දුරුතු පෝයට කැලණිය වැදපුදා ගැනීමට හා කැලණි පෙරහර නැරඹීමට පැමිණීම බෞද්ධයන්ගේ සිරිත යි. එය සියවස් ගණනාවක් තිස්සේ පැවත එන වන්දනා ගමනක්. දෙස් විදෙස් සංචාරකයන් අතර පවා පතල කැලණි විහාරයට යන ගමන් දැකබලා ගත හැකි තවත් ඉපැරණි පන්සල් කිහිපයක් ඒ අවට කැලණි ගංගා නිම්නයේ පිහිටා තිබෙනවා. නමුත් වැඩිදෙනෙක් ඒ ගැන උනන්දු වන්නේ නැහැ. ඒ ගැන මතක් කිරීමට යි, මේ උත්සාහය.
එගොඩ කැලණිය
කැලණි විහාරය අසලින් ඇති පාලමෙන් එගොඩ වීමෙන් අප පිවිසෙන්නේ කැලණි ගං ඉවුරේ පිහිටි එගොඩ කැලණියට යි. වසර කිහිපයකට පෙර පාලමක් තිබුණේ නැහැ. විහාරයට යාමට ඔරුවෙන් එගොඩ විය යුතු වුණා. බුදුන් වහන්සේ කැලණියට වැඩි ගමනේ දී තම නානකඩය හැඳ ස්නානය කළ අතර, පසුව එම ඉවත් කළ නානකඩය මණිඅක්ඛික නා රජුට ලබාදුන් බවත්, එය (ජල සාටිකාව) නිධන් කර මෙම විහාරයේ දාගැබ තනවා ඇති බවත් විශ්වාසය යි. ඒ නිසා වෙහෙර හඳුන්වන්නේ සිවුරු දාගැබ යනුවෙන්. මින් හමුවූ 10 වැනි සියවසට අයත් සෙල්ලිපි කැබැල්ලක සිවුරු දාගැබ මෙහි පිහිටි බව සඳහන් වෙනවා.
අනුරාධපුර යුගයේ දී කීර්ති ශ්‍රී මේඝවර්ණ හෙවත් කිත්සිරිමෙවන් රජු (ක්‍රි. ව. 301-328) දාගැබ අලුත්වැඩියා කර විහාරය ඉදිකරවූ බව පැවසෙනවා. ඒත් ඒ ගැන ඓතිහාසික සාධක නම් හමුවී නැහැ. මෙහි ක්‍රි. ව. 1333 කාලයේ විල්ගම්මුල නාහිමියන් කරවූ පුවරු ලිපියක් තිබෙනවා. දඹදෙණියේ දෙවැනි පැරකුම්බා රජ දවස කැලණියේ ගතාරා පිරිවෙනේ විල්ගම්මුල සංඝරාජ හිමි වැඩසිටි බව පැවසෙනවා. එයට අමතරව ශෛලමය බුද්ධ රූ කොටස්, ගල්කණු කැබලි, ගල්පුවරුවක සටහන් කළ සිරිපතුලක් ද මෙහි දැකගත හැකියි.
අද දක්නට ලැබෙන දාගැබ මහනුවර යුගයේ දීත් ඉංග්‍රීසි පාලන කාලයේ දීත් ප්‍රතිසංස්කරණයට ලක්වූ බව යි පෙනෙන්නේ. මෙහි විහාර මන්දිරය ඉංග්‍රීසි පාලන යුගයේ 1900 දී පමණ තැනූ එකක්.
කෝට්ටේ යුගයේ දී ලියවුණූ සැලලිහිණි සංදේශයේ සැලලිහිණියාට සිවුරු දාගැබ වදින ලෙස මෙසේ පවසා තිබෙනවා:
සමනොළ ගිරි ගිජිඳු දිගු කළ සොඬෙක ගැටී
සිහි ල ළ ගඟැ සිලිල් සනහා මුනි නොගැටී
පැහැ දුල තුන් සිවුරු ඇඳ පෙරවැ වැඩ සිටී
තැනැ කළ සිවුරු දාගැබ වදු නොපෑ සිටී
සපුගස්කන්ද ගලේ පන්සල
කැලණිය සිට කිරිබත්ගොඩට පැමිණ මාකොළ පාරෙන් ළගාවිය හැකි මේ පූජනීය ස්ථානය, සියවස් ගණනාවක සැඟවුණ ඉතිහාසයක් ඇති තවත් තැනක්. අක්කර දෙකක් පමණ විශාල ගල් පර්වතයක් ඇසුරුකොට කදු ගැටයක පිහිටි නිසා කවුරුත් මේ විහාරය හඳුන්වන්නේ ගලේ පන්සල කියල යි. බියගම මැතිවරණ බල ප්‍රදේශයට අයත් මාකොළ ග්‍රාමසේවා වසමේ මෙම විහාරස්ථානය පිහිටා තිබෙනවා.
