Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අක්මාව ලෙඩ කරන හෙපටයිටිස් ගැන දැන ගනිමු, ආරක්ෂා වෙමු

හෙපටයිටිස් කියන වචනය බොහෝ දෙනෙක් දැනටමත් අසා තිබෙන බවට සැකයක් නැහැ. ඩෙංගු, ඒඩ්ස්, ඉන්ෆ්ලුවෙන්සාව වගේ ශ්‍රී ලංකාවේ නිතරම කතාබහට ලක් වෙන, හැමෝම වගේ දන්නා රෝගයක් නොවුණත් හෙපටයිටිස් කියන්නෙත් ඇත්තෙන්ම ගෝලීය වශයෙන් සැළකිය යුතු ගැටළුවක් බවට පත් වී තිබෙන රෝගයක් බවට සැකයක් නැහැ. හෙපටයිටිස්වල විවිධාකාර ප්‍රභේද ගණනාවක් තියෙනවා වගේම ඒවායින් ඇතැම් ඒවා ජීවිත තර්ජනයක් ඇති කරන්නට පවා සමත් වෙනවා.

සෑම වසරකම ජූලි 28 වැනිදාට යෙදෙන ලෝක හෙපටයිටීස් දිනයට සමගාමීව සෑම රටකම පාහේ දැනුවත් කිරීමේ වැඩපිළිවෙලවල් ක්‍රියාවට නැංවෙන්නේත් ඒ නිසායි. මේ ලිපියෙන් අපි හෙපටයිටීස්වල වෛරස් මගින් ඇති වන ප්‍රභේද ගැනත්, ඒවායේ අනිසි ප්‍රතිඵල ගැනත්, කල් තියා හඳුනා ගන්නා ආකාරය සහ එයින් ආරක්ෂා වෙන ආකාරය පිළිබඳවත් කතා බහ කරනවා.

හෙපටයිටීස් කියන්නේ මොකක්ද?

(lifelength.com)

හෙපටයිටිස් කියන්නේ ඇත්තටම ඉතාම පුළුල් පරාසයක විසිරුණු රෝග ගණනාවක් කියලා හඳුන්වන්න පුළුවන්. පොදුවේ මෙය අක්මාවේ පටක ඉදිමීමට ලක් කරමින් එහි ක්‍රියාකාරීත්වයට බාධා කරන රෝගයක් විදිහට හඳුනා ගත හැකි වුණත් මෙහි විවිධ ප්‍රභේද බෝ වන ආකාරය, ක්‍රියාකාරීත්වය, හානිදායක බව, අවශ්‍ය ප්‍රතිකාර වගේ බොහෝ අංශවලින් වෙනස් වෙනවා.

හෙපටයිටීස් රෝගය පැතිරී යන්න ප්‍රධානතම හේතුව වෛරස වුණත් අධික ලෙස මත්පැන් පානය (දිනකට වීදුරු තුනකට වඩා නිරන්තරයෙන්ම), වෙනත් රෝගවල අතුරු ප්‍රතිඵලයක් ලෙස, විවිධ විෂදායක සංඝටක ශරීර ගත වීම, ඇතැම් බෙහෙත් වර්ග විෂවීම (විශේෂයෙන්ම පැරසිටමෝල් අධික මාත්‍රා නිතර ගැනීම), ප්‍රතිශක්ති පද්ධතියේ ගැටළුත් (විශේෂයෙන්ම ප්‍රතිශක්තිකරණ පද්ධතිය අක්මා සෛලවලට එරෙහිව ක්‍රියා කිරීම) විවිධ හෙපටයිටිස් ප්‍රභේද වැළඳෙන්න හේතු වෙන්න පුළුවන්. ඒ වගේම අධික මත්පැන් භාවිතයට අමතරව වෙනත් හේතු නිසා අක්මාවේ මේද අධික ලෙස තැන්පත් වීම නිසා ඇති වන ඇල්කොහොල් රහිත මේදාශ්‍රිත හෙපටයිටිස් (non-alcoholic steatohepatitis – NASH) ද හෙපටයිටීස් ප්‍රභේදයක් ලෙසයි සැළකෙන්නේ. මීට අමතරවත් තවත් හෙපටයිටීස් ප්‍රභේද ගණනාවක්ම තිබෙනවා.

