අස්වාන් කියන්නේ නයිල් ගංගාව හරස් කොට ඊජිප්තුවේදී බඳින ලද වේල්ලක්. නැගෙනහිර අප්‍රිකාවෙන් නයිල් ගඟ ආරම්භ වන අතර සැතපුම් 4,131 ක දුරක් ගැලීමෙන් පසුවයි එය ඊජිප්තුවේ කයිරෝ නගරය සමිපයෙන් මධ්‍යධරණී මුහුදට වැටෙන්නේ. අප්‍රිකා මහාද්වීපයේ ඉහළ කොටස වියළි බිමක් වන අතර ඒ සඳහා විසඳුමක් ලෙස ජලය සපයා ගැනීමට මුහුද කරා යන ජලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට එවකට නයිල් ගංගාව ආශ්‍රිතව පිහිටා තිබුණු ජනාවාසවල පාලකයන් කටයුතු කරලා තියෙනවා.
එවන් අරමුණක් අනුවයි නයිල් නදිය හරස් කරලා අස්වාන් කියන වේල්ල ඉදිකරන්න කටයුතු කරලා තියෙන්නේ. අප්‍රිකානු මහාද්වීපයේ භුමි භාගයෙන් 1/10 පමණ අවශ්‍ය ජලය නයිල් ගඟෙන් සපයනු ලබනවා.
මෙම ලිපියෙන් අස්වාන් වේල්ල ගැනත්, එය ඉදි වීමට බල පෑ කරුණු හා අැති වූ බාධක වැනි දේවල් සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා.
අප්‍රිකාවට ජීවය දුන් නයිල් නදිය.
නයිල් ගඟ පාදක කර ගනිමින් බොහෝ ශිෂ්ටාචාර බිහි වෙලා තියෙන බව අපි කවුරුත් දන්නා දෙයක්. ඒ අනුව නයිල් නදිය හා ඊජිප්තු ශිෂ්ටාචාර අතරෙත් තියෙන්නේ මනා සබඳතාවයක්. මේ ප්‍රදේශවල මිනිස් වාසයන් බිහි වෙන්න පවා හේතු වුණේ නයිල් නදිය නිසා ඒ අවට බිම්වල ඇති වී තිබුණු සශ්‍රීක භාවයයි.
කඳුකර ප්‍රදේශවල සිට දීර්ඝ ගමනක් ගෙවමින් ගලා බසින නයිල් නදිය ගමන පුරා එක්රැස් කර ගන්නා පෝෂක පහළ ප්‍රදේශවල ඇති බිම්වල තැන්පත් වීම තමයි මේ සශ්‍රීක බවට ප්‍රධාන හේතුව. ඒ නිසාම ඊජිප්තු වැසියන් භුක්ති විඳින සියලුම දේ හිමි වෙලා තියෙන්නේ නයිල් නදිය හේතුවෙන් කියලයි ඔවුන් විශ්වාස කරන්නේ. නයිල් නදියට ඒ සඳහා තමන් සදා ණයගැතියි කියලත් ඊජිප්තු වැසියන් විශ්වාස කරනවා.
ගං වතුර නවත්තන්න හදපු අස්වාන් වේල්ල
මෙසේ නයිල් ගඟෙන් ජලය ලබා ගැනීමට ඉදි කරන ලද වේල්ලෙහි සම්පුර්ණ දිග මීටර් 3,830 ක් වෙනවා. මෙයින් විශේෂයෙන්ම අපෙක්ෂා කෙරුණේ ගංවතුර නැවැත්වීමයි.
වැසි කාලයේදී ගංවතුර අැති වීම මේ ප්‍රදේශයේ ඉස්සර ඉඳන්ම තිබුණු දෙයක්. නමුත් එ් කාලයෙි මෙය එක අතකට වාසියකුත් වුණා. කාලයකට සැරයක් අැති වෙන ගංවතුරෙන් පහළ ප්‍රදේශ ජලයෙන් වැහිලා යන නිසා නයිල් නදියේ අැති පෝෂක පිරුණු රොන්මඩ ඉතා හොඳින් පහත් බිම්වල එක්රැස් වෙනවා. වියළි කාලයේ එ් ප්‍රදේශවල වතුර බැහැලා ගියාම ඉතිරි වෙන සාරවත් පසේ සියලු බෝග ඉතා හොඳින් ඵලදාව දෙනවා. නමුත් දියුණුවත් එක්ක ගංවතුර පාලනය කර ගැනීම ඊට වඩා වැදගත් වුණා.
