නිර්මාංශ ව දිවි ගෙවූ ප්‍රසිද්ධ චරිත කිහිපයක්

මස් රහිත හෙවත් ‘නිර්මාංශ’ ආහාර වේලක් අනුභව කිරීමට ඇතමුන් අද උත්සුක වනවා.  මෙම නිර්මාංශ ආහාර වේල පිළිබඳ සංකල්පය බිහි වූයේ පුරාතනයේ සිට යි. ආදිකාලයේත් මිනිසුන් නිර්මාංශ ආහාර ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවට සාධක හමු ව තිබෙනවා. එලෙස නිර්මාංශ වූ පිරිස් අතරින් එදා මෙදාතුර විසූ ප්‍රසිද්ධ චරිත කිහිපයකි මේ.

පයිතගරස්

දාර්ශනික සමොස්හි පයිතගරස්, (ක්‍රි.පූ. 570-ක්‍රි.පූ. 500-490) මස් සහිත ආහාර අනුභව නොකළ බවත්, ‘නිර්මාංශ’ යන වචනය පොදු වහරේ භාවිත කිරීමට ප්‍රථම එබඳු ආහාර  ‘පයිතගොරේන්’ යනුවෙන් බොහෝ විට හැඳින්වූ බවත් ඉතිහාසමය ලියකියවිලි කිහිපයක ම සඳහන් වනවා.

පයිතගරස් සහ ඔහුගේ අනුගාමිකයන් සත්ත්ව මස් අඩංගු නොවන සීමා සහිත ආහාර රටාවක් අනුගමනය කළ බව ඇතැම් මූලාශ්‍ර පෙන්වා දෙනවා.

ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේ විසූ දාර්ශනික සහ ගණිතඥ Cnidus හි එවුඩොක්සුස් (Eudoxus) වාර්තා කළේ පයිතගරස් ඇතුළු අනුගාමිකයන් සත්ත්ව මාංශ අනුභවය ප්‍රතික්ෂේප කළා සේ ම දඩයම්කරුවන් සහ මස් වෙළෙන්දන් ද මඟ හැරි බව යි.  

පයිතගරස් සැබවින්ම නිර්මාංශ ආහාර වේලක් අනුගමනය කළේද? නැද්ද? යන කරුණ විවාදාත්මක ස්වරූපයක් උසුලනවා – veganbasecamp.com

ඇරිස්ටෝටල් සහ ඇරිස්ටොක්සීනස් යන දෙපළ හුවා දක්වන්නේ පයිතගරස්වරුන් සිය චාරිත්‍රානුකූල හේතූ මත මස් අනුභවය අවම කළා සේම ඔවුන්ගේ මාංශ අනුභවය නිශ්චිත සත්ත්ව වර්ගයකට හෝ මාංශ කොටසකට පමණක් සීමා වූ බව යි.

පයිතගරස් සැබවින් ම නිර්මාංශ ආහාර වේලක් අනුගමනය කළේද? නැද්ද? යන කරුණ මෙමඟින් විවාදාත්මක ස්වරූපයක් උසුලනවා. පයිතගරස් නිර්මාංශ බවට කිසිදු සමකාලීන ලියවිල්ලක සවිස්තරාත්මක ව සඳහන් නොවීම මෙයට හේතුව යි.

ඊජිප්තුවේ ශාන්ත අන්තෝනි 

ක්‍රිස්තියානි ධර්මයට අයත් නිර්මාංශ සහ අර්ධ නිර්මාංශ කණ්ඩායම් ගණනාවක් එකල ජීවත් වූවා. එලෙස සිටි කිතුනු නිර්මාංශිකයෙක් වූයේ 3-4 වැනි සියවසේ ඊජිප්තුවේ වාසය කළ ශාන්ත අන්තෝනි මුනිඳු යි. 

එතුමන් කිතුනු ගෞරවයට නිරායාසයෙන් පාත්‍ර වූයේ සාන්තුවරයකු ලෙස මිය ගිය දා සිට යි. පාදුවාවේ අන්තෝනි වැනි අන්වර්ථ නාමයන් ගෙන්ද එතුමන් කැපී පෙනුණා.

ශාන්ත අන්තෝනි මුනිඳුන් අධ්‍යාත්මික පාරිශුද්ධත්වය ලබා ගැනීමට සැනසීම හෝ පෞද්ගලික සතුට ලැබෙන ඕනෑම දෙයකින් වැලකී සිටියා – integratedcatholiclife.org

අනෙකුත් ආගමික නායකයන් සේ ම ශාන්ත අන්තෝනි මුනිඳුන් ද අධ්‍යාත්මික පාරිශුද්ධත්වය ලබා ගැනීමට සැනසීම හෝ පෞද්ගලික සතුට ලැබෙන ඕනෑම දෙයකින් වැලකී සිටියා. බ්‍රහ්මචාරී ව සිටීම, නිදි වර්ජිත ව සිටීම, නිරාහාර ව සහ නිර්මාංශ වීම යනාදී පිළිවෙත් එතුමන් මෙහිදී අනුගමනය කළා.

