බෙහෙතක් හැදෙන ක්‍රියාවලිය ගැන මූලික කරුණු පහුගිය ලිපියෙන් සාකච්ඡා කළ ඔබට මතක ඇති (පසුගිය ලිපිය මෙතැනින් කියවන්න). මේ ක්‍රියාවලිය,
- විද්‍යාගාර පර්යේෂණ
- සතුන් යොදාගෙන කරන පර්යේෂණ
- මිනිසුන් යොදාගෙන කරන පර්යේෂණ
විදියට මූලික අවධි තුනකට බෙදන්න පුළුවන්.
අළුතෙන් බෙහෙතක් හදන, එහෙම නැත්නම් හොයාගන්න, ක්‍රියාවලිය ආරම්භවෙන්නේ විද්‍යාගරයක් ඇතුළේ යි. මෙතන දී මුලින්ම සිද්ධවෙන කාරණය තමයි target identification සහ hit identification.
මොනවද මේ target සහ hit කියන්නෙ?
උදාහරණයකින් පැහැදිලි කළොත්, ඔන්න ඔබට ඕනෙ වෙනවා ඇණවලින් සවිකරපු යමක් ගලවලා ඉවත් කරන්න. ටිකක් ගැඹුරින් හිතුවොත්, ඇණවලින් සම්බන්ධ කරපු දේ තමයි ඔබට අනවශ්‍ය දේ. ඒ අනවශ්‍ය දේ ඉවත් කරන්න ඔබට ඇණ ගලවන්න සිද්ධ වෙනවා. ඉතින් ඇණවල වර්ගය, ප්‍රමාණය, ඇණ හිසේ හැඩය ගැන බලලා, ගැලපෙන උපකරණයක් භාවිතා කරලා (සාමාන්‍ය ඇණයක් නම් අඬු මිටියක්, ඉස්කුරුප්පු ඇණයක් නම් ඉස්කුරුප්පු නියනක්, බෝල්ට් ඇණයක් නම් අඬුවක් හරි යතුරක් හරි විදියට) ඇණ ගලවලා අනවශ්‍ය දේ ඉවත් කරගන්න පුළුවන්.
මේ උදාහරණයම රෝගයක්, එහෙම නැත්නම් රෝගයක ප්‍රතිඵලයක්, එක්ක සමපාත කළොත්, රෝගය, නැත්නම් රෝගයේ ප්‍රතිඵලය තමයි අපට අනවශ්‍ය දේ වෙන්නෙ. රෝගයක් ඇතිවෙද්දි ශරිරයේ සිද්ධවෙන වෙනස්කම් මොනවා ද, ඒවා සිද්ධවෙන්නෙ කොහොම ද කියලා හොයාගෙන තියෙනවා නම්, ඒ වෙනස්කම් නවත්තන්න හෝ ඒ වෙනස්කම් නිවැරදි කරන්න හෝ කළ යුතු දේ තීරණය කරන්න පුළුවන්. හරියට ඇණ ටික ඉවත් කළාම අපට අනවශ්‍ය දේ ඉවත්වෙනවා වගේ.
දැන් ඇහැට පේන උදාහරණවලින් කතා කළාට, ශරීරය ඇතුළෙ මේ දේවල් සිද්ධවෙන්නෙ රසායනික ප්‍රතික්‍රියා විදියට. ඉතින් අපට අනවශ්‍ය ප්‍රතික්‍රියාව නතර කරන සංයෝගයක් සොයාගැනීම තමයි අලුත් ඖෂධයක් හොයා ගන්නවා කියන්නේ. හරියට, අපට ගලවන්න ඕනෙ ඇණේට ගැලපෙන උපකරණය, උපකරණ ගොඩක් අතරින් තෝරගන්නවා වගේ.
මෙතන දී අපි වෙනස් කරන්න බලාපොරොත්තු වෙන දේ (ඉහත උදාහරණයෙ දී නම් ඇණය) හඳුන්වන්නෙ ටාගට් එක (target) විදියට. අවශ්‍ය වෙනස කරගන්න යොදාගන්න දේ (ඉහත උදාහරණයෙ දී නම් ඇණය ගලවන උපකරණය) හඳුන්වන්නෙ හිට් එක (hit) විදියට.
මේ වෙනකොට භාවිතයේ තියෙන ඖෂධයක් සම්බන්ධයෙන් මේ මූලධර්ම ටික ආදේශ කරනවා නම්,
හතිය, එහෙම නැත්නම් ඇදුම රෝගීන්ට ලබාදෙන සැල්බියුටමෝල් (salbutamol) කියලා ඖෂධයක් ගැන ඔබ අහලා ඇති. ඖෂධයේ ක්‍රියාකාරීත්වය පැහැදිලි කරගන්න නම් හතිය ඇතිවෙන්නෙ කොහොම ද කියන එක ගැන දළ අදහසක් ඇතිකර ගන්න වෙනවා.
