අද බොහෝ දෙනෙකු සිය නිවසේ සුනඛයෙකු ඇති කරනවා. අපට වගේම, ඒ සුනඛයන්ටත් ලෙඩ රෝග වැළඳීම සාමාන්‍ය දෙයක්. ඉන් සමහර ලෙඩ රෝග ඔවුන්ට මෙන්ම අපට ද මාරාන්තික නිසා, එවැනි රෝග වැළඳීමට නොදී සුනඛයා ආරක්ෂා කර ගත යුතු යි. නිසි වේලාවට එන්නත් ලබාදීම එයට හොඳ ප්‍රතිකර්මයක්. පහත දැක්වෙන්නේ සුනඛයන් සඳහා මූලිකව නිර්දේශ කර ඇති එන්නත් වර්ග කිහිපයක්.
ජලභීතිකා එන්නත
ජලභීතිකා රෝගය හටගන්නේ රේබීස් වෛරසය හේතුවෙන්. මොළය සහ මධ්‍යම ස්නායු පද්ධතියට පහර දෙන එම වෛරසය එක් සත්ත්වයෙකුගෙන් තවත් සත්ත්වයෙකුට බෝ වන්නේ ආසාදනය වුණු සත්ත්වයාගේ ඛේටය හෝ ශ්ලෙෂ්මලය මඟින්. විශේෂයෙන්ම සමෙහි තුවාලයකට, ආසාදනය වුණු ඛේටය තැවරීමෙන් පහසුවෙන් ජලභීතිකාව සම්ප්‍රේෂණය වනවා. ශ්‍රී ලංකාව වැනි රටවල බොහෝ විට සුනඛයින් හේතුවෙන් ජලභීතිකාව පැතිරීම සිදු වුණත් නරින්, වඳුරන්, සාවුන්, වවුලන් වැනි ක්ෂීරපායී සතුන්ගෙන් ද මෙම රෝගය පැතිරීම සිදු වනවා.
ජලභීතිකා රෝගයේ මූලික රෝග ලක්ෂණය වන්නේ දින කිහිපයක් යන තුරු පවතින උණ ගතිය යි. දින කිහිපයක් ගත වුණු පසුව එම උණෙහි වැඩි වීමක් පෙන්නුම් කරන අතර, ඒ සමග හිසරදය, ඔක්කාරය, වමනය, ඇඟපතේ අමාරුව ඇති වීම දක්නට පුළුවන්. එහි දී රෝගියා කලබල හා ආතතියට ලක් වුණු ස්වභාවයක් පෙන්නුම් කරන අතර කෙමෙන් කෙමෙන් දැඟලීමට ද පටන් ගන්නවා. මෙම ලක්ෂණ උපරිමයට පැමිණීමේ දී රෝගියාට ගිලීමේ අපහසුතා ඇති වන අතර මුවින් ඛේටය වෑස්සීමක් ද සිදුවනවා. අනතුරුව රෝගියා ජලයට විශාල භීතියක් දක්වන්නට පටන්ගන්නා අතර භ්‍රාන්තිමය තත්ත්වයක් ඇති වී විකාරරූපී දර්ශන පෙනීමට පටන්ගන්නවා. නිදිවර්ජිතව මේ තත්ත්වවලට මුහුණ දෙන රෝගියා අවසානයේ පක්ෂඝාතයට ලක් වී මිය යනවා.
ප්‍රංශ ජාතික විද්‍යාඥයෙකු වුණු ලුවී පාස්චර් ජලභීතිකාව වැළඳුණු සත්ත්වයින්ගේ ශ්ලේෂ්මල කොටස්වල වැඩී තිබුණු වෛරස යොදාගෙන සිදු කළ පර්යේෂණ නිසා ජලභීතිකාවට එරෙහිව එන්නතක් සොයාගැනීමට හැකි වුණා. 1885 වසරේ දී ජලභීතිකාව වැළඳුණු සුනඛයෙකුගේ සපා කෑමට ලක් වුණු ජෝශප් මෙයිස්ටර් නම් දරුවාට එම එන්නත ලබාදුන්නා. එම එන්නත ලබාදීමෙන් පසුව ඔහුට යළි ජලභීතිකා රෝගය වැළඳුණේ නැහැ. පාස්චර්ගේ ජලභීතිකා එන්නත සාර්ථක වුණු නිසා 20 වන සියවස මුල භාගයේ දී ජලභීතිකා එන්නත ලොව පුරා අවදානම් සහිත සත්ත්වයින්ට හා මිනිසුන්ට ලබාදීම ආරම්භ කළා.
