Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විෂ කිරිපිටි සිදුවීම හමුවේ චීනය ක්‍රියාකළ හැටි

2008 වර්ෂයේ ජුනි මස අග භාගයේ දී චීනයේ මෞත්‍ර ලිංගික රෝග සම්බන්ධ වෛද්‍යවරයෙකු වූ ෂැං වෙයි, දින දහයක් ඇතුළත එකම රෝග ලක්ෂණ පෙන්වූ ළදරුවන් හතර දෙනෙකුට වකුගඩුවල හටගත් ගල් සඳහා  ප්‍රතිකාර කරමින් සිටියා. මාස දහයක් පමණ වයසැති ළදරුවෙකු පවා ඒ අතර සිටි බව සඳහන්. වෛද්‍යවරයාගේ අත්දැකීම් අනුව ළදරුවන් අතර වකුගඩුවල ගල් හටගැනීම තරමක් දුර්ලභ සිදුවීමක් වන අතර, එයා ඉතා වේදනාකාරී රෝගී තත්ත්වයක් ද වෙනවා.

“වෛද්‍යවරයෙකු ලෙස මම මේ සිදුවීමෙන් සසල වුණා. මේ සිද්ධීන් පිටුපස කිසියම් වූ පොදු හේතුවක් තිබෙන බව මට හැඟී ගියා”

වෛද්‍යවරයා තම අත්දැකීම පසුකලෙක එලෙසින් පුවත්පතකට පවසා තිබුණා.

ඉතිහාසය තුළ ආහාර සු‍රක්ෂිතභාවය සම්බන්ධයෙන් චීනය මුහුණ දුන් විශාල අභියෝගයක මූලාරම්භය දුටු මිනිසුන් අතරට එදා වෛද්‍ය ෂැං ද ඇතුළත් වුණා. අවසානයේ දී ළදරුවන් හය දෙනෙකුගේ ජීවිත බිලිගත්, ළදරුවන් 300,000කට වැඩි සංඛ්‍යාවක් රෝගාතුර කරන්න තරම් සමත් වූ මේ අපකීර්තිමත් සිදුවීම, චීනය තුළ සිදුවූ තවත් එක් ජාතික ව්‍යවසනයක් බවට පත්වුණා.

මෙලමයින් අඩංගු කිරිපිටි ලබාදුන් ළදරුවන්ට ලබා දුන් දෙමව්පියන් දහස් ගණනක් චීනයේ රෝහල් වෙත පැමිණීමට පටන් ගත්තා/welt.de/

එම වසරේ ජූලි මස මැදභාගය වෙද්දී, රෝගී ළදරුවන් ගණන කැපී පෙනෙන වැඩි වෙමින් පවතින බව නිරීක්ෂණය කළ වෛද්‍ය ෂැං, ඒ බව රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයාහට දැනුම් දුන්නා. ඔහු මෙම තත්ත්වය ගැන ගන්සු ප්‍රදේශයේ වයඹ දිග පළාත භාර ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යංශය වෙත වාර්තා කළා. එතනින් මේ ගැන ජාතික සෞඛ්‍ය කාර්යංශය ද දැනුම්වත් කළා. නමුත් සිදුවූයේ කුමක්දැ යි කිසිවෙකුට සිතාගත නොහැකි වුණා. ළදරුවන් පරිභෝජනය කරනා කිරිපිටි කෙරෙහි ඒ වන විටත් සැකය එල්ල වී තිබුණත්, ඒ සියලු කිරිපිටි සාම්පල තත්ත්ව පරීක්ෂාවන්ගෙන් සමත් වී තිබුණා. 

මේ සියලු සිදුවීම් මධ්‍යයේ, තවත් දින කිහිපයකින් පැවැත්වීමට නියමිතව තිබූ බීජිං ඔලිම්පික් උළෙල වෙනුවෙන් චීනය කාර්යබහුල වී සිටියා. නමුත් ඉන් මාස දෙකකට පසුව චීනය ජාතික ආහාර සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කළ අතර, ළදරුවන් මෙලෙස රෝගී වීම පිටුපස මෙලමයින් නම් රසායනික සංයෝගයේ බලපෑම තිබෙන බවත්, ළදරුවන්ගේ පෝෂණ අවශ්‍යතා සඳහා නිපදවන කිරිපිටිවල මෙම රසායනිකය කෙසේ හෝ ඇතුළත් වී ඇති බවත්, ඔවුන් පසුව අනාවරණය කරගත්තා.

