කැනේඩියානු ජාතික දරුවෙකු වූ ඩේවිඩ් රයිමර්ගේ සිදුවීම එරට වෛද්‍ය ඉතිහාසයේ සනිටුහන් වූ ඉතා විශාල කළු පැල්ලමක් ලෙස සැලකෙනවා. ඔහුගේ පුරුෂ ලිංගයේ සිදුකළ සරල සැත්කමක් වැරදී යාම නිසා එම අවයවය ඉවත් කිරීමට සිදුවීමෙන් පසු කාන්තාවක ලෙස ඔහු ‘නැවත සකස් කරන්නට’ සිදුවුණා. ප්‍රසිද්ධ මනෝවිද්‍යාඥයෙකු වූ ජෝන් මනී මෙම තීරණය ගැනීමත් සමග කෘතිමව සැකසූ ස්ත්‍රී ලිංගයක් ඔහුට ළදරු වියේ දීම ලැබුණු අතර ස්ත්‍රී හෝමෝන ද කාලානුරූපිව ලබා දුන්නා. කෙසේ නමුත් වැඩිවිය පැමිණීමත් සමග එම ව්‍යායාමය සාර්ථක නොවූ බවට ඉඟි පහළ වූ අතර අවසානයේ ඒ නිසා ඔහුගේ ජීවිතය ද හානි කරගන්නට ඩේවිඩ් පෙළැඹෙනවා.
නිවුන් දරු උපතක්
කැනඩාවේ විනිපෙග් නුවර විසූ ජැනට් හා රොන් රයිමර් යුවලට 1965 වසරේ අගෝස්තු මස නිවුන් දරුවන් ලැබුණා. මොවුන් සම නිවුන් පිරිමි දරුවන් වූ අතර ඔවුනට බෲස් හා බ්‍රයන් යනුවෙන් නම් තැබුණා. ඉපදී කෙටි කලක් යන විට පිරිමි දරුවන් සඳහා සාමාන්‍යයෙන් සිදුකරන සුන්නත් කිරීමේ සැත්කම, එනම් පුරුෂ ලිංගයේ පෙරසම ඉවත් කිරීමේ සැත්කම, සිදුකිරීමට තීරණය වුණා. මේ සඳහා මුලින්ම තෝරාගැණුනේ බෲස් වයි.
සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවකදී මුවහත් සැත්කම් පිහියක් යොදාගෙන පෙරසම කපා ඉවත් කෙරෙන මුත් රයිමර් පවුලේ වෛද්‍යවරයා නව ක්‍රමයක් ඒ සඳහා තෝරාගන්නට තීරණය කෙරෙනවා. මෙහිදී පෙරසම පිළිස්සීමකට භාජනය කිරීමක් කෙරෙනවා. 1966 වසරේ අප්‍රේල් මස 27 වනදා බෲස් මේ සැත්කමට මුහුණදුන් අතර, ඔහුගේ අවාසනාවට එය අසාර්ථක වන්නේ ඔහුගේ පුරුෂ ලිංගයට නැවත සැකසිය නොහැකි තරමේ හානියක් වෙනවා. මේ නිසා දරුවාගේ ජීවිතය බේරාගැනීමට ඔහුගේ පුරුෂ ලිංගය සම්පූර්ණයෙන් ඉවත් කරන්නට සිදුවුණා.
බෲස් හෙවත් බ්‍රෙන්ඩා
උක්ත සිදුවීමත් සමග බෲස් ගේ ඉදිරි ජීවිතය පිළිබඳව ඔහුගේ දෙමව්පියන් බොහෝ සේ දුක් වුණා. නමුත් මෙහිදී මනෝවිද්‍යාඥයෙකු හා ලිංගිකත්වය පිළිබඳ විශේෂඥයෙකු වූ ජෝන් මනී බෲස්ගේ දෙමව්පියන්ට යෝජනා කරන්නේ බෲස් ‘ගැහැණු ළමයෙකු’ කළ යුතු බව යි. ඔවුන් ඊට එකඟ වෙන අතර 1967 වසරේ දී බෲස් ගේ ලිංගාශ්‍රිත පෙදෙස ස්ත්‍රී ලිංගයක් බවට සැකසෙනවා. අනතුරුව කෙමෙන් කෙමෙන් ඔහුට ඊස්ට්‍රජන් හෝමෝන ලබාදීම සිදුවූ අතර ඔහුට ‘බ්‍රෙන්ඩා’ යන නම ද තැබෙනවා. බෲස් හෙවත් බ්‍රෙන්ඩාට තමන් උපතේ දී පුරුෂයෙකු බැව් සියළු දෙනා සැඟවූ අතර මුල් ළමා වියේ දී ඇය ගැහැණු ළමයෙකු ලෙස හැසිරෙන්නට පටන්ගත් නිසා එම සැත්කම ඉතා සාර්ථක වූ බව මනී ප්‍රකට කරනවා.
