මිනිසුන් බළලුන්ට කැමති පරපෝෂිත බලපෑමක් නිසා ද?

ඔබගේ නිවසේ සුරතලයට ඇති කරන බළලෙක් සිටිනවා ද? එහෙමත් නැත්නම් ඔබ බළලුන්ට ඉමහත් ප්‍රියතාවයක් දක්වන පුද්ගලයෙක් ද? එසේ නම් ඔබ කියවන්නට යන්නේ ටිකක් අමුතු ආකාරයේ ලිපියක්. 

පොදුවේ ගත්කල, නිවසේ බළලෙකු ඇති කිරීමෙන් ඔබට අත්විඳිය හැකි සෞඛ්‍ය ප්‍රතිලාභ රාශියක් තිබෙනවා. ඔබ ගතකරන දිනය කොතරම් නරක එකක් වුණත්, එය හොඳ දවසක් කරන අන්දම බළලුන් දන්නවා. විද්‍යාත්මක සාධකවලට අනුව ඔබේ හෘදය සන්සුන්කොට, රුධිර පීඩනය ප්‍රශස්ත මට්ටමකින් පවත්වා ගෙන යාමට බළලුන් උපකාරී වෙනවා. බළල් ලෝම මඟින් අසාත්මිකතා ඇති කරන බව ඇතැම්විට ඔබත් අසා ඇති. නමුත් ජීවිතයේ මුල් වසර කිහිපය තුළ බළලෙකුට නිරාවරණය වුවහොත්, බළලුන් නිසා ඇතිවන අසාත්මිකතා පමණක් නොවෙයි, අනෙකුත් අසාත්මිකතාවන්ටත් එරෙහිව සටන්කිරීමට හැකි පරිදි දරුවාගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් වීමේ ඉඩකඩ පවතිනවා.

ඒ අනුව මානසිකව වගේම ශාරීරිකවත් බළලුන් නිසා අත්වන ප්‍රතිලාභ බොහොම යි. නමුත් ඔබ කවදා හෝ සිතා තිබෙනවා ද ඔබ මෙතරම් බළලුන්ට කැමති ඇයි කියලා? සමහරවිට ඔබට දැන් හේතු ලැයිස්තුවක්ම හදාගන්න පුළුවන් වේවි. නමුත් බළලුන් කෙරෙහි කැමැත්තක් ඔබගේ සිත තුළ හටගන්නේ තවත් ජීවියෙකුගේ බලපෑම නිසා නම් තත්ත්වය කෙසේ වේවි ද? නවතම විද්‍යාත්මක නිරීක්ෂණයන්ට අනුව එවැනි සැකයක් දැන් දැන් විද්‍යාඥයින් තුළ ඇති වෙමින් තිබෙනවා. ඉතින් මේ ලිපිය ඒ ගැන යි.

මිනිස් මනස පාලනය කරන්න අනෙකුත් ජීවීන්ට පුළුවන් ද?

මිනිස් අන්ත්‍රය තුළ ජීවත්වන ඇතැම් ක්ෂුද්‍රජීවින් මිනිස් මනසට බලපෑම් ඇති කරනවා/cen.acs.org/

අපි, බුද්ධිමය තාර්කිකත්වය වැඩි වශයෙන් විශ්වාස කරන සත්ත්ව කොට්ඨාශයක් වන අපේ මනස මෙහෙයවන්නේ අප විසින්ම බව අප විශ්වාස කිරීමට කැමතියි. ඒ අනුව කෙනෙකුගේ මනස සැහැල්ලු වන්නේත්, ආතතියෙන් පිරී යන්නේත් අපගේම ක්‍රියාකරකම් හෝ සාමාජීය බලපෑම් නිසා කියලා තමයි අපට හිතෙන්නේ. නමුත් විද්‍යාඥයින්ට අනුව බැක්ටීරියා, වෛරස් වැනි ක්ෂුද්‍රජීවීන්ට අපගේ හැසිරීම් සහ චිත්තවේග කෙරෙහි බලපෑම් ඇති කරන්න පුළුවන්. නිදසුනක් වශයෙන්, අපගේ බඩවැල්වල ඇති බැක්ටීරියා කාංසාව සහ මානසික අවපීඩනය සඳහා හේතු වෙනවා. අනෙක් අතට, සමහර ප්‍රෝබයොටික් බැක්ටීරියාවන්වලට මානසික ආතතියෙන් හට ගන්නා බලපෑම් සමනය කිරීමට හැකියාව තිබෙනවා

