මිනිස් සිරුර කියන්නේ ස්වභාව ධර්මයේ අති විශිෂ්ට නිර්මාණයක් බවට කිසිදු සැකයක් නැහැ. මෙහි තියෙන ඇතැම් පද්ධති සහ අවයව කෘත්‍රිම ව නිපදවීමට පවා නොහැකි තරම් සංකීර්ණයි. අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය කියන්නෙත් අතිශය සංකීර්ණ පද්ධතියක්. බාහිරින් එන බිලියන ගණනක් බැක්ටීරියා, වෛරස සහ වෙනත් ක්ෂුද්‍ර ජීවින්ට විරුද්ධ ව මේ මොහොතේත් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සටන් කරනවා ඔබටත් නොදැනීම. ඒ සඳහා මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතිය සතු ව හමුදාවකට සමාන බළකායක් සිටිනවා. ඒ අතරට ආරක්ෂකයන්, සෙබළුන්, මරාගෙන මැරෙන බෝම්බකරුවන්, බුද්ධි අංශ නිලධාරීන්, ආයුධ නිපදවන කම්හල් සහ සන්නිවේදකයන් මිලියන ගණනක් ඇතුළත්. මේ සියලු දෙනා එක්වෙලා මිනිස් සිරුර රකින හැටි ගැන මේ ලිපියෙන් කියවන්න ඔබට පුළුවන්.
ඉදිරි ආරක්ෂක වළල්ල
අපි කවුරුත් හැම වෙලේ ම ජීවත් වෙන්නේ ඇහැට නොපෙනන ජීවි අජීවී ක්ෂුද්‍ර අංශු බිලියන ගණනක් එක්කයි. නිවසේ, කාර්යාලයේ, වායුසමනය කළ මෝටර් රථයක් ඇතුළත පවා මේ පුංචි කට්ටියගෙන් අපිට ගැලවීමක් නැහැ. ක්ෂුද්‍ර ජීවින් අපගේ ශරීරවලට ඇතුළු වෙන්නේ බොහෝවිට අපගේ නාසයෙන් හෝ මුඛයෙන්. ඇතැම් වෙලාවට අපගේ බහිශ්‍රාවිය විවරයන්වලින් සහ ඇසෙන්, කනෙන්. එහෙමත් නැත්තම් සම මතුපිට ඇති වුණු තුවාලයකින් වගේ ඇතුළු වෙන්නත් පුළුවන්. එහෙම ඇතුළු වෙන ක්ෂුද්‍ර ජීවින් කරන්නේ එයාලගේ වර්ගයා දිගට ම බෝකිරීමත්, එයාලගේ පැවැත්මට අපේ ශරීරය පාවිච්චි කිරීමත් තමයි. එයාලගේ මේ පරිවෘත්තීය ක්‍රියාවලින් අපේ ශරීරයට සිදුවෙන්නේ හානියක්. ඉතින් ඒ නිසා මේ අනවසර පදිංචිකරුවන්ට ඉඩදෙන්න අපේ ශරීරය කැමති නැහැ. එයාලා ඇතුළු වීම වැලැක්වීමත්, ශරීරයේ වැදගත් ඉන්ද්‍රියයන් ඒ අයගෙන් ආරක්ෂා කිරීමත් සහ ඒ විෂබීජ විනාශ කිරීමත් කියන කාර්යයන් පැවරුණු පද්ධතිය අපි හඳුන්වන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය (Immune System) කියලා.