ජලය කියුබික් මීටර් ලක්ෂ හතලිස් තුනක පමණ ධාරිතාවක් අස්වාන් වේල්ලට දරා සිටීමේ හැකියාවක් තියෙනවා. මේ නිසා වියළි කාලයේ වගාවට අවශ්‍ය ජලය පහසුවෙන් සපයා ගන්න පුළුවන්. මහවැලි නදිය අාශ්‍රිතව අපේ රටේ කෘෂිකර්මය දියුණු වෙලා තියෙන විදියටම ඊජිප්තුවේදී නයිල් නදිය මගිනුත් සිදු කරන්නේ රටේ කෘෂිකර්මයට විශාල ශක්තියක් වෙන එකයි.
හැදුණු හැටි
අස්වාන් වේල්ල ඉදිකිරිම සඳහා පුරෝගාමී වන්නේ ඊජිප්තුවේ හිටපු ජනාධිපති නසාර් මහතායි. මෙම ජනාධිපති යුගයේ වේල්ල ඉදි කිරීම හා සම්බන්ධව රසවත් කතාත් බොහොමයක් අහන්න ලැබෙනවා.
වේල්ලේ ඉදිකිරීම්වලට විශාල මුදලක් මෙන්ම යන්ත්‍ර සූත්‍ර ආදිය ද අවශ්‍ය වන නිසා නසාර් ජනපති ඒ සඳහා ඇමරිකාවෙන් උපකාර ලබා ගැනීමට කටයුතු කර තිබෙනවා. නමුත් ඇමරිකාවට පෙරාතුව නිකිතා කෲෂෙව් යටතේ සෝවියට් රුසියාව ඊජිප්තුවට මේ සඳහා ආධාර උපකාර කිරීමට ඉදිරිපත් වුණා. ඇමරිකාව හා රුසියාව අතර එවකට සීතල යුද්ධයක් පැවතුණ නිසා නසාර් එම එදිරිවාදිකම් උපරිමයෙන් ප්‍රයෝජනයට ගනිමින් ලෝකයේ තිබූ දේශපාලන ප්‍රශ්න තම රටට වාසිදායක ලෙස යොදා ගැනීමට කටයුතු කළා.
ඇති වූ බාධක
අස්වාන් වේල්ල අද පවතින තත්ත්වයට ඉදි කිරීම සිදු වන්නේ වර්ෂ 1960 – 1970 අතර කාලයේදී නමුත් 1898 වර්ෂයේ තමයි පැරණි අස්වාන් වේල්ල හැදීම ආරම්භ කරලා තිබෙන්නේ. එ් එවකට මේ ප්‍රදේශවල පාලනය අල්ලා ගෙන සිටි බ්‍රිතාන්‍යයන් විසින්. නයිල් නදිය හරස් කොට අස්වාන් වේල්ල බැඳීම එතරම් පහසු කටයුත්තක් වුණේ නම් නැහැ. නමුත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සතු ඉහළ අාර්ථික ශක්තිය නිසා අවශ්‍ය ප්‍රතිපාදන සලසාගෙන, වසර හතරක් අැතුළත බැම්ම සම්පූර්ණ කර 1902 දී විවෘත කරන්න බ්‍රිතාන්‍ය පාලකයන්ට හැකියාව ලැබුණා. එවකට තිබුණු විශාලම බදාමයෙන් තැනුණු වේල්ල වූයේත් පැරණි අස්වාන් වේල්ලයි.
කොහොම නමුත් ඊජිප්තුවේ දියුණුවත් එක්ක පැරණි වේල්ල රඳවා ගත් ජලය ප්‍රමාණවත් වුණේ නැහැ. වැඩි උසකින් යුත් අලුත් වේල්ලක් සෑදීමට පිඹුරුපත් සැකසුණේ එ් අනුවයි. නමුත් මේ සඳහා විවිධ බාධක පැමිණි අතර එය යථාර්තයක් කර ගැනීමේ භාග්‍ය උදා වන්නේ 1952 වර්ෂයේ දී සිදු වූ ඊජිප්තු විප්ලවයෙන් අනතුරුවයි.
