ඈත අතීතයේ පටන් ම මෙසපොතේමියාව ප්‍රකට වුණේ ‘දෙගංමැදි රාජ්‍යය’ ලෙස යි. එය ලෝක ඉතිහාසයේ බිහි වූ ප්‍රථම නගරයන්ට සෙවණ සැපයූ බව රහසක් නොවෙයි. යුප්‍රටීස් සහ ටයිග්‍රීස් නදීන්ට මැදි ව බැග්ඩෑඩ් නුවරින් සැතපුම් 60 ක් පමණ දකුණු දෙසට වන්නට පිහිටි ‘බැබිලෝනියාව’ එවැනි මනස්කාන්ත නගරයක්. ආක්‍රමණයන් හේතුවෙන් බිඳ වැටී ගිය අනෙක් නගර මෙන් නොව අක්‍රමණයන්ට මුහුණ දී යළි යළිත් අළු මතින් නැගී සිටි බැබිලෝනියාව, වසර ගණනාවක් තිස්සේ නොනැසී පැවතුණා.
යුදෙව්-ක්‍රිස්තියානු සංස්කෘතිය තුළ බැබිලෝනියාව ඉහළින් ම බැබළෙන බව පැවසීම මුසාවක් නොවෙයි. පැරණි තෙස්තමේන්තුවේ සඳහන් වන්නේ ජෙරුසලමේ බිඳ වැටීමෙන් පසු ව යුදෙව්වන්ව බැබිලෝනියාවට පිටුවහල් කළ බව යි. නව තෙස්තමේන්තුව රචනා වන විට බැබිලෝනියාව, යුදෙව්-ක්‍රිස්තියානු සංස්කෘතියේ ප්‍රබල සංකේතයක් බවට පත් වී තිබුණා.
බැබිලෝනියාව, ග්‍රීක සහ රෝම ලේඛකයන් ව මවිතයට පත් කර ඇත්තේ පැරණි සාහිත්‍යය පුරාවෘත්තයන් රාශියකගෙන් පෝෂණය කරමින්. ක්‍රිස්තු පූර්ව 5 වැනි සියවසේ දී ග්‍රීක ඉතිහාසඥයෙක් වූ හෙරොඩෝටස්, බැබිලෝනියාව ගැන සටහන් ලියා තිබුණ ද ඒවා බොහෝමයක් එකිනෙකට පරස්පර යි. ඔහු සත්‍ය වශයෙන් ම බැබිලෝනියාව දුටු අයෙකු නොව වෙනත් අයගෙන් අසන ලද කාරණා මත එම සටහන් ලියා තබන්නට ඇති බව යි විද්වතුන් විශ්වාස කරන්නේ. කෙසේ වුව ද අදටත් ඉතිහාසය ප්‍රිය කරන්නන් අතර ‘එල්ලෙන උයන’ සහ ‘බාබෙල් කුලුන’ වැනි බැබිලෝනියාවේ මනරම් ඉදි කිරීම් ජීවමාන යි.
නගරයන්ගේ නගරය
වත්මන් ඉරාකය ආශ්‍රිත ප්‍රදේශයේ දී ප්‍රථම වරට බැබිලෝනියාව පැවති භූමිය හඳුනාගෙන ඇත්තේ 19 වැනි සියවස ආරම්භයේ දී යි. 20 වැනි සියවස ආරම්භයේ දී සිදු කරන ලද වැඩිදුර කැනීම්වල දී බැබිලෝනියාව කිහිප වරක් ම යළි ගොඩ නංවා ඇති බව හෙළි කර ගැනීමට රොබට් කොල්ඩුවයි නම් ජර්මානු පුරාවිද්‍යාඥයා සමත් වුණා. එයින් විශිෂ්ටත ම ඉදි කිරීම සිදු වී ඇත්තේ ක්‍රිස්තු පූර්ව 605 – 561 දක්වා බැබිලෝනියාවේ පාලන කටයුතු මෙහෙය වූ දෙවැනි නෙබ්‍යුකද්නසාර් රජ සමයේ දී යි. මේ වන විට බර්ලින් නුවර පර්ගමන් කෞතුකාගාරයේ තැන්පත් කර ඇති නිල්වන් ඉෂ්තාර් දොරටුව ඒ කාලයේ දී ගොඩ නංවන ලද්දක්.
බැබිලෝනියාව මුල් වරට ප්‍රසිද්ධියට පත් වුණේ ලෝකඩ යුගයේ අග භාගයේ දී යි. එවකට එහි වාසය කළේ ඇමොරයිට් නම් වූ ජන කණ්ඩායමක්. ලොව ප්‍රථම නීති සංග්‍රහය එළි දැක් වූ හමුරාබි රජු (ඔහු අයත් වුණේ ඇමොරයිට් ජන කණ්ඩායමට යි) එවකට සුමේරියානු ශිෂ්ටාචාරයේ අගනුවර වූ උර් නගරය, බැබිලෝනියාව යටතට ගැනීමට සමත් වුණා. නමුත් හමුරාබි රජුගේ මරණයෙන් පසු ව බැබිලෝනියාව පරිහානියට පත් වුව ද දකුණු මෙසපොතේමියාවේ අගනුවර ලෙස එයට හිමි වූ ස්ථානය අහිමි වුණේ නැහැ.
