රජුගේ භාර්‍යාවන් වූ ඩහොමි කාන්තා යුද බටයින්

ලෝකයේ සිටින විවිධ යුද සේනා පිළිබඳ අප අසා ඇත. ඒ අතරින් බොහොමයක් සේනා සමන්විත වන්නේ පිරිමි යුද භටයින්ගෙනි. වර්තමානය වන විට කාන්තා සොල්දුවන් යන සංකල්පය සාමාන්‍ය දෙයක් වුවත් අතීතයේ කාන්තා සොල්දාදුවන් දැකිය හැකි වූයේ ඉතාමත් කලාතුරකිනි. ඩහොමි කාන්තා යුද භටයින් යනු එකල ජිවත් වූ ප්‍රබල කාන්තා සොල්දාදුවන් පිරිසකි. මෙම ලිපිය තුළින් අප බලාපොරොත්තු වන්නේ ඩහොමි කාන්තා යුද බටයින් පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙන ඒමටයි.

ඩහොමි රාජ්‍යය පිහිටුවීම

messynessychic.com

ඩහොමි රාජ්‍යය පූර්ණ රාජාණ්ඩුවකි. මෙහි රජුට සේනා බලය මෙන්ම පිරිවර ජනයාගේ බලයද හිමි වී තිබුණි. මෙම රාජ්‍යයේ පැවතී සමාජ ස්ථරයන් වුයේ රජ පෙළපත, සාමාන්‍ය වැසියන් හා වහලුන්ය. සටනේදී අල්ලා ගත් රාජ්‍යයන් විවාහ සබඳතා, එකම නීති පද්ධති පැනවීම ආදිය තුළින් ඒකාබද්ධ කිරීම කරන ලදී. ඩහොමි රාජ්‍ය යුද්ධ සංවිධානය කරන ලද්දේ දේශ සිමා පුළුල් කිරීමේ කාර්ය සඳහා පමණක් නොවන අතර සටන් වලදී අල්ලාගත් තැනැත්තන් වහලුන් ලෙස යොදා ගැනීමද ඔවුන්ගේ ප්‍රධාන අරමුණක් විය. මෙම වහලුන් අවි ආයුධ වලට යුරෝපය සමඟ හුවමාරු කර ගැනීම හා රාජකීය වතු වල සේවයට යෙදවීම සිදු විය විය.

ඩහොමි කාන්තා යුද බටයින් යනු කවුරුන්ද?

බටහිර අප්‍රිකාවේ ඇති ඩහොමි රාජ්‍යයේ ජීවත් වූ ඩහොමි කාන්තා යුද බටයින් සටන් කිරීමට උපන් හපනුන් වේ. මෙම කාන්තාවන් සමඟ සටන් කොට ඇති සතුරු යුද සේනා ඔවුන්ව හඳුන්වා ඇත්තේ වියරු වැටුණු මිනීමස් ආහාරයට ගන්නා දරුණු කාන්තාවන් කොටසක් ලෙසයි. යුරෝපිකයන් මොවුන් හඳුන්වා ඇත්තේ ‘ඇමසන්ස්’ ලෙස වන අතර ඩහොමි රාජ්‍යයේ වැසියන් මොවුන්ව හඳුන්වා ඇත්තේ රජුගේ භාර්යාවන් හෝ ඔවුන්ගේ අම්මාවරුන් ලෙසයි.

newsela.com

රජ මාලිගයේ සේවය කළ ඩහොමි කාන්තාවන් රජුගේ ආරක්‍ෂකයින් ලෙස ක්‍රියා කරන ලදි. දහ අට වන සියවස ආරම්භයේදී මොවුන් විවිධ රාජ්‍යය අත්පත් කර ගැනීමට රජු වෙනුවෙන් සටන් වදින ලදි. Gezo පාලකයාගේ නායකත්වය යටතේ මොවුන් සියලු සුදුසුකම් ඇති යුද සේනාවක් බවට පත් විය. 19 වන සියවසේ මැද භාගය පමණ වන විට ඩහොමි කාන්තා යුද භටයින් 4000 ත් 5000 ත් අතර ප්‍රමාණයක් සිටියහ. මෙම රාජ්‍යය තුළ ආණ්ඩුව හා යුද හමුදාව යන අංශ දෙකේම කාන්තාවන් හා පිරිමින් සම තත්වහි ලා සලකන ලදි.

ඩහොමි කාන්තා යුද බටයින්ගේ ආරම්භය

bust.com

ඩහොමි කාන්තාවන් මුලින්ම බඳවා ගනු ලැබූ තනතුර වුයේ කැලෑ ආරක්ෂක “rangers of the forest” තනතුරයි. එහිදී ඔවුන්ව හඳුන්වනු ලැබුවේ gebeto ලෙසයි. මොවුන්ට අලි ඇතුන් දඩයම් කිරීමේ විශේෂ හැකියාවක් පැවතුණි. නමුත් අලි ප්‍රමාණය අඩු වීමත් සමඟ මෙම කාන්තාවන්ට තවදුරටත් ඇත් දළ ලබා ගැනීමට ඇතුන් දඩයම් කිරීමට අවශ්‍ය නොවුණි. පසුව මොවුන් රජ මාලිගයේ ආහාර හා Abomy නගරයේ පැවති චාරිත්‍රානුකූල බිලි පූජා සඳහා අවශ්‍ය සතුන් දඩයම් කිරීම කරන ලදි. මේ අතරින් විශේෂ හැකියාවන් ඇති gebeto කාන්තාවන් සඳහා දුඹුරු පැහැති කමිසයක් හා දණහිස තෙක් දිග කලිසමක් ලබා දී ඇත.

