සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ සිව්වන මහා මැතිවරණය පැවැත්වුණේ 2001 වසරේ දී යි. 2000 වසරේ දී බලයට පත් වුණු පොදුජන එක්සත් පෙරමුණු රජය නියෝජනය කළ මහජන නියෝජිතයන් කණ්ඩායමක් රජය හැර යාම නිසා මෙම මහා මැතිවරණය පැවැත්වීමට සිදුවුණා. එලෙස හදිසියේම පැවැත්වුණු මහා මැතිවරණයේ දී වැඩි ආසන ප්‍රමාණයක් දිනාගත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල රජයක් පිහිටුවීමට සමත් වුණා. එසේ නම් මෙම ලිපිය ලියැවෙන්නේ එම මහා මැතිවරණයේ දී දිවයිනේ වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයන් කිහිපදෙනා පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීමට යි.
2001 මහා මැතිවරණයේ දිස්ත්‍රික්කය අනුව ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය
හදිසියේම පැවැත්වුණු 2001 මහා මැතිවරණයේ දී ජනතාව යම් වෙනසක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටියා. එම නිසාම එවර මහා මැතිවරණයේ දී ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 76.03% ලෙස සටහන් වුණා. එය ඕනෑම මැතිවරණයක දී ඉහළ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයක් ලෙසින් සඳහන් කළ හැකියි.
1) කොළඹ දිස්ත්‍රික්කය- 1,099,382 (76.31%) 2) ගම්පහ දිස්ත්‍රික්කය- 1,033,417 (80.36%)
3) කළුතර දිස්ත්‍රික්කය- 586,236 (81.68%) 4) මහනුවර දිස්ත්‍රික්කය- 637,679(76.03%)
5) මාතලේ දිස්ත්‍රික්කය- 233,539 (77.95%) 6) නුවරඑළිය දිස්ත්‍රික්කය- 343,432 (82.32%)
7) ගාල්ල දිස්ත්‍රික්කය- 566,475 (81.09%) 8) මාතර දිස්ත්‍රික්කය- 424,787 (79.44%)
9) හම්බන්තොට දිස්ත්‍රික්කය- 294,540 (79.81%) 10) යාපනය දිස්ත්‍රික්කය- 197,279 (31.14%)
11) වන්නි දිස්ත්‍රික්කය- 102,361 (46.77%) 12) මඩකලපුව දිස්ත්‍රික්කය- 192,383 (68.20%)
13) දිගාමඩුල්ල දිස්ත්‍රික්කය -297,440 (82.51%) 14) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය- 169,567 (79.88%)
15) කුරුණෑගල දිස්ත්‍රික්කය- 826,179 (78,98%) 16) පුත්තලම දිස්ත්‍රික්කය- 304,847 (71.53%)
17) අනුරාධපුර දිස්ත්‍රික්කය- 379,140 (77.41%) 18) පොළොන්නරුව දිස්ත්‍රික්කය- 193,351 (80.41%)
19) බදුල්ල දිස්ත්‍රික්කය- 400,463 (81.51%) 20) මොණරාගල දිස්ත්‍රික්කය- 202,971 (82.08%)
21) රත්නපුර දිස්ත්‍රික්කය- 520,061 (83.41%) 22) කෑගල්ල දිස්ත්‍රික්කය- 444,309 (80.10%)
වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයෝ
2001 මහා මැතිවරණයේ දී මනාප 140,000ට වඩා ලබාගත් අපේක්ෂකයන් 6 දෙනෙකු හමුවෙනවා. එම අපේක්ෂකයන් පාර්ලිමේන්තුවට පිවිසුණේ ගම්පහ, කොළඹ, මහනුවර, කුරුණෑගල, සහ රත්නපුර දිස්ත්‍රික්ක නියෝජනය කරමින්. පහත දැක්වෙන්නේ වැඩිම මනාප ලබාගෙන 2000 වසරේ දී පාර්ලිමේන්තුවට තේරී පත් වුණු එම මහජන නියෝජිතයන් පිළිබඳව තොරතුරු යි.
