Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වඩා හොඳ කුමන සැනිටයිසර්ද? අප නොදත් කරුණු කීපයක්

කොවිඩ්-19 (Covid19) එහෙමත් නැතිනම් නව කොරෝනා (Corona) වයිරසය වසංගතයක් ලෙස ලෝකය ම අඩපණ කර හමාරයි. පියැවි ඇසට තබා ආලෝක අන්වීක්ෂයකින් පවා නිරීක්ෂණය කළ නොහැකි ඕනෑම වයිරසයක් ප්‍රමාණයෙන් ඉතාමත් කුඩායි. ලෝකෙම අවාසනාවකට මෙන් පැමිණි කොරෝනා ගෝලීය වසංගතයට අනුගත ව එදිනෙදා වැඩ කරන්න සිදුවෙලා තියෙන අපට සෞඛ්‍ය පුරුදු අනුගමනය අත්‍යවශ්‍යය දෙයක්.

පුද්ගලික ස්වස්ථතාව පිළිබඳ බොහෝ හොඳ දේවල් සමාජ ගත කෙරුණු මේ අවස්ථාවේදී, සීමාව ඉක්මවා කටයුතු කරන්නට ගොස් මිනිසාටත්, පරිසරයටත් හානිදායක දේවල් සිදු නොකිරීමට ඒ අතර ම අප වගබලා ගත යුතුයි.

පරිසරය ම විෂබීජහරණය කිරීමක්

පුද්ගලික ස්වස්ථතාව රැක ගන්නට කියමින් මුළුමහත් පරිසරය ම විෂබීජහරණය කිරීමක් මෙහිදී අවශ්‍ය නෑ. රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයන්ගෙන් ස්වභාවික පරිසරයට නිකුත් කිරීම නිසා රෝග නිවාරණයට ලැබෙන රුකුලට වඩා පරිසරයටත්, මිනිසාටත්, අවට ජීවත්වන සතුන්ටත් වන හානිය විශාලයි.

පරිසරය ම විෂබීජහරණය කිරීමක් – unsplash.com/manueljota

රෝගයෙන් ආරක්ෂා වීම සඳහා වඩාත් වැදගත් වන්නේ තමාගේ දෑත් පිරිසුදුව තබා ගැනීම, නාසය ඇස් සහ මුඛය වරින්වර ඇල්ලීමෙන් වැලකී සිටීමයි. උණ සෙම්ප්‍රතිශ්‍යාවේ රෝග ලක්ෂණ ඇත් නම් නිවස තුළම සිට අවශ්‍ය උපදෙස් සෞඛ්‍ය අංශ මගින් ලබාගැනීම සහ පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීම ඒ අතර ප්‍රධාන යි.

 ඒ අතුරින් දෑත් සේදීම වගේම මුඛ ආවරණ පැළඳීමත් ප්‍රධාන තැනක් ගන්නවා. කොරෝනා සමඟ කරලියට ආ අත් සනීපාරක්ෂකවල (Hand Sanitisers) රසායනය පිළිබඳ කතා කිරීමට යි මේ සුදානම. 

 දෑත් සේදීමට ඉතිහාසයක් තිබේද?

දෑත් සේදීම ශත වර්ෂ ගණනාවක් තිස්සේ පැවතෙන සිරිතක්. සෞඛ්‍යය හා සනීපාරක්ෂාවට අදාළ ව දෑත් සේදීම සම්බන්ධ බවට මතයක් ඉදිරිපත් කළේ හංගේරියානු වෛද්‍යවරයකු වූ ඉග්නස් සෙමෙල්විස්.  ඔහු 1800 දී දෑත් සේදීම හා රෝග පැතිරීම වැළැක්වීම අතර සම්බන්ධය පෙන්වා දුන්නා.
කාන්තාවන්ගේ දරු ප්‍රසූතියකට පෙර වෛද්‍යවරුන් දෑත් සේදීම දරු ප්‍රසූතියෙන් පසු මිය ගිය කාන්තාවන්ගේ සංඛ්‍යාව විශාල ලෙස අඩු කළ බව සෙමෙල්විස් ගේ සොයාගැනීම වුණා.

