පළමු ලෝක යුද්ධයේ දි විවිධ පෙරමුණුවල සටන් සිදුවුණා. මේ අතර ප්‍රධාන වශයෙන් ම බටහිර පෙරමුණ සහ නැගෙනහිර පෙරමුණ සුවිශේෂ වුණා. එමෙන්ම ඉතාලි පෙරමුණ, සැලෝනිකා පෙරමුණ, ගැලිපොලි යුධ ව්‍යාපාරය ආදී විවිධ යුධ පෙරමුණු ගණනාවක් ඔස්සේ සටන් පැවතුණා.
මේ අතර එතරම් ම ප්‍රකට නොවූ පෙරමුණක් පිළිබඳ ව අද අපි සාකච්ඡා කරන්නට තීරණය කළා. ඒ තමයි ලිබියානු පෙරමුණ.
ඉතාලි – තුර්කි යුද්ධය
20 වන සියවස මුල වන විට ලිබියාව පාලනය කළේ ඔටෝමන් තුර්කි අධිරාජ්‍යය යි. තුර්කිය ඒ වන විට ගරා වැටෙමින් තිබුණ අධිරාජ්‍යයක් බව ප්‍රකට කරුණක්. අතීතයේ තිබුණ යටත් ප්‍රදේශයන් අතුරින් උතුරු අප්‍රිකාවේ ඔවුනට ඉතිරි ව තිබුණේ ලිබියාව පමණයි.
මෙකල යටත් විජිත තරගයට ඇතුළත් වූ යුරෝපා රටවල් අතර නවකයෙකු වූ ඉතාලියේ අවධානය ලිබියාව දෙසට යොමු වුණා. ලිබියාව එකල එතරම් වැදගත් ප්‍රදේශයක් වුණේ නැහැ. වෙනත් බලවතුන් එහි බලය ස්ථාපිත කිරීම පිළිබඳ ව එතරම් අවධානය යොමු නොකළේ ද ඒ හේතුවෙන්. නමුත් ඉතාලියට අවශ්‍ය වූයේ යම්කිසි භූමියක් අල්ලා ගැනීමට යි. මේ අනුව ඔවුන් තුර්කියට එරෙහිව 1911 දී යුධ වැදුණා. මෙම යුද්ධය 1912 දී අවසන් වූයේ ලිබියාව ඉතාලි පාලනයට නතු වීමෙන්.
මෙම ප්‍රදේශය මූලික වශයෙන් ට්‍රිපොලිටානියා සහ සිරනයිකා පළාත්වලින් සමන්විත වූ අතර, අගනුවර ලෙස ට්‍රිපොලි නගරය තෝරා ගනු ලැබුණා. මෙම ප්‍රදේශය ඉතාලියානු උතුරු අප්‍රිකාව ලෙස ද හඳුන්වනු ලැබුණා.
මෙහි වෙරළබඩ ප්‍රදේශයන් හි ඉතාලි බලය ස්ථාපිත වුණාට, රට අභ්‍යන්තර ප්‍රදේශයන් හි ඉතාලි පාලනය එකවර ස්ථාපිත වුණේ නැහැ. නාමිකව එම ප්‍රදේශ ඉතාලි පාලනය යටතේ තිබුණත් එහි වූ ජනතාව නිදහසේ සිය කටයුතු කරගෙන ගියා.
ඉතාලිය යුද්ධයට එක් වෙයි
1915 මැයි 23 වන දා ඉතාලිය මිත්‍ර පාක්ෂිකයන්ට එක්ව පළමු ලෝක යුද්ධයට සම්බන්ධ වුණා. ඒ ඔස්ට්‍රියා-හන්ගේරියාවට එරෙහිව යුධ ප්‍රකාශ කිරීමත් සමග යි. දෙරට බෙදා වෙන් කළ කඳුකරය ඔවුන් සටන් වැදුණ ප්‍රධාන ප්‍රදේශය බවට පත් වුණා. ඔස්ට්‍රියා-හන්ගේරියානු සේනා ඉසොන්සෝ නදිය ආශ්‍රිතව කඳවුරු බැඳගත් අතර, එහි සටන් ගණනාවක් ම මීළඟ වසර කිහිපය තුළ සිදුවුණා.