යුද බටයින් බවට පත් වීම

19 වන සියවස වන විට මෙම කාන්තාවන්ට කාලතුවක්කු ලබා දෙන ලදි. මේ වන විට ඔවුන් තදින්ම රණකාමීන් බවට පත් වී සිටි අතර රජුට සේවය කිරීමට කැපවී සිටියහ. ඩහොමි ගැහැණු දරුවන් වයස අවුරුදු 8 ට වන විට හමුදාවට බඳවා ගෙන ඔවුන්ගේ අතට අවි ලබා දීම සිදු කර ඇත. මීට අමතරව ඇතැම් කාන්තාවන් තමාගේ කැමැත්තෙන්ම යුද සේවයට බැඳෙන ලදි. හමුදාවට බැඳුණු අවස්ථාවේ සිට මොවුන්ට ශක්තිමත් බව, වේගවත් බව, වේදනාව දරා ගැනීම හා අනුකම්පා විරහිත වීමට පුරුදු පුහුණු කිරීම ආරම්භ කරයි.

gambargin.deviantart.com

ඔවුන්ගේ පුහුණුව සඳහා කටු සහිත අතු වලින් ආවරණය කළ තාප්ප වලින් පැනීම, ආයුධ හා අනෙකුත් අවශ්‍ය ද්‍රව්‍ය නොමැතිව දින 10ක පමණ කැලෑ සංචාරයක නිරත වීම ආදිය ඇතුළත් වේ. මීට අමතරව මොවුන්ට සටන් කිරීම සඳහා පුහුණු වීමට සතුරු සිරකරුවන් ලබා දෙන ලදි. ඔවුන් යුද බටයින් බව ඔප්පු කිරීමට පිරිමින් මෙන් දෙගුණයක් දරඳඩු විය යුතු විය. යුද්ධයකදී රජු පසු බැසීමට අණ ලබා දෙතොත් මිස මෙම කාන්තාවන් මරණය දක්වාම සටන් කිරීම සිදු කරයි.

මුල්ම වරට ඩහොමි කාන්තාවන් යුද්ධයකදී සටන් කරන ලද්දේ 1708 වසරේදීය. ඒ දේශ සිමා පුළුල් කිරීම හා අන්තර්ජාතික වහල් වෙළඳ පොළට ප්‍රවේශය ලබා ගැනීම සඳහායි. 1728 වසරේදී Agadja රජු විසින් තම අරමුණු වලට ලඟා වීමට බොහෝ කාන්තා යුද බටයින් භාවිතා කරන ලදි. Agadja රජුගේ අනුප්‍රාප්තිකයින් පවා විශාල වශයෙන් තම ආරක්ෂාව සලසා ගැනීමට ඩහොමි කාන්තා යුද බටයින්ගේ පිහිට පතන ලදි. උදාහරණයක් ලෙස 1818 වසරේදී Adandozan රජුව කුමන්ත්‍රණ කරුවන්ගෙන් බේරා ගැනීමට ඩහොමි කාන්තා යුද බටයින් තම මරණය දක්වා සටන් කරන ලදි.

මොවුන් රජුගේ භාර්යාවන්ද?

afropolitan.co.za

සෑම ඩහොමි කාන්තා යුද බටයෙක්ම රජු සමඟ විවාහ වී ඇති ලෙස සැලකේ. නමුත් රජු මොවුන් සමඟ ලිංගික සබඳතා පවත්වන ලද්දේ ඉතාම කලාතුරකිනි. රජුගේ භාර්යාවන් ලෙස හැඳින්වීමට එක් හේතුවක් වූයේ මොවුන් රජුගේ ප්‍රධාන ආරක්ෂකයින් වීමයි. නුසුදුසු ආකාරයට මෙම කාන්තාවන් ස්පර්ශ කිරීම හෝ අතින් ඇල්ලීම සඳහා දඬුවම වන්නේ සිරගත කිරීම හෝ මරණයයි.

ඩහොමි කාන්තා යුද බටයින්ගේ අවසානය

ප්‍රංශ ජාතිකයින්ගේ පැමිණීමත් සමඟ ඩහොමි රාජ්‍යයේ අවසානය සිදු විය. මොවුන් ඩහොමි කාන්තා යුද සේනාංක විසුරුවා හරින ලද්දේය. මෙයින් පසු ඇතැම් කාන්තාවන් විවාහ දිවියට එළැඹුණු අතර ඇතැමුන් විසින් එය ප්‍රතික්ෂේප කරන ලදි. ඇතැමුන් විවාහය ප්‍රතික්ෂේප කරන ලද්දේ පිරිමි පුද්ගලයෙකුට යටත් වී සිටීමට ඇති අකමැත්ත නිසාවෙනි. මෙලෙස කාන්තා යුද සේනාංක විසුරුවා හැරීමෙන් පසු සමාජයේ පෙර ඔවුන්ට පැවති තත්වය කෙදිනකවත් නැවත නොලැබුණි.

කවරයේ පින්තුරය  – fancyprint.ru

Related Articles

Exit mobile version