වාර්ෂිකව ඔක්තෝම්බර් 31ට යෙදෙන හැලොවීන් දවසත් එක්ක යක්ෂයෝ, භූතයෝ, නොපෙනෙන ආත්ම පිළිබඳව කතා කරන, ඒ විදිහට වෙස්වලාගන්න එක එක යුරෝපය හා ඇමරිකාව ආශිතව ආරම්භ වුණත්, මෑතකාලය වෙනකොට ලෝකය පුරාම ප්‍රචලිත වෙලා ඉවරයි.
නමුත් අද අපි කතා කරන්න යන්නේ හැලොවීන් දිනය ගැන නම් නෙවෙයි. ප්‍රායෝගික ලෝකයේ යුද කටයුතු සදහා හොල්මන් භාවිතා කර සතුරා බියට පත්කිරීමට ගත්ත උත්සාහයක් පිළිබඳව යි.
වියට්නාම් යුද්ධය 1955 නොවැම්බර් පළමුවන දා ආරම්භවෙලා, 1975 අප්‍රියල් 30 වෙනිදා අවසන් වෙනකොට අවුරුදු 19ක් හා මාස 05කුත් දින 22ක් ගෙවිලා, ජීවිත හා දේපළ මිලියන ගණනින් විනාශවෙලා අවසන්.
යුද්ධයේ ආරම්භය සහ වටපිටාව
1887 සිට දෙවන ලෝක යුද්ධය දක්වා ප්‍රංශයට යටත්ව පැවති ප්‍රංශ ඉන්දුචීනය (වර්තමානයේ වියට්නාමය, ලාඕසය, කාම්බෝජය හා චීනයට මෙම ප්‍රංශ ඉන්දුචීන ප්‍රදේශයන් අයත් වේ) දෙවන ලෝක යුද සමයේ දී ජපානය යටත්කරගත්තා. 1945න් පසුව මෙහි ඇතැම් ප්‍රදේශ නැවත ප්‍රංශය යටත් කරගනු ලබන අතර, වියට්නාම කොමියුනිස්ට් විප්ලව නායක හෝ චිං මිං ඇතුළු වියට් මිං කණ්ඩායම ප්‍රංශයෙන් නිදහස ලබාගෙන, ‘ප්‍රජාතන්ත්‍රවාදී වියට්නාම් ජනරජය’ ලෙස උතුරු වියට්නාමයේ ජනරජයක් පිහිටුවාගනු ලබනවා.
1946 දී පළමු ඉන්දුචීන යුද්ධය උතුරු වියට්නාමය හා ප්‍රංශය අතර ඇතිවී, 1954 දක්වා ඇදී යනවා. මෙහි ප්‍රතිඵල ලෙස ප්‍රංශයේ පාලනය යටතේ දකුණු වියට්නාමය බිහිවෙනවා. ඉන්පසු උතුරු හා දකුණු වියට්නාමය එකතුකර එක්සත් වියට්නාමයක් සෑදීම සඳහා ඡන්දයක් පැවැත්වීමට සූදානම් වුවත්, දකුණු වියට්නාමයේ අගමැති නෝ ඩන් ඩියම් එය ප්‍රතික්ෂේප කරනු ලබනවා. ඉන්පසු උතුරු වියටිනාමය, ඡන්දයෙන් සිදුකළ නොහැකි වූ වියට්නාමය එක්සත් කිරීම තම බලය භාවිතා කිරීමෙන් සිදුකිරීමට උත්සාහ කරනවා. එය වියට්නාම යුද්ධය සඳහා මූලික පසුබිම සකස්කරනවා. උතුරු වියට්නාමයේ ‘වියට්නාම් ජාතික හමුදාව’ සහ දකුණු වියට්නාමයේ ‘වියට් කොං’ ගරිල්ලන් එකතුව, දකුණු වියට්නාමයේ හමුදාවෙත පහරදෙනු ලබනවා.
උතුරු වියට්නාමයට සමාජවාදී කඳවුරෙහි රටවල් වන සෝවියට් දේශය, චීනය, උතුරු කොරියාව, කියුබාව, පෝලන්තය, නැගෙනහිර ජර්මනිය, රුමේනියාව, හංගේරියාව, සහ එවකට චෙකොස්ලොවැකියාව වැනි රටවල් ප්‍රමුඛ ලෙස ආධාර සපයනු ලබන අතර වියට් කොං, දකුණු වියට්නාමයේ විප්ලව කණ්ඩායම්, හා අසල්වැසි රටවල කෙමරූජ්, පැතට් ලාඕ වැනි දේශපාලන සංවිධාන ද සහයෝගය දෙනවා. දකුණු වියට්නාමයට ධනවාදී කඳවුර ආධාර කරනු ලබනවා. එහිදී ඇමරිකා එක්සත් ජනපදය, දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, තායිලන්තය, පිලිපීනය, ලාඕසය, කාම්බෝජයත් ප්‍රබල ආධාරකරුවන් බවට පත්වෙනවා.
