දෙවන ලෝක යුද්ධය අවසන් වීමත් සමගම එකිනෙකා පරයා නැඟීසිටීම සඳහා සෝවියට් සංගමය හා ඇමෙරිකාව අතර දැවැන්ත තරගයක් නිර්මාණය වෙනවා. 1991 දී සෝවියට් සංගමය බිඳ වැටෙන තුරු මෙම විරසකය දරුණු ලෙස පැවති අතර එම කාල සීමාව “සීතල යුද සමය” ලෙස හඳුන්වනවා.
සීතල යුද සමය තුළ රටවල් දෙක මුහුණට මුහුණ ලා සටනකට අවතීර්ණය නොවූ නමුත් දෙරට අතර වරින් වර උණුසුම්කාරී අවස්ථා ඇති වෙනවා.
ඉහළ අහසේ සිට සෝවියට් දේශයේ ඔත්තු බැලීම සිදු කළේයැ යි පවසමින් ඇමෙරිකානු ගුවන් යානයක් රුසියානු ගුවන් ආරක්ෂණ බලකාය විසින් විනාශ කර දැමීම එවැනි එක් සිදුවීමක්. ඉතින් අද ලිපිය ඒ පිළිබඳව යි.
සෝවියට් දේශයේ ඔත්තු බැලීමට සැරසුණු ඇමෙරිකාව
ඇමෙරිකානු බුද්ධි මෙහෙයුම් කටයුතු සඳහා පාකිස්තානය තුළ ඇමෙරිකානු ගුවන් හමුදා කඳවුරක් ගොඩනැඟීමට 1958 වසරේ දී එවකට ඇමෙරිකානු ජනාධිපතිවරයා වන අයිසන්හවර් ඉල්ලා සිටිනවා. පාකිස්තානු අගමැතිවරයාගෙන් ඒ සඳහා අවසර ලැබුණු අතර ඇමෙරිකාවෙන් ගුවන් ගතවෙන U-2 නම් ඇමෙරිකානු ඔත්තු බලන යානා එහි ගොඩ බැස්සවීමට සැලසුම් වෙනවා.
විශේෂ කැමරා පද්ධතියකින් සමන්විත වූ ලොක්හීඩ් U-2 යානා ඇමෙරිකාවෙන් ගුවන් ගතකර සෝවියට් දේශය හරහා පාකිස්තානය වෙත ලඟා වීමට සැලසුම් වෙනවා. මේ කාලය වන විට සෝවියට් සංගමය සතුව තිබූ ප්‍රහාරක යානාවලට U-2 යානය තරම් ඉහළින් ගමන් කළ නොහැකි බව CIA සංවිධානය විසින් අනාවරණය කර ගන්නවා.
CIA සංවිධානය විසින් සතුරු රේඩාර් පද්ධතියට හසුනොවන ආකාරයට යානා කිහිපයක් සෝවියට් රුසියාවේ යුද පර්යේෂණ මර්මස්ථාන කිහිපයකට ඉහළින් යැවීමට තීරණය කරනවා. එය වසර කිහිපයක් දිගින් දිගටම කළ මෙහෙයුමක් බව සඳහන්.
සෝවියට් රුසියාව සතුව පවතින න්‍යෂ්ටික ශක්තිය, බැලස්ටික් මිසයිල තාක්ෂණයේ වර්ධනය හා ඔවුන් විසින් වැඩි දියුණු කරන ලද යුධ තාක්ෂණයේ තොරතුරු ගුවනේ සිට ලබාගැනීම මෙහි මූලික අරමුණ වුණා.
1960 වසරේ අප්‍රේල් 9 වන දා සෝවියට් දේශ සීමාවට ඉහළින් ඔත්තු බැලීමට පැමිණි U-2 යානයක් රුසියානු ගුවන් ආරක්ෂණ බලකාය විසින් හඳුනාගන්නවා. ඊට පහරදීම සඳහා MiG-19 හා Su-9 යන රුසියානු ප්‍රහාරක යානා ගුවන් ගත වෙන අතර, මේ බව වටහාගන්නා ඇමෙරිකානු ගුවන් නියමුවා වහා අසල රටක් වූ ඉරානයේ ගුවන් තොටුපොළක් කරා තම යානය පහත් කරනවා. මෙම සිදුවීමත් සමග අප්‍රේල් මාසය පුරාවටම සෝවියට් රුසියාව හරහා පාකිස්තානය වෙත ගුවන් යානා යැවීම සිදුකරන්නේ නෑ.
U-2 වෙත එල්ල වූ සාර්ථක ප්‍රහාරය
1960 වසරේ මැයි 1 වන දා පාකිස්ථානයේ පෙෂාවර්හි ඇමෙරිකානු ගුවන් හමුදා කඳවුරේ සිට සෝවියට් රුසියාව හරහා ඔත්තු බලමින් හා බුද්ධි තොරතුරු රැස් කරමින් නොර්වේ පිහිටි ඇමෙරිකානු ගුවන් කඳවුරක් වෙත යෑම සඳහා U-2 ගුවන් ගතවෙනවා. යානය පැදවීම ෆ්රැන්සිස් ගැරී නම් ඇමෙරිකානු ගුවන් නියමුවා විසින් සිදු කළ අතර පැය නවයකින් පසුව ගමනාන්තය වෙත ළඟා වීමට සැලසුම් කර තිබෙනවා.
