Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බඩේ දැවිල්ල නැති කිරීමේ මඟ

ඔබේ එදිනෙදා කටයුතුවලදී මනස ඒකාග්‍රව පවත්වා ගන්නට ආමාශයේ ඇති වන අපහසුතා කෙතරම් බලපානවා ද යන්න බඩේ දැවිල්ලෙන් පීඩා විඳි අය හොඳින් ම දන්නවා ඇති. මේ නිසා ම සෑම වසරක ම මැයි මස 29 වැනි දා සමරන ලෝක ජීර්ණ ස්වස්ථතා දිනය (World Digestive Health Day) වෙනුවෙන් මේ ලිපිය අප ඔබට දායාද කරනවා.

රෝගය නිවැරැදි ව හඳුනා ගැනීම

‘බඩේ දැවිල්ල’ කටවහරේදී ‘ගැස්ට්‍රික්’ ලෙස හැඳින්වූවත් බහුල ව ඇතිවෙන්නේ ඩිස්පෙප්සියා ලෙස හැඳින්වෙන ආහාර අජීර්ණ තත්ත්වය යි. ආහාර නොගැනීම බඩේ දැවිල්ලට හේතුවෙනවා වගේම, ඩිස්පෙප්සියාවලට හේතුවන්නේ, අධික ලෙස හෝ ජීර්ණයට වේලාව ගත වන ආහාර ගැනීම යි. කහට තේ පානය, තෙල් මිරිස් සහිත ආහාර මෙයට බලපානවා වගේ ම, අමතර ආහාර වේල් ගැනීමත් බලපානවා. එහි දී ආමාශයේ රැඳ‍ෙන ආහාර ජීර්ණය කිරීමට නිරන්තරයෙන් ජීරක අම්ල ස්‍රාවය වීමත්, එම අම්ල ගලනාලයට ගමන් කරමින් ඔක්කාරය, පපුවේ දැවිල්ල ඇති කිරීමත් සිදු වෙනවා. ආහාර ගන්නට පටන් ගෙන ටික වේලාවකින් ම ආහාර රුචියත් නැති වෙනවා.

ගැස්ට්‍රයිටිස්වලදී සිදුවන්නේ ආමාශයේ ආහාර නැතිවීමෙන් ආමාශ ශ්ලේෂ්මලය ජීර්ණය වී, ජීරක අම්ල ආමාශ බිත්තියේ ස්පර්ශ වීම යි. එවිට ආමාශ බිත්තියට හානි වී තුවාල සිදු වෙනවා. ගැස්ට්‍රයිටිස්වල රෝග ලක්ෂණ ද ඩිස්පෙප්සියාවල රෝග ලක්ෂණවලට බොහෝ සමාන නිසා මේ දෙක වරදවා වටහා ගැනීම සිදු විය හැකි යි. එවිට, නිරන්තරයෙන් ආහාර ගැනීමට පෙලැඹී ඩිස්පෙප්සියාවෙන් ඔබ තවදුරටත් පීඩා විඳිමින් සිටිනවා වෙන්නට පුළුවන්.

කෙසේ නමුත් රෝග ලක්ෂණ සමාන නිසා ඩිස්පෙප්සියා ඇත්නම්, ගැස්ට්‍රයිටිස් ද තිබිය හැකි බැවින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් උචිත යි. එවිට GERD (ගලනාලය තුවාල වීම) හෝ IBS (බඩවැල පෙරළීම) වැනි රෝග තත්ත්වයක් ඇති ද යන්නත් සොයා ගත හැකි වෙනවා.

ආහාර වේල් ගණන සහ හොඳින් සැපීම

ආහාර හොඳින් සපා ආහාරයට ගන්න – freepik.com

ආහාර වේල් අතර සමාන කාල පරතරයක් තබා ගන්න. දිගු කාලයක් බඩගින්නේ සි‍ටීම, ආහාර ගනිද්දි විශාල ප්‍රමාණවලින් ආහාර ගැනීම වැනි පුරුදු නිසා ජීර්ණ පද්ධතිය පීඩාවට පත් වෙනවා. එනිසා, ආහාර වේල් සමාන පරතරයන්වලින් දිනපතා ම එකම වෙලාවකට ගන්න උත්සාහ කරන්න. බඩ පුරවා දැමීම සිදු වෙනවා නම් එක් වරකට කුඩා ආහාර ප්‍රමාණයක් බැගින් වේල් කිහිපයක් ගන්න. ආහාර ගනිද්දී ඇඳුම් ලිහිල් කරන්න.