ලෝකය පුරා මිලියන 500 කට ආසන්න දෙනෙක්ට යම් ආකාරයක හෙපටටිස් ආසාදනයක් තිබීම වගේම වාර්ෂිකව මිලියනයකටත් වඩා පිරිසක් මේ නිසා මිය යෑමත් එහි බරපතල බවට හොඳ සාක්ෂියක්.

රෝග ලක්ෂණ සහ රෝග විනිශ්චය

සෙංගමාලය නිසා සම සහ ඇස් කහ පැහැ වීම. (healthline.com)

රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍ය මහින්ද හේමප්‍රිය මහතාට අනුව හෙපටයිටීස් ආසාදනයෙන් කාලයක් යන තුරුම රෝග ලක්ෂණ දකින්න නොලැබෙන්න පුළුවන්. කෙසේ නමුත් ඇතැම් අයට සෙංගමාලය (කහ උණ) හෙවත් jaundice තත්ත්වයේ ලක්ෂණයක් වන සම සහ ඇස්වල සුදු ඉංගිරියාව කහ පැහැ ගැන්වීම දකින්න ලැබෙනවා. මීට අමතරව උදරයේ නොනවතින වේදනාව, දිගු කාලීන ආහාර අරුචිය, නිතරම වෙහෙසක් හා ශක්තිය අඩු බවක් දැනීම, බඩ සහ දෙපා ඉදිමීම, නිතරම දුඹුරු පාටට හුරු තද පැහැයෙන් මුත්‍රා පිට වීම, මළපහ ඉතාම ලා පැහැයක් ගැනීම වගේ රෝග ලක්ෂණ ඇති වන බවයි වෛද්‍යවරයා ප්‍රකාශ කළේ.

හෙපටයිටීස් ආසාදනයක් තිබෙනවාද යන්න රුධිර පරීක්ෂාවක් මගින් දැන ගත හැකි බවත් වෛද්‍ය හේමප්‍රිය මහතා කියා සිටියා.

වෛරස මගින් බෝ වන හෙපටයිටීස්

මේ ලිපියේදී අපි කතා කරන වෛරස් මගින් බෝ වන හෙපටටිස්වලත් අනු කාණ්ඩ 5 ක් තිබෙනවා. ඒවා තමයි පිළිවෙලින් හෙපටයිටිස් A, හෙපටයිටිස් B, හෙපටයිටිස් C, හෙපටයිටිස් D සහ හෙපටයිටිස් E. මේවා අතරින් හෙපටයිටිස් A සහ E කාණ්ඩ බෝ වීම ප්‍රධාන වශයෙන්ම සිදු වෙන්නේ වෛරසය අඩංගු විය හැකි ජලය සහ ආහාර හරහායි. හෙපටයිටීස් B සහ C දෙකම රුධිරය සහ ශාරීරික තරල මිශ්‍ර වීම මගින් බෝ වන රෝග දෙකක්. හෙපටයිටීස් D වල විශේෂත්වය තමයි එය වැළඳීම සිදු වන්නේ දැනටමත් හෙපටයිටීස් B ආසාදනය වී සිටින අයට පමණක් වීම.

හෙපටයිටීස් A

ශ්‍රී ලංකාව තුළ හෙපටිටීස් A ආසාදනය තරමක් වැඩිපුර දකින්න ලැබෙනවා. හෙපටයිටීස් A වලට තවමත් නිසි ප්‍රතිකාරයක් නොමැති වීම මෙයට එක හේතුවක්. හෙපටයිටිස් A වලට එරෙහිව ක්‍රියා කරන ප්‍රතිදේහය කුඩා දරුවන් තුළ පවතින ප්‍රතිශතයේ යම් අඩු වීමක් තිබෙන බව තමයි දකින්න ලැබෙන්නේ. 2001 දී සිදු කරන ලද පර්යේෂණයට අනුව රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිටි දරුවන් 288 කින් 33 දෙනෙකුගේ රුධිරයේ පමණක් මේ ප්‍රතිදේහය ඇති බව සොයාගෙන තිබුණා. මෙය ශ්‍රී ලංකාව තුළ වරින් වර හෙපටයිටීස් A පැතිරී යාමට හේතු වෙන්න ඉඩ තිබෙනවා. නීරෝගී පුද්ගලයන් හැමෝටම වගේ මෙයින් සුවය ලබන්නට හැකි වුණත් ඇතැම් වෙනත් රෝග තත්ත්ව උත්සන්න වීමේ අවදානම නම් තිබෙනවා.

