අනුරාධපුර යුගයේ වාස්තු විද්‍යාත්මක නිර්මාණ අතරින් ඉතා වැදගත් තැනක් හිමි වන නිර්මාණයක් වන්නේ දුටුගැමුණු රජු ඉදිකරවූ රුවන්වැලි සෑය යි. මෙහි විෂ්කම්භය මීටර් 89 ක් පමණ ද, උස මීටර් 91.4 පමණ ද වේ. මෙම ස්තූපය බිම් සැකසීමේ සිට නිමාව සනිටුහන් කරන මොහොත දක්වා පියවරෙන් පියවර මහාවංසයෙහි ඉතා දීර්ඝ ලෙස දක්වා ඇත.
මේ දුටුගැමුණු රජු රුවන්වැලි සෑය හැදූ අයුරු මහාවංසය දුටු හැටි යි.
මහාවංසයට අනුවමහා සෑය සෑදීම ආරම්භ කළේ විසා නැකතෙනි. ප්‍රථමයෙන් ම සෑය සාදන භූමියෙහි ඇති ගල් ,බොරලු, ආදිය ඉවත් කොට එම ප්‍රදේශය රියන් හතක් (7) ගැඹුරට හෑරීම සිදු කෙරිණි. ඉන්පසු රජු සිය යෝධයන් ලවා හුණු ගල් ගෙන්වා මට්ටම් කළ ගල්, භූමියෙහි ස්ථීර වන ලෙස අතුරා පාද සමින් වැසූ ඇතුන් ලවා තව දුරටත් මට්ටම් කළ බව සඳහන්වේ.
වෙඬරු මැටි
ස්තූපය නිර්මාණය සඳහා තෝරා ගත් භූමියේ පස තෙත ගතියකින් යුක්ත විය. ඉන් කපා ගත් මැටි වෙඬරු මැටි ලෙස හඳුන්වයි. එතැනින් මැටි ලබා ගෙන ඉහත සඳහන් කළ පරිදී මට්ටම් කළ ගල් අතර අතුරා ඇත. ඉන්පසු පිළිවෙළින් ශුද්ධ කළ ගල්, කුරුවින්ද පාෂාණ, යකඩ දැල් හා බොරලු ද ඒ මත අතුරා ඇත. රජු හිමාලයෙන් ගෙන්වූ පළිඟු ගල් ඒ මත අතුරවනු ලැබිණි. ඒ පළිඟු ගල් අතර හිඩැස්වලට තවත් ගල් ඇතිරිණි.
රසදිය මිශ්‍ර කළ ගිවුලු මැලියමින් අඟල් 8ක් පමණ දිගට සෑදූ ලෝහ පොටක් ගල් ඇතිරුම මත අතුරා ඒ මත තල තෙලින් තෙමූ රත් සිරියලින් අඟල් 7 බොල් රිදී පටක් ද අතුරා ඇත. මෙලෙස බිම් සැකසූ මහා සෑයෙහි මංගල ගඩොල පසු දින එහි තැන්පත් කරන බවත්, සියලු ම භික්ෂූන් වහන්සේලා හා සිල් සමාදන් වූ ජනතාව එදිනට මෙම ස්ථානයට රැස් වන ලෙසත් රජු දැන්වූයේ ඉන් අනතුරුව ය.
එම ස්ථානයෙහි සැරසීම් ආදිය කරන ලෙසත් රජු අදාළ පාර්ශවවලට නියෝග කර ඇත. ඒ කටයුතු නිසි ලෙස සොයා බැලීම සඳහා රජු අමාත්‍යවරුන් යොදවා තිබිණැයි ද මහාවංසය පවසයි.
චෛත්‍ය කර්මය ආරම්භ කිරීමට නියමිත දින උදෑසන මුළු නගරය හා මහා විහාරයට පැමිණෙන මාර්ගය සරසවා, නුවර හතර දොර කරණවෑමියන් ද, කපුවන් ද මැදිහත් ව, පැමිණෙන ජනයාට පරිහරණය සඳහා වස්ත්‍ර ද, සුවඳ මල් සහ මිහිරි ආහාර ද තබා ඇත.
