අරාබියේ ලෝරන්ස් සහ තුර්කි විරෝධී අරාබි කැරැල්ල

පළමු ලෝක යුද්ධය පවතින සමයේ මිත්‍ර පාක්ෂිකයන් සහ මධ්‍ය බලවතුන් අතර පැවති සටන බලාපොරොත්තු නොවූ අයුරින් වසර ගණනක් දික් ගැස්සෙන විට​, එහි කිසියම් වාසියක් ලබාගැනීම සඳහා කළ හැකි සියලු විකල්පයන් පිළිබඳ ව දෙපාර්ශවය ම සොයා බලනු දකින්න තිබුණා. මෙහි එක් අංගයක් වූයේ එක් එක් රටවල් දුර්වල කිරීම සඳහා අභ්‍යන්තර ගැටුම් සහ කැරලි ඇති කිරීමේ හැකියාව පිළිබඳ අවධානය යොමු කිරීම යි. විශේෂයෙන් ම විශාල අධිරාජ්‍යයන් හි යටත් වැසියන් ජීවත් වන ප්‍රදේශ කෙරෙහි මෙහි දී අවධානයක් යොමු වුණා.

1916 දී ඇරඹි අරාබි කැරැල්ල මෙහි එක් සන්ධිස්ථානයක් ලෙස ගත හැකියි. ඔටෝමන් තුර්කි අධිරාජ්‍යයට එරෙහිව අරාබිකරයේ හෙජාස් ප්‍රදේශයෙන් පැණ නැගුණ මෙම කැරැල්ල පළමු ලෝක යුද්ධය තුළ ගරිල්ලා යුධ උපක්‍රම භාවිතා කළ එක් විශේෂිත අවස්ථාවක් ලෙස ගත හැකියි. මෙම කැරැල්ලේ දී අරාබීන්ට උපදේශකයෙකු ලෙස සහාය දැක්වූ බ්‍රිතාන්‍ය හමුදා නිලධාරී තෝමස් එඩ්වර්ඩ් ලෝරන්ස්, පසු කලෙක “අරාබියේ ලෝරන්ස්” ලෙසත් ප්‍රකට වුණා. ඔහුගේ ජීවිත කතාව ඇසුරින් සම්මානනීය චිත්‍රපටයක් ද නිර්මාණය වූ බව ඔබ දන්නවා ඇති.

මූලික පසුබිම​

පළමු ලෝක යුද්ධයේ දී බ්‍රිතාන්‍යය​, ප්‍රංශය​, රුසියාව, සහ පසු කලෙක ඇමරිකා එක්සත් ජනපදය ආදී රටවල් ගණනාවක් මිත්‍ර පාර්ශවයට අයත් වුණා. ජර්මනිය​, ඔස්ට්‍රියා-හන්ගේරියාව​, ඔටෝමන් තුර්කි අධිරාජ්‍යය, සහ බල්ගේරියාව මධ්‍ය බලවතුන් ලෙස සැලකුණ පාර්ශවයට අයත් වුණා.

පළමු ලෝක යුද්ධය ඇරඹෙන කාලය වෙද්දි, ඒ කියන්නෙ 1914 වෙද්දි, තුර්කිය කියන්නෙ බොහෝ සෙයින් දුර්වල වූ අධිරාජ්‍යයක්. එහි යටත් ප්‍රදේශ බොහොමයක පාලනය සියවස් එකහමාරක් පමණ වූ කලක් තිස්සේ ඔවුනට කෙමෙන් අහිමි වෙලා තිබුණා. මේ වෙද්දි ඔවුනගේ යටතේ වූ ප්‍රධාන ප්‍රදේශයන් වූයේ මෙසපොතේමියාව සහ අරාබිකරය යි.