රනිල් වික්‍රමසිංහ (එක්සත් ජාතික පක්ෂය)- මනාප 415,686
රනිල් වික්‍රමසිංහ මුල්ම වරට පාර්ලිමේන්තුවට පිවිසුණේ 1977 වසරේ පැවති මහා මැතිවරණයේ දී බියගම ආසනය ජයග්‍රහණය කරමින්. ඉන් අනතුරුව 1989 වසරේ පැවති මහා මැතිවරණයේ දී ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය වෙනුවෙන් තරග කළ රනිල් වික්‍රමසිංහ, මනාප 86,477ක් ලබාගැනීමට සමත් වුණා. 1994 මහා මැතිවරණයේ දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොළඹ දිස්ත්‍රික්කයට සංක්‍රමණය වුණු රනිල් වික්‍රමසිංහ මනාප 291,194ක් ලබාගත්තේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වැඩිම මනාප ප්‍රමාණයක් ලබාගත් අපේක්ෂකයා බවට පත් වුණා. ඉන් වසර 6කට පසුව එනම්, 2000 වසරේ දී පැවති මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට නායකත්වය ලබාදෙමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් සටනට පිවිසි රනිල් වික්‍රමසිංහ, මනාප 363,668 ලබාගත්තේ දිවයිනෙන්ම වැඩිම මනාප ප්‍රමාණයක් ලබාගත් අපේක්ෂකයා බවට පත් වෙමින්. එලෙස රනිල් දිනාගත් ජනතා ආකර්ෂණය 2001 මහා මැතිවරණය වන විටත් පළුදු වී තිබුණේ නැහැ. එම නිසාම ඔහු, 2001 වසරේ පැවති මහා මැතිවරණයෙන් ද මනාප 415,686ක් ලබාගත්තේ දිවයිනේ වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයා බවට නැවත වරක් තේරී පත් වෙමින්.
අනුර බණ්ඩාරනායක (පොදුජන එක්සත් පෙරමුණ)- මනාප 262,051
අනුර බණ්ඩාරනායක 1977 මහා මැතිවරණයේ දී තරග කළේ නුවරඑළිය-මස්කෙලිය අසුන සඳහා යි. එහි දී එම ආසනයේ දෙවන මන්ත්‍රීවරයා ලෙසින් පාර්ලිමේන්තුවට පිවිසි අනුර බණ්ඩාරනායක, 1983-1988 කාල සමය තුළ විපක්ෂ නායක තනතුරේ පවා කටයුතු කළා. 1989 මහා මැතිවරණයේ දී සිය නිජබිම වුණු ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග බිමට පිවිසි අනුර බණ්ඩාරනායක මනාප 107,177ක් ලබාගැනීමට සමත් වුණා. නමුත්, 1994 වසර වන විට එක්සත් ජාතික පක්ෂය සමග එකතු වී සිටි අනුර, 1994 වසරේ දී එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පිවිසුණා. ඉන් අනතුරුව, 2000 වසරේ දී පැවති මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කළ අනුර බණ්ඩාරනායකට ලබාගැනීමට හැකි වුණේ මනාප 99,536ක් පමණ යි. එලෙස කලක් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු ලෙසින් කටයුතු කළ අනුර බණ්ඩාරනායක, 2001 මහා මැතිවරණයේ දී පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් තරග බිමට පිවිසියා. එහි දී ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග වැදුණු අනුර බණ්ඩාරනායක මනාප 262,051ක් ලබාගැනීමට සමත් වුණා.
