මහා සෑයට ලක්ෂ දෙකහමාරක් පූජාකළ අපූරු මිනිසා

අප රටේ මහා පූජනීය ස්ථුපය ලෙසින් සලකනු ලබන්නේ රුවන්වැලි මහා සෑය යි. ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා තැන්පත් කර එම මහා ස්ථුපය ඉදිකර තිබෙනවා. එසේම මේ මහා භද්‍ර කල්පයේ පහළ වුණු කකුසඳ, කෝණාගම, කාශ්‍යප, සහ ගෞතම යන බුදුවරුන් සිවුදෙනාම රහතන්වහන්සේ රැසක් පිරිවරාගෙන වර්තමානයේ රුවන්වැලිසෑය ඉදිකර තිබෙන භූමියට වැඩම කර තිබෙන බව මහාවංසයේ සඳහන් වනවා. එනිසා ලංකාවේ බෞද්ධ ජනයා මහත් භක්තියෙන් යුතුව රුවන්වැලිසෑය වැඳ පුදා ගැනීමට පුරුදුව සිටිනවා.

ක්‍රි. පූ. 161-137 කාල සමයේ දී අනුරාධපුරයේ රජකම් කළ දුටුගැමුණු රජතුමා මෙම ස්ථුපය සෑදීමේ කටයුතු ආරම්භ කළා. නමුත් ස්ථුපයේ වැඩ සම්පූර්ණයෙන්ම අවසන් වුණේ සද්ධාතිස්ස රජුගේ කාලයේ දී යි. එදා සිට අනුරාධපුරය පාලනය කළ රජවරුන් බොහෝමයක් මෙම පූජනීය ස්ථුපයට ඉහළින්ම පුද සත්කාර කළා. පොළොන්නරුවේ රජකම් කළ රජවරුන් ද රුවන්වැලිසෑය ආරක්ෂා කළා. නමුත් ක්‍රි. ව. 1215 දී මාඝ නම් කාලිංග වංශික ආක්‍රමණිකයා පොළොන්නරුවේ බලය අල්ලාගැනීමෙන් පසු මෙරට රාජධානි නිරිතදිග ප්‍රදේශවලට සංක්‍රමණය වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රමයෙන් රජරට වල් බිහිවුණා. ඒ සමගම එහි තිබුණු පූජනීය ස්ථාන ද වනාන්තරවලින් වැසී ගියා.

19 වන සියවසේ මුල් භාගයේ දී මුළු ලංකාවම බ්‍රිතාන්‍ය යටත්විජිතයක් බවට පත්වුණා. අනතුරුව මෙහි පැමිණි ඇතැම් බ්‍රිතාන්‍ය සංචාරකයන් පුරාණ නගරවල සැරිසරමින් ඒවායේ පුරාවස්තු පිළිබඳ යම්කිසි අධ්‍යයනයක යෙදෙන්නට වුණා. අනුරාධපුරයේ සංචාරය කළ සුදු ජාතිකයෙකු වුණු ශ්‍රීමත් එමර්සන් ටෙනන්ට් සිය වාර්තාවක දක්වා තිබුණේ 1830 වර්ෂය වන විට, ගරාවැටීම නිසා රුවන්වැලි සෑයේ උස අඩි 189 දක්වා අඩුව තිබුණු බව යි. 1850 වසරේ දී ඔහු විසින් නිකුත් කරන ලද වාර්තාවක සඳහන් වුණේ, ඒ වන විට ස්ථුපයේ උස අඩි 150ක් දක්වා අඩුව තිබුණු බව යි. 

ඒ අයුරින් විනාශයට පත්වෙමින් තිබුණු රුවන්වැලි සෑය යළි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මුල්වුණේ නාරංවිට සුමනසාර ස්වාමීන්වහන්සේ යි. 1870 වසරේ දී ගම්පොළ සිට අනුරාධපුර පූජා නගරයට වන්දනාවේ පැමිණි සුමනසාර හිමියන්ට වල් බිහිවී තිබුණු රුවන්වැලි සෑය දැක්ගන්නට ලැබුණා. ස්ථුපය දැකීමෙන් සංවේගයට පැමිණි සුමනසාර හිමියන් අධිෂ්ඨාන කරගත්තේ කෙසේ හෝ මහා ස්ථුපය යළි තිබුණු තත්ත්වයටම ගොඩනගන බව යි. සුමනසාර හිමියන් 1872 වසරේ දී මහා සෑය ගොඩනැගීමේ කාර්යය ආරම්භ කළා. 