සපුගස්කන්ද පුරාණ රාජමහා විහාරස්ථානයට අයත් අක්කර දහයක මෙම භූමි භාගය ක්‍රි.ව. 1825 දී එවකට ඉංගී‍්‍රසි ආණ්ඩුකාරව සිටි එඩ්වඩ් බාන්ස් විසින් තෑගි ඔප්පුවකින් පූජා කළ බව ඉතිහාසය සඳහන් කරනවා. එහෙත් ඊට පෙර 1790 දී පෙරාතුගොඩ මා හිමියන් මෙම විහාරස්ථානය පිළිසකර කළ බව ද සඳහන්ව තිබෙන කරුණක්.
ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු (ක්‍රි.ව. 1707 – 1739) ස්වකීය රාජ්‍ය කාලය අවසානයේ සපුගස්කන්ද පුරාණ රාජමහා විහාරය ඉදිකරවූ බවට ද පරම්පාරාගත කතාවල දැක්වෙනවා.
සපුගස්කන්ද පුරාණ රාජමහා විහාරය පසුකලෙක කැලෑවෙන් වැසී, ගරා වැටී පාළුවට ගොස් තිබුණා. වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජ මා හිමි පරපුරට අයත් පෙරාතුගොඩ මා හිමියන් මෙය යළි පිළිසකර කර යථා තත්ත්වයට පත් කොට ඇත්තේ ඊට පසුව යි.
පෙරාතුගොඩ හාමුදුරුවන්ගෙන් පසුව 1820 දී මාතර සුමන මා හිමියන් ද, 1830 දී කළුකොඳයාවේ ගුණරතන හිමියන් ද, 1860 සිට 1886 දක්වා මාකොළ සරණපාල නා හිමියන් ද විහාරයේ වැඩසිටිමින් එය දියුණු කිරීමට දායකත්වය දී තිබෙනවා. 1934 සිට කැන්දලියැද්ද පාළුවේ ඤාණමෝලි නා හිමියන් ද, පසුව හපුවලානේ සෝභිත හිමියන් ද, 1975 සිට අස්ගිරි ධම්මජෝති නා හිමියන් ද, මෙහි අධිපතිව වැඩ වසමින් සිට ඇති බව සඳහන් වෙනවා.
විහාරය පිහිටි කළුගල්තලාව මත දාගැබ, විහාර මන්දිරය, දේවාලය, බෝධීන් වහන්සේ හා බෝමළුව, දිය පොකුණු ආදිය ද පිහිටා තිබෙනවා.
මෙම ගල්තලාව මත සිට බලන විට ශ්‍රීපාද කන්ද, කොළඹ නගරය දැකගත හැකියි. පහළින් එකම තුරු හිස් යායක් දර්ශනය වෙනවා.
භූ නිර්මාණය අනුව සපුගස්කන්ද රාජමහා විහාර භූමිය ඉහළ මළුව හා පහළ මළුව වශයෙන් බෙදා දැක්වීමට පුළුවන්.
මෙම විහාරස්ථානයේ වකවානු කීපයකට අයත් චිත්‍ර දැකිය හැකියි. පැරැණි චිත්‍ර සියල්ල මහනුවර සම්ප්‍රදායට අයත් වුවත්, ඒවා ඇඳ ඇත්තේ ඉංග්‍රීසි පාලන කාලයේ දී යි. මෙහි දහම් පාසල ද පැරණි ඉතිහාසයකට හිමිකම් කියනවා. එය ආරම්භ කොට ඇත්තේ 1863 වර්ෂයේ දී යි.
හෙයියන්තුඩුව පුරාණ විහාරය
කිරිබත්ගොඩ සිට කරාබුගස් හන්දිය දක්වා දිවෙන මාර්ගයේ, සපුගස්කන්ද තෙල් පිරිහදුව අසලින් හැරී යන හෙයියන්තුඩුව පාරේ ගමන් කර විහාරයට ළඟාවිය හැකියි. නවීන විහාර ගොඩනැගිලි අතර උඩරට සම්ප්‍රදායට අයත් කුඩා විහාරගෙය දැකගැනීමට පුළුවන්. එය 2007 පෙබරවාරි 23 දා පුරාවිද්‍යා ස්මාරකයක් බවට ප්‍රකාශ කර තිබෙනවා. එහි කුඩා හිඳි බුදු පිළිමයක් සහ බිතුසිතුවම් දැකගත හැකියි.
