රුහුණේ යටාල මහා විහාරයේ යටගිය කතා

කතරගම යන ගමන් යටාල වෙහෙරත් වන්දනා කිරීමට අපේ වැඩිදෙනෙක් යනවා. නමුත් මේ ඉපැරණි විහාරයේ ඓතිහාසික වැදගත්කම ගැන විමසීමට නම් උනන්දු වන්නේ කලාතුරකින් කෙනෙන් පමණයි. මහාවංශ පුවත් අනුව රුහුණේ තිස්සමහාරාමය ඉදිකිරීමටත් පෙර රාජ්‍ය අනුග්‍රහයෙන් තැනූ විහාරයක් ලෙස යටාල වෙහෙර හැඳින්වීමට පුළුවන්. පුරාණ රෝහණයේ පැවති ආගමික විභූතිය අදටත් විදහා දක්වන තැනක් ලෙස යටාල වෙහෙර සැලකිය හැකි යි.

දාගබේ පිළිම ගෙවල්- amazing lanka.com

පිහිටීම

හම්බන්තොට කතරගම පාරේ තිස්සමහාරාමයටකිලෝ මීටර් එකහමාරක් දුරින් දෙබරවැව හන්දියත්, අකුරුගොඩ හන්දියත් අතර මහා මාර්ගය අද්දර මෙම රජමහා විහාරය පිහිටා තිබෙනවා.

විහාරයේ කැපීපෙනෙන අංගය වන්නේ පුරාණ දාගබ යි. අද මහා මාර්ගය වැටී ඇත්තේ පුරාණ විහාර භූමිය මැදින් නිසා විහාරය දෙකඩ වී තිබෙනවා. මාර්ගය දෙපස ම නටබුන් තිබීමෙන් ඒ බව අපට පැහැදිලි වෙනවා.

විහාරය දෙකට බෙදන මහා මාර්ගය – Trip advisor.com

යටාල විහාරය හදපු හැටි

යටාල වෙහෙරේ ආරම්භය පිළිබඳ පුවත මහාවංශයේ එන ජනප්‍රිය කතාවක්. ඒ කතාව කියවල ම ඉන්න:

අනුරපුර රජ කළ දෙවැනි පෑතිස් රජුගේ සොහොයුරු මහානාග යුවරජු සාමයෙන් යුවරාජ පදවිය දරමින් සිටියා. එහෙත් දෙවන පෑතිස් රජුගේ බිසවට අවශ්‍ය වුණේ ඇයගේ පුතුට රජකම ලබාදීමට යි. එයට යුවරජු මහානාග මහානාග තර්ජනයක් වේ යයි සිතා ඔහු මරණයට පත්කිරීමට ඇය උපක්‍රම යෙදුවා. ඒ උපක්‍රමය ක්‍රියාත්මක කළේ වලස්වැව කරවමින් සිටි මහානාග රජුට තෑගි වශයෙන් විෂ යෙදූ අඹයක් සහිත පලතුරු කූඩයක් යැවීමෙන්.

වෙහෙර මළුවේ නටබුන්- Amazing lanka.com

දෙවන පෑතිස් බිසවගේ බාල පුතු ද වැව ඉදි කරන අයුරු නැරඹීමට ගොස් සිටියා. ඔහු පලතුරු කූඩයේ තිබූ විෂ අඹය අනුභව කිරීමෙන් මරණයට පත්වුණා. මේ සිද්ධිය දුටු මහානාග තමන් මැරීමට බිසව යෙදූ උපාය වැරදී ගිය බව වටහාගෙන වහාම තම ගැබිණි බිසව ද රැගෙන අනුරාධපුරයෙන් රුහුණට  පලා ගියා.

එසේ පලා යන අතර රුහුණේ මෙම දාගැබ පිහිටි ස්ථානයේ දී පුතකු ඉපදුණා. යුව රජු තම පුතුට බෑයාගේ නම වන යටාල යන නම තැබුවා.  පසුව එම සිද්ධිය සිහිපත් වීමට මේ විහාරය කරවා තිබෙනවා. මේ සිද්ධිය ථූපවංශය, ලලාට ධාතු වංශය, සද්ධර්මාලංකාරය, පූජාවලිය ආදි ඓතිහාසික කෘතිවලත් දැක්වෙනවා.  

යටාල වෙහෙර

පුරාවිද්‍යා සාක්ෂි අනුව ඉතිහාසයේ යුග ගණනාවකදී මෙම දාගබ සහ විහාර ගොඩනැගිලි ප්‍රතිසංස්කරණයට ලක් ව තිබෙනවා. නමුත් එයට රාජකීය අනුග්‍රහය දැක්වූ පාලකයන් ගැන කිසිදු සෙල්ලිපි සාධකයක් නම් හමු වී නැහැ.

