බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය එක්ව දියත් කළ​ දෙවන අබිං යුද්ධය​

චිං රාජවංශය යටතේ පාලනය වූ චීන අධිරාජ්‍යය විසින් අබිං වෙළෙඳාමට එල්ල කරන ලද බාධාවට පිළිතුරු ලෙස බ්‍රිතාන්‍යය 1839 සිට චීනයට එරෙහිව යුධ වැදුණ අයුරුත්, 1842 දී එම යුද්ධයේ අවසානයේ දී තමන්ට අවශ්‍ය වූ ඇතැම් දේ ලබාගත් අයුරුත් අපි පළමු අබිං යුද්ධය පිළිබඳ වූ ලිපියෙන් ඔබ වෙත විස්තර කළා.

(චීනය සියවස් ගණනක් විවිධ රාජවංශ විසින් පාලනය කළ අධිරාජයක් වූ අතර එක් එක් රාජවංශය නමින් ද ඒ ඒ කාලවල එම අධිරාජ්‍යය හඳුන්වනවා. අපි මෙම ලිපියේ දී බොහෝ විට චීනයට චිං අධිරාජ්‍යය යන නම භාවිතා කරනවා. ඉංග්‍රීසියෙන් මෙය ලියන්නේ Qing dynasty හෝ Qing Empire හෝ යනුවෙන්).

කෙසේ වුණත් පළමු අබිං යුද්ධයෙන් පසුවත් චීනය අබිං වෙළෙඳාම නීතිගත කළේ නැහැ. එම බාධකය ඉවත් කරගැනීමට බ්‍රිතාන්‍යයට අවශ්‍ය වුණා. එමෙන්ම සම්පූර්ණ චීනයම වෙළෙඳාම සඳහා විවෘත කරගැනීමට බ්‍රිතාන්‍යයට අවශ්‍ය වුණා. මේ වනවිට 1842 නැන්කිං ගිවිසුම යටතේ වෙළෙඳාම සඳහා විවෘත කර තිබුණේ වරාය පහක් පමණ යි. (මේවාට ගිවිසුම් වරාය යයි ද කියනු ලැබුණා). මීට අමතරව බ්‍රිතාන්‍ය නේවාසික නියෝජිතයකුට බීජිංහි රැඳීසිටීමට අවසර දිය යුතු බව ද​, මුහුදු කොල්ලකරුවන්ගේ ක්‍රියාකාරකම් පාලනය කළ යුතු බව ද​, ගිවිසුම්වල දී චීන භාෂා පිටපතට වඩා ඉංග්‍රීසි භාෂා පිටපතට මුල්තැන දිය යුතු බව ද ආදී වශයෙන් විවිධ ඉල්ලීම් බ්‍රිතාන්‍යය දෙසින් එල්ල වුණා.

අස්ථාවර චිං අධිරාජ්‍යය

1850 දශකයේ මැද වෙද්දී චිං අධිරාජ්‍යය​ සිටියේ එතරම් යහපත් දේශපාලන තත්ත්වයක නොවේ. පළමු අබිං යුද්ධයේ දී චීන හමුදා ලත් පරාජය තුළ චීනයේ චිං රාජවංශයට විරුද්ධ පිරිස්වලට අවබෝධ වූයේ මධ්‍යම රජය හිතන තරම් ප්‍රබල නොවන බව යි. චිං රාජවංශය මැංචුවරුන් වූ බැවින් සාමාන්‍ය හන් ජාතිකයන් අතර එම රජ පවුල පිළිබඳ විශේෂ ප්‍රසාදයක් වූයේ නැහැ. මේ අනුව රාජ්‍ය විරෝධී කණ්ඩායම් ශක්තිමත් වීමේ අවදානමක් ඇති වුණා. එය පුපුරා ගියේ 1850 දී ක්‍රිස්තියානි සංවිධානයක් විසින් දියත් කළ ටයිපිං කැරැල්ල සමග යි. මෙය මැඩ පැවැත්වීමට චිං අධිරාජයට වසර 14ක් ගත වූ අතර එය අවසන් වනවිට එය අභ්‍යන්තරික වශයෙන් බරපතල ලෙස දුර්වලව සිටියා. (ඒ පිළිබඳ අප පසුව වෙනත් ලිපියකින් විස්තරාත්මකව සඳහන් කරන්නට බලාපොරොත්තු ව‍ෙනවා).

