අයර්ලන්තය සාහිත්‍ය ලෝකයට විශිෂ්ටයින් කිහිප දෙනෙකුම දායාද කර තිබෙනවා. ඒ අතරින් නාට්‍යවේදී ජෝර්ජ් බර්නාඩ් ෂෝ හට හිමිවන්නේ ප්‍රමුඛතම ස්ථානයක්. ඔහු සිය ජීවිත කාලය තුළ දී නාට්‍යයන් 60කට වඩා රචනා කර ඇති අතර, 1925 වසරේ දී සාහිත්‍ය සඳහා වූ නොබෙල් ත්‍යාගය දිනාගැනීමට තරම් සමත්කම් පෑවා.`
උපත හා මුල් කාලය
ජෝර්ජ් බර්නාඩ් ෂෝ උපත ලැබුවේ 1856 වසරේ ජූලි මස 26 වන දා අයර්ලන්තයේ ඩබ්ලින් නුවර දී යි. ඔහු පවුලේ තෙවන හෙවත් කුඩාම දරුවා වුණා. කුඩා කාලයේ පාසලකට නොගිය ඔහු හට මූලික අධ්‍යාපනය ලබා දෙන ලද්දේ ඔහුගේ මාමා කෙනෙකු විසිනුයි.
ජෝර්ජ් බර්නාඩ් ෂෝ කුඩා කාලයේ පටන් සාහිත්‍යය අංශයට සුවිශේෂී දක්ෂතා ඇති දරුවෙක් බැව් පෙනෙන්නට තිබුණා. විශේෂයෙන් නාට්‍යකරණය සඳහා ඔහු තුළ තිබුණේ මහත් වූ උනන්දුවක්. සංගීතය, රචනය වැනි අංශයන්වලට ද ඔහු තුළ කැපී පෙනෙන දක්ශතා තිබුණා. බර්නාඩ් ගේ මෙම දක්ශතා වටහාගත් ඔහුගේ මව ඔහු නිතර නිතර අයර්ලන්ත ජාතික ගැලරිය වෙත යවනු ලැබුවා. නාට්‍යකරණය සම්බන්ධයෙන් ජෝර්ජ් බර්නාඩ් ෂෝ මූලික අත්පොත් තැබුවේ මෙහි දී යි.
1872 වසරේ දී පවුල් ආරවුලක් හේතුවෙන් බර්නාඩ්ගේ මව ඔහුගේ පියාගෙන් වෙන් වන්නට යෙදුණා. මව බර්නාඩ් ගේ වැඩිමල් සොයුරියන් දෙදෙනා කැටුව, පියා හා 13 හැවිරිදි බර්නාඩ් හට ආයුබෝවන් කියා ලන්ඩනයට යනවා. ඉන් සිව් වසරකට පසුව බර්නාඩ් ද ලන්ඩනයේ සිටි මව වෙත යනවා. ඒ වන විට ඔහු හිරිමල් යෞවනයෙකු වී සිටි අතර සිය ජීවන වෘත්තිය වශයෙන් ‘ලිවීම’ තෝරාගැනීමට තීරණය කර තිබුණා. කෙසේ නමුත් එලෙස කටයුතු කළ මුල් කාලයේ දී ඉතා දැඩි ආර්ථික අපහසුතාවලට මුහුණදෙන්නට ඔහු හට සිදුවුණා. මේ අවස්ථාවේ නැවතත් ඔහු වෙනුවෙන් පෙනී සිටියේ ඔහුගේ මව යි. ඇය නිතරම සිය පුත්‍රයා දිරිමත් කළ අතර, නිතරම ලන්ඩන් හි බ්‍රිතාන්‍ය ජාතික කෞතුකාගාරයේ කියැවීමේ කාමරය වෙත යන ලෙස උපදෙස් ලබා දුන්නා. එහිදී සිය සාහිත්‍ය පරිචය තවත් වැඩි දියුණු කරගත් බර්නාඩ් ඉක්මණින්ම හොඳ රචකයෙක් බවට පත් වුණා.
ලේඛක ජීවිතය
ජෝර්ජ් බර්නාඩ් ෂෝ තුරුණු වයසේ දීම නවකථා කිහිපයක් ලියා අවසන් කළ මුත්, ඒ සියල්ලම අතිශය අසාර්ථක වුණා. මේ නිසා තව දුරටත් ඔහුගේ නිර්මාණ පල කිරීම සඳහා භාරගැනීමට මුද්‍රණ සමාගම් මැලි වුණා. මේ නිසා ඔහු මහත් අපහසුතාවයට පත් වුණා. ඔහුගේ අවධානය බ්‍රිතාන්‍ය පොලිස් සේවය හා බුද්ධි අංශ කෙරේ යොමුවන්නේ මේ අතර යි.
1884 වසරේදී බර්නාඩ් ෂෝ ෆේබියන් සමාජය නම් දේශපාලනික කණ්ඩායම හා එකතු වෙනවා. සමාජවාදී නැඹුරුවක් තිබූ ඔවුන් උත්සාහ දැරුවේ බ්‍රිතාන්‍ය දේශපාලනය නවමු මාවතකට ගෙනයාමට යි. මේ සඳහා ඔවුන් තෝරාගත් මාධ්‍ය අතර සාහිත්‍යය ද වුණා. ඒ අනුව 1889 වසරේ දී ඔවුන් Fabian Essays in Socialism නම් සාහිත්‍ය රචනා එකතුවක් එළිදක්වනවා. බර්නාඩ් එහි සංස්කාරක වශයෙන් කටයුතු කළා.