අරාබි කැරැල්ල (HistoryNet)

අරාබියේ තුර්කි පාලන ප්‍රදේශවල බොහෝ කල් යනතෙක් විශාල තුර්කි විරෝධයක් දකින්න තිබුණෙ නැහැ. සිරියාව වැනි ප්‍රදේශයන් හි අරාබි ජාතිකත්වය පිළිබඳ අදහසක් මතු ව තිබුණා වුණත්, එය තුර්කියට එරෙහිව බරපතල දේශපාලන ව්‍යාපාරයක් බවට පත්වන ලකුණු එතරම් තිබුණේ නැහැ. අරාබීන් තමන්ගේ විවිධ වූ ගෝත්‍රයන්ට බොහෝ පක්ෂපාත වූ අතර, ඔවුනට විශේෂ හිරිහැරයක් නොවූයේ නම් පාලක තුර්කීන් සමග ආරවුලකට යාමට අවශ්‍යතාවයක් පෙන්නුම් කළේ ද නැහැ.

මේ අතර 1908 දී දමස්කස් නගරයේ සිට මදීනා නගරය දක්වා වූ හෙජාස් දුම්රිය මාර්ගය විවෘත වුණා. මේ සමග තුර්කිය සහ අරාබිකරය අතර සන්නිවේදනය වඩා දියුණු වුණා. ඉන්පසු ව තුර්කීන් වැඩි වැඩියෙන් අරාබිකරයේ කටයුතුවලට සම්බන්ධ වීමත් සමග ඔවුන් සහ අරාබීන් අතර නොරුස්සනා ගතිය වර්ධනය වුණා.

හෙජාස් හි නායක හුසේන්

මෙකල අරාබිකරයේ ප්‍රධානම නායකයා වූයේ හෙජාස් හි ෂරීෆ්වරයා වූ හුසේන් ඉබන් අලි නම් වූ පුද්ගලයා යි. හශෙමයිට් වංශයට අයත් වූ ඔහු, මහම්මත්තුමාගේ පරපුරෙන් පැවත එන අයෙකු බව විශ්වාස කෙරුණා. 1908 සිට ඔහු හෙජාස් හි එමීර්වරයා ලෙස ද හැඳින්වුණා. ඔහු වාසය කළේ මක්කම හි ය.

හුසේන් ඉබන් අලි (Public Domain)

යුද්ධය ඇරඹීමෙන් පසු හුසේන්, බ්‍රිතාන්‍යයන් සමග සබඳතා වර්ධනය කරගත්තා. තුර්කි පාලනය පිළිබඳ කලකිරී සිටි හුසේන්ට අවශ්‍ය වූයේ ඔවුනට එරෙහිව කැරලි ගසා හෙජාස් හි ස්වාධීනත්වය ප්‍රකාශ කිරීම යි. බ්‍රිතාන්‍යයන් ඔහුට ආධාර ලබාදෙන බවට වූ ප්‍රතිඥාව මත හුසේන් තුර්කීන්ට පහර දීමට සූදානම් වුණා.

1916 මැද වන විට තුර්කියට එරෙහි සටන් බ්‍රිතාන්‍යයන්ට එතරම් වාසිදායක වූයේ නැහැ. 1916 වසරේ වැඩි කොටසක් තිස්සේ දියත් කෙරුණ ගැලිපොලි යුධ ව්‍යාපාරය, 1916 ජනවාරියේ දී සම්පූර්ණයෙන් ම අතැර දැමුණා. මේ තත්ත්වය යටතේ බ්‍රිතාන්‍යය ඇතුළු මිත්‍ර පාක්ෂිකයන් කොතැනින් හෝ තුර්කියට පහර දීමට ක්‍රමයක් සොයමින් සිටි අතර​, අරාබීන්ගේ තුර්කි විරෝධය ඊට හොඳ අවස්ථාවක් ලබා දුන්නා.

