සඟ පරපුරටම නිගාකළ තල්දූවේ සෝමාරාම භික්ෂුව

මෙරට රාජ්‍ය නායකයින් සහ දේශපාලකයින් කිහිපදෙනෙකුම සාහසිකයින් අතින් ඝාතනයට ලක්වූ අවස්ථා ගණනාවක් පිළිබඳව අප අසා ඇත්තෙමු. එයින්, සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගයන්ගේ සහයෝගයෙන් බලයට පැමිණි, මෙරට සිව්වැනි අග්‍රාමාත්‍යවරයා වූ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායකට, එකී පංච මහා බලවේගයේ පළමු බලවේගයට අයත්වූවෙකු විසින් වෙඩි තබන ලද සිදුවීම, පෙරකී අවස්ථාවන් අතරින් විශේෂ තැනක් ගනියි.

එකී භික්ෂුවගේ ඉතිහාසය පිළිබඳ එකල සමාජය දැනසිටි නමුත්, වත්මන් පරම්පරාව එම සිදුවීම හෝ ඝාතකයා පිළිබඳව වැඩිමනක් නොදනියි. එමනිසා, ඔහු සහ එම සිදුවීම පිළිබඳව වැඩි යමක් විස්තර කරනු අටියෙන් මෙම ලිපිය ඔබ හමුවේ තබමි.

මුල් අවධිය

1915 අගෝස්තු මස 27 වන දින අයිසෝ හාමි සහ රතුගම රාළගේ ඩයරිස් අප්පුහාමි යුවළට දාව උපත ලැබූ සෝමාරාමගේ ගිහි නම වූයේ, තල්දූවේ රතුගම රාළගේ වේරිස් සිඤ්ඤෝ ය. තල්දූව ද්විතීයික පාසලෙන් අධ්‍යාපනය ලබා ඇති බවට සැලැකෙන වේරිස් සිඤ්ඤෝ, 1936 වසරේ ජූනි මස මහනුවර දී “තල්දූවේ සෝමාරාම” නමින් පැවිදි වී ඇති බව සඳහන් ය.

එවකට කැළණිය රජ මහා විහාරයේ විහාරාධිපතිව වැඩ විසූ මාපිටිගම බුද්ධරක්ඛිත හිමියන් සමග සම්බන්ධතා පැවැත්වූ සෝමාරාම භික්ෂුව, නිතර කැළනිය රාජ මහා විහාරස්ථානයට ආ ගියේ ය. මාපිටිගම බුද්ධරක්ඛිත යනු බණ්ඩාරනායකගේ මැතිවරණ ව්‍යාපාරයට ධනයෙන් සහ බලයෙන් සහයෝගය දැක්වූ භික්ෂුවකි. බුද්ධරක්ඛිත හිමියන් බණ්ඩාරනායකට සහයෝගය දැක්වූව ද, බලයට පත්වීමෙන් පසු බණ්ඩාරනායක එම හිමියන් සිදුකළ ඉල්ලීම්වලට එකඟ වූයේ නැත.

මාපිටිගම බුද්ධරක්ඛිත තෙර/Colombo Telegraph

සැලසුම් සකස්කෙරේ

දිනක් සෝමාරාම භික්ෂුව බොරැල්ලේ අයුර්වේද බෙහෙත් ශාලාවේ සිටිය දී, මාපිටිගම බුද්ධරක්ඛිත හිමියන් සහ ඔහුගේ සහායකයෙකු වූ එච්. පී. ජයවර්ධන මෝටර් රථයකින් පැමිණ, සෝමාරාම භික්ෂුව රථයට කැඳවාගත්හ. වැරැදි පාලනය නිසා රට පිරිහෙන බවත්, කටයුතු මෙලෙසම සිදුවුවහොත් ලංකාවට බරපතල තත්ත්වයකට මුහුණදීමට සිදුවිය හැකි බවටත් පැවැසූ බුද්ධරක්ඛිත හිමියන් සෝමාරාම භික්ෂුවට යෝජනා කළේ, ඊට විසඳුමක් ලෙස බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් “යම්කිසි තීරණයක්” ගත යුතු බව යි. එහි වගකීම ඔහු සෝමාරාම භික්ෂුවට පැවරීය.