සාමාන්‍යයෙන් මිනිස් සිරුරේ පද්ධතිවල ක්‍රියාවලියේ ගලා යාමක් තියෙනවා. ඒවා සමන්විත වෙන්නේ සෛල, පටක, ඉන්ද්‍රියන් සහ ඉන්ද්‍රියන් ඒකාබද්ධ කරන පද්ධතියක් විදිහට. නමුත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය මේ සියල්ලට ම වඩා වෙනස් එකක්. මේක පද්ධති කීපයක් සහ එකිනෙකට සෘජු සම්බන්ධයක් නැති සෛල සහ ඉන්ද්‍රියන්වලින් සමන්විත වෙනවා. වසා ගැටිති, වසා නාල, වසා සෛල, ඇට මිදුළු, සුදු රුධිරාණු, සම, තයිමසය, ප්ලීහාව ආදී බොහෝමයක් එකට එක්වෙලා තමයි අපට අවශ්‍ය ප්‍රතිශක්තිකරණය ලබා දෙන්නේ.
ඉදිරි ආරක්ෂක වළල්ල විදිහට ක්‍රියා කරන සම
හානිකර ක්ෂුද්‍ර ජීවි බලපෑමකින් ආරක්ෂාවෙන්න තියෙන හොඳ ම විදිහ තමයි ඒවා අපේ ඇඟ ඇතුළට ඇතුළු වීම වළක්වන එක. හමුදාවක් වුණත් බළකොටුවක් තුළ වඩා ආරක්ෂිත වෙනවා වගේ අපේ ඉදිරි ආරක්ෂක වළල්ල විදිහට ක්‍රියා කරන්නේ සම. සම හරහා කිසිම ක්ෂුද්‍ර අංශුවකට ඇතුළුවෙන්න ඉඩ ලැබෙන්නේ නැහැ.
මුළු මිනිස් ශරීරය පුරා ම විවිධ ඝනකමින් විවිධ ස්වාභවයෙන් විහිදිලා තියෙන සම කියන්නේ අපේ විශාලත ම ඉන්ද්‍රියයත් වෙනවා. අපගේ ශරීරයේ අභ්‍යන්තර අවයව ආවරණය කරන්නෙත් සම වගේ ම කොටසක් මගින්. ශ්ලේෂ්මල පටලය (Mucous Membrane) කියලා හඳුන්වන මේවා නාසය සහ මුඛය සහ ඇසිපිය ඇතුළත බිත්තිවල අපිට දකින්න පුළුවන්. ඊට අමතරව ශ්වාසනාලය, පෙනහළු, ආමාශය, මුත්‍රාශය වගේ හැම ඉන්ද්‍රියක ම බිත්ති සකස් වෙලා තියෙන්නෙත් මේ ශ්ලේෂ්මල පටලයෙන්. ඒවා මගින් තෙතමනය තියා ගන්න උදව්වෙන ශ්ලේෂ්මල (Mucus) නිපදවලා ශ්‍රාවය කරනවා.
සම සහ ශ්ලේෂ්මල පටලය මගින් භෞතික බාධකයක් විදිහට ක්ෂුද්‍ර ජීවින්ගේ ගමන වළක්වනවාට අමතර ව ශ්‍රාවයන් නිකුත් කරලා ක්ෂුද්‍ර ජීවීන්ට රැඳෙන්න තියෙන හැකියාව අවම කරනවා. ආමාශයේ බිත්තිවලින් ශ්‍රාවය කරන අම්ල, නාසයේ හා ශ්වාසනාලයේ නිර්මාණය වන ඇලෙනසුලු ශ්ලේෂ්මල සහ දහඩිය, ඛේටය, කඳුළුවල තිබෙන බැක්ටීරියාවලට එරෙහි එන්සයිම ආදිය ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඉදිරි ආරක්ෂක වළල්ල මගින් ලබාදෙන රසායනික ආරක්ෂාවට උදාහරණ විදිහට දක්වන්න පුළුවන්.