මෙලමයින් ගැන දැනගනිමු

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල වෙබ් අඩවියේ සඳහන් පැහැදිලි කිරීම්වලට අනුව මෙලමයින් යනු සුදු පැහැ ස්ඵටික ලෙස පවතින, නයිට්‍රජන්වලින් පොහොසත් වූ කාබනික රසායනික සංයෝගයක්. ප්ලාස්ටික් නිෂ්පාදන, පිඟන් භාණ්ඩ, මැලියම් නිෂ්පාදන වැනි දෑහි මෙලමයින් භාවිතා වෙනවා.

කිරිවල පරිමාව වැඩි කිරීම සඳහා ජලය එකතු කිරීමෙන් කිරි අපමිශ්‍රණයට ලක් කිරීම ඇතැම් අවස්ථාවල සිදු වෙනවා. එමඟින් කිරිවල අඩංගු ප්‍රෝටීන් සාන්ද්‍රණය අවමවීම නිසා කිරිවල ගුණාත්මකභාවයත් අඩු වෙනවා. කිරිවල නයිට්‍රජන් අන්තර්ගතය මනින පරීක්ෂණයක් හරහා එහි ප්‍රෝටීන් මට්ටම පරීක්ෂා කරද්දී මේ බාල ප්‍රමිතිය හෙළිවන්නට හැකියි. එනිසා ළදරු කිරිපිටි වැනි නිෂ්පාදනයන් සඳහා අමුද්‍රව්‍යයක් ලෙස බාල තත්ත්වයේ කිරි භාවිතා කරන ඇතැම් නිෂ්පාදනකරුවන් කිරිවලට මෙලමයින් එකතු කිරීමෙන් කිරිවල නයිට්‍රජන් අන්තර්ගතය කෘතිම ලෙස වැඩි කරන අතර, මේ හේතුවෙන් ප්‍රෝටීන් අන්තර්ගතය නියමිත මට්ටමින් පවතින බව ව්‍යාජ ලෙස පෙන්වන්න පුළුවන්.

මෙලමයින් මිශ්‍රිත කිරිපිටි වහාම වෙළඳපොළින් ඉවත්කොට විනාශ කිරීමට චීන රජය උත්සුක වුණා/dailymail.co.uk/

සතුන් යොදාගෙන කළ පරීක්ෂණවල දී මෙලමයින් මුත්‍රාශයේ ගල් ඇති කිරීමට හේතු වන බව අනාවරණය වී තිබෙනවා. මෙලමයින් කුඩුවල අඩංගු විය හැකි සයනුරික් අම්ලය නිසා මෙලමයින් ස්ඵටික සෑදීම සිදු වෙනවා. මුත්‍රාශයේ ගල් සෑදීම සඳහා මූලිකවම හේතු වන්නේ මේ ස්ඵටික බවට පත් වූ මෙලමයින්.

මෙම කුඩා ස්ඵටික මඟින් වකුගඩුවල ඇති කුඩා නාල අවහිර වන අතර, මුත්‍රා නිෂ්පාදනය අඩාල වී වකුගඩු අකර්මණ්‍ය වීම සිදුවෙනවා. මේ හේතුවෙන් මෙලමයින්  මිනිසාට මරණීය බලපෑම් ඇති කරන රසායනිකයක් මෙන්ම, සතුන්ට පිළිකාකාරක තත්ත්වයන් ඇති කිරීමටත් හේතු වන බව අනාවරණය කරගෙන තිබෙනවා. නමුත් මෙලමයින් හමුවේ මිනිසුන්ට පිළිකා අවදානමක් ඇති වන බවට විනිශ්චය කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂ්‍ය හමුවී නැති බව කියවෙනවා.