මධ්‍යසාර නොවන අත් සේදුම්කාරක -Joom.com 

දෑත් සේදීමට ඇති සනීපාරක්ෂක ද්‍රව්‍ය මොනවාද? වර්තමානයේ දෑත් සේදීමට සනීපාරක්ෂක විකල්ප ගණනාවක් යොදා ගැනෙනවා. බාර් සබන් (Bar soaps),  දියර සබන් (Liquid soaps),  ක්ෂද්‍ර ජීවිනාශක සබන් (Antimicrobial soap) හා අත් සනීපාරක්ෂක (Hand sanitisers) ඉන් විශේෂ තැනක් ගන්නවා.

සැනිටයිසර් කියන්නේ මොනවාද ?

කොරෝනා වෛරසය පැතිරීමත් සමඟ ලෝක සෞඛ්‍යය සංවිධානය හදුන්වා දුන් සෞඛ්‍යය පිළිවෙත් අතර නිතර ම දෑත් සේදීම ප්‍රධානයි.  ජලය යොදා නිතර දෑත් සේදීම එදිනෙදා කටයුතුවලදී මෙන් ම පොදු ස්‍ථානවලදී ද අපහසු  කටයුත්තක් වන නිසා අත් සනීපාරක්ෂක (සැනිටයිසර්) භාවිතය ජනප්‍රිය හා වඩාත් පහසු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමයක් ලෙස ජනප්‍රිය වුණා.

සැනිටයිසර් යනු දියරමය ජෙලි හෝ පෙණ ස්භාවයක් ගන්නා අත් සේදුම් කාරකයක්. සැනිටයිසර් නිපදවීමට යොදාගන්නා මාධ්‍යය අනුව එය ආකාර 02ක් ගන්නවා. ඒ මධ්‍යසාරමය (Alcholic) හා මධ්‍යසාරමය නොවන (Non – Alcholic) ලෙසයි.

ඒවාට සම්බන්ධ වෙනම රසායනය සංයුතියක් ද පවතිනවා.

01) මධ්‍යසාරමය සැනිටයිසර් රසායනය සංයුතිය (Alcholic)

එතනෝල් ව්‍යුහය
         එතනෝල් – Nutrients Review.com

මධ්‍යසාර නොහොත් ඇල්කොහොල් මත පදනම් වූ දෑත් සනීපාරක්ෂකවල සාමාන්‍යයෙන් බියර් හා වයින්වල අඩංගු වන එතනෝල් (Ethanol ) අන්තර් ගතයි. එතනෝල්වලට අමතරව අයිසෝ-ප්‍රොපනෝල් (Iso propanol) ප්‍රධාන වශයෙන් ද, ප්‍රොපනෝල් (Propanol )
සුළු වශයෙන් ද සැනිටයිසර් සදහා භාවිත කරනවා. මෙම අත් සනීපාරක්ෂකවල 60%-95 අතර ප්‍රතිශතයකින් ඇල්කොහොල් අන්තර්ගතයි. 

02) මධ්‍යසාරමය නොවන සැනිටයිසර් (Non -Alcoholic)
මධ්‍යසාරමය නොවන සැනිටයිසර්වල ක්ලෝරෙක්සයිඩින් (Chlorhexidine) බෙන්සැල් කෝනියම් ක්ලෝරයිඩ් (Benzalkonium Chloride) යන සංයෝග අන්තර්ගතයි.

 සැනිටයිසර්වල අඩංගු වෙනත් රසායනික ද්‍රව්‍ය

ඉහත සදහන් රසායනික ද්‍රව්‍යවලට අමතර ව ප්‍රධාන වශයෙන් ග්ලිසරෝල් (Glycerol) හා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් (Hydrogen peroxide) කුඩා ප්‍රමාණයක් සැනිටයිසර්වල අන්තර්ගතයි.
ග්ලිසරෝල් මගින් අත් වියළීයාම වැළැක්වීම ද හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මගින් බැක්ටීරියා මගින් සැනිටයිසර් අපවිත්‍ර වීම වැලැක්වීම ද සිදුකරනවා.