ආහාර ජීර්ණය පටන් ගන්නේ ඔබේ මුඛයෙන්. ආහාර කුඩා කොටස්වලට කඩා, ජලීය කිරීමේ හැකියාව දත්, ඛේඨය, සහ දිවට තිබෙනවා. හොඳින් සපා ආහාර ගත්විට ඛේඨ ස්‍රාවය ද හොඳින් සිදු වී ආමාශයට දැරිය යුතු වෙහෙස අවම වන නිසා වැඩි වැඩියෙන් අම්ල ස්‍රාවය කළ යුතු වන්නේ නැහැ. මේ නිසා ඩිස්පෙප්සියා අවම කරගන්නට ආහාර සැපීම බොහොම වැදගත් වෙනවා.

ගන්නා ආහාර පාන වර්ග

ගන්නා ආහාර ගැන සැලකිලිමත් වෙන්න – freepik.com

සාමාන්‍යයෙන් මිරිස් අධික ව යෙදූ ආහාර, අධික ව තෙල් යෙදූ ආහාර, ඇඹුල් බව වැඩි ආහාර, පාන් හා බේකරි නිෂ්පාදන නිසා බඩේ දැවිල්ල වැඩි විය හැකි යි. යෝගට්වලින් ඇතැමුන්ට බඩේ දැවිල්ල අඩු වන අතර තවත් අයට වැඩි වෙයි. කාබනීකෘත බීම වර්ග, බියර් නිසාත් දැවිල්ල වැඩි වීමේ සම්භාවිතාවක් තිබෙනවා.

 බඩේ දැවිල්ලට හේතුවන ආහාර වර්ග පුද්ගලයා අනුව වෙනස් විය හැකි යි. එනිසා යම්කිසි ආහාර වර්ගයකින් ඔබට අපහසුතා වැඩි වෙනවා නම් එම ආහාර ගැනීමෙන් වලකින්න. ගන්නා ආහාර පිළිබඳ නිරන්තර සටහනක් තබා ගත්තොත් ඔබට හිතකර හා අහිතකර ආහාර වර්ග හඳුනා ගන්නට හැකි වේවි.

දුම්පානය, අධික ලෙස මත්පැන් භාවිතය වගේ ම අධිබල වේදනා නාශක නිසාත් බඩේ දැවිල්ල ඇති විය හැකි බැවින් ඒවා ගැනත් කල්පනාකාරී වෙන්න.

මානසික ආතතියෙන් මිදීම

ආතතිය අඩු කර ගත හැකි ක්‍රියාකාරකම්වල යෙදෙන්න – freepik.com

ඉතා සංවේදී ස්නායු පද්ධතියක් ඇති අයට මානසික ආතතිය, විවිධ හැඟීම් නිසා ආහාර ජීර්ණ පද්ධතියේ අවයවවල තදවීම්, හිරවීම් වැනි දෑ සිදු විය හැකි යි. මේ නිසා එම අවයවවල සාමාන්‍ය හැකිලීම් හා දිග හැරීම් ඔවුන්ට පීඩාකාරී ලෙස දැනිය හැකි යි. ආතතිය නිසා ආහාර රුචිය නැති වී ආහාර නොගෙන සිටීමටත්, තවත් අය ආතතිය නැති කර ගන්නට නිතර ආහාර ගන්නටත්, සෞඛ්‍යදායී බවින් අඩු ආහාර ගන්නටත් පෙලඹෙනවා. ඒ දෙක ම බඩේ දැවිල්ලට හේතු වෙනවා.