අරාබි කැරැල්ල

හුසේන් සිය කැරැල්ල දියත් කිරීමට සූදානම් වූයේ 1916 ජූනි මාසයේ දී යි. මෙකල අරාබිකරයේ විශාල ම තුර්කි සේනාංකය වූයේ මදීනාවේ යි. එය 12,000ක පිරිස් ශක්තියකින් යුක්ත වුණා. ඊට අමතර ව මක්කම සහ අනෙකුත් නගර කිහිපයක තුර්කි සේනා රඳවා තිබුණා. මොවුනට එරෙහිව ක්‍රියාත්මක වන්නට හුසේන් සතු ව විශාල පිරිසක් සිටි නමුත්, ඔවුනට ප්‍රමාණවත් අවි ආයුධ තිබුණේ නැහැ.

මෙම අඩුව ජූනි 5 වන දා පැහැදිලි ව දිස් වුණා. එදින හුසේන්ගේ එක් පුත්‍රයෙකු වූ ෆයිසාල්, මදීනාවේ තුර්කීන්ට පහර දුන්නා. දින තුනක ඇවෑමෙන් ඔහු සටන අතැර ගියේ තුර්කීන් පරාජය කිරීමට අවශ්‍ය තරම් ආයුධ ඔහු සතු නොවීම හේතුවෙන්.

හුසේන් විසින් නිල වශයෙන් අරාබි කැරැල්ලේ ආරම්භය ප්‍රකාශයට පත් කළේ ජූනි 10 වන දා යි. ඒ සමග ම ඔහුගේ සේනා මක්කම සිටි තුර්කීන්ට පහර දුන්නා. එහි දී තුර්කි සේනා මක්කම බලකොටුවට පසු බැස්සා. මේ අතර හුසේන්ගේ තවත් පුත්‍රයෙකු වූ අබ්දුල්ලා තයිෆ් නගරයට පහර දුන් අතර, එහි දී ද තුර්කි සේනා නගරයේ බලකොටුවට පසු බැස්සා.

වර්සායි සාකච්ඡා සඳහා සහභාගී වූ අරාබි දූත පිරිස​. ඉදිරියෙන් සිටින්නේ ෆයිසාල් ය​. ලෝරන්ස් පසුපස දකුණුපස සිට තෙවැන්නා ය (National Archives)

මේ අතර අරාබි සේනා විසින් යාන්බු, රබෙග්, සහ ජෙඩා වරායන් අල්ලා ගනු ලැබුණා. එකල මේවා අද දකින විශාල නගර නොවෙයි. නමුත් මෙම කුඩා වරායයන් හරහා අරාබීන්ට ආධාර එවන්නට බ්‍රිතාන්‍යයට හැකි වුණා. මේ අනුව කාලතුවක්කු කිහිපයක් වගේ ම සටන සඳහා උපදේශකයන් ද බ්‍රිතාන්‍යයන් විසින් එවනු ලැබුණා. ලෝරන්ස් අරාබි සටන් පෙරමුණට පැමිණියේ ඒ අනුව යි. කලෙක පටන් අරාබිකරයේ ජීවත් වූ හෙයින් ලෝරන්ස්ට අරාබි බස සහ සංස්කෘතිය පිළිබඳ හොඳ අවබෝධයක් තිබුණා.

බ්‍රිතාන්‍ය කාලතුවක්කුවල ප්‍රහාර හමුවේ මක්කම සහ තයිෆ් හි බලකොටුවල සිටි තුර්කීන් යටත් වුණා. මක්කම යටත් වුණේ ජූලි 4 වන දා යි.

හෙජාස් දුම්රිය මාර්ගය

කෙසේ නමුත් මදීනාවේ තුර්කි හමුදා සේනාංකය අරාබීන්ට දිගටම තර්ජනයක් වුණා. මේ අතර හෙජාස් දුම්රිය මාර්ගයේ වැදගත් ස්ථාන ආරක්ෂා කිරීමට තුර්කි සිව්වන හමුදාව ගෙන්වනු ලැබුණා.

