රුහිරු ගංගාවේ සටන

දකුණු අප්‍රිකානු ඉතිහාසයේ සුදු හා කළු ජාතිකයන් අතර මතභේදාත්මක ඉතිහාසයේ එක වැදගත් සිදුවීමක් වන්නේ 1838 සිදු වූ රුහිරු ගංගාවේ සටන (Battle of the Blood River) යි. එම සටන සිදුවීමට හේතු වූ පසුබිම සලකා බලමු.

කේප් ජනපදය ඇතිවීම

අද දකුණු අප්‍රිකාව ලෙස හැඳින්වෙන ප්‍රදේශයේ මීට අවුරුදු 500කට පමණ පෙර ජීවත් වුණේ බුෂ්මන් හා හොටෙන්ටොට් යන ස්වදේශික ගෝත්‍රවලට අයිති ජනතාව යි. 17 වන සියවසේ දී මෙහි මුල්වරට ජනාවාස පිහිටුවන්නේ ඕලන්ද නැගෙනහිර ඉන්දීය සමාගම විසින්. එය‍ට හේතුව වන්නේ ඉන්දියාව බලා යන සිය නැව්වලට අවශ්‍ය ආහාර පාන ලබාදීමට හා නැව් අලුත්වැඩියාවට මධ්‍යස්ථානයක් ඇති කිරීම. මෙම ජනාවාසය කේප් ජනපදය ලෙස හැඳින්වෙනවා. මෙම ජනපදයේ ආහාර නිෂ්පාදනය සඳහා ඕලන්ද ජාතිකයන් විශාල පිරිසක් හා මැලේසියානු, ඉන්දියානු වහල් ප්‍රජාවක් ද පදිංචි කරවනු ලබනවා. 17 වන සියවසේ මැද භාගයේ දී කතෝලික දේශපාලන අධිකාරියෙන් තමන්ට ඇතිවුණු පීඩා නිසා ස්වයං පිටුවහල් වූ හියුගොනො නම් ප්‍රංස කිතුණුවන් විශාල පිරිසක් ද මේ ජනපදයේ පදිංචි වනවා. දකුණු අප්‍රිකාවේ බෝයර්වරු නොහොත් ඇෆ්රිකාන්වරු ලෙස අප අද දන්නා, ඕලන්ද බසට සමාන භාෂාවක් කතාකරන සුදු ජාතික ජන වර්ගයේ ආරම්භය සිදුවන්නේ මේ ආකාරයට යි.

බ්‍රිතාන්‍ය පාලනය හා බෝයර්වරු සමග ගැටුම්

මහා සංක්‍රමණය  source Alamy Stock Photos

1789 ප්‍රංස විප්ලවයෙන් පසු 1792 දී ප්‍රංස සමූහාණ්ඩු හමුදාව ඕලන්දය ආක්‍රමණය කිරීම නිසා එවක ඕලන්ද පාලකයා බ්‍රිතාන්‍යයට පලා යනවා. ඕලන්දයේ බිහිවන්නේ විප්ලවවාදී ප්‍රංසය සමග මිත්‍රශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කළ බතාවියානු සමූහාණ්ඩුව යි. මේ නිසා 1795 දී බ්‍රිතාන්‍ය විසින් කේප් ජනපදය ආක්‍රමණය කොට යටත් කරනු ලබනවා. නැවත 1803 දී එම ප්‍රදේශය ඒමියන් ගිවිසුම අනුව බතාවියානු සමූහාණ්ඩුවටම භාර දෙනු ලැබූ නමුත් 1806 නැවතත් බ්‍රිතාන්‍ය විසින් කේප් ජනපදය යටත් කරගන්නවා. එයට හේතුව වන්නේ එවක ප්‍රංසයේ පාලක නැපෝලියන් බොනපාට් සමග පැවති යුද්ධය නිසා නිසා උපායමාර්ගිකව වැදගත් කේප් ජනපදය ප්‍රංස පාලනයට හසු වීම වැළැක්වීමට යි. මෙලෙස ස්ථිර බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත්වන කේප් ජනපදයේ පන්දහසක පමණ බ්‍රිතාන්‍ය ජාතිකයන් පිරිසක් ද මේ අවදි‍යේ පදිංචි වනවා.  බ්‍රිතාන්‍ය පාලකයන් උත්සාහ ගන්නේ බලෙන්ම ඉංග්‍රීසි භාෂාව හා බ්‍රිතාන්‍ය සිරිත් විරිත් කේප් ජනපදය තුළ ස්ථාපිත කිරීමට යි. ඒ හැරුණු විට බෝයර්වරු වහල් මෙහෙය යොදා ගැනීම ද බ්‍රිතාන්‍ය පාලකයන්ගේ විරෝධයට හේතු වනවා. 1834 වසරේ දී කේප් ජනපදය තුළ වහල් මෙහෙය තහනම් කරනු ලබනවා. සිය කෘෂිකාර්මික කටයුතු සඳහා වහලුන් ‍යොදා ගත් බෝයර්වරුන්ට මෙය විශාල පාඩුවක් වනවා. එම නිසා කේප් ජනපදයෙන් ඉවත්වීමට බෝයර්වරුන්ගෙන් පිරිසක් තීරණය කරනවා.