ලියනාඩෝ ඩා වින්චි

ලියනාඩෝ ඩා වින්චිගේ නිර්මාංශික භාවය ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාධක හමු ව නැතත් හෙතෙම නිර්මාංශ දිවියක් ගත කළා යැයි සැලකෙන සාක්ෂි කිහිපයක් මේ වන විට හමු ව තිබෙනවා.

සත්ත්ව මාංශ අනුභව කිරීමෙන් ලියනාඩෝ වැලකී සිටි බවට විස්තර වන සමකාලීන වාර්තා ද පවතිනවා. ඉතාලි ගවේෂක ඇන්ඩ්‍රියා කෝර්සාලි, තමාට ඉන්දියාවෙන් මුණ ගැසුණු නිර්මාංශිකයන් පිළිබඳ ව ගිලියානෝ ඩි මෙඩිසිට (ලියනාඩෝගේ අනුශාසකට) සිය ලිපියෙන් මෙලෙස පවසනවා.

ලියනාඩෝ ඩා වින්චි නිර්මාංශ දිවියක් ගත කළා යැයි සැලකෙන සාක්ෂි කිහිපයක් මේ වන විට හමුව තිබෙනවා – i.insider.com

‘’මෙහි වෙසෙන ගස්සරටි (Guzsarati) නම් ජන කාණ්ඩය අතිශය මෘදු යි. රුධිරය සහිත කිසිම සත්ත්වයෙක් අනුභව නොකිරීමට එම ජනයා කටයුතු කරනවා. පණ ඇති කිසිදු ජීවියෙක් නොරිදවීමටත් ඔවුන් වග බලා ගන්නවා. අපගේ ලියනාඩෝත් මෙවැනි ම පුද්ගලයෙක්.’’

ලියනාඩෝගේ පෞද්ගලික සටහන් පොත් රැසක් මේ වන විට හමු ව තිබුණත් හෙතෙම පෞද්ගලික ව මාංශ අනුභව කළේද? නැද්ද? යන වග එහි සඳහන් ව නැහැ. ලියනාඩෝගේ ඇතැම් ලේඛන සත්ත්ව සුබසාධනයට ගැඹුරු සැලකිල්ලක් දක්වා තිබෙනවා. සමහර සත්ත්ව කාණ්ඩ මාංශ ලබා ගැනීමට ඇති කරන බවත්, මෙය භීතිය දනවන කරුණක් බවත් ලියනාඩෝ පවසනවා.

මහත්මා ගාන්ධි

අහිංසාවාදයේ පියා එසේත් නැත්නම් මහත්මා ගාන්ධි ශ්‍රේෂ්ඨ ඉන්දීය නායකයෙක් මෙන් ම සිවිල් ක්‍රියාකාරිකයෙක් ද වූවා. කුඩා කල සිටම නිර්මාංශික වූ හෙතෙම, නිර්මාංශත්වය ප්‍රගුණ කළ වෛෂ්ණව හින්දු පවුලක උපත ලැබුවා.

කුඩා කල සිට ම නිර්මාංශික මහත්මා ගාන්ධි, නිර්මාංශත්වය ප්‍රගුණ කළ වෛෂ්ණව හින්දු පවුලක උප්පත්තිය ලැබුවා – img.huffingtonpost.com

නව යොවුන් වියට පා නඟත් ම, ගාන්ධි සිය පවුල් සම්ප්‍රදායන්ගෙන් ඈත් වී ඉඳහිට දුම්පානයත් මස් අනුභව කිරීමත් සිදු කළ බව පැවසෙනවා.

කෙසේ වෙතත්, එංගලන්තයේ නීතිය හදාරන කාලය අතරතුර නිර්මාංශ අවන්හල් සොයා  දිනකට සැතපුම් 10 ක් හෝ 12 ක දුරක් ඇවිද යාමට ගාන්ධි උත්සුක වූ බවයි පැවසෙන්නේ. නිර්මාංශිකත්වය කෙරෙහි තම කැපවීම යළි තහවුරු කිරීමට මෙමඟින් ඔහුට හැකියාව ලැබුණා.

ෆ්‍රාන්ස් කෆ්කා

20 වැනි සියවසේ විසූ විශිෂ්ට සාහිත්‍යධරයෙකි ෆ්‍රාන්ස් කෆ්කා. නවකතා සහ කෙටිකතාකරුවකු වූ හෙතෙම නිදන්ගත ආහාර ජීර්ණ ආබාධයකින් අවාසනාවන්ත ලෙස පීඩා වින්දා. මෙයට ප්‍රතිකාර වශයෙන් නිර්මාංශමය ආහාර වේලක් අනුගමනය කිරීමට මොහු උත්සාහ කළා.