විෂබීජවලට එරෙහි පළමු ප්‍රහාරය
ඉදිරි ආරක්ෂක වළල්ල සෑම විට ම සාර්ථක වෙන්නේ නැහැ. බොහොමයක් වෛරස නාසයෙන් හෝ ශ්වසනාලයෙන් නතර නොවී පෙනහළු කරා ගමන් කරන්න පුළුවන්. මුඛයෙන් ඇතුළු වන යම් ආහාරයක තිබෙන අහිතකර බැක්ටීරියාවකින් අප අසනීප කරන්නත්, සමේ ඇති වුණු තුවාලයක් නිසා බැක්ටීරියා ආසාදනයක් වන්නටත් පුළුවන්. ඒවගේ අවස්ථාවක දී සහජ ප්‍රතිශක්තිකරණ පද්ධතිය (Innate Immune System) වහාම ක්‍රියාත්මක වෙලා ඇතුළු වුණු වෛරසය හෝ බැක්ටීරියාවට එරෙහි ව සටන් කරනවා.
සමේ සිදු වූ කැපුමක දී සිදුවන ක්‍රියාවලිය මගින් මෙවැනි අවස්ථාවක ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියා කරන හැටි ගැන අවබෝධයක් ලබා ගැනීම පහසුයි. කැපුමක් සිදුවූ වහා ම සිදු වන්නේ අපගේ ශරීරය ඇතුළට අති විශාල බැක්ටීරියා ප්‍රමාණයක් ඇතුළු වීම. කැපීම සිදුවුණු ආයුධයේ හෝ වස්තුවේ තිබුණු විෂබීජයි අවට පරිසරයේ තිබෙන විෂබීජයි තමයි ඇතුළුවෙන්නේ. කැපීමෙන් හානි වුණු සෛලවලට බැක්ටීරියා ඉතා ඉක්මනින් ඇතුළු වෙලා විනාඩි 20 ක් වගේ කෙටි කාලයක් තුළ ඇතුළු වුණු බැක්ටීරියා ප්‍රමාණය දෙගුණයක් බවට බෝවෙනවා.
පළමු ආරක්ෂක වළල්ල බිඳවැටීම
මේ නිසා කැපුම සිදුවුණු ගමන් ම හානි වුණු සෛලයි ඒ ආශ්‍රිත අනෙක් සෛලයි දැනුම් දීමක් කරනවා පළමු ආරක්ෂක වළල්ල බිඳවැටුණු බවට. ඒක සිද්ධවෙන්නේ රසායනික ප්‍රතික්‍රියාවක් විදිහට. මෙමගින් තමයි අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හරියට ම අවදි වෙන්නේ. මුලින් ම ඉදිරියට එන්නේ මැක්‍රෝෆේජ් (Macrophage) කියන සුදු රුධිර සෛල විශේෂයක්. එයාලා ගොඩක්දුරට මුරකරුවන්ට සමාන වුණත් භක්ෂක සෛල (Phagocyte) ගණයටයි අයත් වෙන්නේ.
අපේ ශරීරයේ හැම අස්සක් මුල්ලක් නෑර ම මෙයාලා ගමන් කරනවා. හදිසි සංඥාවක දී අදාළ තැනට ඉතා ඉක්මනින් එකතුවෙන්න ඔවුන්ට පුළුවන්. සාමාන්‍ය සෛලවලට වඩා ප්‍රමාණයෙන් විශාල මේ අය විෂ්කම්භයෙන් මයික්‍රෝමීටර 21ක් විතර වෙනවා. සන්නිවේදනයට අමතර ව මේ අයට පැවරුණු ප්‍රධානත ම කාර්යය වෙන්නේ සතුරන් විනාශ කිරීම. ඒ හින්දා ගොඩක් අවස්ථාවලදී සම්පුර්ණ බැක්ටීරියා ආසාදනය ම නවත්තලා දාන්න මේ අය විතරක් ප්‍රමාණවත්. ඒ නිසයි ඉතා කෙටි කාලයකින් සුළු කැපුම් තුවාල හොඳ වෙන්නේ.