මහා සංක්‍රමණය හා, සූලූවරු හා බෝයර් නියෝජිත කණ්ඩායමේ සංහාරය

බෝයර්වරු  දකුණු අප්‍රිකාවේ නැගෙනහිර දෙසට සංක්‍රමණය වූ අයුරු දැක්වෙන සිතියමක්  Wikipedia

බෝයර්වරුන් සිය දරුපවුල් ද, රැගෙන යා හැකි දේපළ සහ ගොවිපළ සතුන් ද සමග ආවරණය කරන ලද කරත්ත යොදාගෙන දකුණු අප්‍රිකාවේ නැගෙනහිර ප්‍රදේශය වෙත යාම ඇරඹුවා. ඔවුන්ගේ බලාපොරොත්තුව වූයේ බ්‍රිතාන්‍ය පාලනයෙන් මිදුනු ස්වාධීන වාසස්ථාන හා පාලන ප්‍රදේශ පිහිටුවා ගැනීමත්, වහල් මෙහෙය හා ඕලන්ද භාෂාව භාවිතා කිරීම ඇතුළු ඔවුන්ගේ සාම්ප්‍රදායික ජීවන රටාව පවත්වා ගෙන යාමත්. ඔවුන්ගේ ගමනාන්තය වූයේ නටාල් ප්‍රදේශය යි.

දින්ගාන රජු හා පීට් රෙටීෆ් ගිවිසුම්  අත්සන් කරමින් publicdomain.com

මේ අවදි‍යේ නටාල් ප්‍රදේශයේ වාසය කළේ සූලු නම් බලගතු ගෝත්‍රයක්. 1820 පමණ දී ෂාඛා සූලු රජු යටතේ සූලූ රාජධානිය බිහිවුණා. යුදකාමී ගෝත්‍රයක් වූ සූලූවරු අනෙකුත් කළු ගෝත්‍රිකයන් භීතියට පත් කිරීමට සමත් වුණා. මේ අතර ෂාඛා රජු මරා දමන දින්ගාන සූලු රජ බවට පත් වනවා. සංක්‍රමණික බෝයර්වරුන්ගේ ප්‍රධානියෙක් ලෙස කටයුතු කරන පීට් රෙටීෆ්, බෝයර්වරුන් හට නටාල් ප්‍රදේශයේ ගොවිපළවල් පිහිටුවා ගැනීමට ස්ථිර වාසස්ථාන සඳහා ඉඩම්වලට පැහැදිලි මායිම් ලබා ගැනීම සඳහා දින්ගාන රජු සමග සාකච්ඡාවලට අවතීර්ණය වෙනවා. වෙනත් බන්ටු ගෝත්‍රිකයන් විසින් පැහැරගන්නා ලද සූලු වරුනට අයත් ගවයන් 700ක් ආපසු ලබා ගැනීමට බෝයර්වරුන්ගේ ආධාර ලබා දෙන බවට පොරොන්දුව මත, තුගේලා නදිය හා ශාන්ත ජෝන් බලකොටුව අතර ඉඩම් බෝයර්වරුන් හට ලබා දීමට මේ ගිවිසුම අනුව දින්ගාන එකඟ වනවා.