ටයිපිං කැරැල්ල 1854 දී පැතිර තිබූ ප්‍රදේශය​ (තද රතු පාටින්). මෙම කැරැල්ල ඇරඹියේ රතු සහ කහ සිරස් ඉරිවලින් දැක්වෙන​ දකුණුදිග ගුවන්‍ෂි ප්‍රාන්තයෙන් (Wikimedia Commons)

දෙවන අබිං යුද්ධය දියත් වුණේ ටයිපිං කැරැල්ල පවතින අතරතුර යි. එහෙයින් චිං අධිරාජ්‍යය එම යුද්ධයෙන් පරාජය වීම පුදුමයක් ද නොවේ. 1856 සිට 1860 දක්වා සටන් සිදු වූ නමුත් විවිධ හේතු මත මෙම සටන් එක දිගටම සිදු වූයේ නැහැ.

ඇරෝ නෞකාවේ සිද්ධිය​

පළමු අබිං යුද්ධයෙන් පසු ප්‍රංශය​, රුසියාව​, ඇමෙරිකාව ආදී රටවල් ද විවිධ තර්ජන මඟින් චිං අධිරාජ්‍යය වෙතින් විවිධ වරප්‍රසාද දිනා ගත්තා. නමුත් තවමත් එරට විවෘත වූයේ කැමැත්තකින් නොවේ. මේ අතර ඉහත සඳහන් කළ කරුණු මත බ්‍රිතාන්‍යය නැවත චිං අධිරාජ්‍යය සමග යුද්ධයකට හෝ පැටලීමේ අදහසකින් පසු වුණා.

දෙවන අබිං යුද්ධයට ඇතැම් ඉතිහාසකරුවන් විසින් දෙන තවත් නමක් වන්නේ ඇරෝ යුද්ධය යන්න යි. බ්‍රිතාන්‍යයන් චිං අධිරාජ්‍යයට එරෙහිව යුධ වැදීමට ආසන්නම සිද්ධිය වූ ඇරෝ නෞකාවේ සිද්ධියෙන් මෙම නම යෙදී තිබෙනවා.

1856 ඔක්තෝබරයේ දී කැන්ටන්වල දී චීන නිලධාරීන් විසින් ඇරෝ නෞකාව අත්අඩංගුවට ගත්තේ කොල්ලකෑම්වල නිරත වීමේ චෝදනාව මත යි. එහි වූ චීන ජාතික සේවකයන් 12 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. එමෙන්ම එවකට ඇරෝ නෞකාවේ වූ බ්‍රිතාන්‍ය ධජයක් බිම හෙලා ඊට අගෞරව කළ බවට චෝදනා එල්ල වුණා. ඇරෝ නෞකාව කලක් හොං කොංහි ලියාපදිංචි කර තිබුණ නමුත් එහි ලියාපදිංචි කාලය අවසන්ව තිබුණා. කෙසේ වෙතත් මෙම ධජයේ සිද්ධිය සහ නැවියන් අත්අඩංගුවට ගැනීම පිළිබඳ බ්‍රිතාන්‍යය විරෝධය පළ කළා. ඔවුන් එම ප්‍රදේශයේ අධිරාජ්‍යයීය නියෝජිතයා වූ ලින්ගුවාන්හි ප්‍රතිරාජ යේ මිංග්චෙන්ට බල කළේ එම සිද්ධිය පිළිබඳ සමාව ගෙන අදාළ පිරිස නිදහස් කරන ලෙස යි. එම පිරිසෙන් වැඩි දෙනෙකු නිදහස් කෙරුණ නමුත් සමාව ගැනීමක් සිදු වූයේ නැහැ.