මේ අතර ඉතාලිය වෙනත් ප්‍රදේශ පිළිබඳව ද අවධානය යොමු කළා. ඉතාලි සේනාංකයක් සැලෝනිකා සටන් පෙරමුණට ද යවනු ලැබුණා.
සෙනුසිවරුන් සහ තුර්කිය
ලිබියාවේ, විශේෂයෙන් ම සිරනයිකා ප්‍රාන්තයේ පැතිර තිබුණ සූෆි ඉස්ලාමීය ආගමික නිකායක් වූ සෙනුසි නිකායට අයත් වූ පිරිස් සෙනුසිවරුන් හෝ සෙනුසි ගෝත්‍ර ලෙස හැඳින්වුණා. ඉස්ලාමය පරිහානියට පත්ව ඇති බව විශ්වාස කළ සෙනුසිවරු එහි පුනර්ජීවය උදෙසා කටයුතු කළා. මෙය ආගමික මෙන්ම දේශපාලනික ව්‍යාපාරයක් ලෙසත් ක්‍රියාත්මක වුණා. සිරනයිකාවට යාබද ඊජිප්තු ප්‍රදේශයන්වල ද ඔවුන් පැතිර සිටියා. එකල ඊජිප්තුව තිබුණේ බ්‍රිතාන්‍ය හමුදා ආරක්ෂාව යටතේ යි.
සෙනුසි ව්‍යාපාරයට ඔටෝමන් තුර්කිය සමග ශක්තිමත් සබඳතාවක් තිබුණා. මෙයට මූලිකව ම හේතු වූයේ ආගමික සබඳතාව යි. විශේෂයෙන් ම එකල ඉස්ලාමීය කලිෆ්වරයා ලෙස ද තුර්කි සුල්තාන්වරයා පෙනී සිටි අතර, එයත් සෙනුසිවරුන් තුර්කීන්ට හිතවත් වීමට හේතුවක් වුණා. ඉතාලි – තුර්කි යුද්ධයේ දී ද ඔවුන් සහාය දුන්නේ තුර්කියට යි. එහෙයින් නව ඉතාලි පාලනය කිසිසේත් ම සෙනුසිවරුන්ගේ ප්‍රසාදයට හේතු වුණේ නැහැ.
තුර්කිය විසින් සෙනුසිවරුන් වෙත අවි ආයුධ සහ උපදේශකයන් ද රහසිගතව එවනු ලැබුණා. තුර්කීන් මූලිකව ම බලාපොරොත්තු වූයේ සෙනුසිවරුන් විසින් ඉතාලියට තර්ජනය කිරීම නොව ඊජිප්තුවට තර්ජනය කිරීම යි. විශේෂයෙන් ම සූවස් ඇළ වෙත තර්ජනයක් ඇතැ යි යන බිය බ්‍රිතාන්‍යයන් තුළ ඇති කිරීමට තුර්කිය බලාපොරොත්තු වුණා. සෙනුසි නායක අහ්මඩ් අල් ෂරීෆ් තම පාර්ශවයෙන් යුද්ධයට සම්බන්ධ කරගැනීමට තුර්කිය ඉහළ පෙළේ නියෝජිතයකු ද ඔහු මුණගැසීමට එව්වා.
සෙනුසි කැරැල්ල
සෙනුසි ගෝත්‍රිකයන් 1915 නොවැම්බර් 19 වන දා සිය අරගලය ආරම්භ කළා. මෙය බ්‍රිතාන්‍යයන්ට එතරම් ම හොඳ කාලයක් වූයේ නැහැ. ගැලිපොලි යුධ ව්‍යාපාරය අසාර්ථක වෙමින් පැවතීම ඊට ප්‍රධානම හේතුව වුණා. සෙනුසි කැරලිකරුවන් සොලුම්, මර්සා මටෘහ්, සහ ඩ’ආබා ප්‍රදේශයන්ට පහර දුන් අතර තවත් පිරිසක් දකුණුදිග සිරනයිකාවේ ක්ෂේම භූමි අල්ලාගෙන එතැනින් ඊජිප්තුවට කඩා වැදුණා. බ්‍රිතාන්‍යයන් සොලුම් අත හැර මර්සා මටෘහ් කරා පසු බැස්සා.