 වඩාත් පලදායී කිනම් සැනිටයිසර් ද?

ඇල්කොහොල් අඩංගු නොවන සැනිටයිසර් බැක්ටීරියාවලට පමණක් එරෙහි ව ක්‍රියකරන අතර ඇල්කොහොල් අන්තර්ගත සැනිටයිසර් බැක්ටීරියා මෙන් ම වෛරස ද විනාශ කරනවා. එබැවින් ඇල්කොහොල් අන්තර්ගත වන සැනිටයිසර් වඩාත් පලදායී බව පිළිගන්නවා.

 ක්ෂද්‍ර ජීවින්ට එරෙහි ව ඇල්කොහොල් සැනිටයිසර්වල ක්‍රියාකාරිත්වය 

  වයිරසයට එරෙහිව ඇල්කොහොල් ක්‍රියාකාරිත්වය –cambridge.org

මධ්‍යසාර, බැක්ටීරියා හා වෛරසවලට ප්‍රතිරෝධීයි. බැක්ටීරියා හා වෛරසවල පිටත ආවරණය සෑදී ඇත්තේ ප්‍රෝටීනවලින්.  එම ප්‍රෝටීනවල ව්‍යුහය වෙනස් කිරීමට හා ඒවායේ ගුණ හානි කිරීමට (ලක්ෂණ වෙනස් කිරීමට) මධ්‍යසාර හේතුවක්. එමගින් බැක්ටීරියා හා වෛරස විනාශ කර දේහය ආසාදනය වීම වලක්වනවා.

සියලු වෛරස සැනිටයිසර් මගින් විනාශ කළ හැකි ද?

සැනිටයිසර් බොහෝ අවස්ථාවල පලදායී වුව ද එමගින් විනාශ කළ නොහැකි වෛරසත් පවතිනවා. 
සාමාන්‍යයෙන් වෛරසක පිටත ආවරණය ප්‍රෝටීනමය ආවරණයක්.එය කැප්සිඩය ලෙස හඳුන්වන අතර ඇතැම් වෛරසවල එම ආවරණයට වටා පටලමය ලිපිඩ ආවරණයක් (Envelope) පවතිනවා. එවැනි වෛරස සදහා උදාහරණ ලෙස HIV වෛරසය, කොරෝනා වෛරසය, ඉන්ෆ්ලුවෙන්සා වෛරසය දැක්විය හැකියි.

ආවරණයක් සහිත corona වයිරසය
කොරෝනා වෛරසය -bbc.comion

එවැනි වෛරස ආවරණයක් සහිත වෛරස Enveloped viruses ලෙසත් එසේ නොවන වෛරස නග්න වෛරස Naked viruses  ලෙසත් හඳුන්වනවා. නග්න වෛරස ඉතාමත් භයානක වන අතර මධ්‍යසාර මගින්, එනම් සැනිටයිසර් මගින් ඒවා විනාශ කළ නොහැකියි. උදාහරණයක් ලෙස Norovirus වෛරසය දැක්විය හැකියි. 

 සැනිටයිසරයක පලදායීතාව වැඩිකරන්නේ කෙසේද ?

සැනිටයිසරයක පලදායීතාව වැඩිවීමට නිර්ණායකය කිහිපයක් සපුරාලිය යුතු ය. ඇල්කොහොල් මත පදනම් වූ සැනිටයිසර් වඩාත් ඵලදායී බව ඉහත සදහන් කර ඇත.එසේ වීමට පරිමාව අනුව මධ්‍යසාර ප්‍රතිශතය 60% ක් විය යුතු ය. මධ්‍යසාර ප්‍රතිශතය 60% වඩා අඩු වූ විට බැක්ටීරියා හා වෛරස විනාශ කිරීමට ඇති හැකියාව අඩු ය.