නවතම අධ්‍යයනයන්ට අනුව, බළලුන් තුළ ජීවත් වන පරපෝෂිතයෙකු වන ටොක්සොප්ලාස්මා ගොන්ඩි  (Toxoplasma gondii) නම් අන්වීක්ෂීය ජීවියා මිනිසුන්ට ආසාදනයවීමෙන්, මිනිසුන්ගේ හැසිරීම් රටාව වෙනස් වෙනවාදැ යි සැකයක් මතුව තිබෙනවා. නමුත් මිනිසා කෙරෙහි ටොක්සොප්ලාස්මාගේ බලපෑම ආකාර කිහිපයකින් විය හැකියි.

මෙතැන් පටන්, පහසුව සලකා මෙම ක්ෂුද්‍ර ජීවියා “ටී. ගොන්ඩි” නමින් හැඳින්වෙනවා. 

කවුද මේ ටොක්සොප්ලාස්මා ගොන්ඩි?

ටී. ගොන්ඩි කියන්නේ බැක්ටීරියාවක් හෝ වෛරසයක් නොව, මැලේරියාව ඇති කරන පරපෝෂිතයාට දුරස්ථ සම්බන්ධකමක් තිබෙන අන්වීක්ෂීය ප්‍රොටෝසෝවාවෙක්. බළලුන් ආසාදිත මීයන්, පක්ෂීන්, සහ වෙනත් සතුන් ආහාරයට ගැනීමෙන් ටී. ගොන්ඩි ශරීරයට ඇතුළුවන අතර, ඔවුන් ආසාදනයෙන් බළලුන්ට “ටොක්සොප්ලාස්මෝසිස්” නම් රෝගය ඇති වෙන්න පුළුවන්. ඇස්තමේන්තුවලට අනුව එක්සත් ජනපදයේ බළලුන්ගෙන් 40%ක් පමණ ටී. ගොන්ඩි ආසාදිතයින්. මේ බොහෝමයක් ආසාදිත බළලුන් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්නුවත්, මේ පරපෝෂිතයා නිසා බළලුන්ට සෙංගමාලය, අන්ධභාවය ඇති වෙන්න පුළුවන්. එමෙන්ම පරපෝෂිතයා අක්මාව හෝ ස්නායු පද්ධතිය දක්වා ව්‍යාප්ත වුවහොත් බළලුන්ගේ පෞරුෂත්වයේ වෙනස්කම් සිදුවීමේ හැකියාව තිබෙනවා.

ටොක්සොප්ලාස්මා ගොන්ඩි පරපෝෂිතයාගේ අන්වීක්ෂීය පෙනුම/sci-news.com/

ආසාදනයෙන් සති කිහිපයක් ඇතුළත මේ පරපෝෂිතයාගේ ජීවන චක්‍රයේ එක අවස්ථාවක “අණ්ඩකෝෂ්ඨ” නම් සෛල වර්ගයක් බළලුන්ගේ මළ ද්‍රව්‍ය සමග පිටවෙන්න පටන් ගන්නවා. මෙම සෛල එම පරපෝෂිතයාගේ ප්‍රජනන ඒකක ලෙසත් හැඳින්විය හැකියි. ගෘහස්තව ජීවත්වන බළලුන්ගේ මළ ද්‍රව්‍යයන්ගෙන් මේ අණ්ඩකෝෂ්ඨ මිනිස් ශරීරයට ඇතුළුවීමේ ඉහළ හැකියාවක් පවතිනවා. එමෙන්ම නිදැල්ලේ ජීවත්වන බළලුන්ගෙන් පිටවන මළ ද්‍රව්‍ය පස්, ශාක කොටස්, සහ ජලයට මිශ්‍රවීමෙන් ද පරපෝෂිත බීජානු සෛල මිනිස් ශරීරයට ඇතුළුවෙන්න පුළුවන්. 