සන්ලු වරදකරු වෙයි

කිරිපිටිවල මෙලමයින් නම් රසායනිකය අඩංගු වීමේ චෝදනාව සෘජුවම එල්ලවූයේ චීනයේ ප්‍රමුඛ පෙළේ දේශීය කිරිපිටි නිෂ්පාදකයෙක් වූ සන්ලු සමාගමට යි. ඔවුන් ඒ වන විට නවසීලන්තයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් සමග තම ව්‍යාපාර හවුලේ පවත්වා ගෙන ගියා. සිදුවීම සැළවීමත් සමග නවසීලන්ත පාර්ශවයේ විධායක නිලධාරීන් කිහිපදෙනෙකු වහාම චීනයට පැමිණියා. බීජිං ඔලිම්පික් උළෙල ආරම්භවීමට දීන කිහිපයකට මත්තෙන් මෙවැනි ආන්දෝලනාත්මක සිදුවීමක් ඇතිවීම ගැන එදා චීන රජය කණස්සල්ලට පත්වී සිටියා. ඒ නිසා කිරිපිටි ගැටලුව පමණට වඩා සමාජගත නොවන ආකාරයෙන් ක්‍රියා කිරීමට චීන බලධාරීන් කටයුතු කළා. සන්ලු සමාගම සහ ඔවුන්ගේ නවසීලන්ත හවුල් පාර්ශවය ගැටලුව සම්බන්ධයෙන් ක්‍රියා කරමින් සිටියත්, චීනයේ විශාලතම කිරිපිටි නිෂ්පාදකයෙක් ලෙස සන්ලු සමාගම පාරිභෝගිකයන් අතර ප්‍රසිද්ධව සිටි නිසා චීනයේ දෙම්ව්පියන් බොහෝමයක් මේ හානිකර කිරිපිටි තම දරුවන්ට ලබා දී තිබුණා.

දේශිය කිරිපිටි වලට විකල්පයක් වශයෙන් විදේශීය කිරිපිටි කෙරෙහි චීන ජනයා යොමු වුණත්, ගැටළුව විසදුණේ නැහැ/http://www.china.org.cn/opinion/2013-08/12/content_29689761.htm

කෙසේ හෝ මෙම පුවත චීනයේ සාමාන්‍ය මිනිසුන්ට සැළවීමත් සමග දෙමාපියන් රාශියක් තම දරුවා රැගෙන රෝහල්වලට පැමිණීමට පටන් ගත්තා. මෙලමයින් රසායනිකය හේතුවෙන් වකුගඩුවල ගල් හටගත් ළමුන් 54,000ක් පමණ සොයා ගැනීමට චීන සෞඛ්‍ය බලධාරීන් සමත් වුණා. පසුව රජය මැදිහත්වීමෙන් සිදු කළ පරීක්ෂණවල ප්‍රතිඵලවලට අනුව, මෙම කිරිපිටි ගැටලුව සන්ලු සමාගමට පමණක් සීමා නොවන බව අනාවරණය වුණා. ඒ අනුව රට පුරා කිරි ආශ්‍රිත නිෂ්පාදන කටයුතු කරන සමාගම් 20ක පමණ නිෂ්පාදන මෙලමයින් මඟින් දූෂණය වී ඇති බව සොයා ගැනුනා. චීනයේ ප්‍රමුඛ පෙළේ රසකැවිලි නිෂ්පාදකයෙකුගේ නිෂ්පාදනවලත් මෙලමයින් කුඩා ප්‍රමාණවලින් අඩංගුව ඇති බව සොයා ගැනීමෙන්, මෙම ගැටලුව සිතුවාටත් වඩා පැතිරී ගිය එකක් බව චීන බලධාරීන්ට අවබෝධ වුණා.

චීන කිරිපිටි කර්මාන්තය කඩා වැටේ

ආහාර සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් බරපතල අවිශ්වාසයක් චීනය තුළ ඇති කිරීමට සමත් වූ මේ සිදුවීම ඉදිරියේ පරිපාලනය ඉතා දැඩි පියවර ගැනීමට උත්සුක වුණා. ඒ අනුව සන්ලු සමාගමේ විධායක නිලධාරීන් සහ අතරමැදියන් විසිඑක් දෙනෙකුට ෂිජියාෂුවාං උසාවියේ පැවැති නඩු විභාගයේ දී දඩුවම් නියම වුණා. එයින් දෙදෙනෙකු මහජන ආරක්ෂාව අනතුරේ හෙළීම, විෂ සහිත ආහාර නිපදවීම, සහ විකිණීම යන චෝදනාවන් යටතේ මරණ දණ්ඩනයට නියම වුණා.

මෙලමයින් ප්‍රශ්නය සැලවූ විගස චීනයට පැමිණි සන්ලු සමාගමේ නවසීලන්ත පාර්ශවය, මෙලමයින් මඟින් දූෂිත වූ කිරිපිටි වෙළඳපොළෙන් ඉවත් කරමින් තම නිෂ්පාදනවල සුරක්ෂිතභාවය ගැන සහතිකයක් ලබා දෙන බව පොරොන්දු වුණත්, චීන රජය එයින් සෑහීමට පත් වුණේ නැහැ. ඒ වෙනුවට අදාළ නවසීලන්ත හවුල්කාර සමාගම ඇතුළු විදේශිය කිරිපිටි නිෂ්පාදන සමාගම් කිහිපයක නිෂ්පාදන චීනය තුළ තහනම් කිරීමට චීන බලධාරීන් පියවර ගත්තා.

