හිට්ලර්ගේ අණපරිදි නාසි හමුදාව විසින් මිලියන ගණනක යුදෙව්වන් හා අනෙක් ජාතිකයන් ඝාතනය කරන්නේ ලෝකයේ අන්තර්ජාතික යුධ නීති සියල්ල උල්ලංඝණය කරමින්. දෙවන ලෝක යුධ සමය තුළ නාසින්ගේ වධ බන්ධනයන්ගෙන් යුදෙව්වන් හා අනෙකුත් ජාතිකයන් බේරා ගැනීම සඳහා නිර්භීතව මෙන්ම රහසිගතව කටයුතු කළ මානව හිතකාමී පුද්ගලයන් කිහිපදෙනක් පිළිබඳව විස්තර roar පිටුවෙන් ඔබ වෙත ගෙන ආවා. ඒ අතරින් තම කර්මාන්තශාලාවේ සේවය කළ යුදෙව්වන් බේරා ගත් ශින්ඩ්ලර්, සහ “ව්‍යාජ වසංගතයක් මවා යුදෙව්වන් මරණයෙන් බේරා ගත් පෝලන්ත වෛද්‍යවරයා” පිළිබඳව ඔබට මතක ඇති.
චෙකෝස්ලෝවැකියාවේ නාසින්ගේ කුරිරු ඝාතන රැල්ලට හසු වීමට නියමිතම සිටි කුඩා දරුවන් 669ක් දැඩි කැපකිරීම් මධ්‍යයේ බේරා ගත් තවත් එක් මානව හිතවාදියෙකු පිළිබඳව විස්තර ගෙන එන්නයි අද සුදානම් වන්නේ. යුධ ගිණිදැල් මැද මනුෂ්‍යත්වය වෙනුවෙන් කැප වූ මේ අපූරු මිනිසා මනුෂ්‍යත්වය පිළිබඳව ඉගැන්වූ පාඩම යුධ විරෝධී ලෝක ජනතාවගේ ඉමහත් පැසසුමට ලක්වෙනවා.
චෙකෝස්ලෝවැකියාවේ මානුෂික සේවා ආධාරක කඳවුර බලා
1909 වසරේ මැයි 19 වන දින බ්‍රිතානයේ West Hampstead හි උපත ලබන නිකලස් වින්ටන්ගේ (Nicholas Winton) දෙමාපියන් ජර්මානු යුදෙව් ජාතිකයන් වුණා. ඔවුන් ඊට වසර කිහිපයකට පෙර ජර්මනියේ සිට බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වූ පවුලක් වූ අතර බ්‍රිතාන්‍යයේ දී තම අධ්‍යාපනික කටයුතු නිමකරන නිකලස් පසුව බැංකු ක්ෂත්‍රයේ රැකියාවකට එකතු වෙනවා. ඉන් පසුව ලන්ඩන් නගරයට පැමිණෙන ඔහු කොටස් වෙළදපොළ තැරව්කරුවෙකු ලෙස කටයුතු කරනවා.
1938 වසර වන විට ඔහුගේ මිතුරෙක් වූ සමාජවාදී අදහස් දැරූ මාටින් බ්ලේක්, චෙකොස්ලෝවැකියාවේ බ්‍රිතාන්‍ය මානුෂික සේවා කඳවුරක සිට නාසි ජර්මනියේ බලපෑම් නිසා පිඩාවට පත් වූ ජනතාවට සහන සැලසුම් කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරනවා. 1938 වසරේ දෙසැම්බර් මාසයේ දී ඔහුගේ ආරාධනාවක් මත චෙකොස්ලෝවැකියාව බලා පිටත්ව යන නිකලස් සහන කණ්ඩායම් සමග එකතුව කටයුතු කරනවා.
අනාගත අදුරු ව්‍යවසනයක සෙවනැල්ල
මේ කාලය වන විට ජර්මනියේ නාසිවාදී පාලනයක් ගෙන ගිය හිට්ලර්, එහි වාසය කළ යුදෙව්වන් හා ආර්ය නොවනයැ යි සම්මත ජාතීන් සමූලඝාතනය කළ අතර, 1938 – 1939 කාල සිමාවේ දී නාසි හමුදා ඔස්ට්‍රියාව ආක්‍රමණය කරනවා. මෙහිදී ද විශාල වශයෙන් ජන සංහාර සිදු වූ අතර, ඊළඟට හැරෙන්නේ චෙකොස්ලෝවැකියාවට යි. පළමුවෙන්ම චෙකොස්ලෝවැකියාවේ සිටි ජර්මානු ජාතිකයන් වෙනුවෙන් Sudetenland නමින් වෙනම ප්‍රදේශයක් නිර්මාණය කරන නාසීන් පසුව මුළු රටම ආක්‍රමණය කරනවා.