අනවසරෙන් ඇතුළු වුණු බැක්ටීරියා 100ක් පමණ භක්ෂණය කරන්න එක මැක්‍රෝෆේජ් සෛලයකට පුළුවන්. බැක්ටීරියාව මැක්‍රෝෆේජ් සෛලයකින් භක්ෂණය කරලා තමන් ඇතුළේ හිර කර ගන්නවා. ඉන් පස්සේ එන්සයිම ශ්‍රාවය කරලා බැක්ටීරියාව විනාශ කරලා දැමීම සිදු වෙනවා. මැක්‍රෝෆේජ් සෛලවලට “පණිවිඩ ප්‍රෝටීන” (Cytokine) යැවීමේ හැකියාව තියෙනවා. රුධිර නාළවලට පණිවිඩයක් යවලා කැපුම සිදුවුණු ස්ථානයට ජලය පිටකරන්න කියලා කියන්න මෙයාලට පුළුවන්.
ජලය මගින් මැක්‍රෝෆේජ් සෛලවල කාර්යය වේගවත් වෙනවා වගේම උදව්වට එන අනෙක් සෛලවලටත් ගමන් කරන්න පහසු වෙනවා. අලුතින් වුණු තුවාලයක පොඩි ඉදිමුමක් ඇතිවෙන්නේ මෙන්න මේ තරල පිරීම නිසයි. බැක්ටීරියා ප්‍රමාණය දරාගන්න නොහැකි වුණොත් මැක්‍රෝෆේජ් සෛල මගින් පණිවිඩ ප්‍රෝටීන යවලා උදව්වට ගෙන්වා ගන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඊළඟ කෙරුම්කාරයා වන නියුට්‍රොෆිලයි.
මරාගෙන මැරෙන බෝම්බකරුවෝ සහ බුද්ධි අංශය
නියුට්‍රොෆිල (Neutrophils) කියන්නේ තවත් සුදු රුධිර සෛල විශේෂයක්. මෙයාල සාමාන්‍ය විදිහට රුධිර නාළවල ගමන් කරනවා. මැක්‍රෝෆේජ්ලා දැනුම් දීමක් කරපු වහාම රුධිර සෛලවලින් එළියට ඇවිත් යුද පිටියට වාර්තා කරන්න මෙයාලට පුළුවන්. මේ අය “Born to Kill” කට්ටියක් විදිහටයි හැසිරෙන්නේ. කිසිම සමාවක් නැතුව හතර අතට එයාලගේ රසායනික ද්‍රව්‍ය පිට කරනවා. ඒවාවල ගැටෙන බැක්ටීරියා විනාශ වෙලා යනවා. බැක්ටීරියා විතරක් නෙමෙයි අපට අවශ්‍ය සෛල වුණත් ඉවක් බවක් නැති මෙයාලගේ ප්‍රහාර නිසා විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා නියුට්‍රොෆිලවල ආයු කාලය දින 5කට සීමා වෙන්නේ ස්වාභාවිකව ම යි. එතකොට අපිට අවශ්‍ය සෛල විශාල ප්‍රමාණයක් විනාශ වීම වැලකෙනවා.
සමහර නියුට්‍රොෆිල විනාශ වෙද්දී සෛල තරලය පිටතට නිදහස් කරනවා. මේවා සමන්විත වෙන්නෙ එයාලගෙ ම DNAවලින්. ඒ නිසා මේ රසායනික ද්‍රව්‍යවල ගැටෙන බැක්ටීරියාත් විනාශ වෙනවා. නියුට්‍රොෆිල සෛලයකට වඩා ලොකු ප්‍රදේශයක විනාශ වුණු නියුට්‍රොෆිලයක් පැතිරෙන නිසා බැක්ටීරියා කීපයක් ම විනාශ කරන්න මේ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට පුළුවන්.