ඔක්තෝබර් මාසය අවසන් සතියේ දී බ්‍රිතාන්‍ය නෞකා විසින් චීනයේ පර්ල් නදියේ බලකොටුවලට සහ කැන්ටන් වෙත පහර දෙනු ලැබුණා.

කෙසේ නමුත් මෙම අවස්ථාවේ දී සටන් දිගට ඇදී ගියේ නැහැ. 1857 දී රජය ඇරෝ නෞකාව සම්බන්ධව ගත් ප්‍රතිපත්ති විවේචනය කරමින් පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාවකින් රජය පරාජය වුණා. නව ඡන්ද විමසීමක් පවත්වන ලද අතර එහි දී රජයට බහුතර බලයක් හිමි ව, පාමර්ස්ටන් සාමි නැවත අගමැති ධුරයට පත් වුණා.

ප්‍රංශයේ සහය බ්‍රිතාන්‍යයට

කෙසේ වෙතත් මෙම අවස්ථාවේ බ්‍රිතාන්‍යයට චීනයේ තත්ත්වය පිළිබඳ විශාල අවධානයක් යොමු කිරීමට නොහැකි වුණා. ඊට හේතු වුණේ ඉන්දියානු මහ කැරැල්ල යි. මැයි මාසයේ ඇරඹි මෙම කැරැල්ල උතුරු ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල පැතිර ගිය අතර බ්‍රිතාන්‍යයන් එය මැඩලීම කෙරෙහි වැඩි අවධානය යොමු කළා.

මේ අතර බ්‍රිතාන්‍යය චීනයට එරෙහිව ගන්නා පියවර සඳහා අනෙක් බලවතුන්ගෙන් සහය බලාපොරොත්තු වුණා. මිෂනාරිවරයෙකු මරා දැමීම පිළිබඳව චිං අධිරාජ්‍යය හා මතභේදයක සිටි ප්‍රංශය බ්‍රිතාන්‍යයට සහාය ලබාදීමට ඉදිරිපත් වුණා. අනෙක් රටවල් හමුදාමය ආධාරයන් සිදු කළේ නැහැ.

කැන්ටන් වෙත පහරදීම – 1857 දෙසැම්බර් 28 (Ann S.K. Brown Military Collection)

1857 අවසානය වන විට බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය කැන්ටන් වෙත පහරදීම සඳහා සූදානම් වුණා. දෙසැම්බර් 28 වන දා මෙම සටන ඇරඹි අතර 1858 ජනවාරි 1 වන දා බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ හමුදා නගරයට ඇතුල් වුණා. ඔවුන් විසින් යේ මිංග්චෙන් අත්අඩංගුවට ගෙන ඉන්දියාවට පිටුවහල් කරනු ලැබුණා.

තාවකාලික සාමය

1858 මැයි මාසයේ දී බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ නාවික සේනා උතුරුදිග චීනය දෙසට මෙහෙයුම් දියත් කළා. මැයි 20 වන දා සිදු වූ ටාකු බලකොටුවල සටනින් ඔවුන් ජයග්‍රහණය කළ අතර එම බලකොටු අල්ලාගනු ලැබුණා. ටාකු බලකොටු පිහිටියේ ටියෙන්ට්සින් (ටියන්ජින්) නගරය ආසන්නයේ හායි නදී මෝය අවට යි. මෙම බලකොටු ටියෙන්ට්සින් අල්ලාගැනීමට ඉතා වැදගත් වුණා. බීජිං අගනුවර කරා ගමන් කිරීමේ පහසුම මාර්ගය වීයේ ටියෙන්ට්සින් අල්ලාගෙන රට තුළට ගමන් කිරීම යි.