එදින උදෑසන සිට ජනයා චෛත්‍යය නිර්මාණය වන ස්ථානයට පැමිණෙමින් සිටියහ. දුටුගැමුණු රජු ද මනාව සැරසී දේව කන්‍යාවන් හා සමාන වූ නාටිකාංගනාවන් හා ඇමතිවරුන් පිරිවරාගෙන එම ස්ථානයට සම්ප්‍රාප්ත වූයේ අනතුරුව ය. මෙම ස්ථානයට නොයෙක් දෙසින් භික්ෂූන් වහන්සේලා ද වැඩම කරවා ඇත්තේ ඉනික්බිතිව ය.
එම භික්ෂූන් වහන්සේලා අතර රජගහ නුවර ඉන්ද්‍රගුප්ත හිමියක් ප්‍රමුඛ අසූදහසක් (80,000) භික්ෂූන් ද, ජේතවනාරාමයේ පියදස්සී හිමියන් සමඟ හැටදහසක් (60,000) භික්ෂූන් ද, විසාලා මහනුවර මහා බුද්ධරක්ඛිත හිමියන් ඇතුළු අටළොස් දහසක්(18000) භික්ෂූන් ද, කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේ මහාධම්ම රක්ඛිත හිමියන් හා තිස්දහසක් (30000) භික්ෂූන් ද, උදේනී නුවර දක්ෂිණගිරි විහාරයෙන් භික්ෂූන් වහන්සේලා හතළිස් දහසක් (40000) ද, පැළලුප් නුවර අශෝකාරාමයෙන් භික්ෂූන් වහන්සේලා එක් ලක්ෂ හැටදහසක් (160 000) ද මේ උදෙසා වැඩම කර ඇත.
එම ප්‍රදේශවලට අමතර ව කාශ්මීරයේ පල්ලව භොග්ග, යෝනක රට අලසන් නුවර , වින්ධ්‍යා වනය, වනවාසය, කෛලාස විහාරය ඇතුළු ප්‍රදේශවලින් ද භික්ෂූන් වහන්සේලා චෛත්‍ය කර්මය ආරම්භ කිරීමට නියමිත දින උදෑසන එහි වැඩම කර ඇත.
නියමිත වේලාව ආ කල්හි රැස් ව සිටි ලක්ෂ සංඛ්‍යත ජනකාය ඉදිරියේ රජතුමා භූමිය මැද තබා ඇති පුන්කළස අසල රන් දණ්ඩක් සිටුවා, ඒ මත රිදියෙන් කළ දණ්ඩක් බහා මංගල සම්මත අමාත්‍ය පුත්‍රයකු අතට ඒ රිදී දණ්ඩ ලබා දී චෛත්‍යයේ සීමාව ලකුණු කිරීමට ඔහුට භාර දුන්නේ ය. චෛත්‍යයේ සීමාව එසේ ලකුණු කිරීමෙන් එය අනාගතයේ දී නිම කිරීමට නොහැකි තරමට විශාල වන හෙයින් එම ලකුණු කිරීම වැලකූ සිද්ධාර්ථ නම් තෙරණුවෝ මහා සංඝයාගේ ද අනුශාසනා පරිදී මහා ස්ථූපයේ සීමා ලකුණු කිරීම කළ බව පැවසෙයි.
උළු වඩුවන් සංඛ්‍යාව 500
මෙලෙස මහා සෑය සෑදීම ආරම්භ කළ අතර සෑය සාදා නිම වන තෙක් රජු භික්ෂූන් වහන්සේලාට දානය පිරිනැමීමට කැමැත්තක් දැක්වූ නමුත් භික්ෂූන් වහන්සේලා එය ප්‍රතික්ෂේප කර සත් දිනක් පමණක් දානය ගැනීමට කැමැත්ත පළ කළහ.