මෙසේ දුම්රිය මාර්ගය ඔස්සේ හමුදා රැඳවූ පසුව වෙරළබඩ නගර ආපසු අල්ලා ගන්නට තුර්කීන් උත්සාහ කළා. මේ අනුව 1916 දෙසැම්බරයේ දී යාන්බු සහ 1917 ජනවාරියේ දී රබෙග් අල්ලාගන්නට තුර්කීන් උත්සාහ කළා. නමුත් මෙම අවස්ථා දෙකේ දී ම ඔවුන් පරාජය කෙරුණා. මෙම සටන්වල දී බ්‍රිතාන්‍ය නාවික යාත්‍රා ද අරාබීන්ට සහාය වුණා.

මීට ටික දිනකට පසුව අරාබීන් විසින් යාන්බුවලින් කි. මී. 150ක් පමණ උතුරින් පිහිටි වෙජ් නගරය අල්ලාගත්තා. එයින් පසු ලෝරන්ස් අවධානය යොමු කළේ හෙජාස් දුම්රිය මාර්ගයට පහර දීම කෙරෙහි යි. ඔහු අරාබීන්ට බෝම්බ තැනීම පුරුදු කළා. ඔවුන් දුම්රිය මාර්ගයේ විවිධ ස්ථාන පුපුරවා හරින්නට පටන් ගත්තා. මේ අතර පාලම් මෙන්ම ජල ටැංකි ද ඔවුනගේ ඉලක්කයට හසු වුණා.

මෙසේ එල්ල කරන ලද ප්‍රහාරයන් නිසා ඔවුනගේ සැපයුම් මාර්ග නිරන්තරයෙන් අවහිර වීම හේතුවෙන් තුර්කීන් අපහසුතාවට පත් වුණා.

අකබා

අරාබියේ ලෝරන්ස් යන නමත් සමග ම මතකයට නැඟෙන ප්‍රධාන අවස්ථාවක් වන්නේ අකබා සටන යි. එය අරාබි කැරැල්ලේ දී ඔහුගේ උපදෙස් මත අරාබීන් ලද ප්‍රසිද්ධ ම ජයග්‍රහණය ලෙස සලකන්න පුළුවන්.

අකබා නගරය වර්තමානයේ දී පිහිටා තිබෙන්නෙ ජෝර්දානයේ යි. මෙයත් එකල අනෙක් වෙරළබඩ අරාබි නගර වගේ ම කුඩා නගරයක් වුණා. එහි 300ක පමණ තුර්කි සේනාංකයක් සිටියා.

ලෝරන්ස් (Getty Images)

අකබා ගැන බ්‍රිතාන්‍යයන් අවධානය යොමු කිරීමට කරුණු දෙකක් බලපෑවා. එකක් නම් ජර්මන් සබ්මැරීන මධ්‍යස්ථානයක් ලෙස එම වරාය යොදාගනු ඇතැ යි යන බිය යි. තව ද, පලස්තීනය වෙත කෙරෙන යුධ මෙහෙයුම්වල දී අකාබා හි තුර්කීන් තර්ජනයක් වනු ඇතැ යි යන බියක් ද වුණා. අකබා අල්ලා ගැනීමට ලෝරන්ස් යොමු වුණේ මේ හේතු නිසයි.

1917 ජූලි 6 වන දා අකබා වෙත අරාබීන් පහර දුන්නා. නගරයට එපිටින් බොහෝ දුරක් කාන්තාරය පැතිර ඇති හෙයින් අරාබීන් ඒ වෙත එනු ඇතැ යි එහි වූ තුර්කීන් බලාපොරොත්තු වූයේ නැහැ. නමුත් අරාබි සේනා නගරයට පහර දී එය අල්ලාගත්තා.

අකබා අල්ලා ගැනීමෙන් පසු හෙජාස් දුම්රිය මාර්ගයේ ජෝර්දානය හරහා වැටී තිබූ කොටසට ද පහර දීමට ලෝරන්ස්ගේ අරාබීන්ට හැකි වුණා.