කෙසේ නමුත් අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීමේ යෝජනාවට එක්වරම කැමැති නොවූ සෝමාරාම භික්ෂුව බුද්ධරක්ඛිත හිමියන්ගෙන් විමසා සිටියේ, එවැනි දෙයක් සිදුකිරීමෙන් පසුව ඇතිවන ඵලවිපාකයන්ට මුහුණ දෙන්නේ කෙසේ ද යන්න යි. ඊට පිළිතුරු දෙමින් මාපිටිගම බුද්ධරක්ඛිත හිමියන් පවසා ඇත්තේ අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීමෙන් පසුව, ඔවුන්ට ගැළැවීමට අවශ්‍ය සියලු කටයුතු ඒ වන විටත් සූදානම් කර ඇති බව යි. යම්හෙයකින් සෝමාරාම භික්ෂුව බන්ධනාගාරගත වුවහොත් සතියක් හෝ දෙකක් වැනි කාලයක් ඇතුළත ඔහුව බේරාගැනීමට අවශ්‍ය සැලැසුමක් ද සකස් කර තිබෙන බව බුද්ධරක්ඛිත හිමියන් සෝමාරාම භික්ෂුවට පවසා ඇත. සියළු දේ සූදානම් කර තිබෙන බවත්, මෙම කාර්යය සඳහා බිය වීමට කිසිදු හේතුවක් නොමැති බවත් නැවැත නැවැත සඳහන් කළ බුද්ධරක්ඛිත හිමියන්, අවසානයේ සෝමාරාම භික්ෂුව බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීම සඳහා කැමැති කරවා ගැනීමට සමත් විය.

වෙඩිතැබීම සිදුවූ රොස්මිඩ් නිවෙස (වර්තමානයේ ටින්ටජල් හෝටලය)/Southernhotels.com

තමන් විසින් විහාරාධිපතීත්වය දරන විහාරස්ථානයක් තිබෙන බවත්, ගෝල හිමිවරුන් දෙදෙනෙකු සිටින බවත් සෝමාරාම භික්ෂුව මෙහිදී පවසා තිබේ. ඒ අවස්ථාවේ බුද්ධරක්ඛිත හිමියන් සහ ජයවර්ධන සඳහන් කර තිබුණේ, ඒ සියළු දේ පිළිබඳව වගකීම ඔවුන් විසින් භාරගන්නා බව යි. දිනක් හෝ දෙකක් වැනි කාලයක් ඇතුළත අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීම සඳහා පිස්තෝලයක් ගෙනැවිත් දෙන බව ද ඔවුන් සෝමාරාම භික්ෂුවට පැවැසුවේය.

පැවැසූ පරිදි දින දෙකක් හෝ තුනක් ඇතුළත, අඩියක් පමණ දිග, උණ්ඩ හයක් පමණ දැමිය හැකි පිස්තෝලයක් ද රැගෙන බුද්ධරක්ඛිත හිමියෝ සහ ජයවර්ධන සෝමාරාම භික්ෂුව හමුවීමට පැමිණියෝ ය. ඔවුහු මුතුරාජවෙල ප්‍රදේශයේ දී වෙඩි තැබීම සඳහා පුහුණු වූ බව ද පසුකාලීන විමර්ශනවල දී අනාවරණය වී තිබේ. එයින් පසුව බුද්ධරක්ඛිත හිමියන් හා ජයවර්ධන නිතරම සෝමාරාම භික්ෂුව මුණගැසෙන්නට පැමිණියහ. ඉන් එක් දිනයක කොලොන්නාව නගර සභාවේ සභාපති අමරසිංහ නමැති පුද්ගලයාත් බුද්ධරක්ඛිත හිමි සමග සෝමාරාම මුණ ගැසීමට පැමිණියේ ය. ඝාතන සැලැස්ම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ ඔවුන් 1959 සැප්තැම්බර් මස 25 වැනි දින අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීමට තීරණය කළෝ ය.