මේ වන විට ඇති වූ තිබූ භයානක තත්ත්වය හමුවේ ඔහුගේ මිතුරා විසින් නිකලස්ට පවසන්නේ, චෙකොස්ලෝවැකියාවේ වාසය කරන යුදෙව් ජාතික දරුවන් හා නාසින්ගෙන් තර්ජන එල්ල වන වෙනත් ජාතීන්වල දරුවන් බේරා ගැනීමට ඉක්මන් වැඩපිළිවලක් සකස් කරන ලෙස යි.
හෝටල් කාමරයේ සිට ක්‍රියාත්මක කළ දරුවන් බේරා ගැනීමේ මෙහෙයුම
චෙකොස්ලෝවැකියාවේ පැරගු (paragu) නගරයේ පිහිටි තම හෝටලයේම කාර්යයාලයක් පිහිටගන්නා නිකලස්, එහිදී බ්‍රිතාන්‍ය බලා සරණාගතයින් ලෙස පිටත් කර හැරිය හැකි වයස අවුරුදු 17ට අඩු දරුවන්ගේ නාම ලේඛනයක් සාදා ගන්නවා. තමන්ට මරණයෙන් ගැලවීමට නොහැකි වුවත් තම කුඩා දරුවන් ඉන් ගලවා බ්‍රිතාන්‍යය වෙත පිටත් කිරීමට යුදෙව් දෙමවුපියන් දහස් ගණනක් ඔහුගේ කාර්යයාලය වෙත පැමිණෙනවා.
මේ බව වහා ඉක්මනින් බ්‍රිතාන්‍ය රජය වෙත දැනුම් දීමට නැවත බ්‍රිතාන්‍යය බලා පිටත් වෙන ඔහු සරණාගතයන් ලෙස කුඩා දරුවන් බ්‍රිතාන්‍යයට ප්‍රවාහනය කිරීම සදහා අවසර ඉල්ලා සිටිනවා. චෙකොස්ලෝවැකියාවේ සිට දුම්රිය ඔස්සේ පෝලන්තය හරහා බ්‍රිතාන්‍යය වෙත දරුවන් රැගෙන ඒමට අවසර ලැබෙන අතර, එක ළමයෙකු සදහා ප්‍රවාහන ගාස්තු හා ඇප මුදල් ලෙස පවුම් 50ක මුදලක් ඒ සදහා අවශ්‍ය වෙනවා.
අදියර වශයෙන් ක්‍රියාත්මක වූ මෙහෙයුම
පුවත්පත් හරහා ප්‍රචාරය කිරීමෙන් ඒ සඳහා අරමුදල් රැස් කරගැනීමට කටයුතු කරන ඔහු සරණාගත ළමුන් භාරගැනීමට හැකියාව ඇති බ්‍රිතාන්‍ය පවුල්වලට මේ බව දන්වනවා. අවසානයේ ළමුන් භාරගැනීමට බ්‍රිතාන්‍ය පවුල් ඉදිරිපත් වූ පසු නැවත පැරගු නගරයට යන ඔහු 20 දෙනෙකුගෙන් සමන්විත පළමු ළමා සරණාගතයන් පිරිස 1939 වසරේ ජනවාරි මාසයේ දී ලන්ඩන් නගරය වෙත පිටත් කර හැරීමට සමත්වෙනවා.
ජර්මානුවන් විසින් චෙකොස්ලෝවැකියාවේ සියලුම ප්‍රදේශ යටත් කරගැනීමට ප්‍රථම දුම්රිය වාර 8ක් මඟින් දරුවන් 669ක් රැගෙන ඒමට ඔහුට හැකිවෙනවා. නවවන දුම්රිය 1939 වසරේ සැප්තැම්බර් මස 1 වන දා කුඩා දරුවන් 250ක් සමග පිටත් වීමට සැලසුම් කර තිබුණත්, ජර්මානු හමුදාව විසින් එම දුම්රිය ගමන අවලංගු කෙරෙනවා.
