දියවැඩියා රෝගයට දේශීය ඖෂධීය ශාක විවිධ අයුරින් යොදා ගැනීමට අපේ ආයුර්වේද වෛද්‍යවරුන් කටයුතු කළා. අතීතයේ පටන් ම දියවැඩියාවට හෙවත් රුධිරයේ සීනි මට්ටම ඉහළ යාමේ රෝගයට කෝවක්කාවලින් ප්‍රතිකාර කර තිබෙනවා. එවක ලංකාවේ මෙන් ම ඉන්දියාව ඇතුළු ආසියානු රටවලත් මේ ශාකය ආයුර්වේද ඖෂධ සඳහා යොදා ගත්තා. එළවළුවක් ලෙසත් මෙය භාවිත කරනවා.
ආයුර්වේදයේ සඳහන් වන්නේ කෝවක්කා පමණ දැන ගතයුතු ඔසු ආහාරයක් ලෙස යි. පසුගිය දා අපට අහන්නට ලැබුණේ රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පර්යේෂණ කණ්ඩායමක් දීර්ඝ කාලයක් තිස්සේ කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස කෝවක්කාවලින් දියවැඩියා රෝගය පාලනය කළ හැකි නව ඖෂයක් බෙහෙත් කරලක් ලෙස නිපදවා පේටන්ට් බලපත්‍රයක් ද ලබාගන ඇති බව යි.
කොහොමද මේ බෙහෙත හැදුවේ කියලා එම කටයුත්තේ තොරතුරු සොයා ගිය ගමනක් තමයි මේ.
පර්යේෂණ ඇරඹේ
රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්යවරුන් කණ්ඩායමකට කලක පටන් ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමවලට භාවිත කරන කෝවක්කා ශාකයේ ඖෂධීය ගුණය ගැන කුතුහලයක් ඇති වී තිබුණා. මෙම පිරිස මෙයට පෙරත් විවිධ වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ රාශියක් කර ඇති විද්වතුන් පිරිසක්. ඔවුන් කෝවක්කා ශාකය මඟින් රුධිරගත සීනි මට්ටම අඩුකිරීමේ හැකියාව පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණයක් කිරීමට සැලසුම් කළා. එම යෝජනාව 2017 දී ජාතික විද්‍යා ආයතනයට ඉදිරිපත් කළ අතර ඒ යෝජනාව පිළිගෙන ඒ සඳහා ප්‍රතිපාදන වශයෙන් රු. ලක්ෂ 47ක් වෙන් කෙරුණා.
රුහුණු වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ටී.තිලක්.වීරරත්න, වෛද්‍ය ආචාර්ය පියුමි වාසනා, මහාචාර්ය කේ.ඒ.පී.ඩබ්ලිව්. ජයතිලක, ජෛව රසායන විද්‍යා අංශයේ මහාචාර්ය අනෝජා අත්තනායක, ජෛව රසායන විද්‍යා අංශයේ මහාචාර් ය කමනී ජයතිලක යන පර්යේෂණ කණ්ඩායම තමයි මේ කටයුත්තට අතගැහුවේ.
ඔවුන් කෝවක්කා ශාකයේ තිබෙන රසායනික වෙන් කර රසායනාගාරවල කළ පර්යේෂණවලින් හෙළි වුණේ රුධිරගත සීනි අඩු කිරීමට ඒවා සමත්වන බව යි. ඉන් පසු ඔවුන් එම රසායනික යොදා ඖෂධීය කරලක් නිෂ්පාදනය කර තිබෙනවා.
ඉන් අනතුරු ව සිදු කර ඇත්තේ රසායනික ප්‍රේරිත සතුන් යොදා එහි පළමු අදියරේ පර්යේෂණ සිදු කිරීම යි. එහි දී දියවැඩියා රෝගීන්ට දිය යුතු මාත්‍රාව විශ්ලේෂණය කර තිබෙනවා. ඉන් ලැබුණු සාර්ථක ප්‍රතිපලවලින් පසුව නව ඖෂධය සායනික පර්යේෂණවලට යොමු කර තිබෙනවා.