ඉන් පසු ව ගත වී ගිය සහස්‍රයක කාලය තුළ බැබිලෝනියාවේ පාලනය සියතට ගැනීම ජන කණ්ඩායම් රැසක් උත්සාහ ගත් අතර පළමු ව හිටයිට්වරු සහ කැසයිට්වරු ද පසු ව චල්ඩ්‍රියා ගෝත්‍රිකයින් ද බැබිලෝනියාව වෙනුවෙන් සටන් වැදුණා. කෙසේ වුව ද ක්‍රිස්තු පූර්ව 1,000 වන විට බැබිලෝනියාව තමන් සතු කර ගැනීමට ඇසිරියන්වරු සමත් වුණා. කාලයක් ගත වන තෙක් බැබිලෝනියාවේ ස්ථාවර පාලනයක් පැවතිය ද ක්‍රිස්තු පූර්ව 4 වැනි සියවසේ දී මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා බැබිලෝනියාව යටත් කර ගත් බව සඳහන්.
බැබිලෝනියාවේ ස්වර්ණමය යුගය
ක්‍රිස්තු පූර්ව 7 – 6 දක්වා වූ කාල සීමාව, බැබිලෝනියාවේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙනවා. එය එවකට ලොව පැවති විශාලත ම නගරය වූ අතර ක්‍රිස්තු පූර්ව 600 දී පමණ ඇසිරියන්වරුන් පරදා බැබිලෝනියාව අත්පත් කර ගැනීමට චල්ඩියා ගෝත්‍රිකයින් සමත් වුණා. ඔවුන් අලුතෙන් රාජ වංශයක් ගොඩ නැගූ අතර එහි දෙවැනි පාලකයා වූ දෙවැනි නෙබ්‍යුකද්නසාර් රජු, දරුණු වුව ද බැබිලෝනියාවට සමෘද්ධිය රැගෙන ආ පාලකයෙකු ලෙස සැලකෙනවා.
සාර්ථක රණශූරයෙකු වූ ඔහු යටත් කර ගන්නා ලද රාජ්‍යයන්ගෙන් උදුරා ගත් වස්තුව, බැබිලෝනියාව යළි ගොඩ නැංවීම සඳහා භාවිතා කර තිබෙනවා. නගරය ආරක්ෂාව වෙනුවෙන් නගරය වටා දිග අගලක් මෙන් ම අලුත් ප්‍රාකාර ඉදි කිරීමට පවා ඔහු කටයුතු කළා. ඔහුගේ රාජ්‍ය සමයේ දී බැබිලෝනියාවේ මාර්ගයන් හි හිරිගල් අතුරා ඇති අතර සියලු ම දේවස්ථාන යළි ගොඩ නංවා තිබෙනවා. නමුත් හීබෘෘ සාහිත්‍යයේ සඳහන් වන ආකාරයට දෙවැනි නෙබ්‍යුකද්නසාර් රජු ඒකාධිපතියෙක් වූ අතර බැබිලෝනියාව වදකාගාරයකට සම වුණා. එයට හේතුව ක්‍රිස්තු පූර්ව 6 වැනි සියවස ආරම්භයේ දී ඔහු ජෙරුසලම යටත් කරගෙන හීබෘෘවරුන් ව බැබිලෝනියාවට පිටුවහල් කිරීම විය හැකි යි. බයිබලයේ සඳහන් වන ආකාරයට යුදෙව් දේවස්ථානයන් හි තැන්පත් කරන ලද සියලු ම පූජ්‍ය වස්තූන්, බැබිලෝනියාවේ ශ්‍රේෂ්ඨ දෙවිඳුන් වූ මාඩුක් වෙනුවෙන් කැප කළ දෙවොලක් නිර්මාණය කිරීම සඳහා ගෙන ගොස් තිබෙනවා.
ක්‍රිස්තු පූර්ව 539 දී පර්සියානු පාලකයෙකු වූ ශ්‍රේෂ්ඨ සයිරස් රජු බැබිලෝනියාවේ බලය ලබා ගැනීමට සමත් වුණා. නමුත් සියවස් දෙකකට පසු ව එය මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ බලයට නතු වූ අතර ඔහු බලාපොරොත්තු වුණේ එය ඔහුගේ අධිරාජ්‍යයේ අගනුවර බවට පත් කර ගැනීමට යි. නමුත් එය සැබෑවක් වීමට පෙර මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා මිය ගියා. ඉන් පසු ව රජු කිහිප දෙනෙකු ම බැබිලෝනියාව පාලනය කිරීමට උත්සාහ කළ ද ඔවුන් සෑම අයෙක් ම අසාර්ථක වුණේ කලකට පෙර මනරම් නගරයක් ලෙස නම් ලැබූ බැබිලෝනියාව, පුරාවෘත්තයක් බවට පත් කරමින්.
Cover image: © Joy Reactor