සාමාන්‍යයෙන් බලු පැටවෙකු උපත ලබා සති 10ක් පමණ ගිය පසු මුල්ම ජලභීතිකා එන්නත ලබා දිය යුතු යි. දෙවන ජලභීතිකා එන්නත ලබා දිය යුත්තේ බලු පැටවාගේ වයස සති 16ක් පමණ වුණු පසුව යි. ඉන් පසුව සුනඛයාට වාර්ෂිකව ජලභීතිකා එන්නත ලබා දිය යුතු යි. ජලභීතිකාව මාරාන්තික රෝගයක් නිසා නිසි කලට එන්නත් ලබා දීම තුළින් ඔබගේ සුනඛයාවත්, ඔබවත් එම රෝගයෙන් ආරක්ෂා කර ගත හැකියි.
පාවෝ එන්නත
සුනඛයන්ට වැළඳෙන ඉතාමත්ම භයානක රෝගයක් වන මෙය සති 6 සිට මාස 6 දක්වා වන කුඩා සතුන්ට වැළඳීමට තිබෙන ඉඩකඩ වැඩියි. එසේම රොට්වයලර්, ඩොබර්මන් පින්ෂර්, ලැබ්රඩෝර්, සහ ජර්මන් ෂෙපර්ඩ් වැනි වර්ගවල සුනඛයින් මෙම රෝගයට ගොදුරු වීමේ සම්භාවිතාවය වැඩියි. මෙම වෛරසය මඟින් සුනඛයාගේ ශරීරයේ සෛල සහ සුදු රුධිරාණුවලට බලපෑම් සිදුකරනවා. එසේම සුනඛයාගේ ආහාර ජීර්ණ පද්ධතියට ද මෙම වෛරසය මඟින් විශාල හානියක් සිදුවනවා. ඊට අමතරව කුඩා පැටවුන්ට මෙය වැළඳුන විට හෘදයේ පේශිවලට විශාල වශයෙන් හානි වනවා. මෙම රෝගය වැළඳෙන සුනඛයන් අතරින් 90%ක් පමණ මියයාමේ සම්භාවිතාවක් පවතිනවා.
මෙහි රෝගකාරකය වන්නේ පාවෝ වෛරසය යි. ප්‍රධාන වශයෙන් මෙම රෝගය පැතිරී යන්නේ ආසාදිත සුනඛයන්ගේ මලපහ මඟින්. රෝගී සුනඛයෙකුගේ මලපහ අංශුවක් දුහුවිල්ල ආකාරයෙන් හෝ වෙනත් සුනඛයෙකු වෙත ළඟා වුණොත් එම සුනඛයාට පහසුවෙන් රෝගය වැළඳීමේ ඉඩකඩ තිබෙනවා. එම නිසා පාවෝ වෛරසය ඔබේ සපත්තු, වාහනයේ රෝද ආදියේ තැවරී හෝ ඔබ නොදැනුවත්වම නිවසට පැමිණීමේ ඉඩකඩ පවතිනවා. එසේම වෛරසය ස්වභාවික පරිසරය තුළ මාස ගණනක් විනාශ නොවී පැවතීම අවදානම් සහගත තත්ත්වයක් වනවා. පාවෝ වෛරසය සුනඛයාගේ ශරීරයට ඇතුල් වී දින 3-7 අතර කාලයක් ගතවන විට රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා. එහි දී ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙන්නේ පහත සඳහන් රෝග ලක්ෂණ කිහිපය යි
1) පාචනය සමග රුධිරය පිටවීම
2) පමණට වඩා දුගඳක් සහිත පාචනය
3) උදාසීන ගතිය
4) අධික වමනය
5) අධික ලෙස මළපහ පිටවීම
6) ආහාර අරුචිය
7) සුනඛයා අධිකව විජලනයට ලක් වීම
බලු පැටවෙකු උපත ලබා සති 6ක් පමණ ගිය පසු මුල්ම පාවෝ එන්නත ලබා දිය යුතු යි. දෙවන පාවෝ එන්නත ලබා දිය යුත්තේ බලු පැටවාගේ වයස සති 12ක් පමණ වුණු පසුව යි. ඉන් පසුව සුනඛයාට වාර්ෂිකව පාවෝ එන්නත ලබා දිය යුතු යි.
