ළදරු සම සුවපත් කරන සොබාදහමේ දායාද

සමකාසන්න රටක් වන ලංකාව වසර පුරාම අධික හිරු රශ්මියෙන් යුක්ත යි. මේ නිසා දරුවන්ගේ සමට හානි සිදුවෙනවා මෙන්ම, ඉහළ උෂ්ණත්වය නිසා පිටවන දහඩිය රැඳී දහඩිය ගඩු, කැසීම් වැනි චර්ම රෝග ඇති වෙනවා. එවිට දරුවන්ගේ සන්සුන් බවත් නැතිව යන බැවින් නීරෝගී සමක් සමග සුවපත් මනසක් ලබා දෙන්නට හැකි හොඳම ක්‍රමය සොබාදහමින් ලැබුණු චර්ම සත්කාර නිතිපතා භාවිතා කිරීම යි.

පහත සඳහන් වන ස්වභාවික ඖෂධ අපට සමට සත්කාර කරන්නට භාවිතා කළ හැකියි.

  • කොහොඹ

toiimg.com

කොහොඹ පොතු, පත්‍ර, බීජ මෙන්ම මුල්, මල් සහ ඵලයත් ඖෂධ සැකසීමට ආයුර්වේදයේ යොදා ගැනෙනවා. කොහොඹ කොළ තැම්බූ වතුරින් දරුවන් නැහැවීම පෙර පටන් කෙරෙන ක්‍රමයක් වන අතර, සමට සිසිලස සලසන ස්වභාවික ඖෂධයක් ලෙස මෙය භාවිතා වෙනවා.

මදුරුවන් වැනි කෘමීන් නිසා ඇතිවන කැසීම්, සමේ ප්‍රදාහයන් නිසා ඇතිවන කැසීම්, තුවාල, ලාදුරු, කොරළ සහිත සම සඳහා මෙන්ම උකුණන් මර්දනයටත් කොහොඹ යොදා ගන්නට හැකියාව තිබෙනවා.

  • පොකුරු වදමල්

wikimedia.org

ඉතා පහසුවෙන් සොයා ගත හැකි, සංවේදී බිළිඳු සමට සුව ගෙනෙන පොකුරු වදමල් වැඩිහිටියන්ට ආහාරමය වශයෙන් ද සුව සලසනවා. ප්‍රතිඔක්සිකාරක හැකියාව, ප්‍රදාහ තත්ත්ව සමනය කිරීම වැනි ගුණ මෙය සතු යි.

ආයුර්වේදයේ දී තුවාල සඳහා වද මල් පෙති; පොල් තෙල්වල හෝ තල තෙල්වල දමා රත් කර මඳ වේලාවක් තබා ‍රැගෙන දින කිහිපයක් ආලේප කිරීම සිදු කරනවා. හිරු එළියෙන් සම පිළිස්සීම, මුහුණේ ඇතිවන කුරුලෑ ලප කැළැල් ආදිය සඳහා ළපටි වද මල් සහ කොළ තළා ගත් යුෂ මුහුණේ ආලේප කිරීම සිදු කරනවා.

  • අලිගැටපේර

goodfreephotos.com

ආහාරයක් වශයෙන් මෙන්ම රූපලාවණ්‍යයේ දී ආලේපයක් ලෙස ද ගැනෙන අලිගැටපේර, මී පැණි සමග අඹරා සමේ ගල්වා, සමට තෙතමනය ඇති කරවීමට හැකියි. අර්ධ-ඝන ආහාර ගන්නා දරුවන්ට අතිරේක ආහාරයක් වශයෙන් ද අලිගැට පේර යොදා ගැනෙනවා.

අලිගැටපේරවල අන්තර්ගත මේදය, විටමින් ඇතුළු අනෙකුත් සංඝටකවලට ඉරි තැලුණු, කැසීම් සහිත සම සුමුදු කරමින් තෙතමනය ලබා දෙන්නට හැකියාව තිබෙනවා. හිරු එළියට නිරාවරණය වීමෙන් සමේ ඇතිවන ප්‍රදාහ තත්ත්ව සුව කරමින්, ඔක්සිකරණය නිසා සමට සිදුවන හානි අවම කරන්නට අලිගැටපේරවල ඇති මේදවලට හැකි බව පර්යේෂණවලින් තහවුරු කර තිබෙනවා.