  දාගබ වටා කෙත් යාය අද පොකුණක් වී ඇති අයුරු – travel with honey facebook page

 

මාගම දාගබ් අතර යටාල වෙහෙර විශාලත්වයෙන් දෙවැනි වන්නේ තිස්සමහා වෙහෙරට හා සඳගිරි සෑයට පමණයි. අද මේ සෑය වටා කෙත්යායක් පිහිටා තිබෙනවා.  පුරාණයේ මෙහි කුඹුරු තිබී නැහැ. වනගත වූ රුහුණේ බිම් යළිත් ජනාවාස වූ ඉංග්‍රීසි යුගයේ මේ අවට කුඹුරු තනන්නට ඇති බව පේනවා.

කුඹුරු ඉඩම්වල ද නටබුන් හමු වී තිබෙනවා. පුරාවිද්‍යා කැණීම්වල දී හෙළි වී ඇත්තේ ක්‍රිස්තු පූර්ව පළමුවන සියවසේදී මෙහි මුලින් ම දාගබ ඉදිකරන්නට ඇති බව යි. සිව්වන සියවසේ දී එය වඩාත් විශාල කොට බැඳවූ බවත් හෙළි වී තිබෙන කරුණක්.

 යටාල වෙහෙර සමරමින් නිකුත් වූ වෙසක් මුද්දරය- touchstamps.com

දාගබ ප්‍රතිසංස්කරණය

සියවස් ගණනාවක් තිස්සේ ගරා වැටී වනගත ව ගඩොල් ගොඩැල්ලක් බවට පත්ව තිබූ මේ දාගබ යළිත් පෙර තත්ත්වයට ගෙන යාමේ උත්සාහයක් 19 වැනි සියවසේ අගභාගයේදී ඇරඹුණා. ප්‍රදේශවාසීන් එකතු වී යටාල දාගබ ප්‍රතිසංස්කරණ සමිතිය ද පිහිටුවා ගෙන තිබුණා. සමිතිය මගින් 1883 දී මෙහි පේසාවළලූ තුනක් දක්වා ප්‍රතිසංස්කරණය කෙරුණු බව සඳහන් වෙනවා.

ඒ අවස්ථාවේ දී ලැබුණු පුරාවස්තු ගැන හෙන්රි පාකර් සිය පුරාණ ලංකාව  (Ancient Ceylon) නම් කෘතියේ විස්තර කෙරෙනවා:

”යටාල දාගබ ප්‍රකෘතිමත් කිරීමේ කටයුතුවල දී දාගැබ වටා ගොඩගැසී තිබුණු සුන්බුන් ඉවත් කිරීමේ දී නිදන් කොල්ලකරැවන් විසින් ස්ථූපයෙහි ඇතුළු ගැබින් පිටතට ගෙන නොවටිනා දේවල් දේ සලකා විසිකර දැමූ කෞතුක භාණ්ඩ රුසක් සොයා ගන්නා ලදී. පුරාණ රිදී කාසි දෙකක්, කැටයම් කළ මැණිකක ලොකු කොටසක් සහිත පේරුස් මුද්දක් ද ඒ අතර විය”(පුරාණ ලංකාව පරි. නිස්සංක පෙරේරා, 402 පිට)

දාගබ වටා යන ඇත් පවුර – drfumblefinder.com

පුරාවිද්‍යා සංරක්ෂණය

යටාල දාගබ යළිත්  ප්‍රතිසංස්කරණය කිරීමේ උත්සාහය ඇරඹෙන්නේ 1975 දී යි. පුරවිද්‍යා දෙපාර්තමේන්තුව සමඟ දාගබ් ප්‍රතිසංස්කරණ සමිතිය ගිවිසුමකට එළඹුණු අතර පුරාවිද්‍යා කැණීම් සහ සංරක්ෂණ සැලසුම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ද වියදම සමිතියෙන් ද දැරීමට එකඟතාවක් ඇති වුණා. මෙහි කැණීම් සහ සංරක්ෂණ කටයුතු 1987 දී නිමාවට පත්ව තිබෙනවා. කැණීම්වලදී හමුවූ පුරාවස්තු තැන්පත්  කළ කෞතුකාගාරයක් ද දාගබ් මළුව අසල ම පිහිටුවා තිබෙනවා.  

 හුණුගල් බුදු පිළිම – destimap.com

විශාල ම  ආසනඝරය

ලංකාවේ විශාලත ම ආසනඝරය හමු වන්නේ යටාල වෙහෙරින්. බුදු පිළිම තැනීමට පෙර බැතිමතුන් මල් තබා වන්දනා කළ තැනක් තමයි ආසනඝරය කියන්නේ. මෙම පුදබිම ක්‍රිස්තු පූර්ව පළමුවන සියවසට වඩා පැරණි බව මහාචාර්ය කඹුරුපිටියේ වනරතන හිමියන් සඳහන් කරන්නේ මෙම ආසනඝරයේ නටබුන් අනුව යි.