බෝයර් නියෝජිත කණ්ඩායම මරා දමන ලෙසට දින්ගාන රජු අණ දෙයි  Wikimedia commons

අනතුරු හැඟවීම් මධ්‍යයේ 1838 පෙබරවාරි 6 දින පීට් රෙටීෆ්, ඔහුගේ පුත්‍රයා හා අනෙකුත් නියෝජිතයන් සමග කළු ජාතික මෙහෙකරුවන් ද ඇතුළු සියයක පමණ පිරිසක් දින්ගාන රජු හමුවට යන්නේ අදාළ ගිවිසුම අත්සන් කිරීමට යි. ‍දෙපාර්ශ්වයෙන්ම සාක්ෂිකරුවන් තිදෙනෙකු හා එක්ව දින්ගාන සමග ගිවිසුම අත්සන් කරන නමුත් ඒ වහාම සූලූ භටයන් පී‍ට් රෙටීෆ් හා නියෝජිත කණ්ඩායම තම අත්අඩංගුවට ගන්නවා. ඉන්පසු දින්ගානගේ නියෝගය පරිදි නියෝජිත කණ්ඩායමේ සාමාජිකයන් අමානුෂික ලෙස මරා දමනු ලබන්නේ පීට් රෙටීෆ් ඉදිරිපිටම යි. අවසානයේ ඔහුව ද ඝාතනය කරනු ලබනවා. ඉන් නොනවතින දින්ගාන බ්ලූක්රන්ස් නදිය අසල වාඩි ලා සිටින බෝයර්වරුන්ගේ පවුල්වලට ද පහර දෙන ලෙස හමුදාවට අණ කරනවා. එහි දී සිදුවන සංහාරයෙන් කුඩා ළමුන් විශාල ප්‍රමාණයක්, කාන්තාවන් ඇතුළු 500කට අධික පිරිසක් සූලුවරුන් අතින් ඝාතනයට පත්වනවා.

සූලූ හමුදාව විසින්  බෝයර් සාමාන්‍ය ජනතාව ඝාතනය කිරීම wikipedia

මෙම සංහාරයන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා නටාල්හි බෝයර් ප්‍රධානීන් විසින් සූලූ රාජධානියේ අගනුවරට පහර දීමට උත්සාහ ගත්තත් එය අසාර්ථක වනවා. එම නිසා ඒ වන විට කේප් ජනපදයේ සිටි බෝයර් නායකයෙක් වූ ඇන්ඩ්‍රීස් ප්‍රිටෝරියස් නටාල් වෙත ගෙන්වා ගන්නේ තම බලකායන්හි අණදෙන නිලධාරියා වශයෙන්.

සූලුවරුන් හා සංග්‍රාමය

ඇන්ඩ්‍රීස් ප්‍රිටෝරියස් සූලූ රාජධානියට තම හමුදාව ගෙනගියත් ඔවුන්ගේ අගනුවරට පහර දීම අපහසු බව ඔහුට වැටහුනා. එමෙන්ම සූලූ හමුදාව බෝයර්වරුන්ට වඩා සංඛ්‍යාවෙන් අති මහත් වුණා. බෝයර්වරු භක්තිමත් කිතුණුවන් වූ නිසා සූලූවරුන්ට එරෙහි සංග්‍රාමය ජයග්‍රහණය කිරීම සඳහා තම දෙවියන්වහන්සේ සමග “ගිවිසුමක්” ඇති කරගත් බව කියවෙනවා. ඒ, සංග්‍රාමය සිදුවන දිනය ඉන්පසු සෑම වසරකදීම සැමරීමට යි.