මෙසේ ආරම්භ වුණු මහා සෑයේ වැඩ කටයුතු 1940 වසරේ දී නිමාව දුටුවා. එම වසර 68ක කාලය තුළ මහා සෑයේ වැඩ කටයුතු සිදුකිරීම සඳහා විශාලතම මුදල් පරිත්‍යාගයක් සිදුකළ එක්තරා දානපතියෙකු සිටියා. ඒ, දොන් පෙද්‍රික් සිටුගේ හෙවත් හේනේගම අප්පුහාමි නම් දානපති ව්‍යාපාරිකයා යි. 

19 වන සියවසේ අග භාගය වන විට ගරා වැටී තිබුණු රුවන්වැලි මහා සෑය (Mapio.net)

හෙන්ද්‍රික්ගේ ජීවිතයේ මුල් අවධිය 

අකුරැස්ස ප්‍රදේශයේ පරදූව නම් ග්‍රාමයේ උපත ලැබූ දොන් හෙන්ද්‍රික් සිටුගේ එතරම් ඉහළ අධ්‍යාපනයක් ලැබූ කෙනෙක් නොවෙයි. නමුත් හෙන්ද්‍රික්ට කටට රහට කෑම ඉවීමේ හැකියාව තිබුණා. එනිසා දෙනියාය තේ වත්තේ තානායමේ කෝකියෙකු වශයෙන් සේවය කිරීමට හෙන්ද්‍රික් තරුණයාට වරම් ලැබුණා. රස නහර පිනායන ආහාර සැකසීමේ හැකියාව නිසා වැඩි කලක් යන්නට මත්තෙන් තානායමට පැමිණෙන අමුත්තන් අතර ජනප්‍රිය චරිතයක් බවට පත්වීමට හෙන්ද්‍රික්ට හැකිවුණා. ප්‍රියමනාපශීලී පුද්ගලයෙකු වුණු හෙන්ද්‍රික්ගේ සිත්ගන්නා සුළු කතාබහට ද අමුත්තන් ප්‍රිය කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් බලවත් පුද්ගලයන් කිහිපදෙනෙකුම හෙන්ද්‍රික්ගේ මිතුරන් බවට පත්වුණා. 

දෙනියාය ප්‍රදේශයේ තේ වත්තක් (Dilmah tea Estates) 

හදිසියේම පහළ වුණු නොසිතූ වාසනාව 

දෙනියාය තේ වත්තේ ඉහළ තනතුරක් දැරූ එක්තරා බ්‍රිතාන්‍ය ජාතිකයෙකු තානායමට දිනපතාම පැමිණියා. හෙන්ද්‍රික් කෝකියා පිසින ආහාරවලට වැඩි කැමැත්තක් දැක්වූ එම සුදු ජාතිකයා ඉක්මනින්ම හෙන්ද්‍රික් සමග කුළුපග වුණා. එනිසා තානායමට පැමිණි සෑම දිනකම හෙන්ද්‍රික් සමග කතා කරන්නට එම බ්‍රිතාන්‍ය ජාතිකයා අමතක කළේ නැහැ. 

වසර ගණනාවක් ලංකාවේ ගතකිරීමෙන් පසුව ආපසු එංගලන්තය බලා යාමට මේ සුදු ජාතිකයා තීරණය කළා. ඒ වන විට හෙන්ද්‍රික් පිළිබඳව ඔහුගේ සිතෙහි යම්කිසි පැහැදීමක් ඇතිව තිබුණා. හෙන්ද්‍රික් උත්සාහවන්ත තරුණයෙකු බව ඔහුට ඒත්තු ගොස් තිබුණා. එනිසා ඔහු සිය මවු රටට යාමට පෙර ලංකාවේ තමා සතුව තිබුණු සියළුම දේපළ හෙන්ද්‍රික් තරුණයාට පවරනු ලැබුවා. ඒ අයුරින් හදිසියේම ලැබුණු මහා ධන සම්භාරය හෙන්ද්‍රික්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළුවා.

හෙන්ද්‍රික් මහා ධනවතෙකු බවට පත්වෙයි 

නොසිතූ අවස්ථාවක ලැබුණු එම මුදල අර්ථවත් ආකාරයට යෙදවීමට කල්පනා කළ හෙන්ද්‍රික් තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කළා. ඒ පාරුවක් තනාගෙන අකුරැස්සට පැමිණි ජනතාව නිල්වලා ගඟෙන් එගොඩ මෙගොඩ කිරීම යි. හෙන්ද්‍රික් කරගෙන ගිය රැකියාව අතරමඟ නතර වුණේ 1887 වසරේ දී පමණ බ්‍රිතාන්‍ය රජය එම ස්ථානයේ පාලමක් ඉදිකිරීමත් සමග යි. නමුත් ඒ වන විට හෙන්ද්‍රික් පාරු රැකියාවෙන් විශාල මුදලක් සොයාගෙන තිබුණා. 