ආසන පූජාව ආරම්භ වූයේ බුදු පිළිම නිර්මාණයට පෙර බුද්ධත්වය සඳහා වැඩ හිඳි වජ්‍රාසනය සිහියට නංවමින් ඒ ආසනය වෙනුවට ගල් ලෑල්ලක් සකස් කොට ගල්කණු මත පිහිටුවා ඒ සඳහා ගෘහයක් ද කරවීමේ සිරිත අනුව යි.  මේ ආසන පූජාව ක්‍රිස්තු වර්ෂ 5 සියවස දක්වා පැවති බව අටුවාවලින් පෙනී යනවා.  ආසනය පිහිටි ගල්ලෑල්ල  දිගින් අඩි 22ක් ද, ඝනකමින් අඟල් 22ක්  ද වෙනවා. එය පිහිටුවා ඇත්තේ අඩි 68ක් දිගැති අඩි 66ක් පළල ගොඩනැඟිල්ලක යි. දාගබට පෙර පටන් මෙහි ආසනඝරය පිහිටුවා තිබෙන්නට ඇති බව ඒ අනුව පේනවා.

  දාගබ ගුවනට පෙනෙන අයුරු- destimap.com

මහා විහාරයට අයත් දාගබ

බුබ්බුලාකාර හැඩැති දාගබ් මළුවට පිවිසෙන විට ම අප නෙත් ගැටෙන්නේ මළුව වටා යන ගඩොලින් කළ ඉපැරණි හස්ති ප්‍රාකාරය යි. එය රුහුණේ හමුවන එකම ඇත් පවුරයි.  හස්ති ප්‍රාකාරයේ පැරණි බදාම තට්ටුව සමහර තැන්වල තවමත් ඉතිරි ව තිබෙනවා. මෙය අපට රුවන්වැලිසෑයේ ඇත් පවුර සිහිපත් කරවනවා. සැබවින්ම යටාල වෙහෙර ද රුවන්වැලිසෑය මෙන් මහාවිහාර සම්ප්‍රදායට අයත් පුදබිමක්. මහාවිහාර වූ කලී ලංකාවේ විහාරාරාම ඉතිහාසය තුළ පූර්ව සැලැස්මක් සහිතව ඉදි කළ ප්‍රථම විහාර වර්ගයයි.

මෙම විහාරාරාම ඉදිකරන්නේ ස්ථූපයක් හෝ වටදාගෙයක් මුල්කරගෙන යි. ස්ථූපය වටා පිහිටි  භූමිය මනාව සැලසුම් කර පරිවෘත්තයක් සිටින සේ අංගන කිහිපයකට බෙදා ගොඩනැඟිලි ඉදිකර තිබෙනවා. මෙවැනි රජමහා විහාරයක පහත සඳහන් අංග ඇතුළත් වෙනවා. ඒ බෝධි වෘක්ෂය, උපෝසථඝරය, සන්නිපාත ශාලාව, පිළිම ගෙය, ධර්ම ශාලාව, ස්නානාගාරය, ලැඟුම් ගෙවල්, දාන ශාලාව, ජන්තාඝරය (උණුපැන් ස්නානඝරය) ආදියයි.

 බෝසත් ප්‍රතිමාවේ අලංකාරණ- Amazing lanka.com

කැණීම් කරන විට හස්ති ප්‍රාකාරයේ මුදුන තිබුණේ පොළෝ මට්ටමේ සිට අඩි තුනක් යටින්. සියවස් ගණනාවක් තිස්සේ පස් තට්ටු තැන්පත්වීමෙන් ඇත්පවුරටත් ඉහළින් අඩි තුනක් දක්වා පස් එකතු වී තිබුණා. අදත් වැසි සමයට යාබද කෙත්යායත් සමඟ මේ ප්‍රාකාරය ද ජලයෙන් යටවෙනවා. ඇත්පවුරේ පදනමේ සිට බලන විට පොළෝ මට්ටම ඇත්තේ අඩි 8ක් පමණ ඉහළින්. දාගබ් මළුව වරින්වර ප්‍රතිසංස්කරණයට ලක්ව තිබෙනවා. දාගබට සවිකර තිබූ ඡුත‍්‍රගලක් ද මළුවේ දක්නට ලැබෙනවා.