විහාරස්ථානයේ ඉදිකර තිබෙන පෞරාණික ශ්‍රී විෂ්ණු දේවාලය ද, උඩරට රජකළ දෙවන රාජසිංහ රජු විසින් ඉදිකර සඟ සතු කොට පූජා කළ එකකැ යි සඳහන් වෙනවා. එහි ඉතිහාසය හෙයියන්තුඩුව යන ග්‍රාමයට ලැබුණු අයුරු දැක්වෙන ඉතිහාස කතාව හා සැසඳෙනවා. ඒ අනුව හෙයියන් යනු මී ගවයින් වන අතර, දෙවන රාජසිංහ රජු සිය හේවායින්ට කිරි ලබාදුන් මී ගවයින් ගාල්කළ වෙල්යායට යාබද තුඩුවක් වැනි ස්ථානයක් වූ නිසා හෙයියන් ගාල් කළ තුඩුව, හෙයියන්තුඩුව වූ බවත්, විටෙක ඒ මී ගවයින් හට වැළඳුනු රෝගයක් සමනය කිරීමට වූ බාරයක් සඵල වීමෙන් පසු එම භාරය ඔප්පු කිරීම සඳහා දේවාලය ඉදිකළ බවත් ජනප්‍රවාදවල කියැවෙනවා.
පෙතියාගොඩ පරමාර්ථ ධර්මාකර පිරිවෙන් විහාරය
මෙහි මුලින්ම විහාරයක් ඉදිකර ඇත්තේ උඩරට කීර්ති ශ්‍රී රාජසිංහ රජ කාලයේ ක්‍රි.ව 1747 බව පැවසෙනවා. ඒ කාලයේ මේ අවට පාලනය කළේ ඕලන්දකාරයන්. නමුත් උඩරට බෞද්ධ ප්‍රබෝධය බස්නාහිරටත් දැනී තිබෙනවා මෙහි ප්‍රතිමා මන්දිරය සහ එහි සිතුවම් උඩරට සම්ප්‍රදායට අයත්. පිළිමගෙයි උළුවස්සේ ඉහළින් බුද්ධ වර්ෂ 2391 (ක්‍රි. ව. 1747) යන්න සඳහන් කර තිබෙනවා. මුලින්ම ටැම්පිට විහාරයක් වශයෙන් තමයි විහාරය පැවතුණේ.
වර්ෂ 1940 ගංවතුරට කැලණි ගග ආරක්ෂක බැම්ම බිඳී ගොස් පැමිණ විහාරගෙය යට වුණා. ඊට පසු එය ශක්තිමත් වීමට විහාරය වටා බිත්ති බැඳ වර්තමාන ස්වරූපයට ගෙන ආ බව පැරැන්නෝ පවසනවා. පිළිම ගෙය ඇතුළුමාලය සහ පිටමාලය වශයෙන් කොටස් දෙකකින් යුක්ත යි. මෙහි පැරණි සිතුවම් සහිත විහාරගෙය 2007පෙබරාවාරි 23 දා පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශ කර තිබෙනවා.
අද නාගරික වටපිටාවක පිහිටි මෙම විහාරය අවිධිමත් ලෙස නවීකරණය කර තිබිය දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එහි පැරණි ඡායාරූපයක් අනුව සැලසුම් සකස්කර සංකරණය කළා. සංරක්ෂණ නිම වූයේ 2018 දී යි. අලුතින් විහාරයට පිට මාලය ද එක්කර ඉදිරිපස තිබූ තොරණ ද යළිත් ඉදිකර සංරක්ෂණය කර තිබෙනවා. මෙහි සෙවිලි කර තිබෙන්නේ සිංහල කොකු උළු යි. සංරක්ෂණය ගැන පුරාවිද්‍යා නිලධාරීන් මෙසේ සදහන් කර තිබෙනවා:
මෙහි පැරණි අත්තිවාරම පොළොව මට්ටමේ සිට අඩි දෙකහමාරක් ගැඹුරින් දක්නට හැකි විය. එම අත්තිවාරම මතම අලුතින් අත්තිවාරම් යොදා, ඉවත්කර තිබූ විහාරයේ පිට මාලය තැනීම සිදුවිය. ඉදිරිපස පියගැට පෙළ සහ තොරණ ද පැරණි තිබූ ආකාරයටම සකස් කරන ලදී. සියලුම බිත්ති කපරාරු කර අවසානයට ගොඩනැගිල්ල වටා වටපිල ද යොදා විහාර ගෙය සංරක්ෂණය මාස තුනකින් නිම කරන ලදී.
(දායාද- පුරාවිද්‍යා පුවත් අටුවාව 2018 ජූලි)
නැවතත් කැලණි විහාරෙට යනවිට ඒ අවට පිහිටි මේ විහාරවලටත් යන්න අමතක කරන්න එපා.