  • සඳුන්

verywellhealth.com

සමේ ඇතිවන ප්‍රදාහ තත්ත්වයන්ට සිසිලස සමග ක්ෂණික සහනය ලබාදීමට සඳුන්වලට හැකියාව තිබෙනවා. සඳුන් කුඩුවලට ජලය එක් කර තලපයක් පරිද්දෙන් සකසා බිබිළි, කැසීම්, වියළීම් ඇතිවූ ළදරු සමට පවා යොදන්න පුළුවන්.

හිරු එළියෙන් ඇතිවූ පිළිස්සුම් සමනය කිරීමට දරුවන්ටත්; සම රැළි වැටීම් මෙන්ම කුරුළෑ අවම කිරීමට සහ ස්ක්‍රබ් වශයෙනුත් වැඩිහිටියන්ටත් මෙය භාවිතා කළ හැකියි. මැරුණු සම ඉවත් කරමින් සමට දීප්තියක් ගෙන එන සඳුන්; උණ, මුත්‍රා දැවිල්ල, ආහාර ජීර්ණ අපහසුතා, පේශි වේදනා සමනයට මෙන්ම ඇරෝමාතෙරපි සඳහා ද භාවිතා වෙනවා.

  • වෙනිවැල්
licdn.com

ප්‍රතිශක්තිකරණ ඖෂධයක් වශයෙන් දස පංගුව, සහ පස් පංගුවටත් අනිවාර්යයෙන්ම එක්වන වෙනිවැල් ගැට තම්බා පානය කිරීමෙන් දේහයේ කැක්කුම් සමනය වෙනවා. බාහිර භාවිතයේ දී වෙනිවැල් (සහ නිදිකුම්බා ද සමග) තම්බාගත් වතුරෙන් ඇඟ සේදීමෙන් සමේ ඇතිවන කැසීම් දුරු කරගත හැකියි.

තුවාල ඇති වූ විට වෙනිවැල් පතුරු තබා බැඳීම, සෙංගමාලයට වෙනිවැල් පොතු සහ මී පැණි භාවිතය, සර්ප විෂට වෙනිවැල් කුඩු සහ කහකුඩු තලපයක් ලෙස සකසා බැඳීම සිදු කරනු ලබනවා. හිසරදයට කරන අත් බෙහෙතක් ලෙස වෙනිවැල් ඇල්දියෙන් අඹරා හිසේ ගැල්වීමත්, කුඩා ළමයින්ගේ රතගායට වෙනිවැල් ගැට තැම්බූ වතුරෙන් ඇඟ සේදීමත් ප්‍රචලිත අත් බෙහෙත් වනවා.

  • ආමන්ඩ් තෙල්

z-company.nl

සම වියළුණු ස්ථාන නැති කරමින් තෙතමනය ලබා දීමට, ඉස්හොරි නැති කිරීමට හිස ගැල්වීමට මෙන්ම, තනුක කළ සගන්ධ තෙල් සමග මිශ්‍ර කර සමේ ආලේප කරමින් පෝෂණය සැපයීමටත් ආමන්ඩ් තෙල් යොදා ගත හැකියි. ආමන්ඩ් තෙල්වල ඇති විටමින් E නිසා අව්වට නිරාවරණය වීමෙන් සමට ඇති වන හානි සුව කරගන්නට හැකි බව පර්යේෂණ පෙන්වා දෙනවා.

බිළිඳු සම ඉතා සංවේදී බැවින් මේ ආකාරයේ ස්වභාවික පිළියම් හරහා සමට සත්කාර කළ හැකියි. එසේම, ඔබේ බිළිඳා වෙනුවෙන් සබන් තෝරා ගැනීමේ දී, TFM අගය 78% හෝ ඉහළ, බිළිඳු සමට උචිත බවට තහවුරු කළ, සුවඳ පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට (IFRA – International Fragrance Association හි සම්මතයන්ට) අනුකූල සුගන්ධයන් යෙදූ මෘදු සබන් තෝරා ගැනීම වඩාත් උචිත යි.

කවරයේ ඡායාරූපය: babycenter.in

Related Articles

Exit mobile version