මේ වෙද්දි බ්‍රිතාන්‍යයන් ඊජිප්තුවේ විශාල සේනාවක් රඳවා තිබුණේ නැහැ. එහි වූ සේනාංකවලින් ද වැඩි කොටස සූවස් ඇළෙහි ආරක්ෂාව සඳහා යොදවා තිබුණා. මේ අනුව ඉතිරි සේනාංක බටහිර දේශසීමා බලකාය ලෙස සංවිධානය කරන්නට බ්‍රිතාන්‍ය හමුදා බලධාරීන් පියවර ගත්තා. බ්‍රිතාන්‍ය පාබල සහ ස්වෙච්ඡා අශ්වාරෝහක හමුදා (yeomanry) ද, ඉන්දියානු, ඔස්ට්‍රේලියානු, සහ නවසීලන්ත හමුදා ද, බිකනර් උෂ්ත්‍රාරෝහක (ඔටුවන් පිට යන) හමුදා ද මේ සඳහා එක් කරගනු ලැබුණා.
මේ ඔටුවන් පිටේ යන හමුදාව සෙනුසි කැරැල්ල අවස්ථාවේ දී බ්‍රිතාන්‍ය හමුදාව වෙනුවෙන් විශාල සේවයක් ඉටු කළා. සෙනුසිවරුන් දක්ෂ අසරුවන් වූ අතර, ඔවුන් බ්‍රිතාන්‍ය ඉලක්ක වෙත පහර දී පහසුවෙන් පළා ගියා. ඔවුන් ලුහු බැඳීමේ දී ඔටුවන් පිට යන්නන් මහත් සේ ප්‍රයෝජනවත් වුණා.
වෙරළබඩ බලය අහිමි වීම
මුල් දිනවල සටන්වලින් පසුව අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සති කිහිපයකට සටන් අඩු වුණා. 1916 පෙබරවාරියේ දී දරුණු සටන් ඇවිල ගියා. සිඩි බරානි නගරය අසල දී සිදු වූ සටනකින් සෙනුසි අසරුවන් පරාජය වීම වෙරළබඩ ප්‍රදේශයන් හි ඔවුනගේ බලය හීන වීමට සැලකිය යුතු ලෙස බලපෑවා. සොලුම් ද ආපසු බ්‍රිතාන්‍යයන් විසින් අල්ලාගන්නා ලද අතර, මාසයක පමණ සටන්වලින් පසු වෙරළබඩ ප්‍රදේශයන් හි සෙනුසි බලය සම්පූර්ණයෙන් ම බිඳ වැටුණා.
නමුත් සිරනයිකාවේ මෙන්ම බටහිර ඊජිප්තුවේ ද කාන්තාර ප්‍රදේශයන් හි සෙනුසිවරුන් තවමත් ප්‍රබල වුණා. එම ප්‍රදේශයන් හි ක්ෂේම භූමි ඔවුනගේ මූල කඳවුරු වුණා. ඊජිප්තුවේ සිවා ප්‍රදේශයේ පවා ඔවුනගේ බලය පැතිර තිබුණ අතර, එහි සිට නයිල් නිම්නය දෙසට පහර දීමේ හැකියාව ද ඔවුනට තිබුණා.
සෙනුසි කැරැල්ලේ අවසානය
මීළඟ මාස කිහිපය තුළ බ්‍රිතාන්‍යයන් බටහිර ඊජිප්තුව අභ්‍යන්තරයේ ගමනාගමනය දියුණු කිරීමට කල් ගත්තා. අලුතින් දුම්රිය මාර්ග ඉදිකරනු ලැබුණා. 1916 ඔක්තෝබරයේ දී ඔවුන්, දක්ලා සහ බහරියා ක්ෂේම භූමි අල්ලාගත්තා. මෙම සටන්වලින් සෙනුසිවරුන්ට විශාල ජීවිත හානි සිදු නොවුණත් එම ප්‍රදේශයන් හි බලය අහිමි වීම උපක්‍රමිකව ඔවුනට බරපතල පහරක් වුණා.
