අහස උසට ගොඩනැඟිලි ඉදිවුණු කොළඹ පුරාණයේ පැවති සිහිටවන රාශියක් අතරින් අද ඉතිරි ව පවතින්නේ සුළු ප්‍රමාණයක්. විශාල නගරයක් ලෙස වර්ධනය වීමේ දී වගේ ම ඉංග්‍රීසි පාලන කාලයේ දී ද ඓතිහාසික ගොඩනැඟිලි සහ ස්මාරක රාශියක් කඩා බිඳ දමා අලුත් ගොඩනැඟිලි තනා තිබෙනවා.
මේ එසේ පුරාණ ස්වරූපය විනාශ වුණු අප නොදන්නා සිහිවටන කිහිපයක් ගැන කළ සොයා බැලීමක්.
කොළඹ කොළ අඹ ගස
කොළඹ ගැන සඳහන්ව ඇති පැරණිම වාර්තාව ක්‍රිස්තු වර්ෂ 1330 තරම් ඈත අතීතයට අයත් වෙනවා.එම වසරේ දී මෙරටට පැමිණි චීන ජාතිකයකු වූ ච- චෑන්- ටා -යූ වොන් ඔහුගේ ගමන් වාර්තාවල කා ඕ- ලන් -පූ ලෙස ලංකාවේ වෙළෙඳ නගරයක් සඳහන් කරනවා. මෙහි කා ඕ -ලන් -පූ යනු කොළඹ බවයි සැලකෙන්නේ. චීන බසින් කා ඕ- ලන් -පූ යනු නිසරු පහත් බිමට යෙදෙන නමක්.
ඉන් පසු කොළඹ ගැන තොරතුරු වාර්තා වන්නේ රොබට් නොක්ස් ලංකාවේ අත්දැකීම් අළලා ලියූ කෘතියේ යි. රොබට් නොක්ස් කොළඹ ගැන මෙසේ සඳහන් කරනවා:
”කොළඹ නගරයට බටහිර දිග්භාගයේ ස්වදේශිකයන් අඹ ගස නමින් හඳුන්වන ගසක් තිබේ.අඹ ගසේ සාමාන්‍යයෙන් අඹ පල හට ගැනුණත් මේ ගසේ ඇත්තේ කොළ පමණක් නිසා ගස ”කොළ- අඹ ” යන නමින් හැඳින් වූ අතර ක්‍රිස්තියානීන් කොලොම්බස්ට ගෞරව කරනු වස් ”කොලූම්බු ”යන්න ඒ වෙනුවට යොදාගෙන තිබේ. මුහුදුබඩ අග්‍ර නගරය වූ මෙහි ප්‍රධාන සාමන්තයාගේ ( ඕලන්ද) නිවස පිහිටා තිබේ (එදා හෙළදිව – රොබට් නොක්ස්, පරි. ඩේවිඩ් කරුණාරත්න, 44 පිට).
නොක්ස් සඳහන් කරන ආකාරයට මේ රූක්ෂ අඹ ගස කොළඹ නගරයේ බටහිර දෙසට වන්නට පිහිටා තිබුණු වෘක්ෂයක්. අඹ ගස ඉතා සරුවුණත් එහි පල හට ගත්තේ නැහැ. කොළඹ ආසන්න මුහුදේ රුවල් නැව්වලින් පැමිණි නාවිකයන්ට කොළ පමණක් තිබූ අඹ ගස දර්ශනය වී තිබෙනවා. කොළ තිබූ අඹ ගස ”කොළ අඹ” වී පසුව ”කොලොම්- බූ ”ලෙස ව්‍යවහාරයට පැමිණ තිබෙන බවයි සැලකෙන්නේ. පසුව එය සිංහලන් ”කොළඹ” වී තිබෙනවා. පරම්පරා ගණනාවක් පැවති මේ අඹ ගස් කොමසාරිස් වීදියේ පිහිටි බවයි ආර්. එල්. බ්‍රොහියර් සඳහන් කරන්නේ. අද ගාලුමුවදොරට නුදුරින් චෛත්‍ය පාර ලෙස හැඳින්වෙන්නේ, පරම්පරා ගණනාවක් මෙම අඹ ගස පිහිටා තිබුණු කොමසාරිස් වීදිය යි. පසුකාලීනව මේ ස්වභාවික ස්මාරකය කොළඹ ගැන අතීත සිහිටවන ගොන්නට එකතු වුණා.