ඉදිකිරීමේ කටයුතු
නයිල් නදිය හරස් කොට වේල්ලක් බැඳීම පැරණි ඊජිප්තු වැසියන්ගේ පටන්ම තිබුණු බලාපොරොත්තුවක්. 1912 වර්ෂයේ ග්‍රීක ඊජිප්තු ඉංජිනේරුවකු වුණු එබ්‍රියන් ඩැනියෝස් නැමැත්තාගේ මුලිකත්වයෙන් අලුත් වේල්ලේ ඉදිකිරීම් කටයුතුවල මුලික පියවර ගැනීමට කටයුතු කළා. එ් අනුව 1946 වර්ෂයේදී පමණ වේල්ල බොහෝ දුරට ඉදි කරලා පැරණි වේල්ල තරමටම උස් වී තිබුණත් ඊජිප්තුවේ රජ තනතුරට පත් ව සිටි ෆාරුක් රජු ඩැනියෝස් ගේ සැලැස්ම කෙරෙහි කැමැත්තක් දැක් වුවේ නැහැ. මේ හේතුවෙන් ඩැනියෝස් දැඩි ලෙස හිත් කලකිරීමට පත් වූ අතර ඔහු වේල්ලේ ඉදිකිරීමේ කටයුතුත් නතර කළා.
නමුත් මෙම ලිපියේ කලින් සඳහන් කළා වගේම ඊජිප්තු විප්ලවය මගින් මෙම තත්ත්වයේ වෙනසක් කිරීමට හැකි වුණා. රජ පවුල පළවා හැර ඉන් පසුව ඇති වුණු දේශපාලන බලවතුන් ඩැනියෝස් ගේ සැලැස්ම කෙරෙහි කැමැත්ත මෙන්ම අනුමැතිය ලබා දීමත් සමගම වේල්ලේ වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමට ඩැනියෝස් ට භාග්‍යය උදා වුණා.
නසාර් ජනාධිපතිවරයා අරාබි ජාතික සංගමයේ නායකයා ලෙසද පත් වූ අතර ඔහු 1955 වසරේදී බැග්ඩෑඩ් සම්මුතියට අත්සන් කිරීමට කටයුතු කළා. නසාර් හා සෝවියට් රුසියාව අතර කිට්ටු සම්බන්ධතාවයක් තිබුණු අතර එයට හේතුව වුයේ සෝවියට් රුසියාවේ ආධාර මත වේල්ලේ ඉදිකිරීමේ කටයුතු ආරම්භ වී තිබීමයි. නමුත් ඇමරිකාව මෙයට එතරම් රුචිකත්වයක් දැක්වුයේ නැහැ. ඇමරිකාව විශ්වාස කළේ මැදපෙරදිග ආධිපත්‍යය ඇමරිකාව සතු විය යුතු බවයි.
1950 වසරේ අග භාගයේදී පමණ අරාබි යුද්ධය ඇති වුණා. මෙහිදී ප්‍රංශය හා බ්‍රිතාන්‍ය ආධාර කිරීමට ඉදිරිපත් වුණේ ඊශ්‍රායලයටයි. නමුත් සෝවියට් රුසියාව නසාර්ගේ සහායට ඉදිරිපත් වුණා. මෙම ගැටුම නිසා වේල්ලේ ඉදිකිරීම් යම් කිසි පමා කිරීමක්ද සිදු වුණත් වේල්ලේ ඉදිකිරීමට රුසියාව ලබා දුන් මුදල් වලට 2% පොළියක් පමණක් අය කිරීම දෙරට අතර සබඳතාවයේ විශේෂත්වයට හොඳ සාක්ෂියක්.
අස්වාන් වේල්ලට මේ ආකාරයේ විවිධ බාධක, කරදර, දේශපාලන ගැටුම් ඇති වුවත් පසුව වේල්ල ඉදි කිරීම හොඳින් සිදු වුණා. පසුකාලීනව සෝවියට් රුසියාව බිඳ වැටුණු පසුව ඇමරිකාවේ මිත්‍රයෙකු බවටත් ඊජිප්තුව පත් වුණා.
ඊජිප්තුවට සැබෑම සම්පතක්
නයිල් නදිය පාදක කර ගනිමින් ඉදි වූ අස්වාන් වේල්ල මගින් වර්තමානයේදී ත් එරට වැසියන්ට සලසන සේවය ඉතා විශාලයි. ගංවතුර වැලැක්වීම, ජල විදුලිය උත්පාදනය, ගොවිතැන් කටයුතුවලට ජල සැපයුම ආදී විවිධ ප්‍රයෝජන ඉන් ලැබෙනවා.
කොතරම් බාධක පැමිණියත් ලබා ගෙන ඇති ජයග්‍රහණ දෙස බැලු විට හැඟී යන්නේ ඊජිප්තු පාලකයන්ගේ නොපසු බට උත්සාහය හා තැනට සුදුසු නුවණ හේතුවෙන් අතීතයේ සිටම පැවති ඊජිප්තු වැසියන්ගේ බලාපොරොත්තු අභිලාෂයන් මල්ඵල ගැන්වීමට හැකි වූ බවයි.
කවරයේ පින්තුරය:www.madamasr.com