ප්‍රතිශක්තිකරණ පද්ධතියේ බුද්ධි අංශය විදිහට ක්‍රියාකරන්නේ ඩෙන්ඩ්රිටික් සෛල (Dendritic Cells) යි. සහජ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සතුරන් සමඟ සටන් කරද්දී ඒ යුද පිටියේ ම රැඳිලා ඉන්න මේ සෛල විශේෂය මගින් කරන්නේ සතුරු බැක්ටීරියාවේ සාම්පල් එකක් හෝ කීපයක් ලබා ගැනීම විතරයි. බැක්ටීරියාව ගිලගෙන එය කුඩා කොටස්වලට විච්චේදනය කරලා ඒ කොටස්වලින් තම සෛලය සැරසීමක් මේ ඩෙන්ඩ්රිටික් සෛලවලින් කරනවා. හරියට ගෝත්‍රිකයෙක් තමන් මරපු ව්‍යාඝ්‍රයන් ගණන අනෙක් අයට පෙන්වන්න උන්ගේ දත්වලින් මාලයක් සකස් කරගන්නවා වගේ.
ඩෙන්ඩ්රිටික් සෛල බුද්ධි අංශය
ඩෙන්ඩ්රිටික් සෛල මේ කාර්යය කරන්නේ නියුට්‍රොෆිලවලටත් සතුරු ආක්‍රමණය මර්දනය කරන්න බැරි වුණොත් විතරයි. ඒ කියන්නේ අපේ සහජ ප්‍රතිශක්තිකරණ පද්ධතියට සතුරා විනාශ කරන්න බැරි වුණා කියන එක. මේ නිසා මීළඟ පියවර විදිහට අපේ අනුවර්තක ප්‍රතිශක්තිකරණ පද්ධතිය (Adaptive Immune System) ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වෙනවා. ඒ පද්ධතිය ක්‍රියාකරවන්න පළමු පියවර ඉටු කරන්නේ ඩෙන්ඩ්රිටික් සෛල මගින්. මෙයාලට බුද්ධි අංශය කියලා හඳුන්වන්න හේතු වෙන්නේ සතුරාට පහර දෙන්න ගැළපෙන ම ආයුධය තෝරා ගන්න අවශ්‍ය බුද්ධි තොරතුරු බැක්ටීරියාවේ සාම්පලයෙන් ලබා ගන්නා නිසයි.
බුද්ධි තොරතුර රැගෙන යන කාර්යයත් කරන්නේ මේ ඩෙන්ඩ්රිටික් සෛලය ම යි. එයාලා බැක්ටීරියා සාම්පල ලබා ගත්තායින් පස්සේ ඇතුළු වෙන්නේ අපේ වසා පද්ධතියට. වසා පද්ධතියේ මගින් තමයි අපේ සියලු ම පටක කොටස් වසා ගැටිති හා සම්බන්ධ කරන්නේ. වසා ගැටිති කියන්නේ හරියට ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ප්‍රධාන මුලස්ථාන වගේ. අණදෙන නිලධාරීන් ඉන්නේ මේ මුලස්ථානවල. ඒ නිසා ඩෙන්ඩ්රිටික් සෛල, වසා පද්ධතිය ඔස්සේ වසා ගැටිතිවලට ගමන් කරනවා. බැක්ටීරියා ගැන බුද්ධි තොරතුරු විශේෂිත අණදෙන නිලධාරියකුට ලබා දීම එම සෛල මගින් කරනවා. මේ ගමනට දවසක් වගේ කාලයක් වෙනවා.