කොළඹ බළකොටුවේ ලාංඡනය
කොළඹ තිබුණේ යැයි කියන සැලකෙන කොළ අඹ ගස ඕලන්ද පාලන කාලයේ දී ඔවුන්ගේ කොළඹ බළකොටුවේ ලාංඡනය ලෙස භාවිත කළා. මෙම ලාංඡනයෙන් දැක්වෙන්නේ කොළ පමණක් ඇති අඹ ගසක වසා සිටින සුදු පරෙවියකුගේ රූපයක්. කොළඹ කොටුවේ ඕලන්ද කෞතුකාගාරයේ මේ ලාංඡනය සහිත පලකය අදත් දැකගත හැකි යි. කොළඹ නම ඇතිවූ ආකාරය ගැන තවත් මත කිහිපයක් තිබුණ ද වැඩි පිළිගැනීමට ලක් ව ඇත්තේ කොළ අඹ ගසේ කතාව යි.
ගාලු මුවදොර සුසානය හා වධක බිම
ගාලුමුවදොර පිටිය ප්‍රදේශය ලන්දේසීන්ගේ කාලේ ( 1658-1796) හැඳින්වූයේ ‘ගෝල් ෆාස්’ කියලයි. එහි තේරුම, කොළඹ බළකොටුවේ ගාල්ල දෙසට මුහුණ ලා ඇති කොටසේ ඉදිරිපස යන්න යි. ගාලුමුවදොර පෘතුගීසි කාලයේ දී මෙන් ම ලන්දේසි සමයේ දී ද මිනිසුන් සිය ගණනක් මිහිදන් කළ සොහොන් බිමක් ව පැවති බවට ඉතිහාසයේ සඳහන් වෙනවා. කෝට්ටේ යුගයේ දී පෘතුගීසී නැවක් මුහුදුබත් වීම නිසා එහි තිබූ වෙඩි බෙහෙත් බැරල් කිහිපයක් ගාලුමුවදොරට රැගෙන ආ පෘතුගීසි සෙබළු ඒ තෙත බරිත වෙඩි බෙහෙත් මේ තැනි බිමේ වියළීමට අතුරා වෙහෙස නිවා ගැනීමට ඒ අසල ම නිදා ගත් බවට ජනප්‍රවාදයක් පවතිනවා. ඔවුන් රෑ නින්දේ පසුවෙද්දී කෝට්ටේ සෙබළෙක් හීයක දවටා ගාලුමුවදොරට ගිනි පන්දමක් එවූ අතර මුළු වෙඩි බෙහෙත් තොග යම ගිනිගෙන වැනසුණු බවත්, එහි සිටි පෘතුගීසීන් ද ඒ සමඟ ම පිලිස්සී එහි ම මිහිදන් වූ බවත් පැවසෙනවා.
කොළඹ ඉන්පසු 1658 දී ලන්දේසින්ගේ පාලනයට නතු වූ අතර ලන්දේසීන් ගාලුමුවදොර වධක භූමියක් ලෙස භාවිත කර තිබෙනවා. එහි එක් තැනෙක පෝරකයක් තනා මරණ දඬුවම හිමිවූවන් මරා දමා තිබෙනවා. වර්ෂ 1726 දී මෙරට ඕලන්ද ආණ්ඩුකරු වූ පේත්‍රස් වුයිස්ට්ගේ කුරිරු අණින් ගාලුමුවදොර භූමියේ එල්ලා මැරූ මිනිසුන්ගේ සංඛ්‍යාව විශාල පිරිසක් වුණා.
ලීයෙන් තනා තිබූ එල්ලුම් ගසේ එල්ලා මැරූ මිනිසුන් මිහිදන් කර ඇත්තේ ද ගාලුමුවදොරම යි. බෙල්ජියම් ජාතික එහිදියස් ඩැල්මන්ස් නමැති වෛද්‍යවරයාගේ ලේඛනයක සඳහන් ව ඇත්තේ ලන්දේසීන් මිනිසුන් එල්ලා මැරූ වධක ස්ථානයක් ගාලුමුවදොර තිබූ බව යි. මේ නිසා එකල කටුඅකුලින් ගහණ මුහුදුබඩ තැනිබිමක් වූ ගාලුමුවදොර සැලකුණේ පිළිකුල් සහගත බියකරු තැනක් විදිහට යි.