ඉන්පසු චෛත්‍යය කර්මය ආරම්භ කෙරිණි. අණබෙර ගසා උළු වඩුවන් රැස් කරවූ අතර එසේ රැස් වූ උළු වඩුවන් සංඛ්‍යාව 500 පමණ වූ බව මහාවංසයේ සඳහන් වේ.
මෙම උළු වඩුවන්ගෙන් ගඩොල් සාදන්නේ කෙලෙස දැයි ඇසූ විට එක් පුද්ගලයෙක් පැවසුවේ තමාට මෙහෙකරුවන් සියයක් (100) ලබා දුනහොත් මැටි ගැලක් ගෙන්වා එක් දිනක් ඇතුළත ගඩොල් සාදා දිය හැකි බව ය. රජු ඔහු වැලකූ අතර තවත් තරුණ ශිල්පියෙක් පැවසුවේ දිනපතා අමුණක් බැගින් පස් ගෙන ඒවා කොටා, ඒ කෙටූ පස් කුල්ලෙන් පොලා එම පස් ගලේ අඹරා ගඩොල් සාදන බව යි.
පළිඟු ගුලියක් හා සමාන වූ දිය බුබුළක්
එසේ සාදන ගඩොල් කල් පැවැත්ම අතින් ඉතා යහපත් බව සැලකූ රජු ,ඔහුට ගඩොල් සෑදීම භාර කළ අතර ස්තූපය කුමන හැඩයෙන් සිදු කරන්නේ ද යන්නත් විමසා සිටියේ ය. එවිට වඩුවා රන් තාලියක් ගෙන එය ජලයෙන් පුරවා එම ජලයට පහරක් ගැසී ය. එවිට පළිඟු ගුලියක් හා සමාන වූ දිය බුබුළක් පැන නැංගේ ය. එම දිය බුබුළ හා සමාන ලෙස ස්තූපය ගොඩ නංවන බව රජුට ප්‍රකාශ කළේ ය.
රජු ඉතා සතුටට පත් වී ඔහුට විවිධ වස්තූන් ලබා දී චෛත්‍යය කාර්‍යයේ යෙදෙන ලෙස දන්වා යවා ඇත. මෙම චෛත්‍ය කර්මාන්තයේ යෙදෙන කිසිවකු නොමිලේ වැඩ නොකළ යුතු බවත් රජතුමන් විශේෂයෙන් ම දන්වා සිටියේ ය. මේ නිසා එක් එක් නගර දොරටුවෙහි සොලොස් ලක්ෂය බැගින් රන් කහවණු හා බොහෝ වස්ත්‍ර ද ඒ වෙනුවෙන් වැටුප් හා මිල වශයෙන් තබා තිබිණි.
මීට අමතර ව විවිධ ආභරණ ,විවිධ පාන වර්ග සහිත භාජන ,සුවඳ නකුල් ,කපුරු (කළුවැල් හෝ සුවඳ කහ යන ඖෂධීය ශාක) ආදිය ද වුවමනා පිරිසට රිසි ලෙස ගැනීම සඳහා තබා තිබූ බව වාර්තා වේ.
මහා සෑයෙහි පේසා වළලු තුන ගඩොලින් ඉදි කෙරිණි. එය ඉදි කරන වාරයක් පාසා ගිලා බැස තිබේ. මේ ආකාරයට නව වරක් (9) මේ පේසා වළලු ගිලා බැස ඇති බව මහාවංසයේ සඳහන් වේ. මෙයට හේතුව කුමක්දැයි රජු භික්ෂූන් වහන්සේලාගෙන් අසා ඇති අතර උන් වහන්සේලා ප්‍රකාශ කර ඇත්තේ සෑය ගිලා බැස්වීම වැලැක්වීම සඳහා ඍද්ධිමතුන් මෙසේ සිදු කර ඇති බවත් නැවත එවැනි ගිලා බැසීමක් සිදු නොවන බවත් ය.