වෙඩි තැබීම සඳහා යොදාගත් පිස්තෝලය/dbsjeyaraj.com

සැලසුම ක්‍රියාවට…

1959 සැප්තැම්බර් මස 25 වන දින උදෑසන සෝමාරාම භික්ෂුව අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීම සඳහා සිතේ ධෛර්යය ඇතිකර ගැනීමට ඔහු විසින් ම සකස් කරගත් යම්කිසි බෙහෙතක් පානය කළ බව කියැවේ. ඉන්පසුව ඔහු බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයා ජීවත් වූ කොළඹ 07, රොස්මිඩ් පෙදෙසේ පිහිටි ‘රොස්මිඩ් නිවෙස’ (වර්තමාන ටින්ටජල් හෝටලය) වෙත ගියේ ය. 

එදින උදෑසන ඔහු එහි යන විට අග්‍රාමාත්‍යවරයා නිවෙසේ ආලින්දයේ සිට මහජනයා හමුවෙමින්, ඔවුන්ගේ ගැටැළු පිළිබඳව සොයාබලමින් සිටි අතර, සෝමාරාම භික්ෂුව එහි යන අවස්ථාවේ තවත් භික්ෂුන්වහන්සේ කිහිප නමක් ද එහි සිටි බව කියැවේ. චීවරයක් හැඳ සිටි නිසා පරීක්ෂා කිරීමකින් තොරව අග්‍රාමාත්‍යවරයා වෙතට ප්‍රවේශ වීමට ඔහුට ඉඩ ලැබුණු අතර භික්ෂූන්වහන්සේ නමක් පැමිණ ඇති බව ආරක්ෂකයින් විසින් අග්‍රාමාත්‍යවරයාට දැනුම් දෙනු ලැබිණ. මෙනිසා පැමිණ සිටි ගිහි පාර්ශවයට පෙර අග්‍රාමාත්‍යවරයා හමුවීම සඳහා සෝමාරාම භික්ෂුවට අවස්ථාව හිමිවූ හෙයින්, ඔහු ආයුර්වේද විද්‍යාලයයේ පවතින ගැටැළුවක් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කළේ ය. ඒ පිළිබඳව සොයාබැලීම සඳහා එවකට සෞඛ්‍ය අමාත්‍ය ඒ.පී. ජයසූරිය මහතාට දැනුම් දෙන්නම්යැ යි අග්‍රාමාත්‍යවරයා සෝමාරාමට පොරොන්දු වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් යම් ලියවිල්ලක් වේ නම් එය ද තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා තිබේ. උදෑසන 09.45ට පමණ සෝමාරාම භික්ෂුව ලිපිගොනුවක් මේසය මත තබා ඉන් එක් ලියවිල්ලක් අග්‍රාමාත්‍යවරයා අතට ලබා දීමට සැරසුණේ ය.

ඝාතනය වන අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා හැඳසිටි ජාතික ඇඳුම/dbsjeyaraj.com

කෙසේ නමුත්, ලියවිල්ල දෙනවා වෙනුවට සිය ඉණේ සඟවාගෙන සිටි පිස්තෝලය එක්වරම පිටතට ගත් මේ භික්ෂුව අග්‍රාමාත්‍යවරයාගේ පපු පෙදෙසට වෙඩි උණ්ඩයක් තැබීය. වෙඩි උණ්ඩය සිරුර පසාරු කරගෙන ගිය පසු එතැනම ඇද වැටුණු අග්‍රාමාත්‍යවරයා නැවැතත් අපහසුවෙන් නැඟී සිට නිවෙස තුළට දිවයාමට තැත් කළ ද, පසුපසින් හඹා ගිය සෝමාරාම තවත් කිහිප වරක් බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයාට වෙඩි තබනු ලැබීය. සියල්ල මෙසේ සිදු වෙද්දී එම ස්ථානයේ රැඳී සිටි, පොළොන්නරුව ප්‍රදේශයෙන් පැමිණි තවත් හිමිනමක් කලබලයට පත් වූ අතර, සෝමාරාම එම හිමි නම වෙත ද පිස්තෝලය එල්ල කළේ ය. පසුව අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂාවට යොදා සිටි පොලිස් නිලධාරීන් සෝමාරාම භික්ෂුවට වෙඩි කිහිපයක් තැබූ අතර, ඉන් තුවාල ලැබූ ඔහු වරාය පොලීසිය වෙත රැගෙන යන ලදී.