අණ දෙන නිලධාරීන් සටන් මෙහෙයවන හැටි
මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ T Helper සෛල තමයි අණදෙන නිලධාරීන් විදිහට හඳුන්වන්නේ. ඇත්තට ම සාමාන්‍ය හමුදාවක අණදෙන නිලධාරීන් එක හා සමාන රාජකාරි පවරපු පිරිසක් වුණාට මේකෙදි නම් එක් එක් වර්ගයේ සතුරන් සඳහා වෙන වෙන ම විශේෂිත අණ දෙන නිලධාරීන් ඉන්නවා. ඒ කියන්නේ එක් T Helper සෛලයක් දන්නේ එක් ආකාරයක බැක්ටීරියාවක් හෝ වෛරසයකට එරෙහි ව සටන් කරන ක්‍රමවේදය විතරයි. වැඩේට හරියන ම කෙනා හඳුනා ගන්නේ ඩෙන්ඩ්රිටික් සෛලය මගිනුයි. එය සතු ව තියෙන අඬු කොටස්වලින් T Helper සෛල එකින් එක ස්පර්ශ කර බැලීම කරනවා. අඬුවල රැඳුණු බැක්ටීරියාවේ කොටස්වලට මොනයම් හෝ T Helper සෛලයක් ප්‍රතිචාර දැක්වුවොත් එය තමයි අදාළ බැක්ටීරියාව මර්දනයට ගැළපෙන ම කෙනා වෙන්නේ.
T Helper සෛලය ස්වභාවයෙන් ම අක්‍රීයවයි පවතින්නේ. එයාලා අර බැක්ටීරියා කොටස හඳුනා ගත්තා ම ඩෙන්ඩ්රිටික් සෛලය මගින් සක්‍රීය කිරීමක් කරනවා. ඊට පස්සේ T Helper සෛලය වැඩ පටන් ගන්නවා. හැබැයි ගොඩාක් හෙමීට. මුලින් ම වෙන්නේ එයාල තමන්ගේ ම ක්ලෝන දහස් ගණනින් නිර්මාණය කිරීම. වසා ගැටිතිවල මේ ක්‍රියාවලිය වෙද්දී තමයි ඒවා ඉදිමීමට ලක්වෙලා අපට රිදීමක් ඇති වෙන්නේ. එහෙම නිර්මාණය වුණු ක්ලෝන කණ්ඩායම් දෙකකට බෙදෙනවා.
ඩෙන්ඩ්රිටික් සෛලය
එක කණ්ඩායමක් සටන් බිමට ගිහින් ඒ වෙද්දී සටන අතෑරලා දුර්වල වෙලා ඉන්න මැක්‍රෝෆේජ් සෛල නැවත රසායනික ව උත්තේජනය කරනවා. මැක්‍රෝෆේජ් සෛල මේ වෙද්දී බැක්ටීරියා භක්ෂණයේ උපරිම සීමාවට ඇවිත් නිසා ඒවගේ පොඩි කීද්දීමක් අවශ්‍යයි. මේ කීද්දීම බැක්ටීරියාව පරදන්න අවශ්‍ය හොඳ ම ක්‍රමය කියාදීමකුත් වෙනවා. මොකද මේ අණ දෙන නිලධාරීන් තමයි ඒ බැක්ටීරියා විනාශ කරන්නට ම විශේෂ වූ අය. ඉතින් මැක්‍රෝෆේජ් සෛල නැවතත් ක්‍රියාත්මක වෙලා වඩා දරුණු විදිහට බැක්ටීරියා එක්ක සටන් කරනවා.
අනෙක් අණ දෙන නිලධාරී කණ්ඩායම යන්නේ අපේ ශරීරයේ ආයුධ නිපදවන කම්හල් හම්බෙන්න. මේ අය හඳුන්වන්නේ B සෛල හෙවත් B ලිම්ෆොසයිට (lymphocyte) කියලයි. මේගොල්ලෝ නිපදවන ආයුධවලට තමයි අපි ප්‍රතිදේහ (antibodies) කියලා කියන්නේ. මේවා ඉතා කුඩා ප්‍රෝටීන් අණු විශේෂයක්. Y අකුරේ හැඩයට සකස් වෙලා තියෙන මේගොල්ලෝ බැක්ටීරියාවේ හෝ වෛරසයේ පිටත පෘෂ්ඨයේ සවි වෙනවා. ඒකෙන් එයාලගේ ගමනාගමනයත් සෛලවලට බැඳීමත් අවහිර කරනවා. ඒ වගේම සලකුණු කිරීමකුත් කරනවා.