නිතිපතා ව්‍යායාම කිරීම, හැකි නම් ආතතිමය පරිසරවලින් හෝ පුද්ගලයන්ගෙන් මිදී සිටීම, විනෝදාංශයක නියුතු වීම මේ සඳහා ඔබට කළ හැකි දේවල් කිහිපයක්. ඔබත් මානසික ආතතියෙන් පීඩාවට පත් වෙනවා නම් ඒ වෙනුවෙන් පිළියම් යෙදීම වගේ ම ඒ බව වෛද්‍යවරයාට දැනුම් දුන් විට බඩේ දැවිල්ලට ‍දෙන ඖෂධ සමඟ ආතතිය මඬින ඖෂධ ද නිර්දේශ කරනු ඇති.

ප්‍රතිජීවක ඖෂධ

 ඖෂධ නිසි වේලාවට, නිසි ප්‍රමාණයට හා නිර්දේශිත කාලය පුරාවට ගන්න – freepik.com

බඩේ දැවිල්ල (ගැස්ට්‍රයිටිස් සහ ඩිස්පෙප්සියා) ඇතිවීමට ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයත් බලපානවා. Helicobacter pylori නමැති බැක්ටීරියාවල ක්‍රියාව නිසා අම්ල ස්‍රාවය වීම වැඩි වී බඩේ දැවිල්ල වැඩි කරවන අතර, ඩිස්පෙප්සියාවලට ප්‍රතිකාර කිරීමෙන් පසුව තවදුරටත් සුව නොවුවහොත් වෛද්‍යවරුන් ප්‍රතිජීවක ඖෂධ නිර්දේශ කරන්නේ මේ බැක්ටීරියා නැසීමට යි. අනෙකුත් ප්‍රතිජීවක වගේම මේවාත් නිර්දේශිත වේලාවට, නිර්දේශිත කාල සීමාව පුරාවට සම්පූර්ණයෙන් ම ගත යුතු වෙනවා. එවිට ඉතා ම පහසුවෙන් ඉන් මිදෙන්නට හැකි යි.

හිතුමතේ ප්‍රතිජීවක ඖෂධ ගැනීම නිසා ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාව වැනි භයානක ප්‍රතිපල ගෙන දිය හැකි බැවින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම, සහ උපදෙස් ඒ ආකාරයෙන් ම පිළිපැදීම අනිවාර්යය යි.

පපුවේ දැවිල්ල එනවා නම් මෙහෙම කරන්න

දිවා කාලයේදී නිතර ජලය පානය කරන්න – freepik.com

පපුව සිරවීම, දැවිල්ල, උගුරට ඒම හෝ උගුරේ අපහසුතා තිබෙනවා නම් ආහාර ගෙන පැය 2-3ක් යන තුරු හාන්සි වීමෙන් වලකින්න. හාන්සි වෙද්දී අංශක 45කට පමණ හිස කෙළවර එසවෙන ආකාරයට හාන්සි වෙන්න. මේ සඳහා ඔබට කොට්ට කිහිපයක් භාවිත කළ හැකි යි. වම් ඇලයට හාන්සි වීමෙනුත් පීඩාව අවම කරගන්න පුළුවන්.

දිවා කාලයේදී නිතර ජලය පානය සහ බඩේ දැවිල්ල අඩු කරවන නිෂ්පාදන භාවිතයත් මෙයට හොඳ විසඳුමක්. ස්වාභාවික කළුදුරු, වැල් මී, සහ අළු කෙසෙල් සුසංයෝගයෙන් නිෂ්පාදනය කර ඇති Baraka Gastricareවලට උදරාබාධ සහ ප්‍රදාහ තත්ත්ව ඉක්මනින් ම සුව කළ හැකියි.

ස්ථුලතාවය ඇත්නම් බර අඩු කර ගැනීමට කටයුතු කිරීමත් දිගුකාලීන සහනයක් ගෙන දේවි.

මූලාශ්‍ර:

  • වෛද්‍ය එස්. කේ. කොඩිසිංහ සකස් කළ සටහනක්
  • clevelandclinic.org
  • webmd.com
  • medicalnewstoday.org

Related Articles