ටී. ගොන්ඩි පරපෝෂිතයා මිනිස් ශරීරයට ඇතුළුවුවහොත් සෙම්ප්‍රතිශ්‍යාව වැනි සුළු ශාරීරික අපහසුතාවයන් ඇතිවිය හැකිවා වගේම, කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වීමටත් පුළුවන්. නමුත් දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති අයට ටී. ගොන්ඩි පරපෝෂිත ආසාදනය තරමක් භයානක වන්නට පුළුවන්. ටී ගොන්ඩිගෙන් මිනිසාට ඇති කරන ශාරීරික බලපෑම එවැනි තත්ත්වයක තිබුණත්, මානසික බලපෑම් සැලකීමේ දී කතාව තරමක් වෙනස් වෙනවා.

මීයන්ගේ මනස වෙනස් කළ හැකි පරපෝෂිතයා

ටී. ගොන්ඩි ආසාදනයේ මානසික බලපෑම ගැන මුල්ම සාක්ෂ්‍යය විද්‍යාඥයින්ට නිරීක්ෂණය කරන්න ලැබුණේ මීයන්ගෙන්. සාමාන්‍යයෙන් බළල් මූත්‍රාවල ඉව වැටුණ සැණින් මීයන් භීතියට පත්වන අතර, හැකි ඉක්මණින් එතනින් ඉවත්වීමට පෙළඹෙනවා. නමුත් මේ ටී. ගොන්ඩි පරපෝෂිත ආසාදනයට ලක්වූ මීයන් බළල් මූත්‍රාවලට නිරාවරණය වූ විට, පෙර සේ මොළයේ භීතිය සම්බන්ධ කොටස් උද්දීපනය නොවී ලිංගික උද්දීපනය ඇති කරන කොටස් ක්‍රියාත්මක වන බවක් පෙන්නුම් කර තිබෙනවා. සරලවම පැවසුවහොත්, ආසාදිත මීයන් බළලුන් හමුවේ අවම වූ බියක් දක්වනවා. ඒ නිසා මේ මීයන් බළලුන්ට පහසු ගොදුරක් බවට පත්වෙනවා. නමුත් ටී. ගොන්ඩි පරපෝෂිතයා මෙලෙස මීයන්ගේ මොළය යම්කිසි පාලනයට ලක් කරන්නේ ඇයි? ඒ සඳහා පිළිතුරක් ලබාගැනීමට අපට මේ පරපෝෂිතයාගේ ජීවන චක්‍රය දෙසට හැරෙන්න සිදුවෙනවා. 

පරපෝෂිතයාගේ ජීවන චක්‍රයේ සරල රූපීය ඉදිරිපත් කිරීමක්/parasitesandvectors.biomedcentral.com/

 

කලින් සඳහන් කළ පරිදි ඔවුන් ප්‍රජනනය සඳහා අණ්ඩකෝෂ්ඨ මිලියන ගණනක් නිපදවනවා. මේ සෛල, බළලුන්ගේ මළ ද්‍රව්‍ය හරහා එළියට පැමිණි විට විවිධ ක්‍රමවලින් අනෙක් සතුන්ගේ ශරීරයට ඇතුළුවන තුරු මාස ගණනක් පරිසරයේ නොනැසී පවතිනවා. කෙසේ හෝ වෙනත් සතෙකුගේ ශරීරයට අණ්ඩකෝෂ්ඨ ඇතුළු වූ පසු පරපෝෂිතයා තම ජීවන චක්‍රයේ ඊළඟ අවස්ථාවට යනවා. නමුත් ඔවුන් නැවත ලිංගික ප්‍රජනනයේ යෙදීමට නම් බළලෙකුව සොයා ගැනීම අනිවාර්ය යි. මොකද, ටොක්සොප්ලාස්මා ගොන්ඩි පරපෝෂිතයා කොතරම් සුලභ වුණත්, ඔවුන්ට ලිංගික ප්‍රජනන කාර්යය කළ හැකි වන්නේ බළලුන්ගේ බඩවැල් තුළ පමණ යි. ඒ නිසා තමයි මේ පරපෝෂිතයා තමා ජීවත්වන සත්ත්වයාගේ හැසිරීම් රටා පාලනය කිරීමට උත්සහ ගන්නේ. ටී. ගොන්ඩි ජීවත්වන්නේ මීයෙකු තුළ නම්, බළලුන් කෙරෙහි එම ආසාදිත මීයාගේ බය අවමකර ඔවුන් බළලුන්ට ගොදුරු වෙන්නට ඉඩහැරීමෙන්, පරපෝෂිතයා නැවත බළලුන් තුළට ඇතුළු වෙනවා. 