තව ද මේ පිළිබඳව ඕස්ට්‍රේලියාවේ හා ඇමරිකාවේ රජයන් දැනුවත් කිරීමට වින්සන් විසින් කටයුතු කළත් ඒ සදහා යහපත් ප්‍රතිචාර ලැබෙන්නේ නෑ. ඇමරිකාව මේ කටයුත්ත සඳහා එකඟතාවය ප්‍රකාශ කළා නම් අඩුම තරමේ දරුවන් 2000ක් බේරා ගැනීමට හැකියාව තිබුණායැ යි පසු කාලයක දී ඔහු ප්‍රකාශ කරනවා.
දිගු කාලයකට පසු ලොවට හෙළි වූ වික්‍රමාන්විතය
දරුවන් බේරා ගැනීමේ මෙහෙයුම ඉන්පසුව නැවතෙන අතර දෙවන ලෝක යුද්ධය ආරම්භ වීම හේතුවෙන් නිකලස් 1940 වසරේ දී රාජකීය ගුවන් හමුදාවට එකතු වෙනවා. යුද්ධයෙන් පසුව නැවතත් බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක නිරතවෙන අතර විවාහ වී දරුවන් තිදෙනෙකුගේ පියෙක් බවට පත්වෙනවා.
1988 වසරේ ඔහුගේ බිරිද විසින් කුඩා ළමුන්ගේ ජායාරූප හා ලිපිනයන් අඩංගු පොතක් නිවසේ තිබී සොයා ගන්නා අතර ඒ පිළිබඳව නිකලස්ගෙන් විමසා සිටිනවා. ළමුන් මුදා ගැනීමේ මෙහෙයුම මේ වනතුරු ලෝකයේ ඉදිරියේ නිරාවරණය කර නොතිබූ අතර ඒ පිළිබඳව සියලු විස්තර ඔහු බිරිඳට පවසනවා.
පසුව එම තොරතුරු ප්‍රකට මාධ්‍යවේදියෙක් වූ රොබට් මැක්ස්වෙල් අතට පත්වෙන අතර ඔහුගේ වික්‍රමාන්විතය පිළිබඳව තොරතුරු මුළු ලොව පුරා පැතිරී යනවා. මුළු ලොවෙන්ම මේ පිළිබඳව ප්‍රසංශා ඔහු වෙත ගලා ආ අතර ඔහුගේ පොතෙහි සදහන් දරුවන්ගේ නාම ලේඛනයේ ලිපිනයන් ආශ්‍රයෙන් බේරාගත් 664ක් දෙනෙකුගේ තොරතුරු හෙළිවෙනවා. බේරාගත් එම දරුවන්ගෙන් 561 දෙනෙක් යුදෙව් ජාතිකයන් බව තහවුරු වෙනවා.
පසුව මොවුන් හා නිකලස් අතර හමුවක් පවතී අතර එහිදී නිකලස්ගේ මෙන්ම බේරාගත් සියලු දෙනාම හඬාවැටෙමින් තම සතුට ප්‍රකාශ කරනවා. “බ්‍රිතානයේ ෂින්ඩලර්” ලෙස හඳුන්වනු ලැබූ නිකලස්ගේ මෙම වීර ක්‍රියාව හේතුවෙන් චෙකොස්ලෝවැකියානු පුරවැසිභාවය නිකලස්ට හිමිවන අතර 2003 වසරේ බ්‍රිතාන්‍ය මහ රැජිණ “යුදෙව් දරුවන් නාසි ජර්මානුවන්ගෙන් ගලවාගනිමින් මනුෂ්‍යත්වය වෙනුවෙන් ඔහු කළ සේවාව” සඳහා නයිට් නාමයක් පිරිනමනවා.
2014 වසරේ දී, චෙකොස්ලෝවැකියානු පුරවැසියෙකුට හිමිවන ඉහළම සම්මානය වන order of the white lion (1st class) සම්මානයෙන් ඔහුව පිදුම් ලබන අතර වසර 105ක් දිවිගෙවා 2015 වසරේ ජූලි පළමුවන දා සර් නිකලස් වින්ටන් මෙලොවින් සමුගන්නවා.