චෛත්‍යය මැද රන් පැහැති බෝ රුකක්
චෛත්‍යය ඉදි කරවීමේ දී දුටුගැමුණු රජු චෛත්‍යය මැද රන් පැහැති බෝ රුකක් කරවූ බව සඳහන් වේ. එම බෝධියට නැගෙනහිරින් ඉදි කළ මාහැඟි පර්‍යංකයක රන් පැහැති බුදු පිළිමයක් ද කරවී ය. මීට අමතර ව බුදු සිරිතෙහි ඇතැම් සිද්ධීන් ද ධාතු ගර්භය තුළ චිත්‍රයට නැඟිණි.
මෙලෙස ධාතු ගර්භයෙහි වැඩ අවසන් වූ පසු රජු භික්ෂූන් වහන්සේලාට මෙසේ ප්‍රකාශ කර ඇත.
“ස්වාමීනී මම ධාතු ගර්භයෙහි වැඩ අවසන් කළෙමි. හෙට දින එහි ධාතු නිදන් කිරීමට සැලසුම් කර ඇත්තෙමි.”
මෙය ඇසූ භික්ෂූන් රැස් වී කතිකාකොට සෝණුත්තර නම් භික්ෂුව ධාතු ගෙන ඒම සඳහා පත් කර තිබේ.
ධාතූන් වහන්සේලා මහාථූපයේ තැන්පත් කිරීම
සෝණුත්තර භික්ෂුව පැවරූ පරිද්දෙන් ධාතූන් රැගෙන වැඩම කළ අතර, දුටුගැමුණු රජු ඉමහත් භක්තියෙන් යුතුව එම ධාතූන් වහන්සේ මහාථූපයේ තැන්පත් කරන්නට පියවර ගත්තේ ය. මෙසේ ධාතූන් මහාථූපයේ පිහිටුවූයේ ඇසළ මස ශුක්ල පක්ශය සම්බන්ධ වූ පසළොස්වක දින උතුරු සළ නැකතින් බව මහාවංසයේ සඳහන් වේ.
මේ ආකාරයට මහා ස්තූපයේ වැඩ කටයුතු කෙරෙමින් පැවති අතර සෑයෙහි කපරාරුව හා හුණු පිරියම් කිරීමට පෙර දුටුගැමුණු රජු මාරාන්තික රෝගයකින් ගිලන් විය. එහෙයින් රජු දිගා වැව සිටි තිස්ස කුමරු අනුරාධපුරයට කැඳවා සෑයෙහි වැඩ කටයුතු අවසාන කරන ලෙස දැන්වී ය. සද්ධාතිස්ස කුමරු සිය සහෝදරයා අසාධ් තත්යත්වයේ පසුවන හෙයින් චෛත්‍යයේ වැඩ කටයුතු නිම කිරීමට කල් මඳ නිසා සුදු රෙදිවලින් චෛත්‍යය වසා එහි අනෙකුත් කොටස් සිත්තරුන් ලවා ඇන්දවී ය. මෙලෙස නිමවූ සෑය රජුට පෙන්වා සෑයෙහි කටයුතු නිමා වූ බව දුටුගැමුණු රජතුමන්ට දන්වා සිටියේ ය.
දුටුගැමුණු රජු දෝලාවක නැඟී එයින්ම සෑය පැදකුණු කොට දකුණු දොරටුවෙහි තැනවූ සයනයක සිට සෑයට සිය නමස්කාරය පුද කළේ ය. භික්ෂූන් වහන්සේලා ඒ අතර පිරිත් සජ්ඣායනය කළහ. රජු පින් පොත් ලියන්නා ගෙන්වා එම පොත ද එම අවස්ථාවේ කියවා ගත්නතේ ය. මෙලෙස පින් පොත කියවා අවසන රජු අවසන් හුස්ම හෙළූ අතර ඉන් චුත වී තුසිත දෙව්ලොව උපන් බව මහාවංසකතාකරු කියයි.
දුටුගැමුණු රජුට පසුව සද්ධාතිස්ස කුමරුන් රජ වූ අතර ඔහු මහාථූපයේ වැඩ අවසන් කර ඒ වටා ඇත් පවුරක් ද කරවන්නට පියවර ගත්තේ ය.