ටොක්සොප්ලාස්මා ගොන්ඩි මිනිසාවත් පාලනය කරනවා ද?

ටී. ගොන්ඩි පරපෝෂිත ආසාදනයට ලක්වූ මීයන්ගේ මෙම අමුතු හැසිරීම් රටාව නිරීක්ෂණය කළ පසු, එම පරපෝෂිතයාගේ හැකියාවන් හමුවේ මිනිසාට විය හැකි බලපෑම ගැන විද්‍යාඥයින්ගේ අවධානය යොමුවුණා. නමුත් තවමත් මේ සියලු කල්පිතයන් තිබෙන්නේ පර්යේෂණ මට්ටමේ. ඒ අනුව සමහර මිනිසුන් බළලුන්ට අසාමාන්‍ය ආදරයක් හෝ කැමැත්තක් දක්වන්නේ මේ පරපෝෂිතයාගේ බලපෑම නිසාදෝ කියලා විද්‍යාඥයින්ට සැක සංකා මතුවෙලා තිබෙනවා. එනිසා, ටී. ගොන්ඩි පරපෝෂිතයා මිනිසාත් මීයෙකු ලෙස සලකා මිනිස් මොළය පාලනය කිරීමට උත්සාහ දරනවා ද යන්න ගැන අධ්‍යනයන් සිදුකෙරෙමින් පවතිනවා. මක්නිසාද යත්, මේ පරපෝෂිතයාට අවශ්‍යවන්නේ කෙසේ හෝ බළලෙකු වෙත ළඟාවී තමාගේ ජීවන චක්‍රයේ ඊළඟ අරමුණ කරා යෑමට යි. අප බළලුන් කෙරෙහි දක්වන කැමැත්ත වැඩිකිරීමෙන් ටී. ගොන්ඩිට තමාගේ අරමුණ සාක්ෂාත් කරගත හැකි බව උපකල්පනය කරන්න පුළුවන්.

ඇතැම් මිනිසුන් බළලුන්ට කැමැතිවීම පිටුපස පරපෝෂිතයෙකුගේ බලපෑමක් ඇති බවට සැකයක් තිබෙනවා/thepurringtonpost.com/

වෙනත් බලපෑම් තිබෙනවා ද?

මේ පරපෝෂිත බලපෑම ගැන සම්බන්ධයෙන් අධ්‍යයන කටයුතු කරගෙන යන තවත් බොහෝ පැතිකඩ තිබෙනවා. විශේෂයෙන්ම, ටී. ගොන්ඩි ආසාදනය නිසා යමෙකුගේ ආක්‍රමණශීලි සහ ආවේගශීලි හැසිරීම්වල වැඩිවීම, සහ අවදානම පිළිබඳ අවබෝධය හෝ අවදානමක් ගැනීමේ බිය අඩුවීමට පුළුවන්. එමෙන්ම පරපෝෂිත ක්‍රියාකාරීත්වයෙන් ඩෝපමින්, ටෙස්ටොස්ටෙරෝන් වැනි හෝමෝන ස්‍රාවයට බලපෑම් කිරීමට හැකි නිසා මිනිසුන්ගේ පෞරුෂත්ව ගති ලක්ෂණයන්හි වෙනස්කම් ඇති වෙන්න පුළුවන්.

තුර්කියේ පුද්ගලයන් 370ක් සහ චෙක් ජනරජයේ පුද්ගලයන් 600කට ආසන්න සංඛ්‍යාවක් යොදාගෙන කළ විශ්ලේෂණයකට අනුව ටොක්සොප්ලාස්මා ගොන්ඩි ආසාදිත මිනිසුන් රිය අනතුරුවලට භාජනයවීමේ වැඩි හැකියාවක් තිබෙන බව අනාවරණය වී තිබෙනවා. මෙම අධ්‍යනයේ දී පර්යේෂකයන් පෙන්වා ඇත්තේ ටී. ගොන්ඩි ආසාදනයෙන් ඇති වන, අවදානම සහ ප්‍රතිවිපාක ගැන තිබෙන අවබෝධය සහ බිය අඩුවීමත්, ආසාදිතයන් රිය අනතුරුවලට භාජනයවීමත් අතර සම්බන්ධයක් පැවතිය හැකි බව යි. 