ෆේබියන් සමාජය හා එක් වීම රචකයෙක් වශයෙන් බර්නාඩ් ගත් බුද්ධිමත් තීරණයක් වුණා. විශේෂයෙන් ඔහුට සිය නිර්මාණවල හැකියාව උරගා බලන්නට මාධ්‍යයක් ලැබුණා. මෙවරා ඔහු අත ගැසුවේ සාහිත්‍ය කෘති විචාරයට යි. එය ඔහු හට වැඩි සාර්ථකත්වයක් ගෙන ආවා. ග්‍රන්ථ, සංගීත නිර්මාණ හා වේදිකා නාට්‍ය ඔහු විසින් විචාරයට ලක් කළා. මෙහිදී ලැබූ සාර්ථකත්වය අනුව 1895 වසරේ දී Saturday Review නම් සඟරාවේ නාට්‍ය විචාරකයා ලෙස ඔහු තෝරා පත් කර ගැණුනා. මේ නිසා නාට්‍යවෙදියෙකු වශයෙන් නාට්‍ය රාශියක් තදින් අධ්‍යයනය කිරීමේ ඉඩ හසර ඔහු හට උදා වුණා.
බර්නාඩ් ෂෝ නම් නාට්‍යවේදියා
බර්නාඩ් විසින් රචිත පළමු නාට්‍ය 6 වේදිකාගත කෙරුණේ කොටස් දෙකක් වශයෙනුයි. ඉන් එකක් Plays Unpleasant නම් වූ අතර එයට Widowers’ Houses, The Philanderer, සහ Mrs. Warren’s Profession නම් නාට්‍ය ත්‍රිත්වය අයත් වුණා. Plays Pleasant නම් අනෙක් කොටසට අයත් වූයේ Arms and the Man, Candida, The Man of Destiny, සහ You Never Can Tell නම් නාට්‍ය ත්‍රිත්වය යි. මේවා තුළ බර්නාඩ් සතු නිසඟ උපහාසය, සමාජ විචාර වැනි දේ මොනවට ගැබ්ව තිබුණා. මේ නාට්‍ය කිහිපය බර්නාඩ් හට ඉසුරු ගෙනා අතර සුවිශේෂී නාට්‍යවේදියෙකුගේ සාර්ථක ගමනක මූලාරම්භය සැපයුවා.
සාහිත්‍ය ලෝකයේ පතාක යෝධයෙකු ලෙස
19 වන සියවස අවසාන වන විට ජෝර්ජ් බර්නාඩ් ෂෝ සෑහෙන පමණකින් නාට්‍ය ලෝකය තුළ ස්ථාපිතව සිටියා. විශේෂයෙන් ඔහුගේ නාට්‍ය රචනය නව මානයකට එසැවී තිබුණා. 1898 වර්ෂයේ රචනා කරන ලද Caesar and Cleopatra නාට්‍යය ඉතා උසස් මට්ටමක තිබුණා. 1903 වර්ෂයේ රචනා කරන ලද Man and Superman නාට්‍යය ද ඉතා උසස් එකක් සේ සැලකෙන අතර එහි තෙවන දර්ශනය වන ‘අපායේ වැටුණු දොන් ජුවන්’ කෙතරම් ජනප්‍රිය වී ද යත් පසුකාලීනව එය වෙනම නාට්‍යයක් ලෙස වේදිකාගත වූ අවස්ථා ද තිබුණා.
20 වන සියවසේ ඔහු ජීවත් වී සිටි අඩ සියවසක පමණ කාලය පුරාවට ඔහු විසින් තවත් නාට්‍යය 50කට අධික ප්‍රමාණයක් රචනා කළා. විශේෂයෙන් Major Barbara (1905), The Doctor’s Dilemma (1906), Pygmalion (1912), Androcles and the Lion (1912), සහ Saint Joan (1923) යන නාට්‍යයන් අතිශය ජනප්‍රිය වූ අතර විචාරක ප්‍රසාදයට ද බඳුන් වුණා. මේ හේතු නිසාම 1925 වසරේ දී ඔහු හට සාහිත්‍ය සඳහා වූ නොබෙල් ත්‍යාගය ලැබෙනවා.
බර්නාඩ් ගේ වඩාත් ජනප්‍රිය නාට්‍ය පිටපතක් වන Pygmalion, 1938 වසරේ දී සිනමා නිර්මාණයක් බවට පරිවර්තනය කෙරුණු අතර එහිදී තිර රචනය සඳහා වූ ඇකඩමි සම්මානය දිනාගන්නට ඔහු සමත් වෙනවා. මේ නිර්මාණයම පසුකාලීනව සංගීතමය නාට්‍ය නිර්මාණයක් ලෙස කලඑළි බසින අතර එය තවත් ජනප්‍රිය වෙනවා.
දීර්ඝ කාලයක් ජීවත් වීමේ වාසනාව ලැබූ ජෝර්ජ් බර්නාඩ් ෂෝ 1950 වසරේ දී සිය දිවියෙන් සමුගන්නවා. ඒ වන විට 94 වියැතිව සිටි ඔහු තවත් නාට්‍ය නිර්මාණයක් සඳහා සූදානම් වෙමින් සිටියා.