(healthlineblog.com)

හෙපටයිටීස් B

හෙපටයිටීස් B තරමක් භයානක රෝගයක්. මෙයට ප්‍රධාන හේතුව වන්නේ එය දිගු කාලීන තත්ත්වයට ගිය පසුව සුව කරන්නට නොහැකි වීමයි. කොහොම නමුත් හෙපටයිටීස් B වලින් ආරක්ෂා වීමට එන්නතක් පවතිනවා. 2003 අවුරුද්දේ සිට ශ්‍රී ලංකාව තුළ හෙපටයිටීස් B එන්නත සියලුම දරුවන්ට නොමිලේම ලබා දීම ආරම්භ කෙරුණා. මේ නිසා සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකාව පුරාම බැලුවාම හෙපටයිටීස් B අවදානම තියෙන්නේ බොහොම අඩු මට්ටමක බව පෙනෙන්න තිබෙනවා. කෙසේ නමුත් රටේ ඇතැම් ප්‍රදේශවල තරමක් ඉහළ ආසාදන මට්ටමක් දැක ගන්න පුළුවන්. හෙපටයිටීස් D වැළඳෙන්නත් හෙපටයිටීස් B පැවතීම හේතු වන නිසා වඩාත් ප්‍රවේශම් විය යුතුයි. හෙපටයිටීස් B එන්නත අනිවාර්යයෙන්ම ලබා ගැනීම තමයි ඉතාම සුදුසු වෙන්නේ.

හෙපටයිටීස් C

හෙපටයිටීස් C කියන්නේ ඉතාම භයානක රෝගයක්. නිසි ප්‍රතිකාර නොලැබුණොත් ඉතා පහසුවෙන්ම මෙය දිගු කාලීන අක්මා ආබාධවලට හේතු වෙන්න පුළුවන්. හෙපටයිටීස් C ආසාදනය දිගු කාලීන තත්ත්වයට යාමේ අවදානම 85% කටත් වඩා ඉහළයි. අක්මා ආබාධවල විනාශකාරීම අවස්ථාවක් වන සිරෝසීස් (cirrhosis) සහ අක්මාවේ පිළිකා පවා අතුරු ආබාධ ලෙස ඇති කරන්න කල්පවතින තත්ත්වයට පත් වූ හෙපටයිටීස් C ආසාදනයකට ඉහළ හැකියාවක් තිබෙනවා. කෙසේ නමුත් මුල් තත්ත්වයේදී ප්‍රතිකාර මගින් සුව කරන්න තිබෙන හැකියාව නිසා මේ අවදානමෙන් බේරෙන්න හැකියාව තිබෙනවා.

හෙපටයිටීස් E ශ්‍රී ලංකාවේ දකින්න ලැබෙන්නේ ඉතාම සුළු වශයෙන්.

හෙපටයිටීස්වල භයානක කම සහ එය අක්මාවට හානි කරන ආකාරය

රුධිර සහ ශාරීරික තරල නිසා බෝ වෙන්න ඉඩ තිබෙන හෙපටයිටීස් B සහ C ගැන විශේෂයෙන්ම ප්‍රවේශම් වීම අවශ්‍යයි. හැම අතින්ම පාහේ ලිංගිකව බෝ වන රෝග විදිහටත් මේ දෙක සළකන්න පුළුවන්. මීට අමතරව රුධිර පාරවිලනයේදී ආසාදිත රුධිරය ශරීරගත වීමෙන්, එන්නත් කටු ආදිය කිහිප දෙනෙකු භාවිත කිරීමෙන් (විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය එන්නත් කර ගැනීම) සහ ජීවානුහරණය නොකළ පච්චා කොටන කටු භාවිතයෙන් මේ රෝග දෙකම තවත් අයෙකුට බෝ වෙන්න හැකියාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ආසාදිත මවකගෙන් දරුවාට පවා බෝ වීමට හෙපටයිටීස් B වලට ඉහළ හැකියාවක් තිබෙනවා. (හෙපටයිටීස් C මෙසේ බෝ වීමේ ප්‍රවණතාව සාපේක්ෂව අඩුයි)