සායනික පර්යේෂණ
මෙහිදී සිදු ව තිබෙන්නේ දියවැඩියාවෙන් පෙළෙන අවුරුදු 30-60ත් අතර රෝගීන් 158 දෙනෙක් යොදා ගෙන සායනික පර්යේෂණ සිදුකිරීම යි. ඒ ගැන මහාචාර්ය තිලක් විරරත්න මාධ්‍යයට පැවසුවේ මේ අන්දමට යි:
‘‘සායනික පර්යේෂණවලින් අපට සාර්ථක ප්‍රතිඵල ලැබුණා. අප නිපදවූ කරල භාවිතයෙන් මිනිස් රුධිරයේ සීනි ප්‍රමාණය අඩුවන බව තහවුරු වුණා. මේ ඖෂධය භාවිතයෙන් කිසි කෙනකුට අහිතකර බලපෑම් ඇතිනොවන බවත් අපි තහවුරු කර ගත්තා. ඒ වගේම මිනිස් රුධිරයේ ඇති අහිතකර මේද තත්ත්වයත් අඩු කරන්නට මේ නව ඖෂධය අඩුකරන්නට සමත්වන බවත් අපට මාස තුනක සායනික පර්යේෂණවලින් තහවුරු වී තිබෙනවා.‘‘
සායනික පර්යේෂණවලින් ලත් ප්‍රතිඵලද සහිත ව නව ඖෂධය ගැන පර්යේෂණ ලිපියක් Elsevier නම් ජාත්‍යන්තර පර්යේෂණ සඟරාවේ පළ කර තිබෙනවා. මේ අතර පර්යේෂණ කණ්ඩායම නිෂ්පාදනය කළ නව ඖෂධය සඳහා පේටන්ට් බලපත්‍රයක් ද ලබා ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාවේ පාරම්පරික ව භාවිත කරන ශාක සාරයකින් නිපද වූ මේ ඖෂධය බටහිර ඖෂධ ප්‍රමිතියට අනුව නිෂ්පාදනය කිරීම මෙහි විශේෂත්වය යි. එහි සෞඛ්‍යමය ප්‍රතිඵල ශ්‍රී ලංකාවේ දී සායනික පර්යේෂණවලින් තහවුරු කර ඇත්තේත් ප්‍රථම වරට යි.
ඖෂධය ළඟදී ම වෙළෙඳපොළට
ශාකයේ රසායනික සියුම් ලෙස හඳුනා ගෙන ඒවා නිස්සාරණය කර ගැනීමෙන් තමයි ඖෂධය නිපදවා තිබෙන්නේ. දැනටමත් මේ නිෂ්පාදනයට ජාත්‍යන්තර පිළිගැනීම ලැබී ඇති අතර පේටන්ට් හිමිකම නිසා රුහුණූ විශ්වවිද්‍යාලයේ ද්‍යෛ පීඨය ඉදිරියේ දී ඖෂධය වාණිජ මට්ටමින් නිෂ්පාදනය කිරීමය කටයුතු කරන බවත් පර්යේෂකයන් සඳහන් කරනවා.
හිතුමතේට කන්න එපා
කෝවක්කා ශාකයෙන් සාර්ථක ව ඖෂධයක් නිපදවීම සිදු කළත් රුධිරයේ සීනි සහිත පුද්ගලයන් කෝවක්කා ශාකයේ කොටස් අධික ව ආහාරයට ගැනීමට පෙලැඹීමෙන් වළකින ලෙසත් පර්යේෂණ කණ්ඩායම ඉල්ලීමක් කරනවා.
නිසි වෛද්‍ය උපදෙස්වලින් තොර ව කිසිවිට එය භාවිත නොකරන ලෙසත් උපදෙස් දෙන වෛද්‍ය කණ්ඩායම පවසන්නේ උපදෙස් නොමැති ව කෝවක්කා ආහාරයට ගැනීමෙන් මිනිස් සිරුරට හානිකර බලපෑම් ඇති විය හැකි බව යි.
දියවැඩියාව ගැන බටහිර වෛද්‍ය මතය
කළුබෝවිල ශික්ෂණ රෝහලේ වෛද්‍ය රුවන් මාරසිංහ කියන්නේ දියවැඩියා රෝගයේ ප්‍රභේද දෙකක් තිබෙන බව යි.
දියවැඩියා රෝගයේ ප්‍රභේද දෙකක් තිබෙනවා.ඒ ඉන්සියුලින් මත රඳා පවතින සහ ඉන්සියුලින් මත රඳා නොපවතින වශයෙන්. ඉන්සියුලින් මත රඳන රෝගයට ඉන්සියුලින් නියමිත මාත්‍රාවලින් ලබා දී පාලනය කළ හැකි යි. බටහිර වෛද්‍ය ඖෂධවලට අනුව දියවැඩියාව වැලඳුණු විට රෝගය සම්පූර්ණයෙන් සුව කිරීමට බැහැ. ඖෂධ ලබා දෙන්නේ රෝගය පාලනය කරමින් රුධිරයේ සීනි මට්ටම නිසි ලෙස පවත්වා ගැනීමටයි.