ටියෙන්ට්සින් ගිවිසුම් අත්සන් කිරීම​ (Public Domain)

නමුත් මෙම අවස්ථාවේ තාවකාලික සාමයක් ඇති වුණා. ඒ ජූනි මාසයේ අත්සන් කරන ලද ටියෙන්ට්සින් ගිවිසුම් මඟින්. චිං අධිරාජ්‍යය මෙන්ම බ්‍රිතාන්‍යය​, ප්‍රංශය​, ඇමෙරිකාව සහ රුසියාව එම ගිවිසුම්වල පාර්ශවකරුවන් වුණා. ඒ අනුව චිං අධිරාජ්‍යය බටහිර බලවතුන්ගේ ඉල්ලීම් බොහොමයකට අවනත වුණා. එම රටවලට බීජිංහි තානාපති කාර්යාල විවෘත කිරීමට ඉඩ සැලසීම​, තවත් වරාය එකොළහක් වෙළෙඳාම සඳහා විවෘත කිරීම​, යැංසි නදියේ විදෙස් නැව් ගමනාගමනයට අවසර දීම යනාදිය චීනය අවනත වූ ඉල්ලීම් අතර වුණා. තව ද, විදේශිකයන්ට චීනයේ අභ්‍යන්තර ප්‍රදේශවල සංචාරය සඳහා ද අවසර දෙනු ලැබුණා.

මේ අතර මැයි 28 වන දා චිං අධිරාජ්‍යය සහ රුසියාව අතර ඇති වූ අයිගුන්හි ගිවිසුමෙන් රුසියාව ආමුර් නදියේ වම් ඉවුර අයිති කරගත්තා.

ටාකු බලකොටුවල දෙවන සටන

ගිවිසුමෙන් පසු ටාකු බලකොටු යළි චිං අධිරාජ්‍යයට පවරා දෙනු ලැබුණා. ෂියාංග්ෆෙංග් අධිරාජ්‍යයා විසින් එහි අණදෙන නිලධාරී ලෙස මොංගොල් සෙනවියකු වූ සෙන්ග්ගේ රින්චෙන් පත් කළා. රින්චෙන් සිය මොංගොල් අසරු හමුදාව එහි රැඳවූ අතර අමතර කාලතුවක්කු ද ස්ථානගත කළා.

මේ අතර ටියෙන්ට්සින් ගිවිසුම චීනය විසින් බලාත්මක කෙරුණේ නැහැ. මේ හේතුවෙන් 1859 ජූනි මාසයේ දී බ්‍රිතාන්‍ය නෞකා දෙවන වතාවටත් ටාකු බලකොටුවලට පහර දුන්නා. නමුත් මෙවර නම් චිං අධිරාජ්‍යය විසින් ඔවුන් පරාජයට පත් කෙරුණා.

චීනය කෝප ගැන්වූ අපරාධය

1860 වන විට බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ සේනා බීජිං ආක්‍රමණය සඳහා මනාව සූදානම් වී සිටියා. මේ අනුව එම වසරේ අගෝස්තු මුල දී ඔවුන් හමුදවක් ගොඩ බස්වා ටාකු බලකොටුවලට පහර දී අල්වා ගත්තා.

ඉන්පසු මෙම හමුදා බීජිං දෙස ගමන් ඇරඹුවා. සුළු සටන් කිහිපයක් අතරමඟ දී සිදු වූ අතර රින්චෙන්ගේ මොංගෝලියන් අසරු හමුදාව බීජිං නගරය අසළට පසු බැස්සා. ඔවුන් බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ සේනා හා තීරණාත්මක සටනකට සූදානම් වූයේ පලිකියාඕ පාලම අසල දී. ඒ සැප්තැම්බර් 21 වන දා යි.

මෙම සටනේ දී ප්‍රංශ කාලතුවක්කු හමුදාව වෙත ඍජු ප්‍රහාර එල්ල කිරීමට ගිය මොංගොල් අශ්වාරෝහකයන් දරුණු ප්‍රහාරයකට ලක්ව පරාජය කරනු ලැබුණා. එයින් පසු බීජිං වෙත මාර්ගය විවෘත වුණා.