සන්ලු සමාගමේ විධායකයන් රැසකට චීන අධිකරණයේ නඩු පැවරුණ අතර, දෙදෙනෙකුට මරණ දඩුවම හිමි වුණා/reuters.com/

කෙසේ නමුත් ගැටලුව එතනින් නතර වුණේ නැහැ. පාරිභෝගිකයන්ගේ අවිශ්වාසය නිසා චීනයේ කිරිපිටි නිෂ්පාදනය ගැටලු රැසකට මැදි වූ අතර, චීනයේ කිරිපිටිවලට තිබූ දේශිය සහ විදේශිය ඉල්ලුම සම්පූර්ණයෙන්ම වාගේ කඩා වැටුණා. මේ හේතුවෙන් චීනයේ මිනිසුන්ට තම කිරිපිටි අවශ්‍යතාවය සඳහා විදේශීය නිෂ්පාදන වෙත හැරුනෙන්, කිරිපිටි ආනයනය වෙනුවෙන් චීනයට දැරීමට සිදු වූ පිරිවැය සැලකිය යුතු මට්ටමකින් වැඩි වූ අතර අපනයන ආදායම පහතට වැටුණා. නමුත් ඉතා කෙටි කලකින් ආනයනික කිරිපිටි මේ ගැටලුවට හොඳම විසඳුම නොවන බව චීන ජනයා අවබෝධ කර ගත්තා. සන්ලු දේශිය කිරිපිටි සමාගම සමග හවුලේ ව්‍යාපාර කටයුතු කරගෙන ගිය නවසීලන්ත සමාගමටත් මේ අපකීර්තියෙන් මිදීමට නොහැකි වූ නිසා පාරිභෝගික අවිශ්වාසය විදේශිය සමාගම්වලටත් එල්ල වෙන්න පටන් ගත්තා.

ලොව වැඩිම ජනගහනයකින් යුත් රාජ්‍යය ලෙස කිරිවලින් ස්වයංපෝෂිත වීම චීනයට ඉතා අසීරු යි. එමෙන්ම පාරිභෝගික විශ්වාසය දිනාගනිමින් පිටිකිරි වෙළඳපොළ අත්පත් කර ගැනීමට දේශීය නිෂ්පාදකයින් අපොහොසත් වුණා. නමුත් මේ දුෂ්කරතාවන් ඉදිරියේ චීනය නැවත නවසීලන්ත නිෂ්පාදන දෙස හැරීමට බලාපොරොත්තු වුණේ නැහැ. ඒ වෙනුවට, සන්ලු සමාගමේ සිද්ධියට හවුල්කරුවන් වූ නවසීලන්ත පාර්ශවයට බලවත් විරෝධයක් දැක්විය යුතු බව චීන රජය තම පුරවැසියන්ට දැනුම් දුන්නා. ඒ වගේම නවසීලන්ත කිරිපිටි නිෂ්පාදනවලට දැඩි කොන්දේසි පැනවීමටත් චීනය ක්‍රියා කළ බව සඳහන්. ඒ අනුව දීර්ඝ කාලීන සැලැස්මක් යටතේ චීන කිරිපිටි වෙළඳපොළ නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමට චීනය තීරණය කළා.

ප්‍රායෝගික ගැටලු මධ්‍යයේ පිළියම් සෙවීම

පසුකාලීනව චීන වෙළඳ අමාත්‍යංශය දේශීය සහ විදේශීය ළදරු කිරිපිටි අලෙවි කිරීමට ඔසුසල් වෙත බලපත්‍ර ලබා දෙන වැඩපිළිවෙලක් ඇති කළා. එමෙන්ම ළදරු නිෂ්පාදන අලෙවි කරන සුපිරි වෙළඳසැල්වලට ළදරු කිරිපිටි අලෙවි කිරීම සම්බන්ධයෙන් විශේෂ සුදුසුකම් කිහිපයක් සපුරාලිය යුතු බව නියම වුණා. තව ද, කෘෂි ද්‍රව්‍ය අලෙවිකරන වෙළෙඳසැල් හා සිල්ලර බඩු කඩවල ළදරු කිරිපිටි අලෙවි කිරීම තහනම් කිරීමට බලධාරීන් කටයුතු කළා.