එසේම බ්‍රිතාන්‍ය ජාතිකයා ද දේපල සහ මුදල් ලබාදුන් නිසා ඒ වන විට හෙන්ද්‍රික් සතුව විශාල මුදලක් එකතු වී තිබුණා. එනිසා ඔහුට අකුරැස්ස ප්‍රදේශයෙන් ඉඩම් අක්කර ගණනාවක් මිල දී ගැනීමට හැකියාව ලැබුණා. මිලටගත් ඉඩම්වල පැඟිරි වගාකළ හෙන්ද්‍රික් තරුණයා පැඟිරි තෙල් සිඳ අලෙවි කිරීමෙන් විශාල මුදලක් උපයාගත්තා. එයින් ලැබුණු මුදල් තේ වගා කිරීම සඳහා යෙදවූ හෙන්ද්‍රික් වැඩිකල් යන්නට පෙර මහා ධනවතෙකු බවට පත්වුණා. ධනවත් වුණු හෙන්ද්‍රික් සිටුගේ හේනේගම අප්පුහාමි යන නමින් එම ප්‍රදේශය තුළ ප්‍රසිද්ධ වුණා. 

හෙන්ද්‍රික් සිටුගේ හෙවත් හේනේගම අප්පුහාමි (lakdivanews.com)

පොසොන් පොහොය දිනයේ රුවන්වැලි සෑයට ගිය ගමන 

තරුණ වියේ දී සහ මැදි වියේ දී යහමින් මුදල් හරි හම්බ කරගත් හෙන්ද්‍රික් ජීවිතයේ සැඳෑ සමයේ දී හැකි අයුරින් පින් රැස්කරගන්නට උනන්දු වුණා. එනිසා 1912 ජූනි 3 වැනිදා, පොසොන් පුර පසළොස්වක පොහොය දිනයේ රුවන්වැලි සෑ පුදබිමට ගිය හෙන්ද්‍රික් සිටුගේ හෙවත් හේනේගම අප්පුහාමි අටසිල් සමාදන් වුණා. රුවන්වැලි සෑය අබලන් තත්ත්වයේ තිබුණු නිසා එය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ආධාර එකතු කිරීමේ වැඩසටහනක් එදින ක්‍රියාත්මක වුණා. ඒ පිළිබඳව ශබ්ද විකාශන යන්ත්‍රයක් මඟින් වරින් වර දැනුවත් කළා. 

දැරිවියන් කිහිපදෙනෙකු ආධාර එකතු කිරීමට පැමිණෙයි 

හේනේගම අප්පුහාමි ඔහුගේ මිතුරෙකු සමග රුවන්වැලි සෑ මළුවේ සිටින විට ළමා සාරි ඇඳගත් දැරියන් කිහිපදෙනෙකු ඔවුන් හමුවට පැමිණියා. එහි සිටි වැඩිමහල් දැරියක් හේනේගම අප්පුහාමි දෙසට හැරී, “සීයේ රුවන්වැලිසෑය ඉදිකිරීමේ කටුතුවලට ආධාරයක් කරනවාදැ යි?” විමසා සිටියා. එවිට හේනේගම අප්පුහාමි, “එහෙනම් ලියාගනිල්ලකො මගෙනුත් ලක්ෂ දෙකහමාරක්” යනුවෙන් සිනාමුසු මුහුණින් පවසා සිටියා. හේනේගම අප්පුහාමිගේ වචන ඇසීමත් සමගම දැරියන් කිහිපදෙනා සිනාමුසු මුහුණින් එතනින් ඉවත්ව ගියේ දුප්පත් ගැමියෙකු ඔවුන්ට විහිළුවක් කළ බව සිතාගෙන යි. 

ප්‍රතිසංස්කරණය කරමින් පැවති රුවන්වැලිසෑය (Facebook)

හෙන්ද්‍රික් ආධාර එකතු කරන කාර්යාලය වෙතට යයි 

දැරියන් කිහිපදෙනා සිනාසෙමින් ඉවත්ව යන ආකාරය දෙස බලාගෙන සිටි හේනේගම අප්පුහාමිගේ මිතුරා, “ලක්ෂ දෙකහමාරක් ආධාර විදිහට දෙනව කීව කතාව ඒ දැරිවියෝ නම් විශ්වාස කරේ නැති පාට යි”යි හේනේගම අප්පුහාමි දෙසට හැරී පවසා සිටියා. ඒ මොහොතේම රුවන්වැලිසෑයට ආධාර දීම සඳහා එහි තිබුණු කාර්යාලයට පැමිණෙන ලෙස ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් නිවේදනය කළා. කාර්යාලය අසලට ගිය හේනේගම අප්පුහාමිට දැකගන්නට ලැබුණේ රුපියල් 1000ට වැඩි ආධාර ලබාදෙන අය සඳහා වෙනම පෝලිමක් තිබුණු බව යි. එදා හේනේගම අප්පුහාමි ආධාර ලබාදීම සඳහා එම පෝලිමේ ගිය විට එහි සිටි ප්‍රභූවරු සහ ආධාර එකතු කළ උදවිය පුදුමයෙන් මෙන් ඔහු දෙස බලා සිටියේ ඔහුට තිබුණු ගැමි පෙනුම නිසා යි.  