DHL එන්නත
DHL එන්නත මඟින් සුනඛයන්ට පස්ස පණ නැති වීමේ රෝගය (ඩිස්ටෙම්පර්), සෙංගමාලය (හෙපටයිටිස්) සහ මී උණ (ලෙප්ටොස්පිරෝසිස්) වැළඳීමේ අවදානම අවම කරනවා. ඉහත රෝග ත්‍රිත්වය අතුරින් ඩිස්ටෙම්පර් රෝගය ඉතා ඉක්මනින් බෝවන වෛරස් රෝගයක්. එහි දී ආසාදිත සතුන්ගේ සිරුරෙන් පිට වන ශ්‍රාවයන්ගෙන් වෛරසය පරිසරයට නිකුත් වෙනවා. එසේ පිට වන වෛරසය සුනඛයකු ගෙන් තවත් සුනඛයෙකුට පැතිරී යන්නේ සුළඟ මඟින්. ඩිස්‌ටෙම්පර් රෝගයට ගොදුරු වුණු සුනඛයන් පහත රෝගී ලක්ෂණ පෙන්නුම් කරනවා.
1) කෑම අරුචිය, අලසගතිය
2) විජලනය
3) අධික උණ
4) නාසයෙන් දියර ගැලීම
5) සෙම සහිත කැස්‌ස
6) වමනය
7) අජීර්ණය
8) මුඛයෙන් සෙම/ඛේටය බේරීම
9) ඇස්‌වලින් කබ ගැලීම, වලිප්පුව
10) දේහයේ පසුපස කොටස අප්‍රාණික වීම ප්‍රධාන ලක්‌ෂණ යි.
සුනඛයින්ට වෛරස මඟින් ඇතිවන හෙපටයිටිස් රෝගය, ආසාදිත සතෙකුගේ මළපහ, මුත්‍රා හෝ වෙනත් දියර මඟින් බෝ වනවා. මී උණ ද රෝගී සතෙකුගේ මුත්‍රා මඟින් බෝවන රෝගයක්. මෙම රෝගයන් ද්විත්වය ද මාරාන්තික විය හැකියි. සාමාන්‍යයෙන් බලු පැටවෙකු උපත ලබා සති 8ක් පමණ ගිය පසු මුල්ම DHL එන්නත ලබා දිය යුතු යි. දෙවන DHL එන්නත ලබා දිය යුත්තේ බලු පැටවාගේ වයස සති 14ක් පමණ වුණු පසුව යි. ඉන් පසුව සුනඛයාට වාර්ෂිකව DHL එන්නත ලබා දිය යුතු යි. ඩිස්ටෙම්පර්, සෙංගමාලය, සහ මී උණ මාරාන්තික රෝගයන් නිසා මෙම එන්නත නිසි කලට ඔබගේ සුනඛයාට ලබා දිය යුතු යි.
සුනඛයාට එන්නත් ලබා දීමේ දී වැදගත් වන කරුණු
1) එන්නත් ලබා දිය යුත්තේ සුදුසුකම් ලත් පශු වෛද්‍යවරයෙකු ගේ අනුදැනුම ඇතිව යි.
2) සුනඛයාව එන්නත් ලබා දීම සඳහා රැගෙන යාමේ දී පසුගිය එන්නත් වාර්තා සහිත පොත රැගෙන යා යුතු යි. වෛද්‍යවරයා එන්නත ලබා දීමෙන් පසුව ලබා දුන් එන්නතේ ස්ටිකරය පොතේ අලවා, ඊළඟ එන්නත ලබා දීමට නියමිත දිනය ද එහි සටහන් කරනු ලබනවා. ස්ටිකරයේ එම එන්නතේ කල් ඉකුත්වීමේ දිනය සඳහන් බැවින්, වෛද්‍යවරයා ඔබේ සුනඛයාට ලබා දී ඇත්තේ කල් ඉකුත් නොවූ එන්නතක් බව ස්ටිකරය බලා සහතික කරගත යුතු යි.
3) එන්නත් ලබාදීම සඳහා සුනඛයා රැගෙන යන විට මෑතකාලීනව සුනඛයා යම් රෝගී තත්ත්වයකින් පෙළුණා නම් හෝ වෙනත් රෝගයකට ප්‍රතිකාර ගනිමින් සිටිනවා නම්, ඒ බව පශුවෛද්‍යවරයා වෙත දැනුම් දිය යුතු යි. සුනඛයා නිරෝගි තත්ත්වයේ පසුවනවා නම් පමණක් එන්නත ලබා දිය යුතු යි.
4) සුනඛයාට එන්නත් ලබා දී දින 3ක් ගතවන තුරු නෑවීමෙන් වැළකිය යුතු යි.
5) බොහෝ විට කුඩා පැටවුන්ට එන්නත් ලබා දීමෙන් පසුව සංකූලතා ඇතිවීමට ඉඩ ඇති බැවින් ඔවුන් පිළිබඳව විශේෂ අවධානයෙන් සිටිය යුතු යි.