චීනය තුළ කිරි නිෂ්පාදන ක්‍රියාවලිය මෙන්ම ඊට යොදාගනු ලබන අමුද්‍රව්‍ය ද මේ වන විට දැඩි තත්ත්ව පාලනයකට හා පරීක්‍ෂණයන්ට යටත්කොට තිබෙන අතර, විකිණීමේ ක්‍රියාවලියේ දී ද පිටිකිරිවල නැවුම් තත්ත්වය ගැන වැඩි අවධානයක්‌ යොමුකර තිබෙනවා. එසේම, චීනයේ වගකිව යුතු රාජ්‍ය ආයතන දේශීය කිරිපිටිවල ගුණාත්මකභාවය සහ පාරිභෝගික විශ්වාසය වර්ධනය කිරීමේ අරමුණින් ප්‍රවර්ධන වැඩසටහන් ද ක්‍රියාත්මක කළා.

චීනයේ ආහාර සුරක්ෂිතභාවයට එල්ල වූ දැඩි ප්‍රහාරය හමුවේ පාරිභෝගික විශ්වාසයත් සෑහෙන දුරට පළුදු වුණා/scmp.com/

නමුත් මේ ගැටලුව නිසා, අනාගතයේ දී අනෙකුත් ආහාර සම්බන්ධයෙනුත් ඇතිවිය හැකි අවදානම ගැන චීනය සැලකිලිමත් වුණා. ඇතිවූ කිරිපිටි අර්බුදයෙන් පාඩම් ගත් චීන රජය ආහාර සුරක්ෂිතතා නියාමන ධාරිතාව ශක්තිමත් කිරීමට අවශ්‍ය පසුබිම සකස් කළා. ඒ අනුව 2009 ජුනි මාසයේ දී චීනය විසින් ආහාර සුරක්ෂිතතා නීතිය ප්‍රකාශයට පත්කෙරුණු අතර, එය අනවසර ආහාර ආකලන භාවිතය තහනම් කිරීම සම්බන්ධයෙන් ද කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වුණා. අන්තර් රාජ්‍ය සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම සහ ජාතික මට්ටමින් ආහාර සුරක්ෂිතතා නියාමනය බලාත්මක කිරීම සඳහා ඉහළ පෙළේ මධ්‍යම කොමිසමක් පිහිටුවීමටත් මෙම නීතිය ඉවහල් වුණා. 2013 වර්ෂයෙ දී චීනයේ ආහාර සහ ඖෂධවල සුරක්ෂිතභාවය පිළිබඳව වගකීම දැරූ China Food and Drug Administration (CFDA) ආයතනය, අමාත්‍යාංශ මට්ටමේ වූ ආයතනයක් ලෙස ප්‍රතිසංවිධානය කළා. එමඟින් ආහාර සහ ඖෂධ නියාමනය පිළිබඳ වගකීම දැරූ සියලු නිලධාරීන් ඒකාබද්ධ වීමක් සිදු වුණා.

මෙලමයින් ප්‍රශ්නය හමුවේ චීනයේ ක්‍රියාපිළිවෙත සහ පසුකාලීන ගැටලු සම්බන්ධයෙන් ඔවුන් පිළිතුරු සෙවීමට දැරූ උත්සාහය ප්‍රශංසනීය වුවත්, චීනයේ ආහාර සුරක්‍ෂිතතාවයේ සැලකිය යුතු දියුණුවක් ඉක්මණින්ම ඇති වුණේ නැහැ. 2013 ජනවාරි මස පැවති රාජ්‍ය කවුන්සිලයේ, ආහාර සුරක්ෂිතතා කොමිෂන් සභා රැස්වීමේ දී, එවකට චීන අගමැති ආහාර සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් තවමත් කැපී පෙනෙන ගැටලු සහ සැඟවුණු අන්තරායන් විශාල ප්‍රමාණයක් පවතින බවට පිළිගත් බව සඳහන් වෙනවා. විශේෂයෙන්ම බැර ලෝහ මඟින් පස සහ ජලය දූෂණය වීම නිසා සහල් සහ එළවළුවල ගුණාත්මකභාවය සම්බන්ධ ගැටලු විසඳීමට තවත් බොහෝ කාලයක් ගතවිය හැකියි. නමුත් චීනය කෙසේ හෝ මෙම ගැටලු හමුවේ සාධනීය ප්‍රතිඵල අත්කර ගැනීමට යම් පරිශ්‍රමයක් දරමින් සිටිනවා.

Cover photo: scmp.com/

මූලාශ්‍රයයන්: qz.com/

forbes.com/

who.int/

divaina.com/

reuters.com/

Related Articles