යානය රුසියාවේ ස්වෙඩ්ලොව්ස්ක් ප්‍රදේශයට (වර්තමානය වන විට යෙකැටරින්බර්ග් ලෙස හදුන්වයි) ඉහළින් පියාසර කරන විට 1960 දී රුසියාව විසින් නිෂ්පාදනය කරන ලද S-75 Dvina නම් රුසියානු ගුවන් ආරක්ෂණ පද්ධතිය සක්‍රීය වන අතර වහා ගොඩබිම සිට ගුවනේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කරන මිසයිල කිහිපයක් ගුවනට මුදාහැරෙනවා.
එල්ල වූ දෙවන මිසයිලය යානයේ කොටසක ගැටෙන අතර මේ හේතුවෙන් යානයේ පාලනය අක්‍රිය වෙනවා. ඒ ක්ෂණිකව ක්‍රියාත්මක වෙන ගුවන් නියමුවා යානයෙන් ඉවතට පැන පැරෂුටයක ආධාරයෙන් නිරුපද්‍රිතව රුසියානුවන්ගේ භූමිය වෙත ගොඩ බසිනවා. පසුව ඔහුව අත්අඩංගුවට ගැනීමට රුසියානු ආරක්ෂක අංශ සමත් වෙනවා.
ඇමෙරිකාවේ බොරුව
මැයි 5 වන දා එවකට සෝවියට් සංගමයේ නායකයා වූ නිකිතා කෘෂෙව් විසින් තම හමුදාව ඔත්තු බැලූ ඇමෙරිකානු ගුවන් යානයක් බිම හෙලූ බව සඳහන් කරනවා. නමුත් ඔහු විසින් ඇමෙරිකානු ගුවන් නියමුවා අත්අඩංගුවට ගත් බව සඳහන් කරන්නේ නෑ.
මෙම ප්‍රකාශයත් සමග එවකට ඇමෙරිකානු ජනාධිපතිවරයා වූ අයිසන්හවර් ද ප්‍රකාශයක් නිකුත් කරනවා. එය ඔත්තු බැලු ගුවන් යානයක් නොවන බවත් නාසා ආයතනය විසින් කාලගුණ දත්ත ලබාගැනීමට ගුවන් ගත කරන ලද සිවිල් ගුවන් යානයක් බවත් ඔහු සඳහන් කර සිටිනවා.
නාසා ආයතනය විසින් ද මේ පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක් කැඳවන අතර එහි දී නාසා බලධාරීන් ප්‍රකාශ කරන්නේ තමන්ගේ යානාවක් එලෙස අතුරුදහන් වී ඇති බව යි.
ඊට පිළිතුරු ලෙස රුසියාව විසින් කඩා වැටුණු ගුවන් යානයේ විනාශ නොවී තිබූ තාක්ෂණික උපකරණ හා අල්ලාගත් ඇමෙරිකානු ගුවන් නියමුවා පිළිබඳව හෙළිකිරීම සිදුකරනවා. මෙසේ සත්‍ය හෙළිවීමත් සමග ඇමෙරිකාව වෙත තමන් විසින් ඔත්තු බැලීමේ ක්‍රියාවලියක නිරත වූ බව පිළිගැනීමට සිදුවෙනවා.
ගුවන් නියමුවාට වසර 10ක බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කිරීමට සෝවියට් අධිකරණය විසින් ක්‍රියා කරනවා. නමුත් වසර දෙකකින් පසුව ඔහුව නිදහස් කිරීමට සෝවියට් සංගමය තීරණය කරනවා. ඒ සිරකරුවන් හුවමාරු කිරීමේ වැඩසටහනක් යටතේ යි.
දෙරට අතර සම්බන්ධතාවය තවත් අයහපත් වීම
මැයි 5 වන දා දෙරට නායකයන් ජිනීවාහි හමුවීමට නියමිතව තිබුනත්, මෙම සිදුවීම හේතුවෙන් සෝවියට් නායකයා එම සමුළුවේ පැයකට වඩා වැඩි කාලයක් රැඳී සිටින්නේ නෑ. සීතල යුද සමය තුළ පැවැත්වීමට නියමිත සාකච්ඡා අසාර්ථක වුයේ ඒ ආකාරයෙන්.
ගුවන් යානයේ කොටස්, තාක්ෂණික උපකරණවල කොටස්, හා ගුවන් නියමුවා පැළඳ සිටි උපකරණ අද වන විට මොස්කව්හි රුසියානු යුධ කෞතුකාගාරයේ දකින්නට ලැබෙන අතර, ඇමෙරිකාව වෙත ලබාදුන් ගුවන් යානයේ කොටස් කිහිපයක් මේරිලෑන්ඩ්හි තාක්ෂණික කෞතුකාගාරයක තැන්පත් කර තිබෙනවා.
මූලාශ්‍රයයන්:
history.com/topics/cold-war/u2-spy-incident/videos
britannica.com/event/U-2-Affair