බණ්ඩාරනායක අගමැතිවරයාගේ දේහය/Daily Mirror

බරපතල තුවාල ලැබූ බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයා සිය බිරිඳ වූ, පසුකාලීනව ලොව පළමු අග්‍රාමාත්‍යවරිය බවට පත් වූ, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට, “සිරිමා, මෝඩ මිනිහෙක් මට වෙඩි තිව්වා. ඒ මිනිහට අනුකම්පා කරන්න. කරදරයක් නම් කරන්න එපා“යැ යි පැවැසූ බව එම සිද්ධිය ඇසින් දුටුවන් පසු කලෙක පවසා තිබේ. වෙඩි තැබීමෙන් පැය 22කට පසු අගමැතිවරයා අභාවප්‍රාප්ත වූයේ ය.

සිදුවීමේ ප්‍රතිඵල

එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් හත්දෙනෙකුට විරුද්ධව, 1959 නොවැම්බර් 29 දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් ගොනුකරන ලදී. එකී විත්තිකරුවන් අතර එක් අයෙකු වූයේ සෝමාරාම භික්ෂුව ය. ඔහු අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමට අමතරව අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද චෝදනාවට ලක්විය. මෙම ඝාතන සිද්ධියේ පරීක්ෂණ කටයුතු සඳහා බ්‍රිතාන්‍යයේ ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසියෙන් ද පරීක්ෂකවරුන් මෙහි පැමිණ සිටියේ ය.

තල්දූවේ සෝමාරාම/ExecutedToday.com

 

1959 වසරේ සැප්තැම්බර් මස 25 දින රොස්මිඩ් නිවෙස, රොස්මිඩ් පෙදෙස, කොළඹ 07 යන ස්ථානයේ දී එවකට අග්‍රාමාත්‍යවරයා වූ බණ්ඩාරනායක ඝාතනය කිරීම සම්බන්ධයෙන් සෝමාරාම භික්ෂුව වැරදිකරු බවට තීරණය කෙරිණි. ඔහු, එවකට අළුගෝසු තනතුර දැරූ සුබතේරිස් අප්පු සහ ඔහුගේ සහායක ලුවිස් සිඤ්ඤෝ විසින් වැලිකඩ බන්ධනාගාරයේ දී එල්ලා මරා දමනු ලැබුවේ 1962 ජූලි මස 06 වැනිදා ය. මාපිටිගම බුද්ධරක්ඛිත හිමි සහ ජයවර්ධන යන දෙදෙනාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය. බුද්ධරක්ඛිත හිමි සිර අඩස්සියේ දී අපවත් වූ අතර, ජයවර්ධන නියමිත කාලයට මඳකට පෙර නිදහස් කෙරිණි. 

එල්ලා මැරීමට දෙසතියකට පෙර සෝමාරාම භික්ෂුව සිය සිවුර අතහැර දැමූ අතර, ඔහුව එල්ලා මැරීමට දින දෙකකට පෙර කිතුනුවකු ලෙස බව්තීස්ම වූයේ කොළඹ 07 කිංසි පාරේ පිහිටි ශාන්ත පාවුළු පල්ලියේ පූජක මැතිව් පීරිස් පියතුමා විසිනි. මැතිව් පීරිස් පියතුමා ද, ඔහුගේ බිරිඳ වූ යුනිස් පීරිස්, සහ ඔහුගේ පෙම්වතිය වූ ඩැල්රීන් ඉන්ග්‍රැම්ගේ සැමියා වන රසල් ඉන්ග්‍රැම් යන දෙදෙනාට දියවැඩියාවට ලබා දෙන ඖෂධ අධි මාත්‍රාවෙන් ලබා දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් 1979 දී වැරැදිකරු බවට පත්විය.

Cover image: එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක වෙනුවෙන් තැනූ චිතකය/Flickriver

මූලාශ්‍රයයන්: facebook.com/Beyond the Yellow Press

lankadeepa.lk

ceylontoday.lk

Daily Mirror

Related Articles

Exit mobile version