නග්න noro වයිරසය
Noro virus –   bcm.edu

පරිමාව අනුව මධ්‍යසාර ප්‍රතිශතය වැඩිවන විට එහි සනීපාරක්ෂකතාවය වැඩි වනවා.එනම් මධ්‍යසාර ප්‍රතිශතය ඉහළ සැනිටයිසර් වඩාත් පලදායී බවින් යුක්තයි.

 වඩාත් ම පලදායී 95% සැනිටයිසර් ද ?

 වඩාත් ම පලදායී 95% සැනිටයිසර් ද? නැහැ. මධ්‍යසාර ප්‍රතිශතය ඉහළ යන විට එහි විභවය වැඩි වුව ද ඉහළ ම සාන්ද්‍රණයක් සහිත 95% සැනිටයිසර් පලදායීතාවයෙන් අඩුයි. එයට හේතුව වන්නේ සැනිටයිසරය අවට පරිමාවේ ජල ප්‍රමාණය ඉතා අඩු බැවින් බැක්ටීරියා හා වෛරසවල ප්‍රෝටීන හඳුනාගෙන ඒවා විනාශ කළ නොහැකි වීමයි.

 සැනිටයිසර් භාවිතයේ දී එහි පලදායීතාවට බලපාන වෙනත් සාධක මොනවාද ?

Sanitiser අත්ල මත තවරා ගැනීම
      සැනිටයිසර් භාවිත කිරීම – bbc.com

සැනිටයිසර් අත් මත තවරා ගන්නා පරිමාව ඉතා වැදගත් සාධකයක්. අත් දෙකෙහි ම සියලු ම ප්‍රදේශ ආවරණය කිරීමට එය ප්‍රමාණවත් විය යුතුයි. එසේ නොවුණහොත් බැක්ටීරියා හා වෛරස දිගින් දිගටම රැදෙන ප්‍රදේශ මග හැරී යනවා. අත් සනීපාරක්ෂක යෙදිය යුතු අවම දළ පරිමාව 3ml- මිලි ලීටර් 3ක්.

අපිරිසුදු හෝ ග්‍රීස් වැනි අපද්‍රව්‍යවලින් ආවරණය වී ඇති දෑත් මත දී අත් සනීපාරක්ෂක පලදායී නෑ. ඔබේ දෑත් වඩාත් අපිරිසුදු නම් සැනිටයිසර් යෙදීම වෙනුවට සබන් දා දෑත් සෝදන්න.

ඔබේ දෑත් සේදීමට හැකි තත්ත්වයක ඔබ සෑම විටම නොසිටින අවස්ථාවලදී සැනිටයිසර් භාවිතය මගින් බැක්ටීරියා හා වෛරස අවදානම වළක්වා ගත හැකියි.

අත් සනීපාරක්ෂක සමඟ සන්සදනය කළ විට දෑත් සේදීම වඩාත් පලදායී තත්ත්වයක්. නිර්දේශිත අයුරින් සබන් යොදා තත්පර 20ක් නියමිත ක්‍රම වේදයට දෑත් සේදිය හැකිනම් එමගින් බැක්ටීරියා හා වෛරස සම්පූර්ණයෙන්ම ඉවත් කළ හැකියි. දෑත් සේදීම අනිවාර්ය අංගයක් කර ගැනීම මගින් ගෝලීය වසංගත මෙන් ම අනෙකුත් රෝගවලින් තොර සනීපාරක්ෂාවක් ඇති කර ගත හැකියි. නිවරදිව අත් සනීපාරක්ෂක භාවිත කිරීමත් කොරෝනා අවදානමෙන් ආරක්ෂාවට මනා උදවුවක් සපයනවා.   

කවරයේ ඡායාරූපය: unsplash.com/ Devyn Holman

මූලාශ්‍ර:

CTV News.ca

FDA.gov

facebook.com/hpbsrilanka

Related Articles