ඉංග්‍රීසින් ලංකාව යටත් කර ගත් මුල් කාලයේ මුහුදුබඩ ආණ්ඩුකාර ධුරය දැරූ ප්‍රෙඩ්රික් නෝත් (1798 – 1805) ඉංග්‍රීසි හමුදා සොහොන් බිම ලෙස භාවිත කර ඇත්තේ ද ගාලුමුවදොර යි. එකල වරින්වර සිංහලයන් එල්ල කළ ප්‍රහාරවලින් මරුමුවට පත් වූ ඉංග්‍රීසී සෙබළුන්ගේ මළ සිරුරු භූමදානය කර ඇත්තේ ද මේ භූමියේ යි.
මරණ දණ්ඩනයට ලක්වූවන් එල්ලා මැරූ පෝරකය
ප්‍රෙඩ්රික් නෝත්ගේ කාලයේ දී ම පැතිර ගිය මැලේරියා වසංගතයට බිලි වූ 300 දෙනකුගේ මළ සිරුරු 1803 දී ගාලුමුවදොර මිහිදන් කර තිබෙන බව සඳහන් වෙනවා. 1810 සිට 1815 දක්වා වූ කාලයේ මරණ දණ්ඩනයට ලක්වූවන් එල්ලා මැරූ පෝරකය ගාලුමුවදොර සවි කර තිබූ බව ආර්.එල්.බ්‍රෝහියර්ගේ ලේඛනවල ද සඳහන් වෙනවා.
1810 දී ගාල්ලේ දී ඇතිවූ හමුදා කැරැල්ලක් සම්බන්ධයෙන් වරදකරු වූ ජෝන් ගොවුල්ඩ් සෙබළාටත්, 1814 දී ජෝන් ස්ටීවන්සන් නමැති සෙබළාටත්, 1817 දී සෙබළ ජෝන් ජෙනීටත්, 1833 දී නිලධරයකුට පහර දීම හේතුවෙන් ජෝන් මැස්ටර්සන්ටත් මරණ දඬුවම් දී ඇත්තේත් ගාලුමුවදොරදී යි.
මෙසේ සොහොන් බිමක් සහ වධක භූමියක් ලෙස සාමාන්‍ය ජනතාවලේ අප්‍රසාදයට පත්වූ ගාලුමුවදොර 1824 දී එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරයාගේ කාලයේ දී කැලෑව එළිකර සමතලා කර පිටියක් බවට පත් කරනවා. ඒ තුරඟ තරග පැවැත්වීම සඳහා යි.
කොළඹ කොඩි ගහ
පෘතුගීසින් තමයි වර්ෂ 1521 දී මුලින් ම කොළඹ කොඩිගහක් සිටුවා තිබෙන්නේ. එය ඉදි කර තිබෙන්නේ නැව්වලට ඈත සිට කොළඹ වරාය පිහිටි ඉසව්ව නිවැරදි ව හඳුනා ගැනීම සඳහා යි. පෘතුගීසින්ගෙන් පසු ලන්දේසීන් මෙන්ම බ්‍රිතාන්‍ය ජාතිකයන් ද භාවිත කොට ඇත්තේ මේ කොඩි ගහම යි. මේ කොඩි කණුවට යොදා ගෙන ඇති ලෝහ වර්ගය යකඩ නොවිය යුත්තේ මෙතරම් වසර 500කට අධික කාලයක් මෙය නොදිරා පැවැතීම නිසා ය.
එය පිහිටා තිබුණේ කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරයේ බටහිර සීමාවේ ඇති ප්‍රාකාරයටත් කොඩිගහ වීදියටත් සමාන්තර ව නාවික හමුදාපති කාර්යාලයට උතුරු දෙසින්. අද එතැන කොඩි ගහ නැතත් කොඩි කණුව සිටවූ ගඩොලින් කළ ගොඩනැඟිල්ල දකින්නට ලැබෙනවා. එය පොළොවේ සිට අඩි 6ක් පමණ උස් වූ සෘජු වේදිකාවක් මත තැනූ කෝණාකාර ගොඩනැඟිල්ලක්. එය අඩි 25ක් පමණ දිගින් ද, අඩි 10ක පළලින් ද යුක්ත යි. එහි උස අඩි 50ක්. මෙය කුලුනක් ලෙස ඈතට දිස්වෙනවා. මෙම කුලුන මත කොඩි කණුව රඳවා තිබූ බව යි පැවසෙන්නේ.