ඇන්ඩ්‍රීස් ප්‍රිටෝරියස්    Alamy Stock Photos

සූලු සේනාව මෙහෙයවන්නේ පළපුරුදු අණදෙන නිලධාරියෙකු වන න්ඩ්ලෙලා කසොම්පිසි විසින්. සූලූ හමුදාවන් තමන් සොයා පැමිණෙන බව ප්‍රිටෝරියස් හට ආරංචි වනවා. ඒ අනුව බෝයර් හමුදාව න්කෝමේ නදිය අසබඩ වාඩි ලා ගන්නේ උපායමාර්ගිකව එය ආරක්ෂා කිරීමට පහසු ස්ථානයක් නිසා. බෝයර් හමුදාව සමන්විත වන්නේ 464 දෙනෙකුගෙන් (හා කළු ජාතික සේවකයන් 200 දෙනෙකුගෙන්) පමණ යි. ඔවුනට පහර දීමට පැමිණෙන සූලූ සේනාව 10 000 – 15 000 අතර සංඛ්‍යාවක් බව විවිධ වාර්තා අනුව දැක්වෙනවා. සූලූවරුන් සම්බන්ධයෙන්  අවම සංඛ්‍යා ගත්තත්, මේ අනුව සෑම ඇෆ්රිකාන් භටයෙක් සඳහාම සූලූ භටයන් 20 දෙනෙකුගේ අනුපාතයක් වනවා. 1838 දෙසැම්බර් 15 වැනි දින සූලූ හමුදාව න්කෝමෝ ගංගාව තරණය කොට බෝයර්වරුන්ට පහර දීමට සැරසුනත් එලෙස හැකිවූයේ සූලූ හමුදාවෙන් බාගයකට පමණ යි. මේ නිසා හමුදාවෙන් භාගයක් ග‍ඟේ එක පසක සිටිය දී අනෙක් පිරිස ප්‍රහාරය මෙහෙයවූවා.

රුහිරු ගංගාවේ සටන  Alamy Stock Photos

සංඛ්‍යාවෙන් ඉතා කුඩා වූවත් බෝයර්වරුන් සතුව ගිනි අවි හා විශේෂයෙන්ම කුඩා කාලතුවක්කු ද තිබුණා. සූලූවරුන් සාම්ප්‍රදායිකව ඉතා දිග හෙල්ල භාවිත කළ ද, ෂාඛා රජු සමයේ වූ වෙනස්කම්වල ප්‍රතිඵලයක් ලෙස ඒ වන විට භාවිතා කළේ සමීප ගැටුම් සඳහා  භාවිතා වන කෙටි හෙල්ලයක්. මෙම පැහැදිලි අවාසිය නිසා සූලූ භටයන් අති විශාල සංඛ්‍යායාවක් බෝයර් වෙඩි පහරින් මරු වැළඳගත්තා. සිය වෙඩි බෙහෙත් අවසන් වූ පසු ප්‍රිටෝරියස් සිය අශ්වාරෝහකයන් මඟින් ඉතිරි වූ සූලූ හමුදාවට පහර දී එය කොටස් දෙකකට කැඩීමට සමත්වුණා. මින්පසු තම හමුදාවෙන් 3000ක් අහිමි වූ සූලූ හමුදාව පසු බසිනවා. මැරුණු සූලූ භටයන්ගේ රුධිරයෙන් න්කෝමෝ ගංගාව රත් පැහැ ගත් බව පැවසෙනවා. එම නිසා බෝයර්වරු එම නදිය රුහිරු ගංගාව ලෙස හැඳින්වූවා. බෝයර්වරුන්ට වන හානිය තිදෙනෙක් තුවාල ලැබීම පමණ යි.

මේ ජයග්‍රාහි සටන දකුණු අප්‍රිකාවේ බෝයර් නොහොත් ඇෆ්රිකාන් බලය පිහිටුවීමේ හැරවුම් ලක්ෂ්‍යයක් වුණා. අද ද දකුණු අප්‍රිකාවේ ප්‍රධානතම නගරයක් බව ප්‍රිටෝරියාව බිහිවන්නේ අණදෙන නිලධාරි ඇන්ඩ්‍රීස් ප්‍රිටෝරියස් අනුස්මරණය කිරීමට යි.

මූලාශ්‍රයයන්:

Brittanica.com, tripsavvy.com

Cover : tripsavvy.com

 

Related Articles

Exit mobile version