මේ වන විට සෙනුසි නායක අහ්මඩ් අල් ෂරීෆ්ගේ බලය කෙමෙන් දුර්වල වෙමින් පැවතුණා. අනවශ්‍ය යුද්ධයකට සෙනුසිවරුන් පැටලීමෙන් අනවශ්‍ය හානියක් ඔවුන් වෙත ළඟා කළේ ය යන චෝදනාව ඔහුට එරෙහි පාර්ශව වෙතින් එල්ල වුණා. මේ අතර ඔහුගේ ඥාතියෙකු වූ සයිද් මොහොමඩ් ඉද්‍රිස් වෙත සෙනුසිවරුන්ගේ සහාය කෙමෙන් යොමු වෙමින් පැවතුණා. ඔහු බ්‍රිතාන්‍යයන් සමග සබඳතා ඇති කරගෙන තිබුණ අතර, බ්‍රිතාන්‍යයන් ද ඔහුට සහාය දෙන ස්ථාවරයක සිටියා. මෙමඟින් සෙනුසිවරුන් දෙකඩ කිරීම බ්‍රිතාන්‍යයන්ගේ බලාපොරොත්තුව වුණා.
1917 ජනවාරියේ දී ඉතාලි සේනාංකවල ද සහාය ඇති ව අහ්මඩ් අල් ෂරීෆ් අල්ලා ගැනීමට බ්‍රිතාන්‍යයන් උත්සාහ කළේ සිවා ප්‍රදේශයට පහර දෙමින්. ෂරීෆ් එම ප්‍රදේශයෙන් සිය අනුගාමිකයන් ද සමග පළා ගියා. නමුත් මේ සමග ම සෙනුසිවරුන් බහුතරයක් අතර ඔහුගේ ජනප්‍රියත්වය බිඳ වැටුණා. සෙනුසි ගෝත්‍ර අතර තම බලය තහවුරු කරගත් ඉද්‍රිස්ව සිරනයිකාවේ එමීර්වරයා ලෙස පිළිගැනීමට බ්‍රිතාන්‍යයන් ක්‍රියා කළා. පසුව ඉතාලිය ද ඊට එකඟ වුණා.
ෂරීෆ් 1918 දී ඔස්ට්‍රියා-හන් ගේරියානු සබ් මැරීනයකින් තුර්කියට පළා ගියා. එහි සිට ආගමික ප්‍රචාරයෙහි යෙදුණ ඔහු පසුව පදිංචිය සඳහා මක්කමට පිටත්ව ගියා. ඔහු 1933 දී මියගියා. ඉද්‍රිස් 1951 දී ලිබියාවේ රජු බවට පත් වූ අතර, 1969 දී මුවම්මර් ගඩාෆි විසින් බලයෙන් නෙරපනු ලැබුණා.
ඇතැම් විචාරකයන්ට අනුව සෙනුසි කැරැල්ල බ්‍රිතාන්‍යයන්ත ඉතා ම අවාසි සහගත වුණා. කාන්තාර යුධ විශේෂඥයෙකු වූ කපිතාන් ජාර්විස් නම් නිලධාරියා ඒ පිළිබඳ මෙසේ සඳහන් කළේය යි ඉතිහාසඥ මාර්ටින් ගිල්බර්ට් සඳහන් කරනවා.
“එක්තරා ආකාරයකට, සමස්ථ යුද්ධයේ දී ම අපගේ සතුරන් විසින් අපට එරෙහිව ගන්නා ලද වඩාත් උපක්‍රමිකම පියවර මෙය විය. මක්නිසාද යත්, හාර පන්දහසක අරාබීන් විසින් වෙනත් පෙරමුණු සඳහා ඉතාම අවශ්‍යව තිබූ 30,000ක පමණ සේනාංකයක් මෙහි රඳවාගත් හෙයින් සහ කාන්තාරයේ දුම්රිය මාර්ග සහ වෙනත් ගමනාගමන පහසුකම් දියුණු කිරීම සඳහා විශාල වියදමක් දැරීමට බල කිරීමත් හේතුවෙනි”.