කොහොම නමුත්, මේ පරපෝෂිත ආසාදනයෙන් ඇති වනවායැ යි සැක පහළ කරන මානසික වෙනස්කම්වල වාසි සහගත තත්ත්වයන් ද තිබෙනවා. කොලරාඩෝ විශ්වවිද්‍යාලයයට අනුබද්ධ “බෝල්ඩර් ලීඩ්ස්” ව්‍යාපාර අධ්‍යයන අංශයේ මහාචාර්යවරියක් වන ස්ටෙෆනි කේ. ජොන්සන් සහ පරිසර විද්‍යා හා පරිණාමීය ජීව විද්‍යා අංශයේ මහාචාර්යවරයෙකු වන පීටර් ජොන්සන් සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵල අනුව, ටොක්සොප්ලාස්මා ගොන්ඩි පරපෝෂිත ආසාදනයට ලක්වූ පුද්ගලයන් සාමාන්‍ය පුද්ගලයන්ට වඩා 1.4 ගුණයකින් ව්‍යාපාර ක්ෂේත්‍රයට ප්‍රමුඛත්වය දීමට නැඹුරු වන අතර, ආසාදිත නොවූ පුද්ගලයන්ට වඩා 1.7 ගුණයකින් කළමනාකරණය සහ ව්‍යවසායකත්වය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමටත් පෙළඹෙන බව සොයාගෙන තිබෙනවා.

ව්‍යාපාර කළමණාකරණය සහ ව්‍යවසායකත්වය කෙරෙහි මිනිසුන් තුළ නැඹුරුවක් ඇති කිරීමට මෙම පරපෝෂිතයාට හැකියාවක් තිබෙන්නට පුළුවන්/ied.eu/

සාමාන්‍යයෙන් ව්‍යවසායකත්වය සහ ව්‍යාපාරයක් කළමණාකරණය කිරීම තරමක් අවදානම් සහ අභියෝගාත්මක ක්ෂේත්‍රයන්. පෙර සඳහන් කළ ලෙසම, පරපෝෂිත ආසාදනය නිසා පුද්ගලයෙකුගේ බිය අඩුවීම සහ අවදානමක් ගැනීමේ හැකියාව ඉහළයෑම සමග සම්බන්ධතාවයක් පවතින බව විද්‍යාඥයින් සැක පහළ කරන හෙයින්, එවැන්නන් ව්‍යාපාර සහ ව්‍යවසායකත්වය කෙරෙහි වැඩි වශයෙන් නැඹුරු වන්නට පුළුවන්.  

ටොක්සොප්ලාස්මා ගොන්ඩි පරපෝෂිතයාගෙන් මිනිසාට ඇතිවිය හැකි ශාරීරික බලපෑම් ගැන විද්‍යාව දැනුවත් වුණත්, මානසික සෞඛ්‍යට ඇති කළ හැකි බලපෑම් පිළිබඳ කාරණා තවමත් තියෙන්නේ අධ්‍යයන මට්ටමේ. ඒ නිසා මෙම පරපෝෂිතයාගේ නිවහන මෙන් ක්‍රියාකරන ඔබගේ සුරතල් බළලා දිහා සැක සංකාවෙන් බලන්න එපා. පරපෝෂිත බලපෑමක් තිබුණත්, නොතිබුණත්, බළලුන් කියන්නේ ඕනෑම කෙනෙකුගේ ආදරය දිනා ගන්නට සමත් හැසිරීම් රටාවක් තිබෙන සත්ත්වයෙක්. එසේම සුරතල් සතුන් ඇති කරන ඔබ, ටොක්සොප්ලාස්මා ගොන්ඩි පරපෝෂිතයාට වඩා අවධානය යොමු කළ යුතු අනෙකුත් රෝගකාරකයන් බොහෝමයක් තිබෙනවා. සුරතල් සතුන් සිටින නිවසක් ලෙස සනීපාරක්ෂාව ගැන වැඩි අවධානයක් යොමු කිරීමෙන් ඔබට ඔවුන්ගෙන් ඇති වන්නට පුළුවන් බොහෝ සෞඛ්‍යමය ගැටළු වළක්වාගත හැකියි.

Cover photo: wallpaperboat.com/

මූලාශ්‍රයයන්: helpguide.org/

medicalnewstoday.com/

ciencemag.org/

livescience.com/

healthland.time.com/

Related Articles

Exit mobile version