ලොව අමුතු ආශාවන් තිබෙන රැජිණන් පිළිබඳව අපි තොරතුරු ගෙන ආවා. තවත් එවැනි විශේෂ ගති ස්වභාවයන් තිබූ ප්‍රසිද්ධ රැජිණියන් කිහිප දෙනෙකු ගැන සොයා බලමු.
මාරි ඇන්ටනෙට් (1755 – 1793)
“පාන් නැත්තන් කේක් කාපල්ලා” යන අප කවුරුත් අසා ඇති උපහාසාත්මක වදන කියූ ප්‍රංශ රැජිණිය ඇයයි. එය ඇසූ සැනින්ම සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න කෙරෙහි ඇයගේ වූ නොදැනුවත්කමත්, ඇගේ අහංකාරකමත් පිළිබඳව අපට සිතා ගැනීම අපහසු වන්නේ නෑ. ප්‍රංශ විප්ලවය සමයේ රාජ්‍ය පාලනය කළ දෙවන ලුවී රජුගේ බිරිය වූ ඇය අතට පයට මෙහෙකාරියන් සමග ගෙවීමට වූ ජීවිතය විටෙක වෙහෙසකාරී එකක් ලෙසයි දුටුවේ. මේ නිසා ඇයටම වෙන් කරන ලද කුඩා මාළිගාවක් තනවා එහි කාලය ගත කරන්නටත් ඈ පෙළඹුනා. එයිනුත් සෑහීමකට පත් නොවූ ඇය “දුප්පත් ගම්වැසියන්ගේ ජීවන අත්දැකීම්” ලබා ගැනීමට තමන්ට අවශ්‍ය බව කියා සිටීම නිසා ඇයටම වෙන් කරන ලද “ගම්මානයක්”ද ඉදි කරනු ලැබුවා. නමුත් මේ ගම්මානයේ එකදු සාමාන්‍ය වැසියකු හෝ ජීවත් වූයේ නැහැ. ජනතාවගේ දුක කම්කටොලු හරියාකාරව හඳුනා නොගත් මාරි රැජිණගේ මෝඩ ක්‍රියාකාරකම් නිසා ජනතාවට කිසිදු සෙතක් නොසැලසීම නිසයි අවසානයේ තම ස්වාමියා සමගම ඇගේ හිසත් ගිලටීනයට බිලි දීමට ප්‍රංශ කැරලිකරුවන් කටයුතු කළේ.
වැලේරියා මෙසලීනා ක්‍රි.ව. 17 – 48
රෝමානු යුගයේ විසූ රැජිණක් වූ මැයද සිය ලිංගිකත්වය ක්‍රීඩාවක් බවට හරවාගත් තැනැත්තියක් බව කියැවෙනවා. ඇගේ ක්‍රියාකාරකම් පිළිබඳ නිශ්චිත සටහනක් නොවුණද, නිල නොවන ඓතිහාසික සටහන් සහ සාක්ෂි සියල්ලකින්ම එකම කරුණු පැවසෙන නිසා එම කරුණු සත්‍යයකැයි සැළකෙනවා. රාත්‍රී කාලයේ ගණිකා නිවාසයක් පවත්වාගෙන ගොස් ඇති මෙසලීනා රැජිණ එහි සේවය සඳහා ඉහල පැලැන්තියේ කාන්තාවන්ද සහභාගී කරගෙන තිබෙනවා. රැජිණියකට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට නොහැකි නිසාම ඔවුන්ද ඇගේ ක්‍රියාවන් සියල්ලකටම ඉඩ දී තිබෙනවා.
මෙම රාත්‍රී “ක්‍රියාකාරකම්” අතරතුරදී එම කාන්තාවන්ට තමා හා තරඟයට පුරුෂයින් සමග නිදි වැදීමට එන ලෙස ඇය අභියෝග කළ බවට ඓතිහාසික ලේඛන හා සටහන් සඳහන් කර තිබෙනවා. එක් රැයකට වැඩිම පුරුෂයින් සංඛ්‍යාවක් සමග යහන්ගත වන්නේ කුමන කාන්තාවදැයි තීරණය කෙරෙන මේ ක්‍රීඩාවන්හිදී ජයගෙන ඇත්තේද මෙසලීනා රැජිණියමයි. විටෙක පුරුෂයින් 25 දෙනෙක් දක්වා පමණ මෙසේ තම ක්‍රීඩාවට ඇය විසින් සහභාගී කරවාගත් බවත් සඳහන්. එපමණක් නොවෙයි, තම ලිංගික හැකියාවන් උපයෝගී කරගනිමින් මෙසලීනා රැජිණ නිරතුරුවම තම ස්වාමියාවද පාලනයක කිරීමට සමත් වූ බවත් කියැවෙනවා.