දැන් අපි අපේ ප්‍රධාන කතාව වන, “හොල්මන්” යුධ උපක්‍රමයක් ලෙස භාවිතා කිරීමට හැරෙමු.
මරණය හා භූමදානය පිළිබඳව වියට්නාම් වැසියන්ගේ විශ්වාස
වියට්නාම වැසියන් අතර, මරණයෙන් පසු ආත්ම සැරිසැරීම පිළිබඳව තදබල විශ්වාසයන් පැවතුනා. වියට්නාම වැසියන්ට අනුව මරණයට පත්වෙන පුද්ගලයෙකු නියමාකාරයෙන් ඔවුන්ගේ නිවාස භූමියේ භූමිදානය කළයුතු යි. එසේ නොකළහොත් එම පුද්ගලයාගේ ආත්මය දුක්වේදනාවන්ට පත්වී ඉබාගාතේ සැරිසරනු ලැබේ ය යනුවෙන් ඉතා ප්‍රබල විශ්වාසයක් ඔවුන් අතර පැවතුනා. මේ හේතුවෙන් වියට්නාම වැසියන් තම ඥාතීන්ගේ මෘතදේහ ඉතා නියමාකායෙන් තම භූමි තුළ භූමිදානය කළ අතර, ඔවුන් නැවත ඔවුන්ගේ මරණ සංවත්සර දිනයට සම්බන්ධ කරගත හැකි බවට විශ්වාස කළා.
වියට්නාම් ජාතිකයන් මළගිය ආත්ම පිළිබඳව කොපමණ විශ්වාස කළා ද යත් ඔවුන් ඒ වෙනුවෙන් වෙනම නිවාඩු දිනයක් පවා වෙන් කරගෙන තිබුණා. එය ඔවුන්ගේ කැලැන්ඩරයේ සත්වන මාසයේ පහළොස්වන දින රාත්‍රියට සමරනු ලබනවා. එහිදී ඔවුන් ගංගාවල ඉටිපන්දම් ගැසූ සැරසිලි ආදිය පා කර, එම එළිය මඟින් මළගිය ආත්මවලට නිවන් මඟ කරා ගමන් කළ හැකිබව විශ්වාස කළා.
ඔපරේෂන් වොන්ඩරින් සෝල්ස්
යුද කටයුතුවල දී සතුරාගේ හැඟීම්, ඔවුන් සංවේදී වන කාරණා පිළිබඳව වටහා ගැනීම ඉතා වැදගත්. මේ හේතුවෙන් ඇමරිකානු හමුදාවේ එවැනි කටයුතු සඳහාම වූ බලකායක්, ඔවුන්ගේ විශේෂ කාර්යය බලකායන් යටතේ පිහිටුවා තිබුණා. එයින් 6 වැනි බලකාය එම වකවානුවේ දී වියට්නාම් යුද්ධය සඳහා තම දායකත්වය ලබාදෙමින් සිටි අතර, 60 දශකයේ අගභාගය වන විට ඔවුන් වියට්නාම් වැසියන් මළගිය ආත්ම පිළිබඳ දරනු ලබන මතය භාවිතා කර ඔවුන්ට පහරදීමට කටයුතු සූදානම් කරමින් සිටියා.
මෙහිදී ඇමරිකානු හමුදාව පළමුවෙන් වියට්නාම් ජාතිකයන් කිහිපදෙනෙකු හඬ නළුවන් ලෙස බඳවාගත්තා. ඉන්පසු ඔවුන්ගෙන් ඉතා බිහිසුණු ශබ්ද සහිත, අනතුරු අඟවනා ආකාරයේ හඬපටයන් පටිගත කරගත්තා. එහිදී සාමාන්‍යයෙන් හොල්මන් චිත්‍රපටවල භාවිතා වන ශබ්ද, විලාප තැබීම්, හැඬීම්, රෞද්‍ර හඬවල් යොදාගනු ලැබුවා. මීට අමතරව හඬ දෝංකාර දීම, එකවර ඉහළ හඬ ඇසීම, එකවර හඬ පහත දැමීම වැනි ක්‍රමයන් මඟින් හඬපටයේ බිහිසුණුබව හා හොල්මන් ස්වරූපය ත්‍රීව කළා.