ජීවානුහරණය නොකළ පච්ච කොටන උපාංග හෙපටයිටීස් ආසාදනය වීමට හේතු වෙන්න පුළුවන්. (foxnews.com)

හෙපටයිටීස් ආසාදනය මගින් ඍජුවම අක්මාවට විශාල බලපෑමක් සිදු වෙනවා. අධික ලෙස අක්මා සෛල මිය ගොස් අක්මාවේ ක්‍රියාකාරීත්වය මුළුමනින්ම අඩපණ කරන්න මේ වෛරසවලට හැකියි. හෙපටයිටීස් වෛරස මගින් ඍජුවම අක්මා සෛල විනාශ නොකළත් අක්මාව ආසාදනය වීමත් සමගම අපේම ප්‍රතිශක්තීකරණ පද්ධතිය අක්මාවේ ආසාදිත සෛල ආගන්තුක ද්‍රව්‍යයන් ලෙස සලකා විනාශ කර දමන්න පටන් දන්නවා.

මේ විදිහට ප්‍රතිශක්තීකරණ පද්ධතියෙන් ඇති වන ප්‍රතික්‍රියාව ඉතා ශක්තිමත් එකක් නම් අක්මාවේ සෛලවලින් කොටසක් විනාශ වී වෛරසය ඉවත් වෙන්න ඉඩක් තිබෙනවා. උග්‍ර අක්මා ආසාදනයක් වුණත් මෙයින් වෛරසය මර්ධනය වන නිසා යම් කාලයකට පසු සුවය ලබා ගන්න පුළුවන්. නමුත් දුර්වල ප්‍රතික්‍රියාවක් ඇති වුණොත් වෛරසය සම්පූර්ණයෙන් මර්ධනය නොවන නිසා කාලාන්තරයක් තිස්සේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය සහ අක්මාව අතර සටන පවතින්න පුළුවන්. මේ විදිහට හානියට ලක් වන සෛල ප්‍රමාණය ප්‍රතිස්ථාපනය නොවී ගොඩ ගැසීම නිසා කාලයක් යනකොට අක්මාවේ ක්‍රියාකාරීත්වය දුර්වල වී යන්න පුළුවන්. ඒ තත්වයට ගිය විට අනිවාර්යයෙන්ම අක්මා බද්ධයක් කිරීමට සිදු වෙනවා. ඇතැම් විට අක්මාවේ පිළිකා තත්ත්ව ඇති වීමට, වෙනත් රෝග උත්සන්න වෙන්න වගේම සමහර විට මරණය පවා ගෙන දෙන්නත් හෙපටයිටීස් ආසාදනයකට හැකියි.

ප්‍රවේශම් වෙමු

(magazinedelledonne.it)

මේ තත්ත්වයේ භයානක කම ගැන දැන් ඔබට හොඳ අදහසක් ඇති. නිතරම ප්‍රවේශම් වීම ඉතාම වැදගත් වෙනවා. මෙතෙක් ලබා ගෙන නැති නම් අනිවාර්යයෙන්ම හෙපටයිටීස් B එන්නත ලබා ගැනීමට ක්‍රියා කරන්න. ලිංගික කටයුතුවලින් බෝ වෙන්න තියෙන ඉඩකඩ අවම කරගන්නට නිතරම කටයුතු කරන්න. මත්ද්‍රව්‍ය එන්නත් කරන කටු හුවමාරු කර ගැනීමෙන් වළකින්න. විශේෂයෙන්ම පච්චා කොටන අවස්ථාවල අදාළ උපකරණ නිසියාකාරව ජීවානුහරණය කර ඇත්දැයි විමසිලිමත් වන්න. මීට අමතරව වෛරස් මගින් බෝ නොවන අනෙක් හෙපටයිටීස් ප්‍රභේදවලිනුත් ආරක්ෂා වෙන්න මත්පැන් භාවිතය අවම කිරීම, නිතරම පැරසිටමෝල් ලබා නොගැනීම ආදිය ගැන සැළකිලිමත් වීමත් ඉතා වැදගත්.

ඉතින් මේ ජූලි 28 වැනිදාට යෙදෙන ලෝක හෙපටයිටීස් දිනයේදී මේ සියලු කාරණා ගැන අලුත් වටයකින් විමසිලිමත් වන්න ඔබත් කටයුතු කරන්න.

කවරයේ රූපය : ajp.com.au

Related Articles