නිර්මාංශිකයකු වීමට අමතරව, කෆ්කා ආහාර විලාස ගණනාවක් අනුගමනය කිරීමටත් ප්‍රිය කළා – media.wbur.org

නිර්මාංශිකයකු වීමට අමතර ව, කෆ්කා ආහාර විලාස ගණනාවක් අනුගමනය කිරීමටත් ප්‍රිය කළා. හෝරස් ෆ්ලෙචර්ගේ, ‘ විනාඩියකට 100 වතාවක් අප ගන්නා ආහාරය හපා විකන ලෙස’ ප්‍රකාශ කළ ඉගැන්වීම් ද ෆ්‍රාන්ස් කෆ්කා පිළිපැද්දා. සත්ත්ව මාංශ ආහාරයට ගැනීම සදාචාරාත්මක නොවන දෙයක් බව හෙතෙම සඳහන් කළා.

සිය මිතුරෙක් සමඟ මින්මැදුරකට ගිය අවස්ථාවක කෆ්කා එහි සිටි විසිතුරු මත්සයකුට “ නිරවුල් හෘද සාක්ෂියකින් ඔබේ සුන්දරත්වය මට දැන් බලන්න පුළුවන්” යනුවෙන් මුමුණන අයුරු මිතුරාට දැකගත හැකි වූ බව පැරණි ලේඛනයක සඳහන් වනවා.

මාරි ෂෙලි

‘නිර්මාංශ’ යන සංකල්පය රොමෑන්ටික යුගය ආරම්භයේ දක්නට නොලැබුණා.  ( 1798 වසරින් ආරම්භ වී 1837 වසර දක්වා පැවති රොමෑන්ටික යුගය, කලාවේ සහ සාහිත්‍යයේ නව පිබිදීමට බෙහෙවින් බලපෑවා. බොහෝ ලේඛකයන් ප්‍රංශ විප්ලව ආස්වාදය ලබා තිබීම රොමෑන්ටික කාල පරිච්ඡේදයේ දක්නට ලැබුණා.) 

රොමෑන්ටික යුගය සමඟ සමීප ව සම්බන්ධ වූ සමහර සාහිත්‍යවේදීන් නිර්මාංශ ආහාර වේලක් අනුගමනය කළා. රොමෑන්ටික කාලයේ පැවති එක් ලාක්ෂණික අදහසක් වූයේ ස්වභාව සෞන්දර්යය ගැඹුරින් අගය කිරීම යි. බොහෝ රොමෑන්ටික සාහිත්‍යයධරයන් සත්ත්ව මාංශ අනුභව නොකිරීමට උනන්දු වූයේ එබැවිනු යි.

මේරි ෂෙලී කතුවරිය, ‘ ෆ්‍රැන්කන්ස්ටයින් ‘ නම් විද්‍යා ප්‍රබන්ධ ග්‍රන්ථය බිහි කිරීමේ ගෞරවයට පාත්‍ර වූවා – ucarecdn.com

මෙම යුගයේ සිටි මාරි ෂෙලී කතුවරිය, ‘ ෆ්‍රැන්කන්ස්ටයින් ‘ නම් විද්‍යා ප්‍රබන්ධ ග්‍රන්ථය බිහි කිරීමේ ගෞරවයට පාත්‍ර වූවා. මස් රහිත ආහාර වේලක් අනුභව කළ ඇගේ සාහිත්‍යය නිර්මාණ, ‘නිර්මාංශ ප්‍රකාශන’ බවට සමහරුන් අර්ථ දක්වනවා. සුප්‍රසිද්ධ ෆ්‍රැන්කන්ස්ටයින් විද්‍යා ප්‍රබන්ධය හුරුපුරුදු අයකුට ෆ්‍රැන්කන්ස්ටයින් රාක්ෂයාගේ කය, මළ සිරුරු කොටස්වලින් එකලස් වූවක් බව මෙහිදී මතකයට නැඟෙනවා.

විද්‍යා ප්‍රබන්ධයේ මුල් පිටපතට අනුව ෆ්‍රැන්කන්ස්ටයින් රාක්ෂයාගේ කය සෑදී ඇත්තේ සත්ත්ව ඝාතකාගාරයක තිබූ මාංශ කොටස්ලින්. රාක්ෂ කය ඝාතකාගාරයේ මාංශ කොටස් වලින් සෑදෙන අයුරු ෂෙලී කතුවරිය භීතියකින් යුතුව  සිය ග්‍රන්ථයෙන් පෙන්වා දෙනවා.