මනීගේ කූඨ බලාපොරොත්තු
වෛද්‍ය මනී බෲස් ගැහැණු ළමයෙක් කිරීම තුළින් වෙනත් රහසිගත අධ්‍යයනයක් කරන්නට සැලසුම් කර තිබුණා. සිය ක්‍රමවල සාර්ථකත්වය උරගා බලන්නට මෙය හොඳම අවස්ථාවක් බැව් ඔහු තීරණය කර තිබුණේ බ්‍රෙන්ඩාට සම නිවුන් සොයුරෙක් ද සිටීම නිසා යි. මේ නිසා සර්ව සම ගැහැණු හා පිරිමි නියැදි එකිනෙකාගෙන් ස්වායක්තව වර්ධනය වෙනු අධ්‍යයනය කිරීමේ දුර්ලභ අවස්ථාව තමන්ට ලැබෙන බැව් ඔහු වටහාගත්තා. මේ සදාචාරත්මක නොවන සැත්කම කෙරුණේ ඒ අනුව යි. මේ නිසා දරුවන් දෙදෙනා නිතර නිතර සිය සේවාස්ථානයට ගෙන්වාගැනීමට ඔහු පියවර ගත් අතර එහිදී ලිංගිකත්වය හා සම්බන්ධ අධ්‍යයනයන් රාශියක් ඔහු විසින් සිදු කළේ කාගේත් ඇස් වලට වසන්ව යි.
වැඩ වරදියි
ගැහැණු ළමයෙකු ලෙස මුල් ළමා විය හොඳින් ගත කළ බ්‍රෙන්ඩාගේ යම් ‘වෙනසක්’ ඇයගේ දෙමාපියන් අධ්‍යනයය කළේ ඇය නව යොවුන් වියට එළැඹීමත් සමගයි. 13 වියැතිව සිටිය දී, තමන් තවදුරටත් මනී බැහැදැක්මට ගෙනගියහොත් සියදිවි නසාගන්නා බැව් බ්‍රෙන්ඩා සිය දෙමව්පියන්ට පවසා සිටියා. එමෙන්ම තමන් ‘පුරුෂයෙකු සේ හැඟෙන’ බැව් ඔහු තවදුරටත් ප්‍රකාශ කළා. අවුරුදු දෙකක ඇවෑමෙන් ඇයට සත්‍ය පවසන්නට ඇයගේ පියා තීරණය කළේ ඇය මුහුණපාන මානසික පීඩන එන්න එන්නටම වැඩිවන බැව් තේරුම් ගත්තායින් පසුව යි.
තමන් මුහුණදුන් අවාසනාවන්ත සිද්ධිය දැනගත් බ්‍රෙන්ඩා එතැන් පටන් පුරුෂයෙකු ලෙස පෙනී සිටින්නට තීරණය කළා. සිය මුල් නම ‘ඩේවිඩ්’ ලෙස වෙනස් කරගත් ‘ඔහු’ 21 වියැතිව සිටිය දී සැත්කමක් මඟින් සිය පියයුරු ඉවත් කරගත් අතර, පසුව සැත්කමක් මඟින් පුරුෂ ලිංගයක් නිර්මාණය කරගන්නවා. ඩේවිඩ් 1990 වසරේ සැප්තැම්බර් මස 21 වන දා ජේන් නම් තුන්දරු කාන්තාවක් විවාහ කරගන්නවා.
ඩේවිඩ්ගේ ඛේදජනක අවසානය
1997 වසරේදී කුඩාකල තමා මුහුණදුන් පීඩාකාරී අත්දැකීම් ගැන ඩේවිඩ් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට පටන්ගත්තා. මනෝ විද්‍යාඥයෙකු හමු වූ ඔහු කුඩා කළ සිටම තමන් පුරුෂයෙකු සේ හැඟුණු බවත්, මේ නිසා ජෝන් මනී බැහැදකින්නට යන සෑම වාරයක දීම තමන් මහත් වූ මානසික පීඩාවන්ට ලක් වූ බවත් පවසා සිටියා. මේ නිසා සෙසු රෝහල් හා වෛද්‍යවරුන් කෙරෙහි ද තමන්ගේ විශ්වාසයක් නැති බැව් ඩේවිඩ් වැඩිදුරටත් කියා සිටියා. මේත් සමග ඔහු මනී හා ඔහුගේ ක්‍රමවලට ප්‍රසිද්ධියේ චෝදනා කළා.
සිය දිවියේ අවසන් සමය ඩේවිඩ් ගතකළේ ඉතා දැඩි මානසික පීඩන මැද යි. ලිංගික ගැටළුවලින් හා රැකියාවක් නොමැති කමින් දැඩි ලෙස ඔහු පීඩා වින්දා. 2002 වසරේ දී ඩේවිඩ්ගේ සොයුරා සියදිවි නසාගැනීමත් ඔහුගේ මානසික පීඩනය තවත් වැඩි කළා. 2004 වසරේ මැයි මස දෙවන දා ඩේවිඩ්ගේ බිරිඳ ඔහුගෙන් වෙන්වීමට අවශ්‍ය බැව් ප්‍රකාශ කිරීමත් සමග ඔහුගේ මානසික පීඩනය උපරිමයකට පැමිණියා. ඉන් දින දෙකකට පසු ඔහු ගිනි අවියකින් හිසට වෙඩි තබාගෙන සියදිවි හානි කරගත්තා. මේ වන විට ඔහු තිස් අට වැනි වියෙහි පසු වූ අතර ඒ වන විටත් දෙවරක්ම සියදිවි නසාගැනීමට උත්සාහ කර තිබුණා.
පසුවදන
ඩේවිඩ් මුහුණදුන් අවාසනාවන්ත සිදුවීම අළලා පසුකාලීනව පොත්, චිත්‍රපට, ගීත වැනි දේ ද නිර්මාණය වුණා. කෙසේ නමුත් ඒ කිසිවකින් කැනේඩියානු වෛද්‍ය ක්ෂේත්‍රයට ඇති වූ කලු පැල්ලම සම්පූර්ණයෙන් මැකී ගියේ නැහැ.