හතිය, එහෙම නැත්නම් ඇදුම රෝගයේ දී සිද්ධවෙන්නෙ ශ්වාසනාල, නැත්නම් ශ්වසන මාර්ගය, අවහිරවීමක්. මේ අවහිරවීමට මූලිකවම හේතුවෙන්නෙ ශ්වාසනාල සිහින්වීම සහ ශ්වාසනාල ඇතුළේ වන ඉදිමීම් තත්ත්වයක්. ශ්වාසනාලයක ව්‍යුහය ගත්තොත් ඒ වටේට තුනී, මෘදු පේශි පටක ස්ථර කීපයක් තියෙනවා (රූපය 01). මේ මෘදු පේශි පටක සංකෝචනය වෙද්දි ශ්වාසනාලවල විශ්කම්භය අඩුවෙනවා වගේම, පටකය ඉහිල් වෙද්දි ශ්වාසනාලවල විශ්කම්භය වැඩිවෙනවා (වෘත්තයක පරිධිය සහ විශ්කම්භය අතර තියෙන සම්බන්ධතාවට අනුව). ඇදුම රෝගියෙකුගේ මේ මෘදු පේශි පටක සංකෝචනය අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් සිද්ධවෙනවා. මේ නිසා සිද්ධවෙන ශ්වාසනාල සිහින්වීමෙන් හුස්ම ගැනීමේ අපහසුතාව ඇතිවෙනවා.
ඇදුම රෝගියෙකුගේ හුස්ම ගැනීමේ අපහසුතාව නැති කරන්න නම් සංකෝචනය වුණු මෘදු පේශි ඉහිල්වෙන්න ඕනෙ කියලා දැන් පැහැදිලි ඇති.
සැල්බියුටමෝල් කියන ඖෂධය මෙතනට අදාළ වෙන්නේ මෙහෙම යි: ඖෂධය මේ මෘදු පේශි සෛල එක්ක සම්බන්ධ වෙනවා. ඊට පස්සෙ පේශි සෛල ඇතුළෙ වෙන රසායනික වෙනස්වීමක් නිසා මෘදු පේශි සංකෝචනය නතරවෙලා ඉහිල්වෙන්න පටන් ගන්නවා.
මෙතෙන දීත් මෘදු පේශි පටක, නැත්නම් සෛල, target එක වෙද්දි, සැල්බියුටමෝල් කියන ඖෂධය hit එක වෙනවා.
මේ විධියට රෝගයක දී නිවැරදි කරන්න, එහෙම නැත්නම් වෙනස් කරන්න, ඕන target එකත්, ඒ කාරණය කරගන්න පාවිච්චි කරන hit එකත් හඳුනාගැනීම තමයි ඖෂධයක් අළුතෙන් හොයාගැනීමේ මූලිකම පියවර.
Target identification සහ hit identification කරන්නෙ කොහොමද?
Target එකක් අළුතෙන් හඳුනාගන්න නම් රෝගයක දී ශරීරයේ සිද්ධවෙන වෙනස්කම් සම්බන්ධයෙන් ගැඹුරු හැදෑරීමක් අවශ්‍යවෙනවා. ඒ වගේම ඒ වෙනස්කම් සිද්ධවෙන යාන්ත්‍රණය (හතිය රෝගයේ ද මෘදු පේශි සංකෝචනය වෙලා ශ්වාස නාල සිහින්වීම වගේ) නිවැරදිව වටහාගන්නත් ඕනෙ. මේ යාන්ත්‍රණයට අදාල පියවරක් හෝ පියවර කිපයක් තමයි target එකක් විදියට හඳුනාගන්නෙ. මේ හඳුනාගැනීම කරන්න මීට කලින් පර්යේෂණවලින් රෝගයක් ගැන හොයාගත් තොරතුරු යොදාගන්න පුළුවන්. ඒ වගේම සමහර විට අලුතෙන්ම පර්යේෂණ කරන්න සිද්ධවෙන්නත් පුළුවන්.
Target එකක් හෝ කීපයක් හඳුනාගත්තට පස්සෙ, ඒ Targetවල අපට අවශ්‍ය වෙනස කරගන්න පුළුවන් සංයෝගයක්, නැත්නම් hit එකක් හඳුනාගන්න ඕන. මේ ක්‍රියාවලියේ දී සිදුවෙන්නෙ හඳුනගත් target එකකට විවිධ hit සමග ගැටෙන්න සලස්වලා සිද්ධවෙන වෙනස්කම් නිරීක්ෂණය කරන එක. මුල් කාලෙ දී විවිධ සතුන්, ශාක, ක්ෂුද්‍ර ජීවීනගෙන් ලබාගත් සංයෝග hit විධියට භාවිතා කරලා තියෙනවා. වර්තමාන තාක්ෂණ දියුණුවත් එක්ක මේ කාලෙ දී බොහෝවිට ජාන තාක්ෂණය මඟින් නිපදවන ප්‍රෝටීන වැනි සංයෝග යොදාගන්නවා. මේ ක්‍රියාවලියෙ දී hit අතිවිශාල ප්‍රමාණයක් පරීක්ෂණ සඳහා යොදාගන්නවා. ඒ අතරින් බලාපොරොත්තු වුණ ප්‍රතිඵලය හොඳින්ම ලබාදෙන hit එක හෝ කීපයක් ඖෂධයක් විධියට ඉදිරි වැඩිදියුණුකිරීම් සහ පරීක්ෂාවන් සඳහා යොමු කෙරෙනවා.
සතුන් සහ මිනිසුන් යොදාගෙන කරන පර්යේෂණ ගැන තවත් ලිපියකින් සාකච්ඡා කරමු.