ෆ්‍රැන්කන්ස්ටයින් රාක්ෂයා නිර්මාණය වීම බිහිසුණු සහ අස්වාභාවික වු නමුත් එම රාක්ෂයා නිර්මාංශිකයකු ලෙස ක්‍රියා කරන අතර බොහෝ රොමෑන්ටික බුද්ධිමතුන් අපේක්ෂා කළ ආකාරයට ම ස්වභාවධර්මයා සමඟ සහයෝගී ව සිටීමට ද හුරු වූ අයෙක්.

ජෝන් හාවි

එක්සත් ජනපද නිර්මාංශිකත්වයේ ප්‍රමුඛ යෝජකයා බවට පත් වූයේ වෛද්‍ය ජෝන් හාවි. හෙතෙම නිර්මාංශත්වය ප්‍රවර්ධනය කළේ එය“ජීව විද්‍යාත්මක ජීවන දර්ශනයක ” කොටසක් ලෙස හඳුන්වා දෙමිනු යි. මෙයට එක්වන නිර්මාංශික අනුගාමිකයන්ට මත්පැන් සහ දුම්කොළ භාවිතය තහනම් වූ අතර දැඩි ව්‍යායාම කිරීම ද අනිවාර්යය වූවා.

ජෝන් හාවි නිර්මාංශත්වය ප්‍රවර්ධනය කළේ එය“ජීව විද්‍යාත්මක ජීවන දර්ශනයක ” කොටසක් ලෙස හඳුන්වා දෙමිනුයි – miro.medium.com

හාවි අනුගමනය කළ ජීව විද්‍යාත්මක ජීවන දර්ශනයේ දැකගත හැකි එක් ලක්ෂණයක් වූයේ මිනිසාගේ බොහෝ ලිංගික ක්‍රියාකාරකම් විවිධ කායික හා මානසික රෝග ඇති වීමට හේතු වන බව යි. එබැවින් මෙය මර්දනය කළ යුතු බව ඔහු පෙන්වා දුන්නා. 

හෙතෙම සිය දර්ශනය සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කළ අනෙක් පියවර වූයේ ප්‍රෝටීන් අඩු, කාබෝහයිඩ්‍රේට් අධික මෘදු ආහාර වේලක් තම රෝගීන්ට ලබා දීම යි. එම ආහාර වේල ඔහු ම නිර්මාණය කළ එකක් වූ අතර එලෙස බිහිවූ ආහාර ප්‍රභේද දෙකක් නූතන වෙළඳපොළෙත් දක්නට ලැබෙනවා. ‘ ග්‍රැනෝලා සහ කෝන්ෆ්ලෙක්ස් ‘ (Granola and Cornflakes) යනු එම ධාන්‍යමය ආහාර ද්විත්වය යි.

ලියෝ ටෝල්ස්ටෝයි

නිර්මාංශ ව්‍යාපාරය වර්ධනය වීමට වගකිව යුතු ප්‍රධාන චරිතයක් වූයේ 19 වන සියවසේ රුසියාවේ උන් ලියෝ ටෝල්ස්ටෝයි ලේඛකයා යි. තම ජීවිතයේ අවසාන දශක තුන සාමවාදයට සහ අරාජිකවාදයට යොමු කළ ටෝල්ස්ටෝයි, ක්‍රිස්තියානි ධර්ම අනුවාදයට ද බෙහෙවින් ඇප කැප වූවා .

ටෝල්ස්ටෝයි ගමන් කළ සාම මාවත මිනිස් මෙන්ම සත්ත්ව හිංසනය ද එක හෙළාම ප්‍රතික්ෂේප කළා – mosaicmagazine.com

ටෝල්ස්ටෝයි ගමන් කළ සාම මාවත මිනිස් මෙන් ම සත්ත්ව හිංසනය ද එක හෙළා ම ප්‍රතික්ෂේප කළා.

හැරල්ඩ් විලියම්ස් රචිත ‘The Ethics of Diet’ ග්‍රන්ථයේ එක් අවස්ථාවක (මෙම ග්‍රන්ථයේ ඉංග්‍රීසි සංස්කරණය 1883 ප්‍රකාශයට පත් වූවා.) ටෝල්ස්ටෝයි සත්ත්ව ඝාතකාගාරයකට ගිය ගමනක විස්තරයක් අන්තර්ගත යි. තැනින් තැන වැතිර තිබූ සත්ත්ව ඇටසැකිලි, දුඟද හමන වියළි මාංශ කොටස් සහ එම ඝාතකාගාරගේ සේවයේ නිරත වූවන්ගේ උදාසීන හැසිරීම ටෝල්ස්ටෝයි කම්පනය කිරීමට සමත් ව තිබෙනවා. 

කවරයේ ඡායාරූපය: fullscript.com
මූලාශ්‍ර :
Wikipedia
www.britannica.com

Related Articles

Exit mobile version