මෙහි බිත්ති අඟල් 18ක ඝනකමකින් යුක්ත යි. ගඩොලින් ඉදි කර හුණු මිශ්‍ර බදාමයකින් කපරාරු කර තිබෙනවා. ගොඩනැඟිල්ලේ ඇතුළත මහල් තුනක් ලෙස පැවති බවට සාධක ලෙස දැව බාල්ක ඉතිරි ව පවතිනවා. මෙම මහල්වලට පිවිසීමට දැව තරප්පු වැටක් තිබූ බවට සාධක බිත්තියේ දැකගත හැකි යි.
අඩි 70ක් උස කොඩි සවිකරන ලෝහ කණුව මෙහි සවිකර තිබුණත් 1980 දශකයේ එය වරාය අධිකාරියේ දොඹකර යොදා ගෙන ගලවා ගෙන ගොස් කොළඹ කොටුවේ ටයිම්ස් මන්දිරය අසල සවි කර තිබෙනවා. ටික කාලයකින් පසුව එතැනින් රැගෙන ගොස් අලුත්කඩේ සන්තබස්තියම කඳුමුදුනේ සවිකර තිබෙනවා. එම කණුව පහළ සිට ඉහළට ක්‍රමයෙන් කුඩාවන ආකාරයට කොටස් 5කින් සමන්විත ටැඹක් ලෙස තනා තිබෙන්නක්.
කොළඹ මුල් ම ප්‍රදීපාගාරය
අද අපට කොළඹ වරායට ආසන්න ව ගල්බොක්ක නම් ස්ථානයේ තැනූ ප්‍රදීපාගාරයක් දකින්න ලැබෙනවා. එය ඉදිකර ඇත්තේ 1952 දි යි. කොන්ක්‍රීට් පදනමක් මත ඉදිකර ඇති එහි උස අඩි 39ක්. එහි පාමුල සිංහ පිළිම හතරක් ද තනා තිබෙනවා. එයට නුදුරින් ජනාධිපති මන්දිරය අසලත් දැන් අක්‍රිය ව ඇති පුරාවිද්‍යා ස්මාකරකය් වුණු ඉංග්‍රීසි සමයේ ඉදි කළ පැරණි ප්‍රදීපාගාරයක් දකින්නට පුළුවන්.
කොළඹ ඉදි කළ පළමු ප්‍රදීපාගාරය ගැන සටහනක් බ්‍රිතාන්‍ය පුස්තකාලයේ ලේඛන අතර හමුවෙනවා. වරායට නුදුරින් කොටු පවුර ආසන්නයේ ගොඩබිමේ පිහිටා තිබූ එය උසින් අඩි 74ක්. මහල් හතරකින් යුත් වක්‍රාකාර ගොඩනැඟිල්ලක් ලෙසයි එය තනා තිබුණේ. පහළ මාලයේ වක්‍රාකාර කුටියේ විෂ්කම්භය අඩි 21 අඟල් 4ක්.
ප්‍රදීපය පිහිටි කුටියේ විෂ්කම්භය අඩි 11ක් ලෙස සඳහන්. මෙහි ආලෝක ධාරාව මුහුදේ සැතපුම් 16ක් ඈතට දැකගත හැකි ව තිබෙනවා. ගඩොල් සහ දැව භාවිත කර තැනූ මෙය ඉදිකිරීම ආරම්භ කර ඇත්තේ 1826දියි. එහි ලාම්පුව සවිකර නිම කරවා ඇත්තේ 1829දි යි. වර්ෂ 1844 දී සහ 1849 දී එය අලුත්වැඩියා කළ බවත් සඳහන් වෙනවා.
ප්‍රදීපාගාරයේ ආලෝකය ලැබී ඇත්තේ ආගන් ලාම්පු 11කින්. ඒවාට ඉන්ධන ලෙස භාවිත කර ඇත්තේ පොල්තෙල්. ආලෝකය දුරට පරාවර්තනය කිරීමට යොදා ඇත්තේ තඹ තහඩු යි. 1867 වනතෙක් මෙම ප්‍රදීපාගාරය වරායට පිවිසෙන නැව්වලට මඟ පෙන්වා තිබෙනවා.
1867 වනවිට ජනාධිපති මාවතේ පිහිටි ප්‍රදීපාගාරය ඉදිවීමෙන් පසු මෙය භාවිතයෙන් අත්හැර ඇති අතර පසුව ඉංග්‍රීසින් කොළඹ කොටු පවුර කඩා දැමූ 1869- 71 කාලයේ දී මෙයත් විනාශ කර දමා තිබෙනවා.