පලිකියාඕ සටනින් පසුව​ (Public Domain)

චිං අධිරාජ්‍යය සමග සාමය පිළිබඳ සාකච්ඡා කිරීමට ගිය බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ දූත පිරිසක් ඒ අතරතුර ඇති වූ සිද්ධියක් මත අත්අඩංගුවට ගෙන තිබුණේ ඉන් දින කිහිපයකට පෙර යි. මෙයින් කොටසක් දෙනා වධ දී මරා දමා තිබුණා.

බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ හමුදා ඔක්තෝබර් 6 වන දා බීජිං වෙත ළඟා වුණා. ඔවුන් යුවාංග්මිංග් යුවාංග් (පරිසමාප්ත වූ දීප්තියෙහි උද්‍යානය​) නම් වූ චිං අධිරාජයාගේ ගිම්හාන මාලිගා සංකීර්ණය ඇතුළු වස්තුව කොල්ල කෑවා. එම වස්තු සම්භාරය දැක ආක්‍රමණික සෙබළුන් මවිතයට පත් වූ බව ඔවුන් තැබූ සටහන් පවසනවා. ගිම්හාන මාලිගා සංකීර්ණයේ දී මිලියන 1.5ක් පමණ වූ විවිධ වස්තූන් කොල්ලකන​ ලදැ යි විශ්වාස කෙරෙනවා.

කෙසේ වෙතත් පෙර සඳහන් කළ දූත කණ්ඩායමේ මිය ගිය අයගේ සිරුරු සොයාගැනීමත් සමග, ඊට ප්‍රතික්‍රියා දැක්වීමක් අවශ්‍ය යයි තීරණය කළ ආක්‍රමණික හමුදාවේ අණදෙන නිලධාරී එල්ගින් සාමි, ගිම්හාන මාලිගා සංකීර්ණය ගිනි තැබීමට අණ කළා.

ගිම්හාන මාලිගා සංකීර්ණයේ වූ එක් ද්වාරයක් (Felice Beato)

මෙම ගිම්හාන මාලිගා සංකීර්ණය අතිදැවැන්ත නිර්මාණයක් මෙන්ම ගෘහනිර්මාණ ශිල්පය අතින් ගත් කල ආශ්වර්යයක් ලෙස සැලකුණා. එහි විශාලත්වය පිළිබඳ සිතාගැනීමට එය විනාශ කිරීම​ සඳහා ගත වූ කාලය පිළිබඳ සඳහන් කිරීම ම ප්‍රමාණවත් වනවා. මිනිසුන් 4000කට සම්පූර්ණ කාර්යය සඳහා දින තුනක් වැය වුණා.

බීජිං ප්‍රඥප්තිය​

අධිරාජයාගේ සහෝදර ගොංග් කුමරු 1860 ඔක්තෝබර් 18 වන දා බීජිං ප්‍රඥප්තියට (Convention of Beijing) අත්සන් කළා. ඒ ප්‍රංශය​, බ්‍රිතාන්‍යය සහ රුසියාව සමග යි. ඒ අනුව​, 1858 ටියෙන්ට්සින් ගිවිසුම අත්සන් කිරීම​, ටියෙන්ට්සින් වරාය වෙළෙඳාම සඳහා විවෘත කිරීම​, හොං කොං අසල කොව්ලූන් අර්ධද්වීපය බ්‍රිතාන්‍යයට පවරා දීම​, ආගමික නිදහස ස්ථාපිත කිරීම (මෙය මිෂනාරින්ගේ අවශ්‍යතාව මත වූ දෙයක්) ආදී කොන්දේසිවලට චිං අධිරාජ්‍යය එකඟ වුණා.

මේ අතර බ්‍රිතාන්‍යය සිය මූලික අවශ්‍යතාව ද අවසානයේ ඉටු කරගත්තා. බීජිං ප්‍රඥප්තිය මඟින් චීනය අබිං වෙළෙඳාම සඳහා නීතියෙන් අවසර ලබා දුන්නා.

Cover Image: ගිම්හාන මාලිගා සංකීර්ණය ගිනි තැබීම දැක්වෙන සිතුවමක් (Pinterest)

මූලාශ්‍රයයන්:

Related Articles

Exit mobile version