දෙවන එළිසබත් රැජිණ (1926 සිට මේ දක්වා)
වත්මන් බ්‍රිතාන්‍ය මහ රැජිණිය වන දෙවන එලිසබත් රැජිණ සතු අමුතුම ආකාරයේ පුරුදු ගැන නම් නෙවෙයි මේ කියන්නට යන්නේ. රැජිණක් ලෙසය ඇය ගත කරන අධි සුඛෝපභෝගී දිවියෙන් කොටසකුයි මේ.
රැජිණක් වශයෙන් විවිධ උත්සව වලට සහභාගී වන්නට වගේම එම උත්සව වලදී විශාල කාල වේලාවක් එක දිගට හිටගෙන සිටීමටද ඇයට සිදුවනවා. අලුත් පාවහන් යුගලක් පැළඳගෙන එසේ හිටගෙන සිටීම වේදනාකාරී වගේම දෙපා වලට හානිදායක ක්‍රියාකාරකමක්ද වෙනවා. මේ නිසා, එලිසබත් රැජිණගේ නවතම පාවහන් මද වේලාවක් පැළඳ සිට, ඒවා රැජිණට පැළඳීමට හැකි ලෙස සුව පහසු ලෙස සකසා දීමට වෙනමම සේවිකාවක් ඇයට සිටින බව ඔබ දැන සිටියාද?
“උමතු” ජොආනා රැජිණ (1479 – 1555)
ස්පාඤ්ඤයට අයත් වූ කැස්ටිල් නැමති රාජ්‍යයේ ෆිලිප් කුමරුගේ බිරිඳ වූ මැයට “උමතු” යන නාමය පටබැඳී ඇත්තේ ඇගේ සැමියාගේ ක්‍රියාවන් හේතුවෙනුයි. ෆිලිප් කුමරු ඇය සමග කුඩා ආරවුලකට පැටලුනද ඇයව මාළිගාවේ ඇගේ නිදන කාමරයේ දින ගණනක් සිරකර තබන්නට පෙළඹී සිටියා. එවිට ජොආනා කුමරිය කාමරය පුරා යමින් දොරට හා කාමරයේ බිත්ති වලට ගසමින් විලාප දෙන්නට වී තිබෙනවා. ෆිලිප් කුමරු ගැහැණු සොඬෙකු වූ හෙයින් තම බිරිය ගැන සෙවීමට වඩා වෙනත් කාන්තාවන් වෙනුවෙන් කාලය කැප කරන්නට ඔහු පෙළඹී සිටීමත් ජොආනා කුමරියගේ නොසතුටට හේතු වී තිබූ කරුණක්.
ෆිලිප් කුමරු මියගිය පසුව ඔහුගේ දේහය භූමදානය කිරීම හැකි තරම් පමා කිරීමට ජොආනා කුමරිය කටයුතු කළේ සිය සැමියාගේ මලකඳ හෝ තමා සන්තකයේ හැකි තරම් කල් තබා ගැනීමට වූ අවශ්‍යතාවය හේතුවෙන්. සිරුර භූමදානය කළ පසුවද නැවත සිරුර පිටතට ගනිමින් මලකඳේ දෙපා සිඹීමටත්, තම ස්වාමියා කිසිවෙකු විසින් “සොරාගෙන” නොමැති බවට තහවුරු කරගන්නටත් ඇය පෙළඹී සිටි බවට ඉතිහාසය තතු සපයනවා.
මාරියා එලෙනෝරා (1599 – 1655)
පශ්චාත් දරු ප්‍රසූති විශාදයෙන් පෙළුණු මේ රැජිණ, තමාගේ මූලිකම වගකීම හෙවත් පුතකු බිහි කිරීම යන කර්තව්‍යය ඉෂ්ට කරගත නොහැකිව උමතු භාවයට හැරුණු කාන්තාවක්. තමා බිහි කළේ පුතකු නොව දියණියකැයි දැනගත් මොහොතේ පටන් ඈ පෙළුණේ මානසික පීඩනයකින්. සිඟිති කුමාරිකාව කුඩා කලදී “අහඹු” ලෙස ඇගේ තොටිල්ල මතට ලී කණු යනාදිය වැටෙන්නට වූයේ ඇගේ මේ මානසික රෝගයේ ප්‍රතිඵලයක් ලෙසිනුයි.
පසු කාලීනව එම කුමරිය රාජ්‍ය පාලනය භාරගත් පසුව මාරියා රැජිණ නිරතුරුවම තම රාජ්‍යය “දිළිඳු රාජ්‍යයක්” බවට පත්වීමේ බියකින් පෙළුණු බවත් වාර්තා වනවා.
කවරයේ ඡායාරූපය – https://upload.wikimedia.org
තොරතුරු උපුටා ගැනීම – grunge.com වෙබ් අඩවියේ “Queens who were really weird” ලිපිය ඇසුරිනි.