එම හඬපටය බෞද්ධ අවමඟුල් බෙර වාදනයකින් ආරම්භ වන අතර, ඉන්පසු බිහිසුණු ශබ්ද කිහිපයකින් වාදනය වනවා. අනතුරුව කුඩා දියණියක් යුද්ධයෙන් මියගිය තම පියා සමග කරනු ලබන සංවාදයක් වාදනය වෙනවා. එහි සිංහල අනුවාදය පහත පරිදි යි.
දියනිය: තාත්තේ, තාත්තේ, මාත් එක්ක ගෙදර එන්න. තාත්තේ! තාත්තේ!
පියා : ‘හා‘! (දියනියගේ නම ‘හා‘වේ) ඔයා කවුද? කවුද මට කතා කරන්නේ? අනේ මගේ දුව? මගේ නෝනා? තාත්තා ඔයත් එක්ක ගෙදර එනවා මගේ දුවේ! මම එනවා මගේ නෝනා! ඒත් දැන් මගේ ශරීරය නෑ. මගේ ආත්මය එනවා! මම දැන් මැරිලා! අනේ මගේ පවුල!
මේක කොච්චර නම් ඛේදවාචකයක් ද? මේක මහා ඛේදවාචකයක්!
ඉන්පසු එම පියා තවමත් යුද වදින තමන්ගේ මිතුරු හමුදා භටයන්ට පණිවිඩයක් ලබාදෙයි.
මගේ යාළුවනේ, මම ආවේ මම මැරිලා කියලා ඔයාලාට කියන්න! ඔව් දැන් මම මැරිලා! මම දැන් අපායේ! මම අපායේ!
මම මැරුනේ තේරුමක් නැතුව! ඔව් මම මැරනේ කිසිම තේරුමක් නැතුව! තේරුමක් නෑ! ඒත් මට දැන් ඇත්ත තේරෙනවා! ඒත් දැන් මම හුඟක් පරක්කු වැඩී. මම හොදටම පරක්කුයි! ඒත් යාළුවනේ ඔයාලා තාම පරක්කු නෑ. ඔයාලා තාම ජීවත් වෙනවා. ඔයාලාට තාම අවස්ථාව තියනවා ඔයාලගේ පවුලේ අය එක්ක සතුටින් ඉන්න. ඔයාලාට ඇහෙනවා ද මම කියන දේ? වහාම ගෙවල්වලට පලයල්ලා! වහාම! ඉක්මන් කරන්න මගේ යාළුවනේ. ඉක්මන් කරලා ගෙවල්වලට යන්න. නැත්නම් ඔයාලත් වෙන්නේ මට වගේම කැලේ මැද්දේ මැරිලා යන්න. ඉක්මන් කරන්න යාළුවනේ! දැනටමත් පක්කුයි! වහාම ගෙදර යන්න! ගෙදර යන්න!
ඇමරිකානු හමුදාව මෙම හඬපටය හෙලිකොප්ටර්වලට සවිකරන ලද ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් රාත්‍රි කාලයේ දී වියට් කොං ගරිල්ලන් සිටින ප්‍රදේශවල විකාශනය කරන ලදී. මීට අමතරව වනාන්තර ආශිත හමුදා කඳවුරුවල ශබ්ද විකාශන යන්ත්‍ර මඟින්, බෝට්ටුවල සවිකරන ලද ශබ්ද විකාශන යන්ත්‍ර මඟින්, සහ ඇමරිකානු සෙබලුන් පිටේ එල්ලාගෙන යනු ලබන ආකාරයෙන් සකස්කරන ලද ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් විකාශනය කරන ලදී.
ප්‍රතිඵල
වොන්ඩරින් සෝල්ස් මෙහෙයුමේ ප්‍රතිඵල පිළිබඳ නිශ්චිත සටහනක් නොමැති වුවත්, මෙවැනි හඬපටයක් රාත්‍රියේ කැළයක් මැද, සතුරු බිය ද සමග තනිව සිටිනා හමුදා භටයෙකුගේ මානසිකත්වය කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති නොකළාය කියා විශ්වාස කිරීම අපහසු යි. කෙසේ නමුත් යුද්ධය අවසන් වූයේ ඇමරිකා එක්සත් ජනපදය අන්ත පරාජයක් ලබමින්.