් ලෙසත් එය වැදගත්.

 පාලිත පරිසර තත්ත්වයක් යටතේ සාපේක්ෂ ව පහසුවෙන් වගා කළ හැකි නිසා මිල ගණන් අතින් තරමක් සහනදායී ස්වභාවයක් උසුලනවා. ලයන්ස් මේන් රාත්තලක් සඳහා අමෙරිකානු ඩොලර් 8-36 දක්වා මිලක් නියම වෙනවා. ආහාරයට ගත හැකි අනෙකුත් සුලබ බිම්මල් සැලකීමේ දී ලයන්ස් මේන්වල මිල ගණන් තවමත් ඉහළ යි. 

 මිලෙන් අධික බිම්මල් විශේෂ බොහෝමයක් ලෝකය තුළ පවතිනවා. සුප්‍රසිද්ධ ෂිටාකේ බිම්මල් පවා සැලකෙන්නේ මිලෙන් අධික විශේෂයක් ලෙසට යි. එහෙත්, ඒවා වගා කරන ක්‍රමවේදය සහ ගුණාත්මකභාවය අනුව වටිනාකම වෙනස් විය හැකි යි.

 විවිධ සෞඛ්‍ය ප්‍රතිලාභ හමුවේ බිම්මල්වලට ලැබෙන වටිනාකම දිනෙන් දින ඉහළ යනවා. ඒත් එක්ක ම බිම්මල්වලට දිනෙන් දින වෙනස් වන පාරිසරික තත්වයන් හමුවේ යම් තර්ජනයක් පැමිණෙන ප්‍රවණතාවකුත් තිබෙනවා. සෞඛ්‍යමය වශයෙන් හෝ ආහාරමය වශයෙන් වටිනාකමක් ලැබුණු ඇතැම් බිම්මල් බොහොම දුර්ලභ වන අතර, සංවේදී පාරිසරික සාධක නිසා එවැනි බිම්මල් කෘත්‍රිම ව වගා කිරීමත් ලෙහෙසි නැහැ. අධික පරිභෝජනය හමුවේ තර්ජනයට ලක්විය හැකි බිම්මල් විශේෂ මනා කළමනාකරණයකින් යුතුව භාවිතයට ගැනීම ඉතා වැදගත් එනිසා යි.

බිම්මල් සම්බන්ධ ව ලියැවුණු තවත් ලිපි පහතින් කියවන්න.

තරුණ බව රැකදෙන රහස් බිම්මල

ප්‍රෝටීන බහුල ආහාරයක් වන හතු

කවරයේ ඡායාරූපය: විවිධ හැඩයෙන් යුතු බිම්මල් විශේෂ කිහිපයක්- www.thespruceeats.com

මූලාශ්‍ර:

ventured.com

mostexpensivehub.com 

Related Articles