ඒ වගේ ම රෝගය පාලනය කිරීම සඳහා ක්‍රමානුකූල ව ඖෂධ ලබා ගත යුතු යි. රෝගය පාලනය කිරීමත් විවිධ පුද්ගලයන්ගේ ශරීර ස්වභාවය අනුව වෙනස් වෙනවා. වෛද්‍යවරයා ඖෂධ නියම කරන්නේ ඔහුගේ ශරීර ස්වභාවයට අනුව යි. මොන ඖෂධයකින්වත් රෝගය සියයට 100ක් නම් සුව කරන්න බෑ. නමුත් විශාල පිරිසක් ඖෂධ භාවිතයෙන් රෝගය සාර්ථක ව පාලනය කර ගෙන තිබෙනවා.
කෝවක්කා
දකුණු ආසියානු රටවල වියළි කලාපයේ බහුල ව දක්නට ලැබෙන වැල් වර්ගයක් ලෙස කෝවක්කා හඳුන්වන්න පුළුවන්. අපේ රටෙත් රජරට පළාත්වල හේන්වල වැටවල්වල පමණක් නොව මහ පාරවල් අයිනේ බඩවැටිවල පවා රතු පාට ගෙඩි පිරුණු කෝවක්කා ගාල් බහුල ව දැකගන්න පුළුවන්. කෝවක්කා ගෙඩිය ළපටි කාලයේ දී කොළ පැහැයකින් යුක්තයි. ඉදුණු ගෙඩි ඉතාමත් අලංකාර රතු හෝ තද රෝස පාටක් ගන්නවා. ගෙඩිය සෙන්ටිමීටර 8ක් දක්වා දිග යි. සුදු පැහැති මල් හටගන්නවා. මෙය Coccinia grandis යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනවා. දෙමළෙන් කියන්නේ කොව්වායි කියලයි. ඉංග්‍රිසියෙන් Ivy Gourd/ Scarlet Gourd ලෙසත් මෙය හඳුන්වනවා.
කෝවක්කා වැලෙහි ළපටි කොළ මැල්ලූම් සෑදීම සඳහා භාවිත කරනවා. කෝවක්කා කැඳ හා කෝවක්කා ගෙඩිවලින් සාදන ව්‍යංජනය ද රසවත් ආහාරයක්. කෝවක්කාවලින් පිසින ආහාර ඉන්දියානු, මැලේසියානු හා තායි ආහාර වට්ටෝරුවල සුලබ ව දැක ගත හැකි යි. ඉන්දියාවේ වාණිජ මට්ටමින් ද කෝවක්කා වගා කිරීම සිදුවෙන අතර කෝවක්කා සාරය සහිත ආයුර්වේද නිෂ්පාදන රාශියක් එරට වෙළඳපොළේ දකින්නට පුළුවන්.
කෝවක්කා සුව කරන ලෙඩ
සාම්ප්‍රදායික වෙදකමේ දී ලාදුරු රෝගය, උණ, ඇදුම, බ්‍රොන්කයිටිස් සහ වෛරස රෝග සඳහා කෝවක්කා පුරාණයේ පටන් ඔසුවක් ලෙස භාවිත කර තිබෙනවා. ඉතා ඉක්මනින් රුධිරයේ ග්ලුකෝස් මට්ටම පහත හෙළීමට ඇති හැකියාව මේ ශාකයේ විශේෂත්වයක්. මේ නිසා දියවැඩියා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී පාරම්පරික සහ ආයුර්වේද වෛද්‍යවරු කෝවක්කා ශාකයේ කොටස් භාවිත කර තිබෙනවා. කෝවක්කා ආහාරයට ගැනීමෙන් පසු, රුධිරයේ ග්ලුකෝස් ප්‍රමාණය පහත වැටීමට ඉඩ ඇති නිසා, සීනි අඩු අයට පරෙස්සමින් ආහාරයට ගැනීම සිදුකළ යුතු බවයි දේශීය වෛද්‍යවරුන් පවා පවසන්නේ.
සමේ ඇතිවන කැසීම්, හොරි, දද, කුෂ්ට, පලු ආදියට කෝවක්කා ගෙඩිවල යුෂ හෝ කොළවල යුෂ භාවිත කරනවා. තුනටියේ වේදනා මෙන් ම හන්දිපත් රුදාව ආදියට කෝවක්කා මුල් සහ දඬු තලා ගත් යුෂ ආලේපයට ඉතාමත් ගුණදායක බව දේශීය වෙදකමේ දැක්වෙනවා. පාරම්පාරික වෙදකම්වලදී කැස්ස, ඇඳුම, මුත්‍ර වැඩියෙන් පිටවීම, ලේ අඩු බව, උණ වගේ රෝගවලටත් කෝවක්කා යොදා ගැනීම සිදුවෙනවා.