ආධාර එකතු කරන තැන සිදුවුණු මහා ජරමරේ 

ආධාර දෙන ස්ථානයට ගිය හේනේගම අප්පුහාමි ඔන්න එහෙනම් මගේ ආධාරය ලියාගන්නයැ යි කියූ අවස්ථාවේ එහි සිටි ප්‍රභූවරයෙක් උපහාසයට මෙන් “සත දහයක් නේ ද?”යි සිනාමුසු මුහුණින් විමසා සිටියා. එම ප්‍රභූවරයාට පෙරළා සිනහවෙන් උත්තර දුන් හේනේගම අප්පුහාමි “නෑ සත විසි පහක් කියා” උස් හඬින් පවසා සිටියා. එවිට ආධාර එකතු කළ පුද්ගලයා පවසා සිටියේ “මහත්තයෝ සුළු ආධාර ලබාදෙන්න එහා පැත්තට යන්න” යි. ඒ මොහොතේ දී අප්පුහාමි ආධාර එකතු කළ පුද්ගලයාට පවසා සිටියේ “එහෙනම් ලියාගන්නකො මන් ගානෙ 25 ඉස්සරහට දාල තව බින්දු 4ක්” යන්න යි. 

අප්පුහාමි එසේ කීමත් සමගම අන්ද මන්ද වුණු ආධාර එකතු කළ පුද්ගලයාට, “මොනව ශත දෙලක්ෂ පනස්දාහක් ඒ මොන විදිහෙ මුදල් ගෙවීමක් ද?” යි කියවුණා. එසේම අවට සිටි ප්‍රභූවරුන් ද “කොහෙද ඉන්න පිස්සෙක් පාර වැරදිල ද කොහෙද මෙහෙ ඇවිල්ල” යන වචන කිහිපය අප්පුහාමිට ඇසෙන සේ මුමුණනු ලැබුවා. එවිට හේනේගම අප්පුහාමි  “නෑ රුපියල් ලක්ෂ දෙකහමාරක්” යනුවෙන් ආඩම්බර ලීලාවෙන් පවසා අවට සිටි ප්‍රභූවරුන් දෙස බැලුවා. ඒ මොහොතේ දී ප්‍රභූවරුන්ගේ මුහුණ මැලවී යන ආකාරය අප්පුහාමිට දැකගන්නට ලැබුණා. 

ලක්ෂ දෙකහමාරක ආධාරයක් ලබාදෙයි 

හේනේගම අප්පුහාමි සිය චෙක්පොත ගෙන එහි රුපියල් දෙලක්ෂ පනස්දහසක් ලෙසින් සටහන් කර ආධාර එකතු කරන කමිටුව වෙත ලබාදුන්නා. එහි සිටි ප්‍රභූවරුන් පිරිස අතරින් එකම එක ප්‍රභූවරයෙකු  පමණක් රුපියල් පන්දාහක් ආධාරකර තිබුණත් අනිත් ප්‍රභූවරුන් ලබා දී තිබුණේ රුපියල් 1000, 2000 වැනි ආධාරයන් පමණ යි. හේනේගම අප්පුහාමි නම් මහා දානපතියා රුවන්වැලි සෑය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් ලක්ෂ දෙකහමාරක් පරිත්‍යාග කිරීමේ සිද්ධිය ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් පසුදින වන තුරු ප්‍රචාරය කළා. කම්කරුවෙකුගේ දිනක වැටුප ශත 5ක්ව තිබුණු එම යුගයේ හේනේගම අප්පුහාමි රුවන්වැලිසෑය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ලක්ෂ දෙකහමාරක මුදලක් පරිත්‍යාග කිරීම ඉතා විශේෂ ක්‍රියාවක් බවට පත්වුණා. අදටත් රුවන්වැලිසෑය ගැන සිහිපත් කරන විට මෙම අපූරු මිනිසා ද සිහිපත් විය යුත්තේ එනිසා යි.

කවරයේ ඡායාරූපය- රුවන්වැලිසෑය 19 වන සියවසේ අග භාගයේ දී (gettyimages)

මූලාශ්‍රයයන්- මහාවංසය 

                        බ්‍රහ්මචාරි වලිසිංහ හරිස්චන්ද්‍ර චරිතාපදානය 

                        lankadeepa.lk

Related Articles

Exit mobile version