ශෛලමය බෝසත් ප්‍රතිමාව

මළුවේ ප්‍රතිමා අතර රුහුණේ බෝසත් ඇදහිල්ල ස්මරණය කරවමින් අවලෝකිතේශ්වර බෝධිසත්ව රූපයක් දැකගත හැකි යි. එය පිහිටුවා ඇත්තේ ගඩොලින් තැනූ ගොඩනැඟිල්ලක යි. මහායාන බලපෑම පැහැදිලි කරමින් රුහුණේ සිතුල්පව්ව, බුදුගල්ලෙන, මූදු මහා විහාරය වැනි ස්ථානවලින් ද මෙවැනි අවලෝකිතේශ්වර බෝධිසත්ව රූප ලැබී තිබෙනවා.

10 කටුගෙයි ඇති හිටි බුදු පිළිම-Nishan Weerasooriya, Amazing lanka.com

පුරාවිද්‍යා කටුගේ

පුරාවිද්‍යා කෞතුකාගාරයේ කැණීම්වලින් හමු වූ පුරාවස්තු රාශියක් දැකගත හැකි යි. හුණුගලින් කළ බුද්ධ ප්‍රතිමා, බුද්ධ ප්‍රතිමා ශීර්ෂ, මුරගල්, සෙල්ලිපි කොටස් ආදී පුරාවස්තු එහි  තැන්පත් කර තිබෙනවා.  

මෙහි බුද්ධ ප්‍රරතිමා අතරින් විශේෂත්වය ගන්නේ පොළොන්නරුව ගල් විහාරයේ හිටි ප්‍රතිමාවට සමාන ආකාරයේ බුදු රුව යි. මෙහි මුලින් ම සොයා ගනු ලැබුවේ ගල්පඩි අතර තිබූ ගෙවීගිය හිස කොටස යි. දෙපා කැඩී ඇති ප්‍රරතිමාවේ උස අඩි 5කට වැඩි යි. පපුව හරහා කතිරයක් මෙන් දෑත් තබාගෙන සිටින පිළිමය නෙළා ඇත්තේ තිවංක ඉරියව්වෙන්. වම්පාදය දණහිස ළඟින් මඳක් නැවී ඇති අතර ප්‍රතිමාවේ උරහිස හා තුනටියද යම් තරමකට නැවී තිබෙනවා. ප්‍රතිමාවේ මතුපිට අදවනවිට ගෙවී ඇතත් හොඳින් ඔපමට්ටම් කර ඇති බව පෙනෙනවා. දෙඇස් වෙනුවට ඇති කුහර දෙකෙහි මැණික් ඔබ්බවා තිබෙන්නට ඇතැයි සිතිය හැකියි.

සිවුර ඒකාංශ කර පොරවා තිබෙනවා. එය අනුරාධපුරයේ පිළිමවල චීවර රැල්ලට සමානතාවකින් යුක්ත යි. සිරුරේ උදරය කොටස ඉදිරියට පිම්බී ඇති බවක් පෙන්වීමෙන් සිවුරේ සියුම්බව දක්වා තිබෙනවා. මෙය 8 වැනි සියවසට අයත් බව මහාචාර්ය පී.එල්. ප්‍රේමතිලක සඳහන් කරනවා.

කටුගෙයි ඇති හුණුගලින් කළ තවත් හිටි බුද්ධ ප්‍රතිමා දෙකක් සුවිශේෂී වෙනවා. ඒ අතරින් එකක හිස නැහැ. පිළිම දෙකෙහි ම දකුණු අත උරහිස අසලින් ද වම් අත මැණික් කටුව ළඟිනුත් කැඩී ගිහින්. හිස සුන් පිළිමය උසින් අඩි 5 යි. හිස සහිත පිළිමය උසින් අඩි හයහමාරකි. විසිතුරු ලෙස කළ මකර රුවක් සහ පලාපෙති කැටයම් කළ මුත‍්‍රගලක්ද මෙහිදී දැකගත හැකි යි. වැසිකිළි ගල්, සිරිපතුල් ගල් ආදියද කණු පාදම්, මැටි නළ ද මේ පුරාවස්තු සමූහය අතර වෙනවා.

ප්‍රතිමා මන්දිර අටක නටබුන් ද  මළුව මත පිහිටා තිබෙනවා.

කවරයේ ඡායාරූපය: දාගබ වටා කෙත්යායේ ජලය පිරුණු අවස්ථාවක් - facebook 

මූලාශ්‍ර:

පුරාණ ලංකාව- එච්. පාකර්ප - රි. නිස්සංක පෙරේරා‍

ලක්දිව බුද්ධ ප්‍රතිමා - මාලිංග අමරසිංහ

වනරතන නාහිමි අභිස්තව සංග්‍රහය - සංස්. මහාචාර්ය ගතාරේ ධම්මපාල හිමි, රත්නසිරි අරංගල

Related Articles

Exit mobile version