බලාපොරොත්තු කඩවීම

අරාබි කැරැල්ල අවස්ථාවේ දී බ්‍රිතාන්‍යයන් අරාබීන්ට ප්‍රතිඥා දුන්නේ ස්වාධීන අරාබි රාජ්‍යයක් පිහිටුවීමට සහය වන බව යි. නමුත්, මෙය ව්‍යාජ පොරොන්දුවක් වූ බව අරාබීන් හෝ ලෝරන්ස් හෝ දැන සිටියේ නැහැ. අරාබි කැරැල්ල දියත් වීමට මාසයකටත් අඩු කාලයකට කලින් බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය අතර අත්සන් කළ සයික්ස්-පිකෝ ගිවිසුම මඟින් අරාබියේ විශාල ප්‍රදේශයක් එම දෙරට අතර බෙදා ගන්නට එකඟතාවක් ඇති කරගත්තා. මෙම ගිවිසුම ක්‍රියාත්මක වූ විට හුසේන්ට වර්තමාන සෞදි අරාබියේ බටහිර කොටස හැරුණම කිසිවක් ඉතිරි නොවන තත්ත්වයක් තිබුණා. නමුත් මෙම රහස් ගිවිසුම පිළිබඳ තොරතුරු එම රජයන් විසින් හෙළි කෙරුණේ නැහැ.

1917 නොවැම්බරයේ දී මෙම ගිවිසුමේ කරුණු හෙළි වූයේ රුසියාවේ සිදු වූ පෙරළියත් සමග යි. රුසියාව සයික්ස්-පිකෝ ගිවිසුමට අත්සන් නොකළ ද, එයට දායක වුණා. 1917 ඔක්තෝබර් විප්ලවයෙන් පසු බිහි වූ අභිනව සෝවියට් රුසියානු රජය, මෙම ගිවිසුම ඇතුළු රහසිගත ගිවිසුම් ප්‍රසිද්ධ කළා. ඒ සමග ම බ්‍රිතාන්‍යයන් සහ අරාබීන් අතර විරසකයක් ඇති වුණා.

ලෝරන්ස් බලාපොරොත්තු වූයේ අරාබීන් මිත්‍ර පාක්ෂිකයන්ගේ ජයග්‍රහණය සඳහා වැඩිපුර දායකත්වයක් දැක්වුවහොත්, ඔවුනට රාජ්‍යයක් ලබා දීම කෙරෙහි බ්‍රිතාන්‍යයන් පොළඹවන්නට හැකිවනු ඇති බව යි. නමුත් මෙය ඒ ආකාරයෙන් සිදු වූයේ නැහැ.

ෆයිසාල් සිරියාවේ රජු ලෙස රජයක් පිහිටුවා ගන්නට උත්සාහ කළත්, ප්‍රංශයින් විසින් ඔහු ව පළවා හැරුණා. මේ අනුව ඔහු ඉරාකයේ රජු බවට පත් කිරීමට බ්‍රිතාන්‍යයන් කටයුතු කළා. නමුත් ඔහු කටයුතු කළේ බ්‍රිතාන්‍යයන් ගේ සිතැඟි පරිදි යි. මේ ආකාරයෙන්ම ම බ්‍රිතාන්‍ය ආරක්ෂාව යටතේ වූ ට්‍රාන්ස්ජෝර්දානයේ රජකම අබ්දුල්ලා වෙත ප්‍රදානය කෙරුණා. ෆයිසාල් 1933 දී මියගිය අතර, ඉරාක රජ පවුල 1958 දී සිදුවූ කුමන්ත්‍රණය අතරතුර ඝාතනය වුණා. ජෝර්දානය අදටත් හෂෙමයිට් පරපුර විසින් පාලනය කෙරෙනවා.

හුසේන් දිගටම හෙජාස් හි රජු ලෙස කටයුතු කළා. ඔහු එම තනතුර තමන් වෙත පවරා ගත්තේ 1916 දී යි. නමුත් 1924 දී ඔහුගේ රාජ්‍යය නැඟී එන ඉබන් සෞද්ගේ රාජ්‍යය විසින් අල්ලා ගැනුණා.

Related Articles

Exit mobile version