කරූ ජයසූරිය (එක්සත් ජාතික පක්ෂය)- මනාප 250,912
1997 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේ දී මනාප 47,350ක් ලබාගත් කරූ ජයසූරිය, කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස තේරී පත් වුණා. 1999 වසර වන තුරු එම තනතුරේ රාජකාරි කළ කරූ ජයසූරිය, 1999 පළාත් සභා මැතිවරණයේ දී බස්නාහිර පළාත් සභාවට තේරී පත් වුණේ මනාප 250,179ක් ලබා ගනිමින්. ඉන් වසරකට පසුව පැවති 2000 මහා මැතිවරණයේ දී ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සටන් බිමට පිවිසි කරූ ජයසූරිය, මනාප 237,387ක් ලබාගැනීමට සමත් වුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉහළම මනාප ප්‍රමාණයක් ලබාගත් අපේක්ෂකයා වෙමින්. එලෙස ජනතා ප්‍රසාදයට ලක්ව සිටි කරූ ජයසූරිය, 2001 වසරේ පැවති මහා මැතිවරණයේ දී යළි මනාප 250,912ක් ලබාගත්තේ ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ ලැයිස්තුවේ පළමු ස්ථානය දිනාගනිමින්.
කෙහෙලිය රඹුක්වැල්ල (එක්සත් ජාතික පක්ෂය)- මනාප 143,235
1999 වසරේ පැවති පළාත් සභා මැතිවරණයේ දී මනාප 141,552ක් ලබාගනිමින් මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායකවරයා ලෙස තේරී පත් වුණේ, කෙහෙලිය රඹුක්වැල්ල යි. ඉන් වසරකට පමණ පසුව එනම්, 2000 වසරේ පැවති මහා මැතිවරණයේ දී මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග බිමට පිවිසි කෙහෙලිය රඹුක්වැල්ල මනාප 154,403ක් ලබාගැනීමට සමත් වුණා. ඉන් වසරකට පමණ පසුව පැවති 2001 මහා මැතිවරණයේ දීත් යළි ජනතා විශ්වාසය දිනාගත් කෙහෙලිය රඹුක්වැල්ල, මනාප 143,235ක් ලබාගත්තේ මධ්‍යම පළාතෙන්ම වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයා වෙමින්.
ගාමිණී ජයවික්‍රම පෙරේරා (එක්සත් ජාතික පක්ෂය)- මනාප 141,702
1977 මහා මැතිවරණයේ දී කටුගම්පල අසුන නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි ජයවික්‍රම පෙරේරා, 1988 වසරේ පැවති පළමු පළාත් සභා මැතිවරණයෙන් පසුව වයඹ පළාත් මහා ඇමතිවරයා ලෙස තේරී පත් වුණා. ඉන්පසුව, 1994 සහ 2000 වසරවල පැවති මහා මැතිවරණවල දී පිළිවෙලින් මනාප 109,900ක් සහ 123,847ක් ලබාගත් ජයවික්‍රම පෙරේරා, 2001 මහා මැතිවරණයේ දීත් මනාප 141,702ක් ලබාගැනීමට සමත් වුණා.
ගාමිණී අතුකෝරළ (එක්සත් ජාතික පක්ෂය)- මනාප 140,054
ගාමිණී අතුකෝරළ මුල්මවරට පාර්ලිමේන්තුවට තේරී පත් වුණේ, 1977 මහා මැතිවරණයේ දී නිවිතිගල අසුන ජයග්‍රහණය කරමින්. ඉන්පසුව 1989, 1994, සහ 2000 වසරවල පැවති මහා මැතිවරණවල දී රත්නපුර දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයා වුණේ, ගාමිණී අතුකෝරළ යි. එහි දී ඔහු පිළිවෙලින් ලබාගත් මනාප ප්‍රමාණයන් සටහන් වුණේ 53,420, 82,869, සහ 109,102 ලෙසින්. එම අවදියේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ ගාමිණී අතුකෝරළ, 2001 මහා මැතිවරණයේ දී යළි ජනතා ආකර්ෂණය දිනාගත්තේ මනාප 140,054ක් හිමිකර ගනිමින්.