එතකොට මැක්‍රෝෆේජ් සෛල මගින් සතුරා හඳුනාගෙන පහර දීම පහසුයි. B සෛලත් හරියට T Helper සෛල වගේම වෙනස් වෙනස් බැක්ටීරියා හෝ වෛරසවලට වෙනවෙන ම සැකසිලා තියෙන්නේ. මේ නිසා එක වර්ගයක T Helper සෛලයක් සක්‍රීය කරන්නේ එක වර්ගයක B සෛල විතරයි. B සෛල සක්‍රීය වුණාමත් ක්ලෝන වීමක් සිදුවෙලා ඉන්පස්සේ තමයි ප්‍රතිදේහ නිකුත් කිරීම පටන්ගන්නේ. ප්‍රතිදේහ 2000ක් විතර මේ එක B සෛලයකින් හැදෙනවා.
සටන අවසන් කිරීම
ප්‍රතිදේහ සටන් බිමට එන්න දවස් 2 – 3ක් ගතවෙනවා. එහෙම ඇවිත් කලින් සඳහන් කළා වගේ මැක්‍රෝෆේජ් සෛල එක්ක එකතු වෙලා බැක්ටීරියා පරදන්න සටන් කරනවා. අන්තිම බැක්ටීරියාවත් විනාශ වුණාට පස්සේ මැක්‍රෝෆේජ් සෛල සහ නියුට්‍රොෆිල ස්වයං විනාශ වීම සිද්ධ වෙනවා. මොකද එයාල තවදුරටත් අවශ්‍ය නොවීම නිසා. නමුත් අපේ ඇට මිදුළුවල මෙයාලා අලුතින් නිෂ්පාදනය වීම දිගට ම සිදුවෙනවා. යුද සෙබළුන් වගේම අණ දෙන නිලධාරීන් කණ්ඩායමත් විනාශ වෙනවා. හැබැයි කීප දෙනෙක් ඉතුරු වෙන විදිහට. මේ ඉතුරුවෙන අය අක්‍රීය මතක T Helper සෛල බවට පත්වෙනවා. තවත් වතාවක ඒ සතුරා ම ආයෙත් ඇඟට ඇතුළු වුණොත් ඩෙන්ඩ්රිටික් සෛලය මගින් නැවත අවදි කරලා කලින්ට වඩා ඉක්මනට සක්‍රීය වීම සිද්ධ වෙනවා.
B සෛලවලත් ක්ලෝන කීපයක් සක්‍රීය ව ඉතිරි වෙනවා. එයාලා කලින් තරම් ම නැති වුණත් සුළු ප්‍රමාණයෙන් ප්‍රතිදේහ නිපදවමින් තව කාලයක් යනකන් සක්‍රීය ව ඉන්නවා. සමහර විට ඒ අය අපි වයසට ගිහින් මැරෙනකන් වුණත් ඉන්න පුළුවන්. ඒ නිසයි සමහර අසනීප ජීවිත කාලෙට ම එකවරක් විතරක් වැලදෙන්නේ. අදාළ වෛරසය හෝ බැක්ටීරියාව ඇතුළු වුණු ගමන් විනාශ කරන්න මේ ප්‍රතිදේහ සැදී පැහැදී ඉන්න එක මීට හේතු වෙනවා.
තුවාලයක් නිසා ඇතුළු වුණු විෂබීජවලට එරෙහි ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ප්‍රතිචාර දැක්වීම ඒ ගැන සරල ව විස්තර කරන්න සමත් වුණත් වෛරසවලට දක්වන ප්‍රතිචාරය මීට වඩා තරමක් වෙනස්. ඇතැම් වෙලාවල්වලදී බාහිර එන්නත්කරණයක සහාය පවා අවශ්‍ය වෙනවා. වෛරස එක්ක සටන ගැන ඉදිරි ලිපියකින් තොරතුරු ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා.